කුණු වෙන කුණු ප්රශ්නය
ලෝකයේ ලොකුම නගරය කොළඹ ද කියලා දැන් අහන්න වෙනවා. චම්පක රණවක ඔහුට
සුපුරුදු විධියට මීතොටමුල්ලේ කුණු කන්දේ වට ප්‍රමාණය, උස ආදිය ගැන දශමයට ජනතාව දැනුවත් කළා. ඔහු සංඛ්‍යානයෙහි විශේෂඥයකු
නොවූවත් සංඛ්‍යා ලේඛන ඉදිරිපත් කරන්න දක්ෂයෙක්. ජාතික හෙළ උරුමයෙන් හාමුදූරුවරුන්
කී දෙනකු අස්වුණා ද කියලා ඇහුවොත් ඔහු උපසම්පදා භික්ෂූන් වහන්සේ මෙපමණ ය සාමණේර
භික්ෂූන් වහන්සේ මෙපමණ ය ආදී වශයෙන් ගණන් හිලවු කියාවි. ඒකට රතන හාමුදුරුවන්
ඇතුළත් කරනව ද නැද්ද කියන එක නම් ප්‍රශ්නයක් වේවි. චම්පක කියන අන්දමේ ලොකු කුණු
කන්දක් ලන්ඩනයේවත් නිව්යෝක්හිවත්, තෝකියෝවෙවත්,
සිංගප්පූරුවෙවත් නැතිව ඇති. මෙරට ජනයාත්, දේශපාලනඥයනුත්, උගතුනුත්, නිලධාරීනුත් හැම තිස්සෙ ම කතා කරන්නෙ බටහිර වගේ දියුණු වෙන්න. අප
සිංගප්පූරුවක් වෙන්නෙ කවද ද කියලා ඒ අය ඇඟිලි ගණන් කරමින් ඉන්නෙ. ඒ දියුණුව ගැන
හොයලා බලන්න මෙරට සාමාන්‍ය ජනයා හැර ඉතිරි අය නිතර ඒ රටවලට යනව එනවා. ඔවුන් යන්නෙ
ගුවනින් වෙන්න ඕන. මේ කාලෙ කවුරුන්වත් නැවෙන් යනව වෙන්න බැහැ. ඒ හින්ද ද කොහෙද ඊයෙ
ප්රවෘත්ති ප්රචාරයෙන් කියවුණා ගුවන් ගමන් බලපත්‍රය ඉලෙක්ට්‍රොනික ව ලබාගන්න ක්‍රමයක්
හදන්න යනවා කියලා. එ බලපත්‍රය ලැබුණට පස්සෙ නිකමටවත් නැවකින් යන්න ලැබෙන එකක්
නැහැ. ගුවනින් ම යන්න වෙයි. අපේ දියුණුව ඒ තරමට ඉක්මන්.