ජාතික හෙළ උරුමය හෝ ඉන් කොටසක් හෝ ජනාධිපතිවරණයට පෙර ආණ්ඩුවෙන් ඉවත්වීම සඳහා කටයුතු කරනු පෙනෙයි. එය එසේ නොවීමට ද ඉඩ ඇත. ඒ ජා හෙ උරුමය නායකයන් තරම් රඟපෑමේ දක්‍ෂයන් දේශපාලනයෙහි නැති බැවිනි. ඒ කෙසේ වෙතත් ජා හෙ උරුමයෙහි දේශපාලනය අවසන් වෙමින් පවතින බව නම් පැහැදිලි ය. ජාතිකත්වය යනු බලයට පත්වීම සඳහා යොදාගත හැකි උපකරණයක් නො වේ. එහි ද යම් ආකාරයක රඟපෑමක් කළ හැකි නමුදු එහි රඟපෑමේ සීමා ඇත. ජා හෙ උරුමය අද ඒ සීමාවට පැමිණ ඇත. මෙරට ජාතික ව්‍යාපාරය අසූවේ දශකයේ අග ආරම්භ කළ එකක් නො වේ. එය ඉතා ඈත අතීතයට විහිදී යයි. ජාතික ව්‍යාපාරයෙහි නිරත වූවෝ යම් දේශපාලනයක් කරති. එහෙත් ඒ තමන්ට දේශපාලන බලය අත්කර ගැනීමට නො වේ. ඔවුනගේ වෑයම දේශපාලන පක්‍ෂ ජාතිකත්වයට ගෙන ඒම ය. ජාතිකත්වය ජනතාව අතර ඇත. ඔවුන්ට එය අමුතුවෙන් ඉගැන්විය යුතු නො වේ. අද දවසෙහි ජාතික ව්‍යාපාරයෙහි කාර්ය භාරය වනුයේ ජනතාව අතර ඇති ජාතිකත්වයට දේශපාලනඥයන්ගේ සංවේදීතාව වැඩි කිරීම ය. එහි දී වඩාත් ම හොඳින් ඒ කාර්යය කරන්නේ ශ්‍රී ල නි පක්‍ෂය ය. ඒ අරුතින් ඒ පක්‍ෂය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය වෙයි. ජා හෙ උ හා ජ නි පෙ ජාතිකත්වය දේශපාලනීකරණයට ලක් කළේ ය. ජනතාවට ජාතිකත්වය සම්බන්ධයෙන් සංවේදී වීම යනු ජාතිකත්වය දේශපාලනීකරණයට ලක් කිරීම නො වේ. ජාතිකත්වය දේශපාලනීකරණයට ලක් කිරීම පක්‍ෂයක පරිහාණියට හේතු වෙයි. ජා හෙ උරුමයට මෙන් ම ජා නි පෙරමුණට ද ඒ උරුම වී ඇත. ජා නි පෙ ආණ්ඩුවෙන් ඉවත් වූ දිනයක එහි පරිහාණිය පෙනෙනු ඇත. බදුල්ලේ දී ඒ බව විද්‍යමාන විය.
ජා හෙ උරුමයට මෙන් ම ජා නි පෙරමුණට ද, ජාතිකත්වය පිළිබඳ මතවාදයක්, ප්‍රවාදයක් සංකල්ප ආදිය නැත. ඇතැමුනට ඊනියා ජාතික චින්තනයක් නම් ඇත.එහෙත් ජාතික චින්තනය යනු විජාතික මතවාදවල එකතුවක් පමණක් වෙයි. එය ෆ්‍රොම් ආදීන්ගේ ද වෙනත් අයගේ ද සංකල්පවල පරිවර්තනයක් පමණක් වෙයි. ජාතික චින්තනයට එරෙහදව අපි දිවයින ඔස්සේ චින්තනය යන සංකල්ය ඉදිරිපත් කෙළෙමු. එහෙත් එය සාර්ථක වී ඇතැයි කිව නො හැකි ය. තවදුරටත් මේ ලිපි ලිවීම කරගෙන යා යුතු ද යන අදහස ද සිතෙහි රැව් පිළිරැව් දෙන්නේ ඒ නිසා ම පමණක් ම නො වේ.
බලයට පැමිණීම සඳහා ජා හෙ උ හා ජා නි පෙ ජාතිකත්වය යොදාගැනීම සඳහා ඒ දේශපාලනීකරණයට ලක් කෙළේ ය. එහි ප්‍රතිඵලය වූයේ ජාතික ව්‍යාපාරය දුර්වල වීම ය. ඉන් යම් වාසියක් අත් වී නම් ඒ ශ්‍රී ල නි පක්‍ෂයට විය. ජා හෙ උ හා ජා නි පෙර පසුගිය සමයේ ආණ්ඩුව විවේචනය කළේ ය. දේශ හිතෛෂී ජාතික ව්‍යාපාරය ද එසේ කළේ ය. ඔවුන්ගේ විවේචනයේ පදනම වූයේ ආණ්ඩුව ජාතිකත්ව වැඩ පිලිවෙළක නොමැති වීම ය. එහෙත් ඒ පක්‍ෂවලට ජාතිකත්ව වැඩ පිළිවෙළක් තිබේ ද? මුළු ලොවම අද ආ ධිපත්‍යය දරනුයේ යුදෙවු ක්‍රිස්තියානි මතවාද විසිනි. ඒ මතවාදවලට අභියෝගයක් කළ හැකි සංකල්පයක් වත් මේ පක්‍ෂවලට නිර්මාණය කරගත හැකි වී තිබේ ද? පිළිතුර නැත යන්න ය. ඔවුන් ආණ්ඩුවෙන් ජාතිකත්වයක් ඉල්ලන්නේ තමන්ට ද වැඩ පිළිවෙළක් නැතිව ය. ඊනියා ජාතික ආර්ථිකයක් ගැන කතාකළ පමණින් ජාතික ආර්ථිකයක් නො ලැබෙයි. කිසද දිනෙක සංකල්පයක් ප්‍රවාදයක් නිර්මාණය කර නොමැති ඉහත කී පක්‍ෂවල නායකයෝ අනෙක් බොහෝ අය 2මන් ම අනුකාරකයෝ වෙති.
ආණ්ඩුව විවේචනය කරමින් ආණ්ඩුව තුළ සිට ආණ්ඩුව යහමගට ගැනීමට කතාකළ ජා හෙ උ හා ජා නි පෙ අද මාර්ග දෙක ගමන්කරනු දැකිය හැකි ය. ජා හෙ උ ආණ්ඩුවෙන් ඉවත්වීමට කටයුතු කරයි. ජා නි පෙ බදුල්ලේ දී හා වෙනත් තැන්වල දී පාඩම් ඉගෙන තමන්ට ආණ්ඩුව හැරෙන්නට වෙනත් සරණක් නැති බව අවසානයේ වටහාගෙන ඇත. ඔවුන්ට අද අවශ්‍ය ජා හෙ උ හැකි ඉක්මණින් ආණ්ඩුවෙන් ඉවත් කිරීම ය.
මේ පක්‍ෂ දෙකේ ම අවසානය ළඟා වී ඇත. ජා හෙ උ ආණ්ඩුවෙන් පිටත දියවී යනු ඇත. ජා නි පෙ ආණ්ඩුව තුළ දියවී යනු ඇත. ජාතිකත්වය පදනම් කරගනිමින් බලයට පත්වීමට ක්‍රියාකරන්න්ට මේ හොඳ පාඩමකි.
නලින් ද සිල්වා
2014-10-26
2014-10-26