Main Logo

Sunday, 28 October 2012

ගැලීලියෝගේ වියුක්තකරණය

ජ්‍යාමිතියෙහි හා න්‍යායෙහි වියුක්තකරණයට හා සාධාරණීකරණයට එළඹුණු ග්‍රීකයන්ට භෞතික විද්‍යාවෙහි දී එසේ නොකළ හැකි වූයේ ඇයි? බටහිර භෞතික විද්‍යාව වර්ධනයවීමට ප්‍රවාද අවශ්‍ය විය. ගැලීලියෝ විද්වතා කළ ප්‍රධාන කාර්යය වූයේ ප්‍රවාද නිර්මාණ කිරීම ය. ආකිමිඩීස් මූලධර්මය නිරීක්‍ෂණයකට වඩා වැඩි දෙයක් නො වීය. ඉන් කියැවුනේ නිශ්චල ද්‍රවයක ගිලෙන හෝ ඉපිලෙන හෝ ඕනෑම ඝන වස්තුවක් මත ද්‍රවයේ යම් ප්‍රතික්‍රියාවක් ඇති බව ය. එහෙත් ඒ ප්‍රතික්‍රියාව ඇතිවන්නේ කෙසේ ද යන්න ඉන් නො කියැවෙයි. අනෙක් අතට ගැලීලීය සාපේක්‍ෂතාවාදය පසුපස නිරීක්‍ෂණයක් නොව ප්‍රවාදයක් විය. අපට නිරීක්‍ෂණය කළ හැක්කේ සාපේක්‍ෂ චලිත පමණක් යැයි කී විට ඉන් නිරීක්‍ෂණ තේරුම් කරදීමට උත්සාහයක් ගැනිණි. ඉන් කියැවුණේ අපට යම් චලිතයක් නිරීක්‍ෂණය කළහැකි නම් ඒ සාපේක්‍ෂ චලිතයක් ය යන්න ය. අපට නිරීක්‍ෂණය කළ නොහැකි චලිත ද වෙයි. ඒ අපට නිරීක්‍ෂණය කළ නොහැක්කේ ඒ චලිත අපට සාපේක්‍ෂ නොවන බැවින් ය. ගැලීලියෝ විද්වතා පොළොව චලනය වන බව පෙන්වාසිටියේ එවැනි තර්කනයක් මත පිහිටමින් ය. පොළොව චලනය වන නමුත් ඒ අපට සාපේක්‍ෂව චලනය නොවන බැවින් පොළොවෙහි චලිතය අපට නිරීක්‍ෂණය කළ නොහැකි යැයි ඔහු කියා සිටියේ ය.

අවුරුදු පන්සියයකට පමණ පෙර බටහිර යුරෝපීයයන් සමස්ත ඉන්ද්‍රිය ගෝචර භෞතික ලෝකය ම මෙන් වියුක්තකර ප්‍රවාද නිර්මාණයකිරීම ඇරඹීමට සමත්වුව ද ග්‍රීකයන්ට එසේ කිරීමට නො හැකිවිය. එයට හේතුව භෞතික ලෝකය වියුක්ත කරන්නේ කෙසේද යන්න පිළිබඳ අවබෝධයක් ඔවුන්ට නො තිබීම ය. ජ්‍යාමිතිය ලබාගන්නේ කෝටු කෑලි, කෝදු, වක්‍ර, ද්විමාන පෘෂ්ඨ, ඝන වස්තු ආදිය වියුක්තකිරීමෙන් ය. භෞතික ලෝකයේ ත්‍රිකෝණයක් යන්න අපට කඩදාසියකින් කපාගත හැකි රූපයකි. එය අපට පෙනෙන්නට තිබේ. අපට එය ස්පර්ශ කළ හැකි ය. මේ භෞතික ත්‍රිකෝණයෙන් ගණිතමය ත්‍රිකෝණය ලබා ගන්නේ භෞතික ත්‍රිකෝණයේ අපට පෙනෙන, ස්පර්ශ කළහැකි දෑ ඉවත්කිරීමෙන් ය. ගණිතමය ත්‍රිකෝණයට ඝනකමක් නැත. එහි සරල රේඛාවලට ඝනකමක් මෙන් ම පළලක් ද නැත. ගණිතමය ත්‍රිකෝණය අපට ස්පර්ශකළ හැක්කක් නො වෙයි. ඒ මනසෙහි මවා ගැනීමට ද නො හැකි ය. ජ්‍යාමිතියෙහි කියැවෙන කේතුවක්, ඝනකයක් වැනි ඝන වස්තු වුව ද අපට ස්පර්ශකළ නො හැකි ය. ඝනකයකට දිගක් පළලක් හා ඝනකමක් ඇති බව සැබෑ ය. එහෙත් ඝනකයෙහි දාරයකට පළලක් හෝ ඝනකමක් හෝ නැත. එමෙන් ම ඝනකයෙහි පෘෂ්ඨයකට දිගක් හා පළලක් තිබුණ ද ඝනකමක් නැත. එහි පෘෂ්ඨය නිර්මාණය වී ඇත්තේ දිගක් පමණක් ඇති සරල රේඛා රාශියක් එකතු වීමෙන් ය. දිගක් පමණක් ඇති සරල රේඛා පිළිවෙළකට සකස් කළවිට දිගක් හා පළලක් පමණක් ඇති තලයක් ලැබෙයි.

ජ්‍යාමිතියෙහි වියුක්තකරණයේ දී කළ යුත්තේ කුමක් ද යන්න එතරම් ගැටළුවක් නො වෙයි. මේ වියුක්තකරණයෙහි දී කිසිවක් මුළුමනින් ම නැතිවන්නේ ද නො වෙයි. ජ්‍යාමිතියෙහි සරල රේඛාවකට පළලක් නොමැති බව සැබෑ ය. එහෙත් සරල රේඛා රාශියක් යම් ක්‍රමයකට සකස් වීමෙන් දිගක් මෙන් ම පළලක් ද සහිත තලයක්, දිගක් හා තවත් මානයක් රැගත් කේතුවක් (cone), වක්‍ර පෘෂ්ඨයක් ආදිය ලැබෙයි. එක්තරා ආකාරයකට ගතහොත් ජ්‍යාමිතික සරල රේඛාවෙහි පළල සැඟවී තිබුණාක් වැනි ය. ජ්‍යාමිතියෙහි දක්නට ලැබෙන මේ සැඟවී තිබුණාක් වැනි ගුණය කලනයෙහි (calculus) දී වැදගත් වෙයි. ඝන වස්තුවක ඝනඵලය සෙවීමේ දී එය ඉතා සිහින් තැටිවලට බෙදෙයි. මේ තැටියකට වර්ගඵලයක් ඇත; ඝනකමක් නැත. එහෙත් ඝනකමක් ඇතැයි ද ගැනෙයි. උදාහරණයක් ලෙස ගෝලයක් ගනිමු. මේ ගෝලයෙහි ඝනඵලය සෙවීම සඳහා ඒක කේන්ද්‍රීය වූ වෘත්ත විශාල සංඛ්‍යාවකට බෙදිය හැකි ය. මේ එක් එක් වෘත්තයට ඇත්තේ වර්ගඵලයක් පමණකි. එහෙත් එවැනි වූ වෘත්ත එකතුකිරීමෙන් ඝනඵලයක් සහිත ගෝලය ලැබෙයි. එබැවින් ගෝලයේ ඝනඵලය සඳහා කළයුත්තේ වෘත්තාකාර කුඩා කවචයක, එනම් ඝනකමක් නැති වෘත්තයක, එහෙත් ඉතා කුඩා ඝනකමක් ඇති තැටියක ඝනඵලය සොයා ඒ කුඩා ඝනඵල සියල්ල එකතුකිරීම ය. මෙයින් පෙනී යන්නේ වෘත්තයකට ඝනකමක් නැතිවුව ද එය යම් ආකාරයකින් එහි සැඟවී ඇති බව ය. පෛතගරස් විද්වතා මේ ක්‍රමය යොදාගෙන වර්ගඵල ඝනඵල ආදිය ගණනය කර ඇත. ඒ ක්‍රමයෙහි කලනය පිළිබඳ අදහස් ගැබ් වී ඇත. පැරණි ග්‍රීකයන්ගේ කලනය ජ්‍යාමිතියෙහි ම කොටසක් ලෙස සැලකිය හැකි ය. කලනය පිළිබඳ අදහස් ග්‍රීකයන්ට පමණක් නොව පැරණි භාරතීයයන්ට ද තිබුණු බවට සාධක ඇත. මේ පුදුමයට කරුණක් නො වෙයි. කලනය සඳහා ත්‍රිකෝටික න්‍යාය යොදාගත හැකි ය. පැරණි භාරතීයයනට ත්‍රිකෝටික න්‍යාය විය. පැරණි ග්‍රීකයන්ට මෙන්ම පැරණි භාරතීයයන්ට ද කලනය පිළිබඳ යම් අවබෝධයක් තිබූ නමුත් ඔවුන් ඒ අවබෝධය ලබාගෙන ඇත්තේ වෙනස් පදනම්වල පිහිටමින් යැයි සිතිය හැකි ය.

පැරණි භාරතීයයනට ත්‍රිකෝටික න්‍යාය තිබුණ ද පැරණි ග්‍රීකයනට ඒ න්‍යාය ගැන අවබෝධයක් වී ද යන ප්‍රශ්නය මෙහි දී මතුවෙයි. විශේෂයෙන් ම ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය වර්ධනය කළ ග්‍රීකයන්ට ත්‍රිකෝටික න්‍යාය තිබිණි ද යන්න ප්‍රශ්නයක් වෙයි. ඇතැම් පැරණි ග්‍රීකයන්ට ත්‍රිකෝටික න්‍යාය පිළිබඳ යම් හැඟීමක් තිබුණු බව හෙරෙක්ලිටස් පඬිවරයාගේ සුප්‍රසිද්ධ කියමනෙන් පැහැදිලි වෙයි. ඔහු කියා සිටියේ යමකුට, එකම පුද්ගලයකුට, දෙවරක් ගඟකට බැසිය නොහැකි බව ය. එහි තේරුම ගඟ වෙනස් වන්නේ ය යන්න ය. දැන් තිබෙන ගඟ පසුව නොතිබෙයි. එහෙත් ගඟ යනුවෙන් කියැවෙන්නක් ද වෙයි. ගඟ, ගඟට සමාන මෙන් ම අසමාන ද වන්නේ ය යන්න මෙහි තේරුම වෙයි. මේ ත්‍රිකෝටික න්‍යාය මිස අන් කිසිවක් නො වෙයි. වෙනස්වීමක් ගැන කතාකළ හැක්කේ ත්‍රිකෝටික න්‍යාය ඔස්සේ පමණකි. කලනය යනු ද වෙනස්වීම හා සම්බන්ධ ය. කලනයේ න්‍යාය ත්‍රිකෝටිකය වෙයි. වර්තමාන බටහිර ගණිතඥයන් ඇරිස්ටෝටලීය න්‍යායයෙහි කලනය සිරකිරීමට උත්සාහකළ ද එය පදනම් වී ඇත්තේ වෙනත් න්‍යායක ය. ජ්‍යාමිතිය, කලනය, පමණක් නොව ද්විකෝටික න්‍යාය ද වියුක්තකිරීමට පැරණි ග්‍රීකයන්ට හැකිවූයේ ත්‍රිකෝටික න්‍යාය පදනම් කරගනිමිනි. A=B, B=C මගින් A=C යැයි ගම්‍යවන අවස්ථාවෙහි දී ඒ සමානත්වය ඇත්තේ කුමන ගුණයක් සඳහා ද යන්න නො කියැවෙයි. එහි වස්තු A, B, C මගින් දැක්වෙන ඕනෑම වස්තු වෙයි. එහි ඇත්තේ වියුක්තකරණයකි. ඒ අතර ඒ වස්තු දිගින් බරින් (ස්කන්ධයෙන්) ආදී වශයෙන් විවිධ ගුණවලින් ඕනෑම ගුණයකින් සමානවිය හැකිය යනුවෙන් දෙවැනි වියුක්තකරණයක් ද මෙහි වෙයි. මේ දෙවැනි වියුක්තකරණයෙහි දී අදාළ ගුණය නැති මෙන් ම ඇති ලෙස ද ගැනීමට සිදුවෙයි. A = B, B = C ආදී වශයෙන් කියැවෙන විට ඒ ඕනෑම ගුණයකින් වන බව සැබෑ ය. එහෙත් ඒ එකම ගුණයකින් විය යුතු ය. A, B ට දිගින් හා B, C ට බරින් සමාන වුවහොත් A = C යනුවෙන් කීම අර්ථ ශූන්‍ය වෙයි. එබැවින් මෙහි දී යම් ගුණයක් වස්තු තුනට ම ඇති බව ගම්‍ය වෙයි. වස්තු එකිනෙකට සමාන වන්නේ පොදු ගුණයකින් මිස ඒ ඒ අවස්ථාවේ දී එක් එක් ගුණයකින් නො වෙයි. මෙයින් පෙනී යන්නේ පැරණි ග්‍රීකයන්ගේ ඇරිස්ටෝටලීය න්‍යාය පිළිබඳව වූ වියුක්තකරණය පූර්ණ වියුක්තකරණයක් නොවූ බව ය. ඔවුන් ද්විකෝටික න්‍යාය යොදාගත්ත ද, එහි ත්‍රිකෝටික න්‍යායක සේයාවක් ද විය. මේ සේයාව ජ්‍යාමිතියෙන් කලනයට ගිය ග්‍රීකයන්ට ආධාරයක් වී යැයි සිතිය හැකි ය.

පැරණි භාරතීයයනට ද යම් වියුක්තකරණයක් තිබී ඇත. ආයුර්වේදයේ හෝ කර්මවාදයේ හෝ මේ වියුක්තකරණය දැකිය හැකි ය. පැරණි භාරතයේ බමුණෝ යම් ආකාරයක වියුක්ත ප්‍රවාද ගොඩනැගීමෙහිලා දස්කම් දැක්වූහ. එහෙත් ඒ වියුක්තය ග්‍රීකයන්ගේ වියුක්තය තරමටවත් වියුක්ත නොවූ බව ද පැහැදිලි ය. ආයුර්වේදයේ වෙදකම් කෙරෙන්නේ ඒ ඒ රෝගියාට මිස වියුක්ත රෝගියකුට නො වෙයි. එමෙන් ම කර්මවාදය ද යොදාගැනෙන්නේ ඒ ඒ පුද්ගලයා සම්බන්ධයෙන් ය. එහි ද වියුක්ත පුද්ගලයකු නැත.

පැරණි භාරතීයයන්ගේ හෝ පැරණි ග්‍රීකයන්ගේ හෝ වියුක්තකරණය වියුක්ත භෞතික විද්‍යාවක් ගොඩනැගීමට තරම් ප්‍රමාණවත් නො වී ය. මෙය තේරුම් ගැනීම සඳහා ගැලීලියෝ වි්ද්වතා විසින් කරන ලදැයි පැවසෙන සුප්‍රසිද්ධ පීසා නුවර ඇලවෙන කුළුණේ පරීක්‍ෂණය සලකමු. මේ පරීක්‍ෂණයේ දී සිදුකෙරී ඇත්තේ බරින් (ස්කන්ධයෙන්) අසමාන වූ වස්තු දෙකක් නිශ්චලතාවයේ තිබී එක්වර එකම උසකින් පොළොවට අත්හැරීම ය. පරීක්‍ෂණයෙන් පෙන්නුම් කෙරී ඇත්තේ ඒ වස්තු දෙක එකම වෙලාවට පොළොවට ළඟාවන බව ය. වස්තු යම් ප්‍රමාණයක් එකම ත්වරණයක් සහිතව පොළොවට වැටෙන බැවින් සියළු වස්තු අඩුම තරමින් පොළොව සමීපයේ දී එකම ත්වරණයකින් පොළොව දිශාවට ඇදෙන බව ද පසුව උද්ගමනය කෙරී ඇත.

මෙයින් කියැවෙන්නේ කුමක් දැයි විභාගකරමු. පීසා නුවර කරන ලද පරීක්‍ෂණයෙන් උද්ගමනය කෙරී ඇති දැනුම පොළොව ආසන්නයේ චලනය වන ඕනෑම වස්තුවක් සඳහා ය. ඕනෑම වස්තුවක් පොළොව දිශාවට වූ එකම ත්වරණයකින් චලනය වන බව ඉන් කියැවෙයි. දැන් මෙහි කියැවෙන ඕනෑම වස්තුව කුමක් ද? ඒ වියුක්ත වස්තුවක් වෙයි. මේ වස්තුවට පරිමාවක්, බරක් (ස්කන්ධයක්), ගඳක් සුවඳක්, පැහැයක් හෝ පැහැය කිහිපයක්, රසක්, හැඩයක්, සුමුදු බවක් නැත්නම් ගොරෝසු බවක් ආදී වශයෙන් විවිධ ගුණ තිබිය හැකි ය. ගැලීලියෝ විද්වතා මේ සියළු ගුණ නොසලකා හැර ඇත. එනම් ඔහු ඒ ගුණ වස්තුවෙන් ඉවත්කර ඇත. ඔහුට තිබී ඇත්තේ ඉතාමත් ම වියුක්ත වස්තුවකි. එහි ඒ ගුණ කිසිවක් නැත. මේ වියුක්ත වස්තුවට පොළොව ආසන්නයේ දී පොළොව දිශාවට වූ නියත ත්වරණයක් ඇති බව ගැලීලියෝ විද්වතා විසින් පෙන්නුම් කෙරී ඇත.

පැරණි ග්‍රීකයන්ට නොකළ හැකි වූවක් ගැලීලියෝ විද්වතා කෙළේ ය. ඔහු වස්තුවලින් සියළු ගුණ ඉවත් කෙළේ ය. ආකිමිඩීස් විද්වතාට මේ කළහැකි වූයේ නිශ්චල ද්‍රවයක ගිලී හෝ ඉපිලී හෝ නිශ්චල ව පවතින වස්තු සම්බන්ධයෙන් ය. ගැලීලියෝ විද්වතා චලනය වන වස්තු සම්බන්ධයෙන් ද ඒ දේ කෙළේ ය. පැරණි ග්‍රීකයන්ට චලනය වන වස්තුවල ගුණ ඒවාහි බරින් (ස්කන්ධයෙන්) නිදහස් කර ගැනීම ප්‍රශ්නයක් වී තිබුණි. ඈරිස්ටෝටලීය ගතිකයෙහි එකවිට අත්හැරි වස්තු දෙකකින් වඩා බර වස්තුව ඉක්මණින් පොළොවට වැටුණේ ය. ගැලිලියෝ විද්වතා මේ කඩඉම ජයගත්තේ ය. වස්තුවේ හැඩය, පැහැය ආදිය ඉවත්කිරීමෙන් පසු ඔහුට ඉතිරිවූයේ එහි බර (ස්කන්ධය) ය. ඔහු පෙන්වා දුන්නේ ඕනෑම වස්තුවක් පොළොව ආසන්නයේ දී පොළොව දිශාවට වූ යම් ත්වරණයකින් චලනයවන බවත් ඒ ත්වරණය වස්තුවෙහි පැහැය ආදියෙන් පමණක් නොව ස්කන්ධයෙන් ද ස්වායත්ත බව ය. පැහැය, ස්කන්ධය ආදිය ඉවත්කළ ද වස්තුව ගැන හැදෑරිය යුතු යමක් විය. එමෙන් ම වස්තු චලනය වූයේ එකම දිශාවට වූ නියත ත්වරණයකින් ය. මෙය ප්‍රවාදයක් නොව නිරීක්‍ෂණයක් හා එමගින් කරන ලද උද්ගමනයක් විය. ඕනෑම වස්තුවක් සම්බන්ධයෙන් ඉදිරිපත් කෙරුණු බැවින් ඒ වියුක්ත ප්‍රකාශයක් විය. එහෙත් මෙහි දී එක් කරුණක් අවධාරණය කළ යුතු ය. ගැලීලියෝ විද්වතා ඕනෑම වස්තුවක් ලෙස වියුක්තව ගත්තේ පංචේන්ද්‍රියන්ට හසුවන වස්තු ය. ආලෝක කිරණ කිසිම ස්වරුපයකින් ඔහුගේ අධ්‍යයනයට හසු නො වීය. එකල ආලෝකය සම්බන්ධයෙන් නිව්ටෝනීය ලවක අංශු (corpuscles), තරංග ප්‍රවාදය හෝ ෆෝටෝන හෝ නො වී ය. ගැලීලීය චලිතයෙහි මේ සීමාව තේරුම් ගත යුත්තේ ඉන් බටහිර භෞතික විද්‍යාව ක්‍රියාත්මකවන ආකාරය පිළිබඳව ද යම් හැඟීමක් ලබාදෙන බැවින් ය.

බටහිර භෞතික විද්‍යාව යම් නිරීක්‍ෂණයක් කරන්නේ, උද්ගමනයක් කරන්නේ හෝ ප්‍රවාදයක් නිර්මාණය කරන්නේ දෙන ලද යම් කුලකයක් සම්බන්ධයෙන් ය. ඒ කුලකයෙහි අවයව පරිමිත හෝ අපරිමිත හෝ සංඛ්‍යාවක් තිබෙනවා විය හැකි ය. එහෙත් බටහිර භෞතික විද්‍යාඥයෝ පළමුව තමන් සලකන්නේ කිනම් වස්තු හෝ අංශු හෝ වෙනත් යමකින් හෝ සමන්විත කුලකයක් ද යන්න ගැන අවබෝධයක් ලබා ගනිති. ඔවුහු ඉන්පසු ඒ කුලකයෙහි වස්තු සියල්ල නිරූපණය කරන ඕනෑම වස්තුවක් ගනිති. ඒ වස්තුව හැකිතාක් වියුක්ත කෙරෙයි. එනම් තම අධ්‍යයනයට සරිලන ආකාරයෙන් වස්තුවේ යම් යම් ගුණ ඉවත් කෙරෙයි. නිරීක්‍ෂණ උද්ගමනය කෙරෙන්නේ, ප්‍රවාද නිර්මාණය කෙරෙන්නේ එසේ තම අධ්‍යයනයට අනවශ්‍ය ගුණ ඉවත් කෙරුනු වස්තු සඳහා ය. සිත් පිත් පමණක් නොව ජීවයක් ද නොමැති බටහිර භෞතික විද්‍යාවේ එලෙස අනවශ්‍ය ගුණ ඉවත් කෙරුණු වියුක්ත වස්තු නිර්මාණය කළ හැකි ය.

එහෙත් බටහිර ජීව විද්‍යාවට හා පසුව බටහිර සමාජයීය විද්‍යාවට ඒ මට්ටමේ හාස්කමක් කිරීමට නො හැකි වී ඇත. බටහිර භෞතික විද්‍යාවේ ප්‍රමාණයට වියුක්ත සාධාරිත (generalized) සංකල්ප නිර්මාණය කිරීමේ හැකියාවක් බටහිර ජීව විද්‍යාවට නැත. බටහිර භෞතික විද්‍යාවේ වස්තුවක චලිතය අධ්‍යයනය කිරීමේ දී එහි ගඳ සුවඳ, පැහැය ආදිය අවශ්‍ය නො වෙයි. නිව්ටෝනීය චලිත සමීකරණ ලියැවෙන්නේ වියුක්ත අංශු හා දෘඪ වස්තු සඳහා ය. එසේත් නොමැති නම් වියුක්ත දෘඪ නොවන තරල (Fluids) සඳහා ය. එසේත් නැත්නම් වෙනත් ආකාරයක වියුක්ත වස්තු සඳහා ය. ඒ කිනම් අවස්ථාවක වුව ද දෘඪ වස්තුව දෘඪ නොවන වස්තුවකින් අඩුම තරමින් ෙසෙද්ධාන්තිකව වෙන්කර ගන්නේ කෙසේ දැයි බටහිර භෞතික විද්‍යාඥයෝ දනිති. දෘඪ වස්තුවක ඕනෑම ලක්‍ෂ්‍ය දෙකක් අතර දුර නියතයක් වෙයි. ඒ ඒ දුර කාලයත් සමග වෙනස් නො වෙයි. යමක් තවත් යමකින් වෙන්කරගැනීමක දී එවැනි නිශ්චිත අවශ්‍යතා ඉදිරිපත් කිරීමට බටහිර භෞතික විද්‍යාවට හැකි වී ඇත. වෙනත් වචනවලින් කියන්නේ නම් බටහිර භෞතික විද්‍යාවට වියුක්ත සංකල්ප අර්ථදැක්වීමේ දී මහත් අසීරුතාවන්ට මුහුණපෑමට නො සිදුවෙයි. එහෙත් ඉන් කියැවෙන්නේ ගණිතයේ පමණට ම වියුක්ත සංකල්ප අර්ථදැක්වීමේ හැකියාවක් බටහිර භෞතික විද්‍යාවට ඇති බව නො වෙයි. බටහිර භෞතික විද්‍යාවට, බටහිර ගණිතයට පමණට නැතිවුවත් යම් මට්ටමකින් වියුක්ත සංකල්ප අර්ථදැක්වීමේ හැකියාවක් ඇත. ක්වොන්ටම් භෞතික විද්‍යාවෙහි වියුක්තය බටහිර සම්භාව්‍ය භෞතික විද්‍යාවට වඩා ඉතා ඉහළ මට්ටමක ඇති බව පමණක් මෙහිදී සඳහන් කළ යුතු ය.