Main Logo

Friday 23 November 2012

අරාබියෙන් පකිස්තානයට යන බමුණු කුලය


පනස්හයේ මැතිවරණයෙන් පසු බමුණු කුලය බිඳ වැටීම ගැන මාර්ටින් වික්‍රමසිංහ මහතා ලීවේ ය. එය සිද්ධියට පසුව කරන ලද සටහනක් වුවත් ඒ මහතාට ඒ සඳහා දහසින් බැඳි පියලි ලැබිණි. වික්‍රමසිංහ මහතා බමුණු කුලයක් ගැන කතා කළේ දැනුම පදනම් කරගනිමින් නොව පාලක පිරිසක් යන අරුතිනි. එසේ වුවත් පැරණි දඹදිව හා භාරතයේ බමුණෝ රජවරුන්ගේ අනුශාසකයෝ වූහ. වික්‍රමසිංහ මහතා ඒ සංකල්පීය වෙනස ගෑන සිතා නැති බව පැහැදිලි ය. අද මෙරට උග්‍ර කුල භේදයක් වෙයි. එය පනස්හයේ ද පැවතිණි. එහෙත් එදා ඒ කුල භේදය ගැන එතරම් සංවේදී බවක් නො තිබෙන්නට ඇත. අද මෙරට සමාජයෙහි ඇති කුලභේදය පැරණි ලංකාවෙහි තිබූ ආකාරයෙන් ම රැකියාව මත පදනම් වෙයි. එහි දේශපාලකයෝ එක් කුලයකට අයත් වෙති. මහජන ඡන්දයෙන් පත්වුව ද ඔවුහු සමාජයෙහි ඉහළින් වැජඹෙති. රාජ්‍ය බලය ඇත්තේ ඔවුන්ට ය. බටහිර අධ්‍යාපනයක් ඉංගිරිසියෙන් හෝ සිංහලෙන් හෝ ලැබ සමාජයේ ඉහළ යැයි ගැනෙන වෘත්තීන්හි යෙදෙන්නෝ බමුණු කුලයට අයත් වෙති. ඉංගිරිසියෙන් කතාබස් කිරීමට, ලිවීමට හැකි අය එහි ඉහළින් ම වෙති. ඉහළ බමුණු කුලයට අයත් පිරිස අතර බටහිර වෛද්‍යවරු, බටහිර ඉංජිනේරුවෝ, විනිසුරුවන් ද ඇතුලු නීතිඥවරු, ඉගෙනීමෙන් ඉහළ රැකියාවලට පැනගත්තෝ, විශ්වවිද්‍යාල ආචාර්යවරු, වෘත්තීයකයෝ ආදීහු වෙති. ඔවුන්ගේ පොදු ලක්‍ෂණය නම් ඔවුන් පාසල් විශ්වවිද්‍යාල හෝ අනාකෘතික හෝ ඉහළ බටහිර අධ්‍යාපනයක් ලබා ඒ අනුව සිතන්නන් වීම ය. මොවුහු දේශපාලකයන්ට උපදෙස් දෙති. දේශපාලකයන් සමග සම්බන්ධකම් පවත්වති. බමුණු කුලයේ පහළ ශ්‍රේණියක් ද වෙයි. ඔවුහු ද බටහිර අධ්‍යාපනයක් ලැබ ඒ අනුව සිතන්නෝ වෙති. බොහෝ විට ඔවුන් අඩු තරමෙන් උසස් පෙළ දක්වා බටහිර අධ්‍යාපනයක් ලබා ඇත. එමෙන් ම ඒ අධ්‍යාපනය සිංහල මාධ්‍යයෙන් ලබා ඇත. බමුණු කුුලයේ පහළ ශ්‍රේණියේ අය ඉහළ භ්‍රේණියට ගරු කරති. කම්කරුවෝ, ගොවියෝ ආදීහු ඒ සියල්ලන්ට වඩා පහළ යැයි කිවහැකි කුලවලට අයත් වෙති. ඔවුන් බොහෝ විට එතරම් උසස් බටහිර අධ්‍යාපනයක් සිංහලෙන්වත් ලබා නැත. වත්මන් කුල භේදය ද කුල ක්‍රමයක් මත පදනම් වුවත් අද සමාජයේ කුල භේදය පැරණි සමාජයේ කුල භේදයට වඩා බෙහෙවින් උග්‍ර ය. එයට හේතුව සමාජය පුරා තම ආධිපත්‍යය පවත්වන බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ය. බටහිර විද්‍යාව ඇතුලු බටහිර අධ්‍යාපනයට මහේසාක්‍ය බවක් අත්කර දෙනු ලැබ ඇත්තේ අධිපතිවාදී බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය මගිනි. බටහිර අධ්‍යාපනයක් ලැබූ බමුණු කුලය සමාජයෙහි ආධිපත්‍යය දරන්නේත් අධිපතිවාදී සංස්කෘතිය හේතුවෙනි.

ඉහළ බමුණු කුලයේ ඇතැමෙක් බටහිර රටවල විශ්වවිද්‍යාල ඇදුරෝ වෙති. නැතහොත් බටහිර රටවල වෛද්‍යවරු ආදී වෘත්තිකයෝ වෙති. තවත් සමහරු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ තනතුරු දරන්නෝ වෙති. කෙසේ වෙතත් බමුණු කුලයේ ඉහළ ශ්‍රේණිය ගැන බමුණු කුලයේ පහළ ශ්‍රේණියේ ඇත්තන් අතර ඇත්තේ මහත් ගෞරවයකි. බමුණු කුලයේ ඉහළ ශ්‍රේණියට මෙන් ම පහළ ශ්‍රේණියට ද බටහිර දැනුම ගැන ඇත්තේ ආගමික භක්තියකි. බටහිර විද්‍යාව ඉගෙන තිබුණත් නැතත්, බටහිර ඊනියා විද්‍යාව මේ කොයි කාටත් ඉතා සම්භාවනීය ය. එ ජා පක්‍ෂය බමුුණු කුලයට, විශේෂයෙන් ම ඉහළ ශ්‍රේණීයට වඩා ආකර්ෂණීය වෙයි. එ ජා පක්‍ෂයට ව්‍යාපාරිකයන්ගේ ද ඉහළ ම ආධාරයක් සාධාරණ (පොදු අරුතෙන්) වශයෙන් ලැබෙයි. ව්‍යාපාරීිකයෝ වෙන ම කුලයකට අයත් වෙති. බමුණු කුලය ද ව්‍යාපාරික කුලය ද බොහෝ විට ඕල්කට් බෞද්ධයන්ගෙන් සමන්විත වෙයි. බමුණු කුලයේ ඇතැමෙක් විද්‍යාත්මක, හේතුවාදී, භෞතිකවාදී ආදී බෞද්ධයෝ වෙති. මේ බමුණු කුලය පනස්හයේ දී බිඳ නො වැටිණි. සිදු වී ඇත්තේ මේ බමුණු කුලය ඉතා ශක්තිමත් වීම ය. බමුණු කුලයට බොහෝ විට ජාතිකත්වයක් නැත. යම් ජාතිකත්වයක් ඇති අය වුව ද ඇතැම් විට පුනබ්භවය ප්‍රතික්‍ෂෙප කරති. බටහිර දැනුමෙන් උදම් වී ඇති ඔවුහු ඉන්ද්‍රිය ගෝචර දැනුමෙන් ඔබ්බට යෑමට අකමැති වෙති. ඒ ඒ පුද්ගලයන් අතර යම් යම් වෙනස්කම් තිබුණ ද බමුණු කුලය හඳුනාගැනීම අපහසු නො වේ. ශ්‍රී ල නි පක්‍ෂය මෙරට බමුණු කුලයට අයත් නොවූවන්ගේ පක්‍ෂය වෙයි. එහෙත් එහි ඇතැම් නායකයෝ බමුණු කුලයට අයත් වෙති. ඔවුන් සමහර දෙනකුට ජාතිකත්වයක් ද නැත. එසේ වුවත් පොදුවේ ගත්කල බමුණු කුලය, විශේෂයෙන් ම ඉහළ බමුණු කුලය ශ්‍රී ල නි පක්‍ෂයට විරුද්ධ වෙයි. ඉහළ බමුණු කුලය පොදුවේ එ ජා පක්‍ෂයට සහාය දෙන අතර පහළ බමුණු කුලය පොදුවේ ඊනියා වාමාංශික පක්‍ෂවලට සහාය දෙයි. බටහිර අධ්‍යාපනයෙන් නොමග නොගිය, එමෙන් ම බොහෝ විට නුගතුන් යැයි කියැවෙන, ජාතිකත්වයක් ඇති අයගෙන් බහුතරය බොහෝ විට පක්‍ෂයේ සාමාජිකයන් නොවූව ද ශ්‍රී ල නි පක්‍ෂයට සහාය දෙති. ශ්‍රී ල නි ප ජාතිකත්වයේ පක්‍ෂය වන්නේ එබැවින් මිස එහි නායකත්වය දරන්නන්ට පොදුවේ ගත්කල ජාතිකත්වයක් ඇති නිසා නො වේ. සිංහල ජාතිකත්වය දෙමළ ජාතිකත්වය මෙන් නොව පහළින් මෙයෙවන එකක් බැවින් ශ්‍රී ල නි පක්‍ෂයට ජතිකත්වයට පක්‍ෂපාති නොවී පැවැත්මක් නැත. බමුණු කුලය ලෙස උගත්තු පොදුවේ ගත්කල එක්කෝ එ ජා පක්‍ෂයට සහාය දෙති. එසේත් නැත්නම් ඊනියා වාමාංශික පක්‍ෂවලට සහාය දෙති. ශ්‍රී ල නි පක්‍ෂයට විශ්වවිද්‍යාලවල බලයක් ගොඩනගා ගැනීමට නොහැකි ප්‍රධාන කාරණය එය යැයි සිතමි. අදීන සිංහල සංස්කෘතියක් ගැන කතා කළ ද, මාර්ටින් වික්‍රමසිංහ මහතා වුව ද අයත් වූයේ බටහිර විද්‍යාව ඇතුලු දැනුම පමණක් නොව යටත්විජිතවාදී නම්බු නාම ද අගය කළ ඒ දැනුම් ආධිපත්‍යයට යට වූ බමුණු කුලයට ය. බමුණු කුලය ශ්‍රී ල නි පක්‍ෂය ප්‍රධාන ආණ්ඩුවලට පොදුවේ සහාය නො දෙයි. ශ්‍රී ල නි පක්‍ෂයට පාලනය ගෙන යෑමේ දී මහත් අසීරුකම්වලට මුහුණ පෑමට සිදුවන්නේ මේ හේතුවෙනි. ශ්‍රී ල නි ප ප්‍රමුඛ ආණ්ඩුවලට විරුද්ධව කුමන්ත්‍රණ ඇතිවන්නේ ද බමුණු කුලයෙනි. එ ජා පක්‍ෂය යටතේ සියළු නොපණත්කම් ඉවසන ඉහළ බමුණු කුලය ශ්‍රී ල නි පක්‍ෂයට යහපාලනය ගැන බයිලා කියයි. බමුණු කුලය බටහිර අධ්‍යාපනයක් ලැබූ අනුකාරක පුස්සන්ගෙන් සමන්විත වෙයි.

ඉහළ බමුණු කුලය පොදුවේ ගත්කල පහළ බමුණු කුලයට මෙන් ම කම්කරුවන් ගොවීන් ලිපිකරුවන් ආදීන්ට වඩා ඉහළින් සිටීමට උත්සාහ ගන්නා නමුත් ඉහළ බමුණු කුලයේ ඒ ඒ ශ්‍රේණි අතර ප්‍රශ්න ඇති වෙයි. පසුගිය දා ඇති වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති අරගලය පළමුව ඒ ඒ ශ්‍රේණි අතර ඉහළින් සිටීමට කරන ලද අරගලයක් විය. ඉහළ බමුණු කුලයේ අනෙක් ශ්‍රේණි පරයා වැටුප් ලබාගෙන සමාජ තත්වය රඳවා ගැනීම අරගලයේ පදනම විය. ඇදුරන් අරගල කළේ පඩිපත වැඩිකර ගැනීමේ අරමුණෙන් මිස නිස්සරණාධ්‍යාශයෙන් නො වේ. එහෙත් බටහිර අධ්‍යාපනයක් ලැබ එයට වන්දනාමාන කරන ඇදුරන් මෙහෙයවීම බටහිරයන්ට හා අනෙක් බටහිර ගැත්තන්ට අසීරු කරුණක් නො වේ. ඇදුරෝ උගතුන් විය හැකි වුව ද බුද්ධිමත්තු නො වෙති. ඉහළ බමුණු කුලය සමාජයේ උසස් තනතුරු දරන්නේ බටහිර අධ්‍යාපනයේ ආධිපත්‍යය හේතුකොටගෙන මිස වෙනත් දක්‍ෂතාවක් ඇති නිසා නො වේ. ඇදුරු සටන ආණ්ඩු විරෝධී අරගලයක් බවට පත්කෙරුණේ අරාබි වසන්තය සිහි කරමින් ඇතැම් ඇදුරියන් අධ්‍යයනික වසන්තයක් ගැන කතාකරමිනි. මුළු වැටුප හංගා මුලික වැටුප ගැන කතා කරමින් ඇදුරෝ වැටුප් වැඩිකිරීමට ඉල්ලා සිටියෝ ය. එසේ කළේ ෆෝරම්කාරයන්ට හා වෙනත් අයට අවශ්‍ය ආකාරයට වර්ජන රැල්ලක් ඇතිකර එමගින් ආණ්ඩුව අස්ථායී කිරීමට ය. එහෙත් ඔවුන්ට තම වැටුප් ඉල්ලීම යුක්තියුක්ත කිරීමට නො හැකි විය. ඉන්පසු ඔවුන් අල්ලා ගත්තේ අපකීර්තිමත් 6% ය. එය මුලින් ඉදිරිපත් වූයේ කවුරුන් අතින් වුව ද එය ජනතාව ඒකරාශී කරන ආණ්ඩු පෙරලීමේ සටන්පාඨයක් කරගත හැකි යැයි ඉහළ මෙන් ම පහළ බමුණු කුලවලට කා වැද්දිණි. සති අන්තයට එක් වී කෑම දිරවා ගැනීමට නිවේදන නිකුත් කරන සතිඅන්ත සංසද (වීක් එන්ඩ් ෆෝරම්) කරුවෝ ආදීහු තමන්ට මහජන මතය සකස් කළ හැකිය යන හැඟීමෙන් ඇදුරන්ට තල්ලුවක් දුන්හ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉහළ තනතුරක් දැරූ පමණින් හෝ විශ්වවිද්‍යාල උපකුලපතිකමක් දැරූ පමණින් හෝ ජාතිකත්වයක් ඇති මෙරට බහුතර මතය වෙනස්කළ නොහැකි බව පුස්සන් වූ මේ උද්ධච්චයෝ නො දනිති. විශ්වවිද්‍යාල දේශපාලනීකරණයකට අද විරුද්ධ වන මොවුහු තමන් ජනාධිපතිවරුන් ජනාධිපතිනියන් පසුපස ගොස් උපකුලපති තනතුරුවලට පත් වූ ආකාරය අමතක කරති. ඊනියා 6% පට්ටපල් බොරුවක් බව හා ඇදුරන්ගේ ඉල්ලීම් ව්‍යාජයක් බව හෙළි කිරීමට බමුණු කුලයට විරුද්ධ ගොවියා පුත් මහෞෂධවරුනට හැකි විය. මෙරට ඉතිහාසයේ පෙර ද සිදු වී ඇති ආකාරයට මහෞෂධවරුන් හමුවේ බමුණෝ පැරදුණ හ.

ඇදුරු වර්ජනය දවස් සියයක් ඇදී ගියේ ආණ්ඩුවේ වරදිනි. ආණ්ඩුව මුල සිට ම ශක්තිමත්ව ක්‍රියාත්මක වී නම් සති දෙක තුනක් ඇතුළත වර්ජනය අවසන් කිරීමට තිබිණි. බමුණු කුලයේ පහළ ශ්‍රේණියේ ඇතැමුනට අනුව එස් බී දිසානායක ඇමතිතුමා බේරාගනු ලැබුයේ බැසිල් රාජපක්‍ෂ මහතා විසිනි. මේ අසත්‍යයකි. ඉහළ බමුණු කුලයට පැනගැනීමට උත්සාහ කරන ආණ්ඩුවේ ඉහළ තනතුරක් දරන තවත් ඉහළ යෑම හැරෙන්නට වෙනත් කිසිම ධම්මයක් හෝ දිසාවක් හෝ නැති ඇදුරකු බැසිල් රාජපක්‍ෂ මහතා සමග එක්නොවන්නට වර්ජනය අවසන් වීමට තිබුණේ බොහෝ කලකට පෙර ය. බැසිල් රාජපක්‍ෂ මහතා එස් බී දිසානායක මහතාට ආධාර කළා නොව වර්ජනය දිග්ගැසීමට ආධාර කළ බව කණගාටුවෙන් වුව ද කිව යුතු ය. අවසානයේ දී සත පහකවත් පඩි වැඩි කිරීමක් නැතිව ඇදුරන්ට වර්ජනය අවසන් කිරීමට සිදුවූයේ ආණ්ඩුව වර්ජනය තේරුම් ගෙන දැඩි ස්ථාවරයක පිහිටි බැවිනි. එහෙත් ආණ්ඩුවේ ඇතැම් ප්‍රකාශවලින් ගම්‍යවන්නේ වැටුප් වැඩිකළ බවකි. සත පහකින් වුවත් ඇදුරු වැටුප් වැඩි කළේ නම් මා ආණ්ඩුවට විරුද්ධ වන බව මම ප්‍රසිද්ධියේ කීවෙමි. කෙසේ වුවත් සත පහකින්වත් වැටුප් වැඩි නොකිරීම ප්‍රසංශනීය වෙයි. බටහිරින් මෙරටට ආරෝපනය කෙරුණු අධ්‍යාපනය පුස්සකි. ඊනියා ඉහළ රැකියාවලට පුහුණු කිරීමක් හැරෙන්නට ජාතිකත්වයක් ඇති ගුණ ධර්මවලින් පිරුණු පුරවැසියෝ් එමගින් ඇති නො කෙරෙති. ජාතිකත්වයක් හා ගුණ ධර්ම සහිත අධ්‍යාපනයක්, අඩු තරමෙන් ඒ සඳහා වෙන ම ආයතනයක්, ඇතිකිරීමට ආණ්ඩුවට අනගි අවස්ථාවක් ලැබී ඇත. මේ පුස්සන් ලවා මෙරට දැනුම් කේන්ද්‍රයක් බවට පත්කිරීමට ආණ්ඩුව සිතන්නේ නම් ඒ රටේ අභාග්‍යයකි. බටහිර දැනුම මත පදනම් වූ කෘෂි රසායනය හේතුවෙන් අද වකුගඩු රෝගයෙන් දහස් ගණනක් මියගොස් ඇත. ඒ පිළිබඳ ආණ්ඩුව විවේචනය කරන පහළ බමුණු ශ්‍රෙණියේ කසිකබල් මාක්ස්වාදීන්ට බටහිර වෛද්‍ය විද්‍යාව, කාබනික කෘෂිකර්මය ද ඇතුලු බටහිර කෘෂිකර්මය හැරෙන්නට වෙනත් විකල්පයක් වේ ද? අපට නම් මෙරට පැරණි ක්‍රමයට නිෂ්පාදනය කරන පොහොර ද ප්‍රතිකර්ම ද ඇත. අපි ඒ සුලුවෙන් නමුත් කරගෙන යමු. ආණ්ඩුව හෝ ජාතිකත්වයක් ඇති දානපතියකු හෝ අපට එහි දී ආධාර කරන්නේ නම් කෘෂි රසායනය වෙනුවට අපේ ගොවිකමක් ද බටහිර වෛද්‍ය විද්‍යාව වෙනුවට අපේ සිංහල වෙදකමක් ද රටට ම හඳුන්වාදීමට අපට හැකි ය.

කෙසේ වෙතත් අද ඉහළ බමුණු කුලයේ තවත් ශ්‍රේණියක් වූ බටහිර වෛද්‍යවරු ඇදුරන්ට පඩි වැඩි කළේ නම් තමන්ට ද පඩි වැඩි කළ යුතු යැයි කියමින් වර්ජනාංගුලිය දික්කරති. ගුණ ධර්මයක් නැතිව ඉහළට යෑමට පුරුදු කෙරුණු බමුණු කුලයෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු විය හැකි නො වේ. ආණ්ඩුව එකහෙළා කිව යුත්තේ ඇදුරන්ට පඩි වැඩි නොකළ බවත් බටහිර වෛද්‍යවරුන් ද වර්ජනය කළත් ඔවුන්ට ද වැඩි පඩි නො ලැබෙන බවත් ය. නිදහස් අධ්‍යාපනයට මුදල් දෙන මෙරට ජනතාව නොවන්නට මේ බමුණු කුලය නොමැති බව බමුණන් තේරුම් ගත යුතු ය. ආණ්ඩුව බමුණන්ට ඉඩ දිය යුතු නො වේ. අද බමුණු කුලය උත්සාහ කරන්නේ විධායකය හා අධිකරණය අතර විරසකයක් ඇති කර පකිස්තානයේ ක්‍රමයට ආණ්ඩුව පෙරළීමට ය. බමුණු කුලය අරාබියෙන් පකිස්තානයට යෑමට සැරසෙන්නේ ඊනියා යහපාලනයක් ඇතිකිරීමට නොව බටහිරයන්ට අවශ්‍ය ආකාරයට ඔවුන්ට නොනැමුණු මේ ආණ්ඩුව පෙරළා දැමීමට ය. අධිකරණයට ගල්ගැසූවන් සමග කුප්‍රසිද්ධ ජනාධිපති සමා දුන් අය සමග බටහිර ක්‍රමයට වුවත් අධිකරණයේ ස්වාධීනත්වය රකින්නේ කෙසේ ද? අප අධිකරණ නියෝග පිළිගත යුතු ය. එහෙත් අධිකරණ නියෝග විවේචනය කිරීමට පරමාධිපත්‍යය ඇතැයි කියන මහජනයාට හැකි විය යුතු ය. අධිකරණ සේවා කොමිසමේ පත්වීම් ආදිය පමණක් නොව හැසිරීම් රටා ද පාරදෘශ්‍ය විය යුතු ය. මෙරට පහළ බමුණු කුලයේ ආධාරය ඇතිව ඉහළ බමුණු කුලය ලවා ආණ්ඩුව පෙරළීමට බටහිරයන් උත්සාහ ගන්නේ ඔවුන් මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ට අකමැති බැවිනි. රාජ්‍ය නොවන සංවිධාන ද එහි දී යොදා ගැනෙයි. ඒවාහි ද අඩුවැඩි වශයෙන් බමුණෝ ම වෙති.