Main Logo

Wednesday 7 July 2021

හංගපු පොහොර එළියට දැමීමට ප්‍රමාද වුණේ ඇයි?

 හංගපු පොහොර එළියට දැමීමට ප්‍රමාද වුණේ ඇයි? 


අද ජූලි හත්වැනි දා. ජූලි හතයි කියා කියමනක් සිංහලයන් අතර තියෙනවා. ජූලි කියන්නෙ ජුලියන් දින දර්ශනය අනුව හත්වැනි මාසය. ග්‍රෙගරියානු දින දර්ශනයෙත් එහෙමයි. ජුලියස් සීසර් තම නමින් මාසයක් නම් කරන්න කලින් හත්වැනි මාසය වුණෙ සැප්තැම්බර් මාසය. සැප්තැම් කියන එකේ තේරුම හත්වැනි කියන එක. ගණිතය හදාරන අය දන්නවා සෙප්ටගන් කියන්නෙ සප්තාස්‍රය කියල. ඔක්ටොබර් කියන්නෙ අටවැනි මාසය. ඔක්ටගන් කියන්නෙ අෂ්ටාස්‍රයට. නොවෙම්බර් ඩිසෙම්බර් කියන්නෙ නවය හා දහය. ඩෙකාගන් කියන්නෙ දශාස්‍රයට. ඩෙසිමල් කියන්නෙ දශම. ජූලියස් සීසර් හා ඔගස්ටස් සීසර් තමන්ගෙ නම්වලින් මාස නම් කරල සැප්තැම්බර් මාසය නවවැනි මාසය කළා. ඉතිරි මාස තුනත් පස්සට තල්ලු කළා.


ඒ කොහොම හරි ජූලි හත කියන්නෙ හත්වැනි මාසෙ හත්වැනි දවස. ඉස්සර නම් අපට වැදගත් වුණෙ සත්සතිය වගේ සංකල්ප. සතිය කිව්වෙත් දවස් හතකට. දැන් සත්සතිය වෙනුවට ජූලි හත, හතේ හත තියෙනවා. කැටගොඩ ජූලි හයවැනි දා අස්වෙලා. ජූලි හතයි. කැටගොඩ කලින් හිටියෙ මොන පක්‍ෂවල ද කියන එක වැදගත් නැහැ. කවුරු හරි අහන්න ඉඩ තියෙනවා බැසිල් හිටියෙ මොන පක්‍ෂවල ද කා ළඟ ද කියා.


දැන් අව පක්‍ෂය. අමාවක ලබන්නෙ ජූලි නවවැනි දා පාන්දර. ඉන් පස්සෙ පුර පක්‍ෂය. දිවුරුම් දෙන්න හොඳ පුර පක්‍ෂයෙ. අස්වෙන්න අව පක්‍ෂය හොඳ ඇති. වඩා වැදගත් මන්ත්‍රී කෙනකු ලෙස දිවුරුම් දීම. බලය එන්නෙ එතැනින්. ඇමති ලෙස කවද දිවුරුම් දුන්නත් ප්‍රශ්නයක් නැහැ. මන්ත්‍රී කෙනකුට තමයි අගමැති වෙන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි ව්‍යවස්ථානුකූල ව ජනාධිපති වෙන්නත් පුළුවන්. බැසිල් හෙට මන්ත්‍රීවරයකු ලෙස අව පක්‍ෂයෙ දිවුරුම් දෙනවා කියනවා. බැසිල් මෙරට සංස්කෘතික සංකල්පවලට ගරු කරන්නෙ නැද්ද?  


කවුරු කවුරුන් ලෙස දිවුරුම් දුන්නත් මට අද තියෙන ප්‍රශ්නය පොහොර ප්‍රශ්නය. ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ ගත් වැදගත් තීරණයක් වුණෙ රසායනික පොහොර ගෙන්වීම තහනම් කිරීම. එහෙත් මට හිතා ගන්න බැරි ඒ සමග ම පොහොර ආනයනය කරන්නන් පොහොර හංගන බව ආණ්ඩුවෙ උපදේශකයන් තේරුම් නොගැනීම. පසුගිය ජූනි 23 වැනි දා ආණ්ඩුවක් පළවා හරිමු යන ලිපියෙන් මෙය අවධාරණය කෙරුණා. එහි මෙසේ සඳහන් වුණා.


“මා හිතන්නෙ ජනාධිපති තම බලතල පාවිච්චි නොකිරීම අද රටේ ප්‍රශ්නවලට ප්‍රධාන හේතුවක් බවට පත්වෙලා. අතරමැදි ආණ්ඩුව පළවා හරින්න ඕන. ඔවුන් මෙරටට කර ඇති සේවය කුමක් ද? හංගගෙන ඉන්න රසායනික පොහොර බෙදන්නට වහාම පියවර ගන්න ඕන. රසායනික පොහොර වස වුණත් දේශීය පොහොර නිෂ්පාදනය කරන තෙක් ඒ යම් පමණින් හරි යොදා ගන්න වේවි. එය වෙන ම කතාවක්. බටහිර විද්‍යාඥයන් යැයි හිතා ඉන්න මෙරට පඬියන් කියන දේ සතපහකට ගණන් ගන්න ඕන නැහැ. පසුගිය සියවස් හතරේ බටහිර විද්‍යාවේ ශේෂ පත්‍රය කුමක් ද? අපි ඒ ගැන පසුව කතා කරමු. 


මේ කන්නයට ගොවීන්ට පොහොර දෙන්න වහා ම ක්‍රියත්මක වෙන්න ඕන. විවිධ නීති තියෙන්නෙ පොල් ගාන්න නො වෙයි. පොහොර බෙදීම හා ඒ සම්බන්ධ ක්‍රියාවලි අත්‍යවශ්‍ය සේවයක් කරන්න ඕන. තෙල් මිල වැඩි කිරීමේ දී සහන දෙන්න පුළුවන්. ගොවීන්ට ධීවරයන්ට කුපන මගින් කලින් මිලට යම් උපරිමයකට යටත් ව තෙල් ලබා දෙන්න පුළුවන්. භුමිතෙල් කලින් මිලට දෙන්න පුළුවන්. ප්‍රජාතන්ත්‍රවදය කියන්නෙ අතරමැදියන්ගෙ ඊනියා අයිතිවාසිකම් රැකලා ජනතාව අසහනයට පත් කරන එක නො වෙයි. අතරමැදියන්ගෙ ආණ්ඩුව පළවා හැරීමට නිල ආණ්ඩුවට සහාය දෙමු.”   


ඊයෙ ජූලි හයවැනි දා මහින්දානන්ද අලුත්ගමගේ කියනවා පොහොර හංගගෙන ඉන්නවා කියා. ඔහු ගණන් හිලවු වගේකුත් දැක් වූවා. මට ගණන් හිලවු මතකයක් නැහැ. මා ඒ ගැන උනන්දුවක් දක්වන්නෙත් නැහැ. එහෙත් ඉතා පැහැදිලි කරුණ තමයි පොහොර ගෙන්වීම නතර කළෙ ඊළඟ කන්නවලට මිස මේ කන්නයට නොවන බවත් මේ කන්නයට හා සමහරවිට ඊළඟ කන්නයටත් අවශ්‍ය තරම් පොහොර දැනටමත් ආනයනය කර ඇති බවත්. මෙරට ඉන්න ඉන්දියාවේ මහාරාජාලා හා තවත් අය පොහොර හැංගුවෙ ජනාධිපති පොහොර තහනම ගැන කී දවසෙමයි. 


ඒ සමගම ගොවීන්ට මේ කන්නයට පොහොර නැති වුණා. අර මහාරාජාලා  සජිත්ලා ධනදාසලා ක්වොන්ටම්ලා එකතු වෙලා ගොවීන් සංවිධානය කළා. සිරස විතරක් නොවෙයි දෙරණත් ඒවට ප්‍රචාරය ලබා දුන්නා. අමරසේකර පොහොර සටනට බැස්සා. ඒත් කරන්න ඕන මොකක් ද කියා කිවුවේ නැහැ. අද නොවෙයි මාස දෙකකට කලින් හංගපු පොහොර එළියට ගෙන ගොවීන්ට බෙදා දෙන්න තිබුණා. 


මට තියෙන ප්‍රශ්නය ජනාධිපති එසේ නොකළේ ඈයි ද යන්නයි. උපදේශකයන් නිසි උපදෙස් නො දුන්නේ ද? එසේත් නැත්නම් පොහොර එළියට ගැනීමට කැටගොඩ අස්වෙනකම් හිටියා ද?  කැට තියල කියන්නම් මේ වෙලාවෙ හංගපු පොහොර එළියට දැමීමෙන් ජනාධිපතිට ගෞරවයක් ලැබෙන එකක් නැහැ.