Main Logo

Wednesday 16 October 2013

අමරතුංග නියෝජනය කරන බලාධිකාරය


සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය ඩී එස් සී උපාධිධාරී එන් ඒ ද එස්. අමරතුංග හෙවත් අශෝක අමරතුංග මහතා  විසින් පසුගිය සතියේ විදුසර පුවත්පතට නවීන විද්‍යාව බොරුවක් ද යන මැයෙන් ලියන ලද ලිපියට පිළිතුරු දීමට ඉදිරි ලිපි කිහිපය වෙන් කෙරෙනු ඇත. ඒ මහතාගේ ලිපිය මගේ අදහස් අරභයා කරන ලද විවේචනයකි. අමරතුංග මහතා එම ලිපියෙහි මගේ නම සඳහන් නොවන බවත් තොප්පිය හරියන්නේ නම් ඒ දාගත්තාට වරදක් නැති බවත් කීමට ඉඩ ඇත. තොප්පි මෙන් ම අනෙක් අයගේ තොප්පි දමන්නවුන් ද හඳුනාගැනීමට මට හැකි ය. ඒ කුමක් වුවත් මේ වන විට බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් බව ප්‍රසිද්ධියේ කියන්නේ මා පමණ ය. එසේ ම මම දැනුම් නිර්මාණය සංස්කෘතියට සාපෙක්‍ෂ බව ද කියමි. (අමරතුංග මහතා මේ අදහස නිවැරදිව තේරුම් ගෙන නැත. ඒ බව පසුව පැහැදිලි කරමි.) අමරතුංග මහතා විසින් විවේචනය කෙරෙන්නේ මගේ අදහස් වුව ද ඒ බව සෘජුව කීමට තරම් එඩිතර බවක් ඒ මහතාට නොවීම ගැන කණගාටු වෙමි.  කෙසේ වෙතත් අමරතුංග මහතා කර ඇත්තේ සේවයකි. දැනුම පිළිබඳ මා දරණ අදහස් විදුසර පාඨකයන්ට පැවසීමට ඒ මහතා මට අවස්ථාවක් සපයා ඇත. 

අද අප පාලනය කෙරෙන්නේ බටහිර දැනුම යොදා ගනිමිනි. බටහිර දැනුම මෙරට පමණක් නොව ලෝකයේ සෑම රටක ම ආධිපත්‍යය දරයි. දැනුම පිළිබඳ ප්‍රශ්නය එක් අතකින් ගත්කල දේශපාලන ප්‍රශ්නයකි. අමරතුංග මහතා තමා මාහාචාර්යවරයකු බව ද ඩී එස් සී උපාධිධාරියකු බව ද තම ලිපියෙහි සඳහන් කර ඇත. ඩී එස් සී යනු ඇතැම් විට විද්‍යා චක්‍රවර්ති නමින් හැඳින්වෙන උසස් ආචාර්ය උපාධියකි. අමරතුංග මහතා දන්ත වෛද්‍යවිද්‍යාවට එක්කරන ලදැයි කියන දැනුම සැලකිල්ලට ගෙන පේරාදෙණිය විශ්වවිද්‍යාලය මගින් ඒ මහතාට ඩී එස් සී උපාධිය පිරිනැමී ඇත. මට ඒ බව කීවේ අමරතුංග මහතාගේ ගෞරවයට පාත්‍ර වී සිටින ගුණදාස අමරසේකර මහතා ය. එහෙත් අමරතුංග මහතාට මා දන්නා තරමින් බටහිර විද්‍යාවේ ඉහළම ආයතනය ලෙස සැලකෙන ලන්ඩන් රාජකීය සංගමයෙහි අධිසාමාජිකත්වයක් ලැබී නැත. ඔහු බටහිර දන්ත වෛද්‍යවිද්‍යාවට එකතු කර ඇති ප්‍රවාදයක් හෝ සංකල්පයක් හෝ වේ ද? 

මා අමරතුංග මහතා ගැන දන්නේ ප්‍රායෝගික බටහිර දන්ත වෛද්‍යවිද්‍යාවට සම්බන්ධ ය. ප්‍රායෝගික විද්‍යාවක් සම්බන්ධයෙන් වුව ද ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් ලබා ඇත්තේ එකම එක ලාංකිකයකු පමණ ය. ඔහු දැනට මා දන්නා තරමින් හොංකොං විශ්වවිද්‍යාලයෙහි සේවය කරයි. ෙසෙද්ධාන්තික ක්‍ෂෙත්‍රයකින් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයක් ලැබු එකදු ලාංකිකයකු නැත. මම අඩුම තරමින් මහාචාර්යවරයකුවත් නො වෙමි. සේවාර්ජිත මහාචාර්ය ධුරයක් ලැබීමට මට සුදුසුකම් නැත. මට ඇත්තේ බටහිර විශ්වවිද්‍යාලයකින් ලැබුණු ආචාර්ය උපාධියක් පමණකි. එය ද මා ඉල්ලා සිටි එකක් නො වේ. මගේ ගුරුවරයා මට ආචාර්ය උපාධියක් ලබා දීමට කටයුතු කළ බව පමණක් දැනට සඳහන් කරමි. මේ සියල්ල මා සඳහන් කරන්නේ දැනුම පිළිබඳ ආධිපත්‍යයට ඒ වැදගත් බැවිනි. 

අමරතුංග මහතා තමාට ඩී එස් සී උපාධියක් ඇති බවත් තමන් මහාචාර්යවරයකු බවත් සඳහන් කරන්නේ තමන් කියන දෙයට ඒ මගින් පිළිගැනීමක් ලබා ගැනීමට ය. අද මෙරට සමාජයෙහි දැනුම පිළිබඳ ආධිපත්‍යය දරන්නෝ මහාචාර්යවරු ය, ආචාර්ය උපාධිධාරීහු ය. උසස් ආචාර්ය උපාධිධාරීහු ය. මේ තනතුරු හා උපාධිවලින් කියැවෙන්නේ තමන් බටහිර දැනුමෙහි කිනම් තරාතිරමක උරුමක්කාරයන් ද පොල්මඃකාරයන් ද යන්න ය. සහතික පත්‍ර මගින් ලබාගන්නා ආධිපත්‍යය සාමාන්‍ය ජනයා මත පැටවීමට මේ ආචාර්ය මහාචාර්යවරු කටයුතු කරති. අමරතුංග මහතාට ඩී එස් සී උපාධියක් ඇති බව මා දැනගත්තේ පසුගිය සතියේ පළ වූ ලිපිය මගිනි. එහෙත් නිරවුල් ව අදහසක් ප්‍රකාශ කිරීමට නොහැකි අයට ද විවිධ ආචාර්ය උපාධි ලැබෙන බව නම් මම අවුරුදු පනහක පමණ කාලයක සිට, එනම් මා විශ්වවිද්‍යාලයට ඇතුල් වූ සමයේ සිට දනිමි. 

අමරතුංග මහතා ෆෙයරාබන්ඩ් හා කුන් නිරවුල් ව තේරුම්ගෙන නොමැති බව පැහැදිලි ය. මේ දෙදෙනාම පශ්චාත්නූතනවාදීන් (අමරතුංග මහතා යොදාගන්නා නව්‍යවාදය යන්න වෙනුවට නූතනවාදය යන්න යොදා ගනිමි) වන්නේ කිනම් අර්ථයකින් ද යන්න අමරතුංග මහතා පැහැදිලි නො කරයි. අමරතුංග මහතාට අවශ්‍ය පශ්චාත්නූතනවාදය ගර්හිත දැනුමක් සේ සලකා ඉවත දැමීමට ය. තම මිත්‍ර තවත් දන්ත වෛද්‍යවරයකු වූ  ගුණදාස අමරසේකර මහතා පශ්චාත්නූතනවාදය ගැන කරන හැදෑරීමකින් තොරව එය කුණුහරුපයක් ලෙස ප්‍රතික්‍ෂෙප කරන අයුරෙන් අමරතුංග මහතා ද පශ්චාත්නූතනවාදය බැහැර කරයි. ඔහු තම ලිපිවලින් අනියමාර්ථයෙන් කියන්නේ මා ද පශ්චාත්නූතනවාදියකු බව ය. එහෙත් මම පශ්චාත්නූතනවාදය යනු නූතනත්වය විසින් ම බිහිකෙරී ඇති දැනුම් පද්ධතියක් ලෙස සලකමි. මා කූන්ගෙන් හා ෆෙයරාබන්ඩ්ගෙන් ආභාසය ලබා ඇත. ඒ පිළිබඳ මට කිසිදු ගැටළුවක් නැත.

එහෙත් මා වඩාත්ම ආභාසය ලැබුයේ පූජ්‍ය කටුකුරුන්දේ ඤාණානන්ද හිමියන්ගේ සංකල්පය හා යථාර්ථය (concept and reality) යන කෘතියෙන් හා ෂෙබාර්ට්ස්කිගේ බෞද්ධ න්‍යාය (Buddhist Logic) නම් කෘතියෙනි. ඒ හැරෙන්නට නාගර්ජුනපාදයන්ගේ සාපේක්‍ෂතාවාදය වෙන කිසිවකටත් වඩා මට බලපා ඇත. මම මාධ්‍යමිකතාවාදියෙක් නො වෙමි. මම ශූන්‍යතාවාදය නො පිළිගනිමි. ශූන්‍යත්වය යන්න වැරදි සංකල්පයක් යන්න මගේ වැටහීම ය. එමෙන් ම නාගර්ජනපාදයන්ගේ සාපේක්‍ෂතාවාදය වුව ද මා පිළිගන්නේ යම් සීමාවන් තුළ ය. නිවන සසරට සාපේක්‍ෂ වන්නේ සීමාවක් තුළ ය. නිවන යනු සසරෙන් එතරවීම ලෙස සලකතොත් නිවන සසරට සාපේක්‍ෂ ය. ඒ අප වැනි පෘථග්ජනයන්ගේ දැනුමෙන් ය. 

එහෙත් වඩාත් මූලික අර්ථයකින ගතහොත් නිවන සසරට සාපේක්‍ෂ නො වේ. අප වැනි පෘථගජ්නයන් නිවන සසරෙන් එතර වීම ලෙස ගන්නා විට නිවන සසරට සාපේක්‍ෂ වෙයි. අපි එහි දී නිවන සංකල්පයක් ලෙස සලකමු. සංසාරය නිෂේධ වීම නිවන ලෙස අපි ගනිමු.  එහෙත් නිවන් අවබෝධයත් සමග නිවන සසරට සාපේක්‍ෂ වීම නැති වේය යනු මගේ විශ්වාසය ය. නිවන් අවබෝධ කර නොමැති මට එය විශ්වාසයක් පමණකි. නිවන සංකල්පයක් නො වේ. එය සංකල්පයක් ලෙස ගන්නා තැනැත්තා නිවන් අවබෝධ කරගෙන නැත. මගේ සාපේක්‍ෂතාවාදය නාගර්ජුනපාදයන්ගේ සාපේක්‍ෂතාවාදයෙන් මෙන් ම පශ්චාත්නූතනවාදීන්ගේ සාපේක්‍ෂතාවාදයෙන් ද වෙනස් වෙයි. මා විසින් අළුතෙන් තේරුමක් ඇති දෙයක් (ඊනියා සත්‍යයක්) කියා නැතැයි ප්‍රකාශ කරන කාලෝ ෆොන්සේකා මහතා ඇතුළු මෙරට උගත්තු මේ කිසිවක් නො පිළිගනිති. අමරතුංග මහතාට ද අනුව මා කරන්නේ කූන් හා ෆෙයරාබන්ඩ් යන පශ්චාත්නූතනවාදීන්ගේ අදහස් පුනරුච්චාරණය කිරීම ය.

කුන් කිසි ලෙසකින්වත් පශ්චාත්නූතනවාදියකු යැයි සම්මත බටහිර පශ්චාත්නූතනවාදීහු නො පිළිගනිති. ඔහු තම අදහස් ඉදිරිපත් කළේ මූලික වශයෙන් ම බටහිර විද්‍යාවේ දාර්ශනිකයකු වූ කාල් පොපර්ගේ අදහස්වලට විරුද්ධව ය. කාල් පොපර් බටහිර විද්‍යාවේ දර්ශනයෙහි අන්තිම වාක්‍යය කියා ඇතැයි දර්ශනය ගැන උනන්දුවක් දක්වන බටහිර විද්‍යාඥයන්ගෙන් ඇතැමෙක් සිතති. පීටර් මෙඩෝවර් නම් බටහිර ජීව විද්‍යාඥයා ඔවුන් අතර ප්‍රධාන හා ප්‍රසිද්ධ තැනැත්තෙක් වෙයි. ඔහු බටහිර විද්‍යාවේ පොල්මඃකාරයකු ද වන්නේ නොබෙල් ත්‍යාග ලාභියකු ද වන බැවිනි. එබැවින් ඔහුට බටහිර විද්‍යාවේ ආධිපත්‍යයක් ද ඇත. එබැවින් කාල් පොපර් මෙඩෝවර්ගෙන් ලබන සහතිකය කාලෝ ෆොන්සේකා මහතා වැන්නන්ට ද වැදගත් ය.

කාල් පොපර් එතෙක් පැවති බටහිර විද්‍යාවේ දර්ශනය වෙනුවට වෙනත් ප්‍රවාදයක් ඉදිරිපත් කළේ ය. (කතන්දරයක් ගෙතුවේ ය). කාල් පොපර් බටහිර විද්‍යාවේ ආධිපත්‍යය තහවුරු කිරීමට කතන්දරයක් කීවේ ය. ඒ කතන්දරය අසා සිටින බටහිර විද්‍යාඥයෝ සුව නින්දකට වැටෙති. ඔහුගේ කතාවට අනුව බටහිර විද්‍යා දැනුම අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙන් කළ හැකි ය. ඔහුට අනුව අනෙක් දැනුම් පද්ධතීන් මිථ්‍යා වෙයි. ආධානග්‍රාහී වෙයි. බටහිර විද්‍යාව ඒ ආධානග්‍රාහී දැනුම් පද්ධතීන් මෙන් නොව ඔහුගේ නව සංකල්පයට අනුව අසසත්‍යකරණයට (ෆඅලසඉෆඉචඅටඉඔන) ලක්කළ හැකි වෙයි.  පොපර්ට අනුව බටහිර විද්‍යාව වර්ධනය වන්නේ තිබෙන ප්‍රවාද අසත්‍යකරණයට ලක් කිරීමෙනි. ඔහුට අනුව බටහිර විද්‍යාඥයෝ ප්‍රවාද අසත්‍යකරණයට ලක්කරති. ඔවුන්ගේ පර්යේෂණ ආදිය කෙරෙන්නේ තිබෙන ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමට යැයි පොපර් කීවේ ය.    

ඒ අනුව බටහිර විද්‍යාවට අනෙක් දැනුම් පද්ධතීන්ට නැති තත්ත්වයක් පොපර් විසින් ලබාදෙන ලදී. ඔහුට අනුව අනෙක් දැනුම් පද්ධතීන් ආධානග්‍රාහීව පවත්නා දැනුමෙහි එල්බගෙන සිිටිද්දී බටහිර විද්‍යාව අසත්‍යකරණයට ලක්කීරීමෙන් වර්ධනය වෙයි. පොපර්ගේ නිර්ණායකයට අනුව යම් දැනුමක් අසත්‍යකරණයට ලක්කළ හැකි නම් පමණක් එය බටහිර විද්‍යාවට අයත් වෙයි. අසත්‍යකරණයට ලක්කළ නොහැකි දැනුම් ඊනියා විද්‍යාව නොවේ යැයි පොපර් කියා සිටියේ ය. පොපර් එතෙක් පැවති විද්‍යාත්මක විධික්‍රමය වෙනුවට වෙනත් නිර්ණායක ඊනියා විද්‍යාත්මක විධික්‍රමය ලෙස ඉදිරිපත් කළේ ය. 

බටහිර විද්‍යාව ක්‍රමයෙන් ඊනියා සත්‍යයට ලඟාවන්නේ ය යන මතය පොපර්ගේ අසත්‍යකරණය මගින් ප්‍රතික්‍ෂෙප නො විණි. සිදුවූයේ බටහිර විද්‍යාවට එතෙක් නොතිබූ තත්ත්වයක් අත්වීම ය. එමගින් බටහිර විද්‍යාව ලොවේ අධිපති දැනුම බවට පිළිගැනීමට බල කෙරිණි. ඕස්ට්‍රියාවේ උපන් පොපර් බටහිර යටත්විජිතවාදය දැනුම ඔස්සේ තහවුරු කිරීමට පියවර ගත්තේ ය. කූන් විසින් අභියෝගයට ලක්කෙරුණේ පොපර් ගේ අදහස් ය. කූන් යටත්විජිතවාදයට එරෙහි වී යැයි මෙයින් නො කියැවෙයි. ඔහුට අවශ්‍ය වූයේ බටහිර විද්‍යාව වර්ධනය වන ආකාරය තේරුම් ගැනීමට ය. එමගින් එක්තරා අයුරකින් ගත්කල කූන් ද බටහිර විද්‍යාවට ආවේණික වූ විධික්‍රමයක් ඇතැයි පිලිගත්තේ ය. 

කූන් කියා සිටියේ බටහිර විද්‍යාව වර්ධනය වන්නේ එහි ප්‍රවාද අසත්‍යකරණයට ලක්කිරීමෙන් නොවන බව ය. ඔහුට අනුව බටහිර විද්‍යාඥයන් විද්‍යාවේ සාමාන්‍ය කාල යැයි ඔහු විසින් හඳුන්වනු ලැබූ යුගවල දී  කළේ පවත්නා ප්‍රවාද ඊනියා අසත්‍යකරණයකට ලක්කිරීම නොව ඒ ප්‍රවාද තහවුරු කිරීම ය. බටහිර විද්‍යාඥයෝ පවත්නා ප්‍රවාදයක් යොදා ගනිමින් ගැටළුවක් විසඳීමට උත්සාහ කළහ. ඔවුහු පවත්නා ප්‍රවාදය ප්‍රශ්න නො කළහ. ඔවුන් කළේ ඒ ප්‍රවාදය තහවුරු කරමින් යම් ගැටළුවක් විසඳීම ය.

එහෙත් කූන්ට අනුව බටහිර විද්‍යාවේ අසාමාන්‍ය කාල, එනම් විප්ලවීය කාල ද වෙයි. විප්ලවීය කාලයක දී බටහිර විද්‍යාවෙහි එතෙක්  තිබූ සුසමාදර්ශයක් (පඅරඅඩඉගම) වෙනුවට වෙනත් සුසමාදර්ශයක් ආදේශ වෙයි. ඔහුට අනුව උදාහරණයක් ලෙස අයින්ස්ටයින් විසින් නිව්ටෝනීය සුසමාදර්ශය වෙනුවට සාපේක්‍ෂතාවාදී සුසමාදර්ශය ඉදිරිපත් කෙරිණි. නිව්ටෝනීය සුසමාදර්ශයෙහි අවකාශය හා කාලය නිරපේක්‍ෂ විය. එහෙත් සාපේක්‍ෂතාවාදී සුසමාදර්ශයෙහි අවකාශය හා කාලය සාපේක්‍ෂ වනවා පමණක් නොව ඒ එකිනෙකට බැඳී පවතියි.

කූන්ට අනුව එක් ප්‍රවාදයක් මගින් කියැවෙන දැනුම තවත් ප්‍රවාදයකට පරිවර්තනය කළ නො හැකි ය. එයට හේතුව ඒ අදාළ සංකල්පවලින් එකම අදහසක් ප්‍රකාශ නො වීම ය. උදාහරණයක් ලෙස අපට කිව හැක්කේ නිව්ටෝනීය ගුරුත්වාකර්ෂණයෙහි අදහස් සාධාරණ සාපේක්‍ෂතාවාදයේ සංකල්ප මගින් ප්‍රකාශ කළ නොහැකි බව ය. එසේ වුවත් කූන් කිසිම දවසක සාපේක්‍ෂතාවාදියෙක් නො වී ය. 

නලින් ද සිල්වා

2013-10-16