Main Logo

Sunday 19 October 2014

මට මහලු වයසේ හැකිය වෙණ ගායනා පෙරසේ - 2


මහාචාර්ය  ගාමිණී රාජපක්‍ෂ මහතා මා අදම්‍ය පිපිරෙන සුළු බවත් යක්‍ෂයකුත් බවත් පවසන්නේ ඇයි දැයි සඳහන් නො කරයි. ඔහු ඒ බව කියන්නේ කැනඩාවේ වාසය කරන බෝධින ධනපාල නමැත්තකුට යවන ඉ තැපැල් පිළිතුරක් ලෙස ය. මම ඒ දෙදෙනාගෙන් එක් අයකුවත් පෞද්ගලික ව නො හඳුනමි. ධනපාල මහතා ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමයක් ගැන විශ්වාස කරන බව පෙනෙයි. ඔහු බටහිර විද්‍යාව් දාසයකු ලෙස මම සලකමි. ඔහු පමණක් නොව මහාචාර්ය විජය කුමාර්, කැනඩාවේ වාසය කරන මහාචාර්ය චන්ද්‍රසිරි ධර්මවර්ධන ආදීන් ද බටහිර විද්‍යාවේ දාසයන් ලෙස සැලකිය හැකි ය. ඔවුන් එකහෙළාම කියනු ඇත්තේ තමන් බටහිර විද්‍යාවේ දාසයන් නොවන බව ය. එහෙත් ඔවුන් මා සමග ප්‍රසිද්ධ වාචික විවාදයකට එළඹෙන්නේ නම් ඔවුන්ගේ දාස බව පෙන්වීමට හැකි ය. (කැනඩාවේ පදිංචි අය ලංකාවට එන තෙක් බලා සිටීමට හැකි බව ද පවසමි). ඔවුන්ටත් ඔවුන්ගේ මිතුරන්ටත් ප්‍රශ්නය වී ඇත්තේ වකුගඩු රෝගයට හේතුව ආසනික් බව නාථ දෙවියන් පැවසීම ය. ඒ නාථ දෙවියන්ගේ ආධ්‍යාත්මික ශක්තියෙන් මිස බටහිර විද්‍යාඥයන්ගේ පට්ටපල් බොරු කතන්දරවලින් දැනගත්තක් නො වේ. ආධ්‍යාත්මික ව මනසෙන් ලෝකය ග්‍රහණය කරගත නොහැකි කසිකබල් බටහිර විද්‍යාඥයෝ පංචෙන්ද්‍රියවලට ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට යැයි කියමින් පංචෙන්ද්‍රිය ගෝචර නොවන පට්ටපල් බොරු කතන්දර ගොතති. මේ සඳහා හොඳම උදාහරණය නිවුටන් ගෙතූ ගුරුත්වාකර්ෂණ පට්ටපල් බොරුව ය. අපේ ආසනික් කතාව නොපිළිගත් කසිකබල් බටහිර විද්‍යාඥයෝ (ඔවුන්ට විද්‍යාඥයන් යැයි කීව ද ඔවුන් නිර්මාණය කර ඇති ප්‍රවාදයක් සංකල්පයක් නැත.) අපට සමච්චල් කළහ. එහෙත් ඔවුන්ට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි කිව නො හැකි ය. ඔවුන්ට එකඟ විය හැකි තේරුම් කිරීමක් නැත. එදා සිට අද දක්වා අපට එරෙහි ව නාථ දෙවියන්ට එරෙහිව ඊනියා සම්මන්ත්‍රණ පැවැත්වූ සියල්ලන්ට අපි අභියෝග කරමු. සමස්ත ප්‍රශ්නය හා බටහිර විද්‍යාවේ පට්ටපල් බොරුව ගැන වාද කිරීමට පස් දෙනකුගේ  කණ්ඩායමක්  ලෙස පැමිණෙන්න. 

ඒ සියළු දෙනා සමග මම තනිව ම වාද කරමි. මට දැන් වයස හැත්තෑවක් වෙයි. එහෙත් මගේ වීණාවේ තත් සිඳී නැත. මගේ කටේ දත් වැටී නැත. මට ගුත්තිල  පඬිතුමාට මෙන් ශක්‍ර දෙවිඳුන්ගේ සහාය අවශ්‍ය නො වේ. බටහිර විද්‍යාවේ දාසයෝ මූසිල තරම්වත් දක්‍ෂයෝ නො වෙති. මගේ අභියෝගය ආසනික්වලට විරුද්ධ වූ අදත් වකුගඩු රෝගීන් මරාදැමීමට වක්‍රව කටයුතු කරන පහත සඳහන් සියළු දෙනාට ය. මගේ හිතට එන පිළිවෙළට ඔවුන්ගේ නම් සඳහන් කරමි. මහාචාර්ය පට්ටම් සඳහන් කිරීමට අවභ්‍ය යැයි මම නො සිතමි. ඔලිවර් ඉලේපෙරුම, උපාලි සමරජීව, පලිබෝධ නාශක අධ්‍යක්‍ෂ හෝ එවැනි තනතුරක් දරන්නා, ජනිතා ලියනගේ, විජය කුමාර්, සී එස් වීරරත්න, කපිල සෙනෙවිරත්න, බිමාලි ජයවර්ධන, සුසන්ත ගුණතිලක, අශෝක අමරතුංග, සුදන්ත ලියනගේ, ගාමිණී රාජපක්‍ෂ,චන්ද්‍රසිරි ධර්මවර්ධන ඔහුගේ සොහොයුරු නන්දසිරි ධර්මවර්ධන,   බෝධි ධනපාල, ඔවුන් අතර වෙති. මේ සියළු දෙනා සමග වුව ද පට්ටපල් බොරු කී නිවුටන්ගේ සිට මතු බුදුවන නාථ දෙවියන් දක්වා ඇති විද්‍යාව ගැන වාදකිරීමට මම සූදානමින් සිටිමි. එහෙත් ඔවුන්ට වෙන්කරන සම්පූර්ණ කාලය මට ද වෙන්කළ යුතු වෙයි. ඒ මගේ එකම කොන්දේසිය වෙයි. මා පෙනී සිටින්නේ නාථ දෙවියන් වෙනුවෙනි. එහෙත් එයින් කියැවෙන්නේ නාථ දෙවියන් විකුණාගෙන කන්නන් සමග මගේ සම්බන්ධයක් ඇති බව නො වේ. විවාදයක දී ඒ සියල්ල ද හෙළිදරවු වනු ඇත. 

ධනපාල මහතා ප්‍රතිචාර දක්වා තිබුණේ මා වකුගඩු රෝගය ගැන වැඩිදුරටත් දිවයින ඉරිදා සංග්‍රහයට පසුගිය 5 වැනි දා ලදයූ ලිපියට ප්‍රතිචාරයක් ලෙස ය. එහි එක්තරා මහාචාර්යවරියක සංඛ්‍යානය මූලික කරුණුවත් නොදන්නා බව සඳහන් කළ මම වකුගඩු රෝගයට පාරම්පරික වෙදකමේ ප්‍රතිකාර ඇති බවත් බටහිර වෙදකමේ ප්‍රතදකාර නැති බවත් කීවෙමි. ධනපාල මහතාට අනුව මා අර මහාචාර්යවරියගේ සංඛ්‍යාන දැනුම ගැන කියා ඇති දේ සත්‍ය නමුත් අනෙක් කරුණු බාග ඇත්ත ය. ඒ සියල්ල සම්මුති අර්ථයකින් පූර්ණ ඇත්ත බව පවසමි.  අපි පළමුව ඉතා කෙටියෙන් බටහිර විද්‍යාවේ සම්භාවිතාව ගැන සලකමු. මූළු මහත් බටහිර විද්‍යාව ම රඳා ඇත්තේ බටහිර සම්භාවිතාව මත ය. (වැඩිදුර විස්තර මේ දිනවල විදුසර පූවත්පතෙහි බටහිර විද්‍යාව පට්ටපල් බොරු සංවාදයෙහි පළවෙයි) . බටහිර විද්‍යාඥයන්ට ආධ්‍යාත්මික ගුණවගාවක් නැත. ඔවුන්ට කිසි දිනෙක ඔවුන්ගේ ඊනියා විද්‍යාත්මක ක්‍රමයෙන් මනසෙන් පමණක් ලෝකය බැලිය නො හැකි ය.  මනසෙන් පමණක් ලෝකය නිර්මාණය කරගත නොහැකි මොවුහු ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් උපයෝගි කරගෙන බොරු කතන්දර ගොතති.

බටහිර විද්‍යාඥයන්ට සියළු කපුටන් දැකිය නො හැකි ය. කපුටන් කිහිප දෙනකු පමණක් නිරීක්‍ෂණය කර සියළු කපුටන් කළු පාට යැයි කිව හැක්කේ යම් සම්භාවිතාවක් මත පදනම් වෙමිනි. මේ සම්භාවදතාව සියයට සියයක් (එකක්) නො වේ. බටහිර විද්‍යාඥයන්ට තුන්කල් දක්නා නුවණක් නැති බැවින්, ඔවුන්ට අදාළ නිරීක්‍ෂන සියල්ල කළ නොහැකි බැවින් සෑම නිරීක්‍ෂණයක් ම සම්භාවිතාවකට යටත් වූවකි. බටහිර විද්‍යාඥයෝ නිරීක්‍ෂණ කීිහිිිිපයක් සාධාරණය කිරීමෙන් උද්ගමනයෙන් යම් යම් ප්‍රකාශ කරති. ඉන්පසු ඒ ප්‍රකාශ තේරුම් කිරීමට පට්ටපල් බොරු කියති. ඒ සියළු බොරු කරන්නේ ආධ්‍යාත්මික ව මනසෙන් ලෝකය දැකීමට ඔවුන්ට නොහැකි බැවිනි.

බටහිරයන් කියන්නේ සම්භාවිතා බොරු වුව ද ලෝකය ඒ ගැන සිතන්නේ වෙනත් අයුරකිනි. ලෝකය බටහිර විද්‍යාඥයන්ගේ ප්‍රකාශ දේව භාෂිත මෙන් යොදා ගන්නේ එහි සම්භාවිතාව එක ලෙස ගැනීමෙනි. අර මහාචාර්යවරියගේ සාවද්‍ය සාක්‍ෂිය මත පදනම් ව යමකුට මරණ දණ්ඩනය නියම කරන්නේ යම් සම්භාවිතාවකින් නො වේ. මෙය සාධාරණ යැයි කියන්නෝ වෙත් ද? 


නලින් ද සිල්වා

2014-10-19