ඩී. එස්. සී. උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ගේ මැයි 21 වැනි දා ලිපියෙන් අලුත් කිසිවක් නො කියෑවෙයි. එහෙත් ඒ මහතා ගේ නර්මාලාපවලට ප්‍රතිචාර දැක්‌විය යුත්තේ ඒ මහතා ගේ අතාර්කික එමෙන් ම ප්‍රතිපත්ති රහිත කියමන් පාඨකයාට හෙළිදරවු කිරීමට ය. ඒ මහතාට අනුව මා අසන්නේ මෝඩ ප්‍රශ්න ය. එහෙත් අඩු ම තරමෙන් ඒ මෝඩ ප්‍රශ්න වන්නේ කිනම් හේතුවක් නිසා දැයි ඔහු සඳහන් නො කරයි. ඔහු කරන්නේ මා අසන්නේ මෝඩ ප්‍රශ්න යෑයි කියමින් ප්‍රශ්නවලින් පැන යැම ය. අපි උදාහරණයකට ඒ මහතා ගේ පහත සඳහන් ප්‍රකාශය සලකා බලමු. "පහළොස්‌වැනි සියවස වන විට බටහිර නො වන රටවල් විද්‍යාත්මක දියුණුව අතින් සම තත්ත්වයක තිබුණේ දැයි නලින් මහතා මගෙන් අසයි. (විදුසර 07.05.2014). මා පවසා ඇත්තේ කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක් බවයි. ඊට හේතු ද උදාහරණ ද වුවමනාවටත් වඩා මා සපයා ඇත. (විදුසර 19.02.2014). මගෙන් මෙවැනි මෝඩ ප්‍රශ්න අසනවාට වඩා දෙයක් ඔහුට කරන්නට බැරි ද?" මා අසා ඇත්තේ ඉතා සරල ප්‍රශ්නයකි. ඒ ප්‍රශ්නයට පිළිතුරක් නැත. පහළොස්‌වැනි සියවස වන විට බටහිර නො වන රටවල් විද්‍යාව අතින් සම තත්ත්වයක තිබුණු බවක් ඒ මහතා කිසි තැනක පෙන්වා දී නැත. කවදත් කොතැනත් තිබුණේ එක ම විද්‍යාවක් බව පෙන්වීමට එක ම උදාහරණයක් වත් ඒ මහතා දී නැත. ඔහු කියවන්නේ එක ම එක දෙයකි. එනම් විද්‍යාව කොහේ තිබුණත් එය ඉන්ද්‍රිය ගෝචර සාක්‍ෂි මත පදනම් වන බව ය.
එය කිසිසේත් ම වලංගු තර්කයක් නො වේ. ඔහුට අනුව බටහිර වෛද්‍ය විද්‍යාවේ පමණක් රෝගවලට හේතු "සොයාගෙන ඇත." අනෙක් වෛද්‍ය විද්‍යාවන්හි හේතු නැත. ඒ වෛද්‍ය විද්‍යාවන්හි කෙරෙන්නේ රෝග ලක්‍ෂණවලට පිළියම් කිරීම පමණක් බව ඒ මහතා කියා ඇත්තේ වරක් දෙවරක් නො වේ. උදාහරණයක් ලෙස අමරතුංග මහතා අප්‍රියෙල් 02 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කළේ ය. "බටහිර වෛද්‍ය විද්‍යාව රෝගයට හේතුව, රෝග විනිශ්චය, රෝගයට ප්‍රතිකාර යන සැම දේට ම සාක්‌ෂි සොයාගෙන ඇත. සිංහල වෙදකමේ සහ ආයුර්වේදයේ රෝගයකට හේතුව පිළිගත හැකි සාක්‌ෂි ඇති ව ඉදිරිපත් වී නැත." එසේ නම් පැහැදිලිව ම සිංහල වෙදකම හා ආයුර්වේදය බටහිර වෛද්‍ය විද්‍යාවට වඩා වෙනස් ය. අමරතුංග මහතා ඊනියා ඉන්ද්‍රිය ගෝචර විද්‍යාව යෑයි කියන්නේ ප්‍රායෝගිකව බෙහෙත් නියම කරන වෛද්‍ය විද්‍යාවන්ට ය. ප්‍රායෝගිකව බෙහෙත් නියම කිරීම යම් දැනුමක්, වෛද්‍ය විද්‍යාවක් ලෙස වර්ගීකරණය කිරීමේ එක ම නිර්ණායකය ද? එය මෝඩ ප්‍රශ්නයක් ද? අමරතුංග මහතා සමච්චලයෙන් කතා කරන යකැදුරෝ ද ප්‍රායෝගික ව බෙහෙත් නියම කරති. එසේ නම් අමරතුංග මහතාට අනුව යකැදුරන් ද වෛද්‍ය විද්‍යාඥයන් ලෙස සැලකිය හැකි ද? කරුණාකර ප්‍රශ්නවලින් පැන නො ගොස් මා අසන ප්‍රශ්නවලට පිළිතුරු දෙන මෙන් අමරතුංග මහතා ගෙන් ඉල්ලා සිටිමි.
අමරතුංග මහතාට ලැඡ්ජා භය යන දෙකින් එකක් වත් නැත. ඔහු නැවතත් වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ට දේශන පැවැත්වීමට මා ලඡ්ජාවක් නැති ව රා බී වෙරි වූ චණ්‌ඩියකු මෙන් පවසන බව සඳහන් කරයි. ඔහු තම මැයි 21 ලිපියෙහි මෙසේ කියයි. "වකුගඩු රෝගය හෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳව වෛද්‍ය පීඨයේ ආචාර්යවරුන්ට දේශන පැවැත්විය හැකි බව නලින් මහතා කිසි ලැඡ්ජාවක් නැති ව පවසා ඇත. හංදියේ චණ්‌ඩියා රා බී වෙරි වූ විට "ඕනෑ එකෙකුට එන්ඩ කියාපිය" කියා කෑගසන්නේ ද මේ ලෙසිනි." මෙයට ඉතා පැහැදිලි පිළිතුරක් මම මගේ මැයි 14 වැනි දා ලිපියෙහි දුන්නෙමි. මට කළ හැක්‌කේ එයින් කොටසක් උපුටා දැක්‌වීම පමණි. අමරතුංග මහතා ගේ මාර්තු 12 වැනි දා ලිපියෙන් කොටසක් මුලින් උපුටා දක්‌වමින් මැයි 14 වැනි දා ලිපියෙහි මා කියා ඇත්තේ මෙය ය. "මට කියන්නට ඇත්තේ වෛද්‍ය විද්‍යාලවල සිසුන් සහ ආචාර්ය මහාචාර්යවරුන් ගේ අධ්‍යාපනය පිණිස වකුගඩු රෝගය පිළිබඳව නලින් මහතා දේශන පැවැත්විය යුතු බවයි". මාර්තු 19 වැනි දා මගේ ලිපියෙන් මෙසේ කීවෙමි. "මම ඒ අභියෝගය පිළිගනිමි. කරුණාකර ඒ සඳහා දේශනයක් හෝ දේශන කිහිපයක් හෝ පේරාදෙණියෙහි හෝ වෙනත් විශ්වවිද්‍යාලයක හෝ වෛද්‍ය පීඨයක (දන්ත වෛද්‍ය පීඨයෙහි වුව ද කම් නැත) සංවිධාන කරන්න. අමරතුංග මහතා කළ අභියෝගය මා පිළිගත්තේ උද්ධච්ඡකමකට නො වේ. මට වෛද්‍ය පීඨයකට පැමිණ මගේ වුවමනාවට දේශන පැවැත්විය නො හැකි ය. දේශන සංවිධානය කළ යුත්තේ අමරතුංග මහතා ය." අමරතුංග මහතා තම මැයි 21 වැනි දා ලිපිය ලියන්නට ඇත්තේ මගේ මැයි 14 වැනි දා ලිපිය කියවීමට පෙර විය හැකි ය. එහෙත් ඒ මහතාට බොරු කියා පාඨකයා මුළා කිරීමට ඉන් අවසරයක් නො ලැබෙයි.
ඒ මහතා මැයි 21 වැනි දා ලිපියෙහි මෙසේ ද සඳහන් කරයි. "මිනිසාට සෑදෙන රෝග බොහෝ සෙයින් සමාන බව මා පවසා ඇත. මේ ගැන අදහස් දක්‌වන නලින් මහතා එම රෝග සියලු සංස්‌කෘතිවල රෝග ලෙස හඳුනාගෙන තිබුණේ දැයි අසයි. (විදුසර 07.05.2014) මිනිසකු හිසේ රුදාවක් ඇත්නම් ඔහු කුමන සංස්‌කෘතියකට අයත් වුවත් එම රෝගයට හේතුව සමාන නම් ඔහු ගේ ශරීරයේ සහ විශේෂයෙන් මොළයේ පටකවල එම රෝගය නිසා ඇති වන වෙනස්‌කම් එක සමාන වන්නේ ය. මෙසේ සිදු වන්නේ අප ගේ ශරීරයේ ක්‍රියාකාරිත්වය සංස්‌කෘතිය මත රඳා පවතින්නේ නැති නිසා ය. එම ක්‍රියාකාරිත්වය රඳා පවතින්නේ සියලු ජීවීන් ගේ ජීවය නැමැති ක්‍රියාදාමය මත ය. ශරීරයේ ක්‍රියාකාරිත්වය මත ය. මෙය සංස්‌කෘතියෙන් සංස්‌කෘතියට වෙනස් වන්නේ නැති බව මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සමග වුව ද සිංහල සහ බටහිර වෙදකම ගැන වාද කොට දිනන නලින් මහතා දන්නේ නැත. ......... රෝග රෝග ලෙස හඳුනා ගැනෙන්නේ සංස්‌කෘතියට සාපේක්‌ෂව යෑයි නලින් මහතා පවසයි. (විදුසර - 07.05.2014). රෝග රෝග ලෙස හඳුනා නො ගෙන වෙන දෙයක් ලෙස හඳුනාගන්නා සංස්‌කෘතියක් ඇතොත් ඒ බව පසුව කියන්නට කල් නො තබා එම ලිපියේ ම සඳහන් කළා නම් නලින් මහතාට ගොඩ එන්නට තිබිණි."
අමරතුංග මහතා ගේ වාස්‌තවික යථාර්ථවාදී ආකල්ප ගැන මම පුදුම නො වෙමි. මෙරට බොහෝ උගතුන් යෑයි කියන්නෝ බටහිර වාස්‌තවික යථාර්ථවාදී දර්ශනයක සිරකරුවෝ වෙති. ඔවුන් ඊනියා බෞද්ධ පාසල්වල ඉගෙන ගත්ත ද එහි ද ඉගැන්වෙන්නේ මේ දර්ශනය බැවින් ඔවුන් ට ද ගැලවීමක් නැත. ලෝකයේ සියලු දෙනා ලෝකය එක ම ආකාරයකින් දකින්නේ යෑයි ඔවුන් සිතන්නේ ඔවුන් කෙතරම් බෞද්ධකමක් ගැන කතා කළ ද එය පොතට පමණක් සීමා වන්නක් බැවිනි. අමරතුංග මහතා ගේ බුද්ධිමය වීරයා වන ගුණදාස අමරසේකර මහතාට ද ඇත්තේ ඊනියා ජාතික චින්තනයක් පිළිබඳ විසිරුණු අදහසකි. ඔහු පසුගිය දා සිංහල කවිය ගැන සඳහන් කරමින් අපේ පැරැණි කවි ආඛ්‍යාන රීතිය ගරු කරන බව පවසමින් මාර්ටින් වික්‍රමසිංහ මහතා අනුව යමින් පසුගිය දා තම පෞද්ගලික අත්දැකීමක් ඊනියා පොදු අත්දැකීමක් බවට පත් කළ බවට මුසාවක් ප්‍රකාශ කළේ තමා බටහිර දර්ශනයේ සිරකරුවකු වන බැවිනි. පෞද්ගලික අත්දැකීම් පොදු අත්දැකීම් බවට පත් කෙරෙන්නේ බටහිර වාස්‌තවික යථාර්ථවාදී රීතියෙහි මිස සිංහල බෞද්ධ රීතියක නො වේ. මාර්ටින් වික්‍රමසිංහ මහතා බටහිර සාහිත්‍ය විචාරය අනුකරණය කරමින් කුමාරතුංග මුනිදාස මහතා ගේ පියසමර කාව්‍යය විවේචනය කළේ එය පෞද්ගලික අත්දැකීමකින් ඔබ්බට නො ගිය බව කියමිනි. පියසමර රචනා කරමින් කුමාරතුංග මහතා සිංහල බෞද්ධ සම්ප්‍රදායෙහි පිහිටි අතර ඒ කෘතිය විවේචනය කරමින් වික්‍රමසිංහ මහතා තම අනුකාරික බව විදහා දැක්‌වී ය. අද ගුණදාස අමරසේකර මහතා, විමල් දිසානායක වැනි ඇමෙරිකාවේ ජීවත් වන ඊනියා ගැමියන් ද අනුව යමින් යථාර්ථවාදී මඩ ගොහොරුවේ ගිලෙයි.
විවිධ පුද්ගලයෝ විවිධ ආකාරයෙන් ලෝක නිර්මාණය කරති. එක ම ආකාරයෙන් ලෝකය දැකීමක් ගැන කියන්නෝ බටහිරයෝ ය. ඔවුන්ට අවශ්‍ය සෙසු ලෝකයා ද ඔවුන්ට අනුව ලෝකය දැකීම ය. ඊනියා යථාර්ථවාදී වාස්‌තවිකත්වයේ හරය එය ය. බටහිර විද්‍යාව අපට කියන්නේ ද ඒ විද්‍යාව අනුව ලෝකය නිර්මාණය කරන ලෙස ය. බටහිරයන්ට අනුව ඇත්තේ එක් වාස්‌තවික ලෝකයකි. ඒ ඊනියා වාස්‌තවික ලෝකය බටහිර විද්‍යාවෙන් තේරුම් කෙරෙයි. එහෙත් දැනට අවුරුදු විසි පහක පමණ කාලයකට ඉහත මා විසින් කරන ලද අභියෝගයකට මෙරට කිසිවකු පිළිතුරක් දී නැත. ඒ වාස්‌තවික ලෝකයක් ඇති බව වාස්‌තවික ව, මනසින් ස්‌වායත්ත ව පෙන්වා දෙන ලෙස ය. මහා ප්‍රාඥයකු වූ අමරතුංග මහතාට ඒ කළ හැකි දැයි නො දනිමි.
රෝග රෝග ලෙස හඳුනාගැනෙන්නේ ඒ ඒ සංස්‌කෘතියට සාපේක්‌ෂ ව ය. එහෙත් අමරතුංග මහතා කියන්නේ ඒ එසේ නො වන බව පමණක් නො වේ, ඒ එසේ නො සිදු විය යුතු බව ය. ඔහු තම මැයි 21 වැනි දා ලිපියෙන් මෙසේ කියයි. "මිනිසකුට හිසේ රුදාවක් ඇත්නම් ඔහු කුමන සංස්‌කෘතියකට අයත් වුවත් එම රෝගයට හේතුව සමාන නම් ඔහු ගේ ශරීරයේ සහ විශේෂයෙන් මොළයේ පටකවල එම රෝගය නිසා ඇති වන වෙනස්‌කම් එක සමාන වන්නේ ය." රෝගය කුමක් ද යන්න පමණක් නො ව රෝගයට හේතුව සමාන බව ද එය ඇති වන්නේ කෙසේ ද යන්න ද අමරතුංග මහතා පවසන්නේ බටහිර දැනුමට අනුව ය. ඔහු එතැනින් නො නැවතී සිංහල වෙදකම ද බටහිර වෛද්‍ය විද්‍යාව අනුව "දියුණු" කළ යුතු යෑයි කියයි. ඔහු එසේ කියන්නේ ආයුර්වේදය ද බටහිර විද්‍යාව ද එක ම විද්‍යාවක් යෑයි කියන අතර ය ෘ
අමරතුංග මහතා ගේ මැයි 21 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කරයි. " සිංහල වෙදකම දියුණු කළ හැක්‌කේ නවීන විද්‍යාත්මක ක්‍රම උපයෝගි කොටගෙන ය. මෙය යම්තාක් දුරකට දැන් සිදු වන බව පෙනෙන්නට ඇත. ආයුර්වේද පීඨයේ Anatomy, Physiology වැනි බටහිර වෛද්‍ය විද්‍යාවේ ඇති විෂයයන් උගන්වයි. එම පීඨයේ ආචාර්යවරු වෛද්‍ය සහ විද්‍යා පීඨවල ආචාර්යවරුන් සම`ග එකතු වී ආයුර්වේදයේ සහ සිංහල වෙදකමේ භාවිත වන බෙහෙත්වල ඇති රසායනික ව්‍යුහය සහ ඖෂධීය පදාර්ථ පිළිබඳව පර්යේෂණ සිදු කරති. මේ දේවලින් ජනතාවට සෙතක් සැලසෙන්නට ඉඩ ඇත."
මෙයින් කියෑවෙන්නේ අමරතුංග මහතාට අවශ්‍ය සිංහල වෙදකම හා ආයුර්වේදය බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව ඊනියා දියුණුවකට පත් කළ යුතු බව ය.
අවාසනාවකට ආණ්‌ඩුව ආයුර්වේදයට හිතවත් අය යක්‌කලට වත් රාජගිරියට වත් පත් කිරීමට කටයුතු නො කරයි. උසස් අධ්‍යාපන අමාත්‍යතුමා ගමෙන් පැමිණි අයකු වුව ද ඔහු මහවැලි ගඟ තරණය කරන විට ගම ද අමතක කර දමා ඇත. ඔහුට පාසලේ දී ලැබුණු අධ්‍යාපනය ද දේශීය ආකල්පවලට රුකුලක් දුන් එකක් නො වී ය. ඔහු දන්නා බටහිර විද්‍යාවක් නො වූවත් අප වැනි දේශීයත්වය අගය කරන්නන්ට ගරුත්වයක් නො දක්‌වයි. සමහර විට ඔහුට අනුව ද අප පිස්‌සන් විය හැකි ය. එසේත් නැත හොත් ලාබ හෝ බාල හෝ ප්‍රසිද්ධියක් සඳහා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු බව කියන්නන් විය හැකි ය. බටහිර වෛද්‍ය විද්‍යාව අනුව ආයුර්වේදය දියුණු කළ නොහැකි ය. කළ හැක්‌කේ ආයුර්වේදය මරා දැමීම පමණකි.
කලක් රාජගිරියේ අධ්‍යක්‌ෂ ව සිටියේ කාලෝ ෆොන්සේකා මහතා ය. මා අසා ඇති අන්දමට ඔහු තම ශිෂ්‍යයන්ට මෙවැනි කතාවක් කියා ඇත. ලෝකයේ ඇති රෝගවලින් තුනෙන් එකක් කිනම් ප්‍රතිකාරයකින් වත් සුව කළ නොහැකි ය. තවත් තුනෙන් එකක් ප්‍රතිකාරවලින් සුව කළ හැකි ය. ඉතිරි තුනෙන් එක ප්‍රතිකාරයක් කළත් නො කළත් සුව වෙයි. ආයුර්වේදයෙන් සුව වන්නේ තුන්වැනි වර්ගයේ රෝග ය ෘ එහෙව් කාලෝ ෆොන්සේකා මහතා ද එක්‌තරා කාලයක දී රාජගිරියේ අධ්‍යක්‌ෂ පදවියට පත් කිරීමට ආණ්‌ඩුව කටයුතු කළේ ය. මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා සමග වුව ද වාද කර දිනන්නේ යෑයි කියමින් මා ගැන අමරතුංග මහතා සඳහන් කරන්නේ එක් අතකින් සාවඥ ව ය. අනෙක් අතින් කාලෝ ෆොන්සේකා මහතා මහා විද්‍යාඥයකු, විද්වතකු යන නිගමනයේ පිහිටමින් ය. කාලෝ ෆොන්සේකා මහතා බටහිර වෛද්‍ය විද්‍යාවට කර ඇති නව එකතු කිරීම් කවරේ ද? ඒ මහතා අමරතුංග මහතාට නම් මහා විද්‍යාඥයකු වනවා ඇත. එහෙත් මා ඔහු ගේ මුහුණට ම එක්‌තරා රූපවාහිනි සාකච්ඡාවක දී පැවසුවේ ඔහු නිවටයකු බව ය. මෙරට ජනමාධ්‍යවේදීන් යෑයි කියාගන්නා අය රවටමින් මහා විද්වතුන් මෙන් වැජඹෙන්නන් අතර කාලෝ ෆොන්සේකා මහතා ද වෙයි. ඔහු ද අමරතුංග මහතා මෙන්ම බටහිර විද්‍යාව ගැන විසිවැනි සියවසේ මුල් භාගයේ ජීවත් වෙයි.
මහාචාර්ය අර්ජුන අළුවිහාරේ මහතා ගැන මා කළ විස්‌තරයක් මත පදනම් වෙමින් අමරතුංග මහතා මැයි මස 21 වැනි දා ලිපියෙහි මෙසේ සඳහන් කරයි. "නැතිනම් මහාචාර්ය අළුවිහාරේ මහතා සමග ඔහු ඇති කරගත් ඇයි හොඳයිකම් ගැන දීර්ඝ වශයෙන් පුරසාරම් දොඩයි" (විදුසර - 07.05.2014)" අළුවිහාරේ මහතා ගැන මා කරුණු සඳහන් කළේ පුරසාරමකට නො වේ. අමරතුංග මහතා සිතන්නේ මා එවැනි පුද්ගලයන් දන්නා හඳුනන බව කියන්නේ පුරසාරමකට බව ද? මට කිසිවකු සම`ග ඇති ඇයි හොඳයිකම් ගැන පුරසාරම් දෙඩීමේ අවශ්‍යතාවක් නැත. මා අළුවිහාරේ මහතා ගැන ඇතැම් කරුණු සඳහන් කළේ ඔහු අමරතුංග, කාලෝ ෆොන්සේකා ගණයේ බොහෝ මහාචාර්යවරුන්ට වඩා බෙහෙවින් බුද්ධිමත් බව පැවසීමටත් එහෙත් ඔහු පවා බටහිර වෛද්‍ය විද්‍යාවට එකතු කළ කිසිවක් නොමැති බවත් පැවසීමට ය. එයින් මගේ ඉදිරිපත් කිරීම තහවුරු වෙයි. මෙරට බුද්ධිමතුන් යෑයි කියන්නන්ට පවා පහසුකම් තිබුණත් (අළුවිහාරේ මහතා කලක් බටහිර ද සේවය කළේ ය) බටහිර විද්‍යාවට හරිහමන් දෙයක් එකතු කළ නොහැකි බවත් එසේ වීමට හේතුව ඔවුන් ගේ චින්තනය බටහිර විද්‍යාවේ චින්තනයට පටහැනි වීම බවත් මම පවසමි.
මෙහි දී අමරතුංග මහතා නිතර කියන කතාවක් අමතක කළ නොහැකි ය. ඔහු කීපවතාවක් ම කියා තිබුණේ මා බටහිර විද්‍යාව පට්‌ටපල් බොරුවක් යෑයි කියන්නේ හුදු බාල හෝ ලාබ හෝ ප්‍රසිද්ධියක් සඳහා බව ය. මා මේ සියල්ල පවසන්නේ කිසිදු ආකාරයකට ප්‍රසිද්ධියක් හෝ ලාබයක් අපේක්‌ෂාවෙන් නො ව බටහිර දැනුම් ආධිපත්‍යයෙන් මෙරට වැසියන් නිදහස් කර ගැනීමට ය. එහෙත් එය එක් රැයකින් කළ හැකි දෙයක් නො වන බවත් මම දනිමි. මා කොළඹ විශ්වවිද්‍යාලයෙහි සේවය කරද්දී එකල ලේක්‌හවුස් පුවත්පත් (ඉංගී්‍රසි හා සිංහල) ඊනියා ජාතික චින්තනයට එරෙහි ව දැඩි ප්‍රහාරයක් එල්ල කළේ ය. එහි දී ගුණදාස අමරසේකර මහතා කෙතරම් බියට පත් වී ද යත හොත් ඔහු මට කියා සිටියේ දැන් ජාතික චින්තන කතාව අතහැරිය යුතු බව ය. එහෙත් මම එය අත් නො හැරියෙමි. අවසානයේ දී මට රැකියාව ද අහිමි වී දස වසරක් ගෙදර සිටීමට සිදු විය. දේශීයත්වයක් දේශීය දැනුමක් ගැන කතා කිරීමෙන් මට වූ පෞද්ගලික ලාබයක් නැත.
අපි ඉතා සැකෙවින් වෛද්‍ය ක්‍රම හා රෝග ගැන සඳහන් කරමු. බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව අධික රුධිර පීඩනය රෝගයකි. එහෙත් සිංහල පාරම්පරික වෛද්‍ය විද්‍යාවට අනුව එය රෝග ලක්‌ෂණයක් පමණකි. එහෙත් එයින් කියෑවෙන්නේ සිංහල වෙදකම දන්නේ රෝග ලක්‍ෂණ ගැන පමණක් බව නො වේ. මධුමේහය හා දියවැඩියාව (diabetes) යනු එකක් නො වේ. මධුමේහයෙන් කියෑවෙන්නේ ශරීරයට අවශ්‍ය ම ගුණයක් පිට වී යැම ය. දියවැඩියාව මධුමේහයේ අවසාන අවස්‌ථාව පමණකි. රෝග, රෝග ලෙස හඳුනාගැනෙන්නේ ඒ ඒ සංස්‌කෘතියෙහි ය.
නලින් ද සිල්වා
2014-05-28