Main Logo

Sunday, 18 November 2012

වියුක්තකරණය හා සාධාරණීකරණය

වියුක්ත සංකල්ප අර්ථදැක්වීම හා සාධාරණීකරණය භෞතික විද්‍යාවෙන් ඈතට යත්ම ක්‍රමයෙන් අසීරු වෙයි. සමාජයීය විද්‍යාවන්හි වියුක්තකරණය අර්බුදයක තත්ත්වයට මෝරයි. සිත් පිත් නැති භෞතික ලෝකයෙහි මෙන් නොව ජීව විද්‍යාවන්හි හා විශේෂයෙන් ම මිනිසුන් හා සම්බන්ධ සමාජයීය විද්‍යාවන්හි වියුක්ත සාධාරිත සංකල්පයක් අර්ථදැක්වීමෙහි දී ගැටළුවලට මුහුණපෑමට සිදුවෙයි. බටහිර භෞතික විද්‍යාවේ වියුක්ත සාධාරිත සංකල්ප හා ප්‍රවාද අනුගමනය කිරීමට බටහිර සමාජයීය විද්‍යාවන්හි ද උත්සාහ ගැනෙනු දැකිය හැකිවිය. සමාජයීය විද්‍යාවන් ඇරඹි මුල් කාලයේ දී ඒ ප්‍රයත්නය දැරිණි. කාල් මාක්ස් පඬිවරයා බටහිර භෞතික විද්‍යාවේ ආකෘතියෙන් කෙතරම් වශී වී සිටියේ ද කිවහොත් ඉතිහාසය පවා ඒ ආකෘතිය අනුව හැදෑරීමට ඔහුට අවශ්‍ය විය. බටහිර භෞතික විද්‍යාවේ ඇති අනාවැකි ඉතිහාසයේ ද කිරීමට ඔහු මැලි නො වී ය. ධනපති ක්‍රමයේ බිඳ වැටීම, සමාජවාදය හා කොමියුනිස්ට්වාදය බිහිවීම ගැන ඔහු අනාවැකි පළ කෙළේ ය. මේ අනාවැකි එකක්වත් ඉටුනොවීම ද පසුකලෙක බටහිර සමාජයීය විද්‍යාවන්හි කඩාවැටීමට හේතුවිය. බටහිර සමාජයීය විද්‍යාවන්ට අද සමාජය තේරුම් කර දිය හැකි ද යන්න ම ප්‍රශ්නයකි.


අපි බටහිර ජීව විද්‍යාවෙහි සංකල්ප සාධාරණීකරණය සලකා බලමු. බටහිර ජීව විද්‍යාවට ජීවියා හා ප්‍රාණියා අතර වෙනස නො තේරුණ ද, ලිංග භේදය යම් ප්‍රමාණයකට තේරෙයි. පිරිමි සතුන් හා ගැහැණු සතුන් අතර වෙනස හඳුනාගැනීමට බටහිර ජීව විද්‍යාව බොහෝ විට සමත්වෙයි. පිරිමි සතා යන්න පිළිබඳ වියුක්ත සංකල්පයක් ගොඩනගා ගැනීමට ද බටහිර ජීව විද්‍යාවට හැකි ය. ප්‍රජනනයේ දී ගැහැණු සතාගේ කාර්යය ආදිය පිළිබඳ ව බටහිර ජීව විද්‍යාවට මූලික වශයෙන් ගත්කල ගැටළු නැත. එහෙත් බටහිර භෞතික විද්‍යාව පසුපස යෑමට වලිකන බටහිර සමාජයීය විද්‍යාවන්ට ගැහැණුකම, පිරිමිකම සංකල්පගත කිරීමට නො හැකි ය. සාමාන්‍ය ගැහැණුකම නැත්නම් වියුක්ත ගැහැණුකම යනු කුමක්දැයි නිර්වචනය කිරීම බටහිර සමාජයීය විද්‍යාවන්ට නො හැකි ය. ගැහැණුකමට අයත්වන්නේ කිනම් ලක්‍ෂණ ද? ගස්නැගීම පිරිමිකම ප්‍රදර්ශනය කෙරෙන්නක් ද? ගැහැණු සාමාන්‍යයෙන් ප්‍රචණ්ඩත්වයට එරෙහි වන්නෝ ද? පිරිමින්ට ගැහැණුන්ට වඩා බුද්ධියක් වේ ද? ගැහැණු පිරිමින්ට වඩා සංයුක්තව සිතන්නෝ වෙත් ද? බටහිර ජීව විද්‍යාවේ සාමාන්‍ය ගැහැණිය යන්න වියුක්තව නිර්වචනය කළහැකිවුව ද, බටහිර සමාජයීය විද්‍යාවන්හි ගැහැණු කමෙන් හෙබි සාමාන්‍ය ගැහැණියක් යනු කවුද යන්නට පිළිතුරු සෙවීම කළුනික සෙවීමක් වෙයි. ජෛවීය ගැහැණිය හා පිරිමියා වෙන් වෙන් වශයෙන් හඳුනාගැනීමට සාමාන්‍යයෙන් හැකි වුව ද සමාජයීය වශයෙන් ගත්කල සාධාරණ (general) ගැහැණුකම (ගුණය) හඳුනා ගැනීමේ දී ප්‍රශ්න ඇතිවෙයි.


එහෙත් මෙයින් කියැවෙන්නේ සමාජයීය වශයෙන් සාධාරණ ගැහැණුකම යනුවෙන් ගුණයක් නොමැති බව ද? එසේත් නැතහොත් එයට වැඩි දෙයක් ඉන් කියැවෙන්නේ ද? මෙයින් කියැවෙන්නේ බටහිර විද්‍යා දැනුමෙහි සීමා ය. බටහිර සමාජයීය විද්‍යාවට අද ජාතිය යන්නට නිර්වචනයක් සැපයිය නො හැකි ය. ඊනියා ගෝලීයකරණය යටතේ ජාතිය යන්න දියවී ඇතැයි ඔවුහු කියති. එහෙත් ලෝක පාපන්දු කුසලාන සඳහා වූ තරගවලදී ඒ බවක් නො පෙණිනි. අනෙක් අතට ඇමරිකා එක්සත් ජනපද රාජ්‍යය හා ජාතිය (ජාතික රාජ්‍යය) දියවී යන බවක් නො පෙනෙයි. බටහිර භෞතික විද්‍යාවෙහි සිත් පිත් තබා ජීවයක්වත් නැති ද්‍රව්‍ය, විකිරණ අධ්‍යයනය කෙරෙයි. ගැලීලියෝ විද්වතා පෙන්වා දුන්නේ එහි දී නිරීක්‍ෂණ උද්ගමනය කළ හැකි බවත් වියුක්ත සංකල්ප නිර්මාණය කළ හැකි බවත් වියුක්ත ප්‍රවාද ගොඩනැගිය හැකි බවත් ය.


එහි ප්‍රතිඵලයක් ලෙස බටහිර ගණිතය ඉතා සාර්ථක ලෙස බටහිර භෞතික විද්‍යාවෙහි යොදාගත හැකි ය. බටහිර වියුක්ත ගණිතය යම් ක්‍ෂෙත්‍රයක සාර්ථකව යොදා ගැනීමට නම් ඒ ක්‍ෂෙත්‍රයෙහි වියුක්ත සංකල්ප තිබිය යුතු අතර වියුක්ත ප්‍රවාද ගොඩනැගීමෙහි හැකියාව ද තිබිය යුතු ය. බටහිර භෞතික විද්‍යාවෙහි ඒ අංග බොහෝ දුරට ඇති බැවින් එහි බටහිර ගණිතය යොදා ගැනීමේ හැකියාව පවතියි. එහෙත් බටහිර භෞතික විද්‍යාවෙන් ඈතට යත්ම ඒ ඒ ක්‍ෂෙත්‍රවල බටහිර ගණිතය යොදා ගැනීම ක්‍රමයෙන් අඩුවෙයි. රසායන විද්‍යාවෙහි භෞතීය රසායන විදාව හැරුණුවිට අනෙක් සෑම අංශයක ම පාහේ බටහිර ගණිතයට එතරම් වැදහත්කමක් හිමි නොවන්නේ ඒ විඳ්‍යාවෙහි වියුක්ත සාධාරණ ප්‍රවාද හා සංකල්ප නිර්මාණය කිරීමේ අසීරුතාවේ තීව්‍රතාව කියන්නාක් මෙන් ය.


බටහිර භෞතික විද්‍යාවෙහි සංඛ්‍යානාත්මක යාන්ත්‍රිකය (Statistical Mechanics) යනුවෙන් අංශයක් වෙයි. මෙහි දී පරමාණු අණු ලක්‍ෂ සංඛ්‍යාත ප්‍රමාණයකින් සැදි පද්ධති අධ්‍යයනය කෙරෙයි. ඒ එක් එක් අංශුවක් වෙන වෙනම ගෙන අධ්‍යයනය කිරීමට නොහැකි බැවින් එහි දී පද්ධතිය සැලකෙයි. එහෙත් මෙහි දී කිවයුත්තක් නම් එහි පද්ධතිය ලෙස සැලකෙන්නේ අංශු රාශියක එකතුවක් මිස වචනයේ පරිසමාප්තාර්ථයෙන් පද්ධතියක් නොවන බව ය.බටහිර විද්‍යාවට හා දැනුමට එසේ සමස්තයක් එකතුවක් ලෙස නොගෙන අධ්‍යයනය කිරීමට සංකල්ප නොමැත. අනෙක් අතට බටහිර විද්‍යාවෙහි පද්ධතියක් කුඩා කොටස්වලට කඩා විශ්ලේෂණය පමණක් අවධාරණය කෙරෙයි. කෙසේ වුවත් අපි මේ අංශු එකතුවට සීමිත අර්ථයකින් වුව ද පද්ධතියක් යැයි කියමු. මේ පද්ධතිය සැලකීමේ දී බටහිර භෞතික විද්‍යාවට සංඛ්‍යානයෙහි සංකල්ප යොදා ගැනීමට සිදුවෙයි. එහෙත් පද්ධතියෙහි ඕනෑම අංශුවක් මත ක්‍රියාකරන බල වෙනත් අංශුවක් මත ක්‍රියාකරන බලවලින් වෙනස් නොවන බව ද එක් අංශුවක් වෙනත් අංශුවකින් වෙනස් නොවන බව ද බටහිර භෞතික විද්‍යාව දනියි. එසේ වුව ද සංඛ්‍යානාත්මක යාන්ත්‍රිකයට වැදගත් වූ තාපගතිකය නිව්ටෝනීය යාන්ත්‍රිකයට ඌනනය නොකළ හැකි බව ද බටහිර භෞතික විද්‍යාඥයෝ දනිති.


බටහිර ජීව විද්‍යාවෙහි මෙන් ම බටහිර සමාජයීය විද්‍යාවන්හි දී ද සංඛ්‍යානාත්මක ක්‍රම භාවිතාවන්නේ වෙනත් ආකාරයකට ය. බොහෝවිට එහි දී විචල්‍ය දෙකක් අතර සහසම්බන්ධයක් (correlation) තිබේදැයි සෙවීමට සංඛ්‍යානාත්මක ක්‍රම භාව්ිතා කෙරෙයි. තරබාරු සත්තු වැඩිකල් ජීවත්වෙති වැනි නිගමනයකට එළඹීමට හෝ නොඑළඹීමට හෝ සත්ත්ව විද්‍යාඥයා සතුන්ගේ තරබාරුකම හා මියයනවිට වයස ලකුණු කර ගන්නේ යැයි සිතමු. දැන් ඒ විද්‍යාඥයාට තරබාරුකම හා වයස අතර සහසම්බන්ධයක් ඇත්නම් එය සංඛ්‍යානාත්මක ක්‍රම භාවිතයෙන් දැනගත හැකි ය. මෙහි දී කෙරෙන්නේ උද්ගමනයක් ය. තරබාරු සතුන් කිහිප දෙනකු වැඩිකාලයක් ජීවත් වී ඇත්නම් විද්‍යාඥයට ඒ දැනුම සියළු සතුන් සම්බන්ධයෙන් වලංගු වේදැයි අධ්‍යයනයකිරීමට අවශ්‍ය වෙයි. එහෙත් සියළු සතුන් සඳහා එවැනි අධ්‍යයනයක් කළ නො හැකි ය.


අනෙක් අතට බටහිර භෞතික විද්‍යාවේ සාමාන්‍යයෙන් නොවන දෙයක් ද මෙහි දී සිදුවෙයි. ගැලීලියෝ විද්වතා විසින් කරන ලදැයි කියන පර්යේෂණයට අනුව සියළු වස්තු පොළොව ආසන්නයේ දී එකම ත්වරණයකින් පොළොව දිශාවට චලනය වෙයි. එහි දී දැනට කර ඇති එවැනි පර්යේෂණවල දී සියළු වස්තු එලෙස එකම ත්වරණයකින් පොළොවට වැටෙන බව පෙනී ගොස් ඇත. එහෙත් ජීව විද්‍යාඥයාගේ අධ්‍යයනයෙහි දී ඇතැම් තරබාරු සතුන් අඩුකාලයක දී මියයන බව දැනගැනීමට ලැබීමට ඉඩක් ඇත. සියළු සතුන් ගැන කෙරෙන පර්යේෂණයකින් හෝ අධ්‍යයනයකින් හෝ තොරව සියළු තරබාරු සත්තු වැඩි කාලයක් ජීවත්වෙති යන නිගමනයට එළඹීමට නොහැකි බව බටහිර ජීව විද්‍යාඥයා දැනගනියි. තරබාරු සතුන් ගැන එවැනි සාධාරණ නිගමනයකට එළඹීමට නොහැකි බව තේරුම් ගැනීමෙන් පසුව බටහිර ජීව විි්‍යාඥයා කරන්නේ සතුන්ගෙන් වැඩි ප්‍රමාණයකට ඒ නිගමනය වලංගු වන්නේ දැයි සොයාබැලීම ය. බටහිර වෛද්‍ය විද්‍යාවෙහි හා බටහිර සමාජයීය විද්‍යාවන්හි මෙලෙස සංඛ්‍යානාත්මක ක්‍රම භාවිතයට ගැනෙයි. ඕනැම ත්‍රිකෝණයක කෝණ තුනෙහි ඓක්‍යය සෘජු කෝණ දෙකක් වේය හෝ ඕනෑම වස්තුවක් පොළොව ආසන්නයේ දී එකම ත්වරණයකින් ඇද වැටෙයි ආදී ප්‍රකාශ බටහිර සමාජයීය විද්‍යාවන්හි කිරීමට නො හැක්කේ සාධාරණිකරණයෙහි දී (උද්ගමනයෙහි දී) ඇතිවන ගැටළු හේතුකොට ගෙන ය.


බටහිර විද්‍යාවේ ඇතැයි කියන ඊනියා පර්යේෂණාත්මක ක්‍රමය පිළිබඳ ව මෙහි වැඩි දුර යමක් සඳහන්කළ යුතු නොවන්නේ පෝල් ෆෙයරාබන්ඩ් විද්වතා තම විධික්‍රමයට එරෙහිව හා වෙනත් කෘති මගින් ඒ බොරුව හෙළිදරවු කර ඇති බැවිනි. එමෙන් ම තොමස් කුන් පඬිවරයා පෙන්වා දී ඇත්තේ බටහිර විද්‍යාවෙහි සාමාන්‍ය කාලවල දී
බටහිර විද්‍යාඥයන් කරන්නේ එවකට සම්මත වී ඇති ප්‍රවාදයක් තහවුරුකිරීම සඳහා කටයුතුකිරීම මිස කාල් පොපර් විද්වතා පෙන්වා දී ඇති අයුරින් ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමට උත්සාහකිරීමක් නොවන බව ය. කුන් විද්වතාට අනුව බටහිර විද්‍යාවේ විප්ලවකාරී යැයි කිවහැකි අවස්ථාවල දී එහි සුසමාදර්ශී වෙනසක් (paradigm shift) සිදුවෙයි. ඔහුට අනුව යම් කාලයක දී බටහිර විද්‍යාවෙහි ප්‍රවාද නිර්මාණයවන්නේ යම් සුසමාදර්ශයක ය. එහෙත් මේ සුසමාදර්ශ ඉඳහිට වෙනස්වෙයි. අයින්ස්ටයින් විද්වතා එවැනි සුසමාදර්ශ වෙනසක් සිදුකෙළේ ය. ඔහු නිව්ටෝනීය සුසමාදර්ශය වෙනුවට අයින්ස්ටයිනීය සුසමාදර්ශය ඉදිරිපත්කෙළේ ය. ඉන් පසු කාලය හා අවකාශය පිළිබඳ බටහිර භෞතික විද්‍යාවේ අදහස් වෙනස් විය.


බටහිර විද්‍යාවේ එවැනි සුසමාදර්ශී වෙනසක් වන විට එය බටහිර අනෙක් ක්‍ෂෙත්‍රවලට ද බලපායි. පහළොස්වැනි සියවසේ පමණ සිට බටහිර භෞතික විද්‍යාවේ සුසමාදර්ශය නිව්ටෝනීය සුසමාදර්ශය විය. ගැලීලියෝ විද්වතාගේ කාලයේදීත් මේ සුසමාදර්ශය තිබූ නමුත් සාමාන්‍යයෙන් එය නිව්ටෝනීය සුසමාදර්ශය ලෙස හැඳින්වෙයි. නිව්ටෝනීය සුසමාදර්ශය ක්‍රියාත්මක වූයේ බටහිර භෞතික විද්‍යාවේ පමණක් නොවේ. මුළු මහත් බටහිර දැනුමෙහි ම එකල ක්‍රියාත්මක වූයේ නිව්ටෝනීය සුසමාදර්ශය ය. අයින්සටයින් විද්වතාට පළමුව ද බටහිර විද්‍යාවෙහි හා ඒ ආශ්‍රිතව අනෙක් ක්‍ෂෙත්‍රවල ද සුසමාදර්ශී වෙනසක් සිදුවිය. ඒ තාපගතික (Thermodynamic) සුසමාදර්ශය සම්බන්ධයෙන් විය. තාපගතිකය නිව්ටෝනීය යාන්ත්‍රිකයට ඌනනයකරගත නො හැකි විය. ඉන්පසු ඇති වූ සුසමාදර්ශය වූයේ අයින්ස්ටයිනීය සුසමාදර්ශය ය. කලින් සඳහන්කළ ආකාරයෙන් ඒ සුසමාදර්ශය ද අනෙක් ක්‍ෂෙත්‍රවලට ද බලපෑවේ ය. පිකාසෝ චිත්‍ර ශිල්පියාගේ චිත්‍රවල අවකාශය අයින්ස්ටයිනීය සුසමාදර්ශයෙන් ගලා එයි. අයින්ස්ටයිනීය සුසමාදර්ශයෙහි මගේ අවකාශය තවත් කෙනකුගේ අවකාශයෙන් වෙනස් වෙයි. මගේ අවකාශයෙන් කොටසක් තවත් අයකුගේ කාලයෙන් කොටසක් විය හැකි ය. සිද්ධි (events) දෙකක් අතර මා මනින දුර වෙනත් අයකු මනින දුරට වඩා වෙනස් විය හැකි ය. පිකාසෝගේ චිත්‍රවල ද මේ ලක්‍ෂණය දැකිය හැකි ය. පිකාසෝ ශෛලියෙහි මිනිසකුගේ හෝ ගැහැණියකගේ හෝ චිත්‍රයක් ඇඳීමේ දී සාමාන්‍යයෙන් දක්වන ක්‍රමයට, එනම් නිව්ටෝනීය සුසමාදර්ශයෙහි ආකාරයට, නහයට පහළින් කට ආදී වශයෙන් තිබිය යුතු නො වේ. එහි දී නහය ඇතැම්විට සිරසෙහි තිබිය හැකි ය. ඒ ඒ නිරීක්‍ෂකයා අවකාශය ග්‍රහණය කරගන්නේ ඒ ඒ ආකාරයට ය.


පිකාසෝ චිත්‍ර පැහැදිලිව ම අයින්ස්ටයිනීය සුසමාදර්ශයෙහි නිර්මාණය වූ චිත්‍ර ය. එක්තරා ආකාරයකින් ගතහොත් නිව්ටෝනීය සුසමාදර්ශයෙහි ඇති දෘඪබව එහි
නැත. බටහිර නාට්‍ය කලාවෙහි ද අනෙක් ක්‍ෂෙත්‍රවල ද මේ වෙනස දැකගත හැකි ය. අපේ ශාන්තිකර්ම හා ශෛලිගත යැයි කියැවෙන නාට්‍ය නිව්ටෝනීය සුසමාදර්ශයක බිහි වූ නාට්‍ය නො වෙයි. ඒ අයින්ස්ටයිනීය සුසමාදර්ශයට ද අයත් නො වේ. ඒ අයත්වන්නේ වෙනම ම චින්තනයකට ය. එහෙත් මේ අපේ නාට්‍ය ගැන විස්තරයක්කිරතමට අවස්ථාව නො වෙයි. මෙහි දී මට අවශ්‍යවන්නේ සුසමාදර්ශී වෙනස්කම්වලට ද වඩා ගැඹුරු චින්තන වෙනස්කම් ඇති බව කීමට පමණ ය.