Main Logo

Tuesday 6 July 2021

එන්නතට එරෙහිව වයිරසය

 

එන්නතට එරෙහිව වයිරස 

 

 

අද වන විට සෞඛ්‍ය අමාත්‍යාංශය අවුල් ජාලයක් වෙලා. කොව්ඩ් රැල්ලට අමතර ව වර්ජන රැල්ලකුත් ඇවිල්ල. සෞඛ්‍ය අමාත්‍යංශය ඇත්තේ බටහිර වෙද මහතුනට පමණක් නොවූවත් අද එය ක්‍රියාත්මක වන්නේ බටහිර වෙද මහතුන් වෙනුවෙන්. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවන බව පිටින් බලන විට පේනවා. එහි සභාපති ගෝඨාභයගෙ රැස්වීම්වලට වගේ ම සජිත්ගෙ රැස්වීම්වලටත් යනවා. සභාපතිට ජනාධිපති බලාපොරොත්තු තියෙනවා ද? කවුරුවත් ඔහුට ඒ බලාපොරොත්තු ඇතිි කරල තියෙනවා ද?

 

ඒ කුමක් වුවත් සෞඛ්‍ය අමාත්‍යංශයට හෙද හෙදියන් සහ තවත් පිරිස් රාශියක් අයත් වෙනවා. මේ සියල්ලන් ම පාහේ මෙරට කසිකබල් අධ්‍යාපනය විසින් බිහි කෙරුණු අය. ඔවුන් ඉහළ හෝ පහළ හෝ මධ්‍යම පංතියට අයත් වෙනවා. මේ සියල්ලන්ට පහළින් ආයුර්වේද වෙද මහතුනුත් ඔවුන්ටත් පහළින් පාරම්පරික වෙද මහතුනුත් ඉන්නවා. ඔවුන්ටත් ඇත්තේ මධ්‍යම පංතික ආකල්ප. ඔවුන් බොහෝ දෙනකු කැමතියි ඩොක්ටර් කියා තමන් අමතනව නම්.

 

වර්ජන රැල්ල නිසා රෝගීන් දුක් විඳිනවා. එහෙත් මේ රෝගීන් දේශීය වෙදකමක් ගන්න යන්නෙත් නැහැ. එයට හේතු දෙකක් තියෙනවා. එකක් ඔවුන්ටත් සමාජයෙන් දී ඇති බටහිර විද්‍යා ආධිපත්‍යයික හැඟීම. දෙවැන්නත් ඒ හා බැඳිල. ඒ හැඟීම නිසා අද බෙහෙතකටවත් ගමේ දේශීය වෙද මහතකු හොයා ගන්න බැහැ. ඉස්සර තිබුණු ගම දැන් නැහැ. ගමේ වෙද මහත්තයත් නැහැ. වෙද මහතුන්ගෙ ළමයි බටහිර වෙද මහත්තුරු වෙලා. රෝගීන්ට අද විකල්පයක් නැහැ. එයට මුළු මහත් සමාජය ම වග කියන්න ඕන.

 

මුළු මහත් සමාජය ම එහෙම වෙලා තියෙන්නෙ කසිකබල් අධ්‍යාපනය නිසා. බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමේ හපන්කම් ගැන තමයි හැමෝම කතා කරන්නෙ. ජනමාධ්‍යවේදීන් දන්න ඉටිගෙඩියක් නැති වුණාට ඔවුන් පරීක්‍ෂණ නිරීක්‍ෂණ නිගමන කියන ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් ගැන අපට කියා දෙනවා. අපි අහගෙන ඉන්නවා. බටහිර දැනුමේ ආධිපත්‍යය හා මධ්‍යම පාංතික ආකල්ප සමාජයේ වපුරනු ලබන්නේ අධ්‍යාපනය හා ජනමාධ්‍ය විසින්. බටහිර විද්‍යාවෙ ඔය කියන විද්‍යාත්මක ක්‍රමයක් නැහැ.

 

කොවිඩ් අස්සේ පඩිවැඩිකර ගැනීමට දරණ උත්සාහය ගැන කිව යුත්තේ කුමක් ද? එය අන්තිම අසික්කිත ජඩ වැඩක්. කළ යුත්තේ ස්වෙච්ඡාවෙන් හැකි නම් තම වැටුපෙන් යම් ප්‍රමාණයක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කිරීමයි. ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා කියා සජිත් කියනවා. ඒ අනුව මා ගැන කියන එක වැරදි වුණත් ඔවා දීම සඳහා මා කර ඇත්තේ කුමක් ද කියා කියන්න වෙනවා. මා වැටුපෙන් මාස්පතා එක්සත් ජනපද ඩොලර් 500ක් කොවිඩ් අරමුදලට පරිත්‍යාග කරනවා. මගේ වැටුපෙන් යම් ප්‍රමාණයක් මා ඩොලර් ලෙස ඩොලර් හිඟයෙන් පෙළෙන ලංකාවට ආපසු එවනවා. එය සොච්චමක් වෙන්න පුළුවන්. ඒත් ලූනු බිකත් බඩට කියා කියනවා. මා ඒ ටික කිවුවෙ මා පරිත්‍යාගශීලී හොඳ මිනිහකු බව කීමට නො වෙයි. සජිත් කියන පරිදි ඔවා දීමට මා සුදූසු බව කීමට පමණයි.

 

මගේ ඇති හොඳක් නැහැ. මා මධ්‍යම පංතිය කියන විධියට නහයට අහන්නෙ නැති නරුමයෙක්. එකල විශ්වවිද්‍යාලෙ ඉන්දැද්දි තරුණයන් නොමග යැවූවෙක්. තරුණයන් කියන විධියට මැන්ටලයක්. බටහිර විද්‍යාව පට්ටපල් බොරුය කියා කියන්නෙක්. මිථ්‍යා විශ්වාස ඇති අයෙක්. විශ්වවිද්‍යාලයීය රාජකාරිය හරිහැටි නොකළ අයෙක්. බටහිර වෙද මහත්තයෙක් හරි වෙද හාමිනේ කෙනකුගෙන් හරි ඔය ඉන්න ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගෙන්/වරියකගෙන් හරි ලක්‍ෂමන් හා ලක්‍ෂමන්ගෙන් හරි අහල බලන්න. ආසනික් වෙලවෙ කවුරුන්වත් හිටියෙ නැහැ. ඒත් පසුව චන්නගෙ පොතට අමරසේකර පෙරවදනක් ලිවුව. ඔහු අද කාබනික පොහොර වෙනුවෙන් සටන් වැදිල ප්‍රකාශනවලට අත්සන් කරනවා. ජාතික ව්‍යාපාරයත් ජනමාධ්‍යත් මා කාබනික පොහොර ගැන කියන දේ අමතක කරල මා කාබනික පොහොර කතාවෙන් ඈත් කරල.

 

බටහිර වෙද මහතුන් කොවිඩ් අස්සෙ තම දීමනා වැඩි කර ගැනීම හෙළා දැකිය යුතුයි. එහෙත් එයින් කියන්නෙ නැහැ සෞඛ්‍ය අමාත්‍යාංශයෙ අනෙක් අයත් ඒ ජඩ වැඩේ ම කරන්න ඕන කියල. මා බොහෝ කලකට පෙර කිවුව බටහිර දැනුම් පද්ධතිය පමණක් තියාගෙන අනෙක් දැනුම් පද්ධති අභාවයට පත් කිරීමෙන් යම් දවසක බටහිර දැනුම් පද්ධතියට විසඳුම් නැති වුවහොත් ලෝකය ම අමාරුවෙ වැටෙන බව. අද අපි එතැනට ළඟා වෙමින් සිටිනවා ද?

 

බටහිර වෙදකමට කොවිඩ් ගැන කියන්න දෙයක් නැහැ. ඔවුන් දන්නෙ පරෙස්සම් වෙන්න කියන්න විතරයි. ඒත් මෙරට ජනමාධ්‍ය බටහිර වෙද මහතුනට ඒ ටික විවිධාකාරයෙන් කීමට වෙලාව දෙනවා. ඊට අමතර ව බටහිර වෙදකමේ එන්නත තියෙනවා. එන්නත සාර්ථක වුණොත් හොඳයි. ඒත් එන්නත නිසා ම කොවිඩ් වයිරසයේ විකෘතීන් (ප්‍රභේද) ඇති වන්න පුළුවන් කියන අයත් ඉන්නවා. ඒ අතර බටහිර විද්‍යාවෙ ගරුත්වයට පාත්‍ර වුණු නොබෙල් ත්‍යාග ලාභියකුත් ඉන්නවා.

 

අර ඉස්සර ලෙන් පූජා කරන විට කොටපු වාක්‍යයක් තියෙනවා. මට එය සම්පූර්ණයෙන් මතක නැහැ. මොනව කරන්න ද මගේ මතකය හැමදාමත් දුර්වලයි. ඒ වාක්‍යයෙ අගත අනගත චතුදිස සගස කියල කොටසක් තියෙනවා. ඒකෙන් සම්පූර්ණයෙන් කියන්නෙ ලෙන පැමිණි නොපැමිණි සතර දිශාවේ ම භික්‍ෂූන් වහන්සේට ලෙන පූජා කරන බවයි. අගත අනගත චතුදිස විපරිත පරදන එන්නතක් කොවිඩ් 19 සම්බන්ධයෙන්  තියෙනවා ද? විකෘතීන් සමග එන්නත් ද වැඩි කරන්න වේවි ද? විකෘතීන් හා එන්නත් අතර තරගයක ප්‍රතිඵල කෙබඳු වේද?

 

දැනටමත් ඩෙල්ටා + ගැන තරමක විචිකිච්ඡාවක් තියෙනවා. අපි සෝවාන් වෙලා නැති නිසා කොහොමටත් වෙන අර්ථයකින් හරි විචිකිච්ඡා තියෙනවා. ඊයේ පෙරේදා පීරු රටේ ලැම්ඩා කියා ප්‍රභේදයක් හඳුනා ගෙන. එය දැනටමත් රටවල් විසි ගණනකට පැතිරිලා කියනවා. මේකෙ කෙළවරක් තියේවි ද? මා මේවා කියන්නේ බය ගන්නන්න නො වෙයි. දැන්වත් බටහිර විද්‍යාවෙන් හැර වෙනත් දැනුම් පද්ධතීන්වල විසඳූම් තියෙනවා ද කියා හොයන්න බලන්න. බටහිර විද්‍යාව හා දැනුම එකම දැනුම් පද්ධතිය නොවෙයි.

 

මුළු ලෝකය ම අධර්මයෙන් පිරී ඉතිරිලා. පන්සිල් රකින එක විහිළුවක් වෙලා. කාමාශාව ඉහ වහා ගිහින්. ඉස්සර කතාවට කියනවා අබරණින් සැරසුණු තරුණියකට කිසි උවදුරක් නැතිව මැණිකක් ගෙන මාගම සිට උතුරට යන්න පුළුවන් කියා. දැන් ගියොත් කොහොම ද? අද සුරාව නැතිව ඉන්න බැහැ. කොවිඩ් නිසා රට වැහුවත් සුරාසල් වහන්න බැහැ. මා කතා කළේ තුනපහ ගැන. කෑමට එකතු කරන තුනපහ කොවිඩ් නැසීමට ආධාරයක් වෙන්න පුළුවන්. පන්සිල්වල කඩන තුනපහ කොවිඩ් වඩන්නක්.

 

අප අද වැඩ කරන්නෙ කොවිඩ් අපට නොව අල්ලපු ගෙදර මිනිහට හැදෙන ලෙඩක් ලෙස සලකල. ඒකත් අධාර්මිකයි. අපි සියල්ල පැත්තකට දාල ධාර්මික වෙන්න බලමු ද? පන්සිල් රකින්න උත්සාහ කරමු ද? ඒත් බටහිර ක්‍රිස්තියානි  නූතනත්වය වර්ධනය වෙලා තියෙන්නෙ ම පන්සිල් කැඩීම මත පදනම් වෙලා. බටහිර ක්‍රිස්තියානි නූතනත්ව වර්ධනයේ සීමාවට අප පැමිණ ඇති බව වටහා ගන්නවා නම් හොඳයි.