බුද්ධිමතකු නොවී ශිල්පියකු වූ ගැමුණු
ඊයේ ලිපියේ සඳහන් වූ යකුන් එළවීම විශ්ලේෂණාත්මක මනසක් නැති ඇතැමුන් තමන්ට වාසි සහගත ආකාරයකට විවරණය කරලා. යකුන් යනු අමනුෂ්‍යයන් බවත් විජය රජු මෙරටට පැමිණෙන විට මෙහි සිටියේ අමනුෂ්‍යයන් බවත් කීමට ඔවුන් ඒ යොදා ගෙන. මෙහි දී අප තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. ඒ තමයි පැරණි ආසියාතික ලෝකයේ යක්‍ෂ රාක්‍ෂස නාග යනුවෙන් මිනිස් ගෝත්‍ර මෙන් ම මනුෂ්‍ය නොවන ප්‍රාණීන් ද හඳුන්වා ඇති බව. අදත් මියන්මාහි හා ඉන්දියාවේ නාග ගෝත්‍රිකයන් දකින්න පුළුවන්. මියන්මාහි අද ප්‍රසිද්ධ ප්‍රදේශයක් බවට පත් වී ඇති රකායන් ප්‍රාන්තය කලක් රක්ඛන්ග දේශය නමින් හඳුන්වා තිබෙනවා. රකායන් යන්න රක්කපුර රාක්‍ෂසපුර ආදියෙන් බිඳුණු එකක් යැයි කියැවෙනවා. බොහෝ කලකට පෙර ලංකාව ද එවන් නමකින් හඳුන්වා දී තිබෙනවා ද? ඒ ගැන පසුව කතා කරමු. දේවානම්පිය තිස්ස රජු හා සම්බන්ධ පුවත් මියන්මාහි තියෙනවා. ඒ කතා ලංකා ඉතිහාසයෙහි නැහැ. එසේ වූයේ ඇයි?
මට අවශ්‍ය ගැමුණු සිල්වා ගැන තවදුරටත් කතා
කරන්න. මා හිතනවා බොරුකාරයන්ගෙන් පිරි රටක
ඉහළ ම වැඩකාරයෙක් යන්න ඔහුට උචිතය කියා. මට ඔහු හමවූයේ 1964
දී. මා ගණිතය ඉගෙනීමට කියා පේරාදෙණියෙන් කොළඹට පැමිණි වසර. ඒ වසරේ ඉංජිනේරු පීඨය
පේරාදෙණියට ගෙන ගියා. එහෙත් ගැමුණු සතිඅන්තවල කොළඹට ඒමට පුරුද්දක් කරගෙන තිබුණා.
ඔහුගේ පාසල් මිතුරකු වූ බු ප්‍රේමරත්න මගේ එකල හොඳ ම මිතුරා වී සිටියා. බූ මට වඩා
ඉහළ වසරේ. එහෙත් අප දෙදෙනා ම පූර්ණ සමසමාජ පාක්‍ෂියන් වුණා. අප එකල සමසමාජ පක්‍ෂයේ
පුර්ණ සාමාජිකත්වය ලැබීම ඉතා ඉහළින් සැලකුවා.
ගැමුණු සමසමාජ පක්‍ෂයට හිතවත් වූවා. එහෙත් ඔහු කිසි දිනෙක සමසමාජ පාක්‍ෂිකයකු
වුණේ නැහැ.
ගැමුණු හා බූ ආනන්ද විදුහලේ ඉගෙන ගනිද්දී කොටගම
වාචිස්සර හාමුදුරුවන්ගෙන් තාර්කික හා න්‍යායික බුදුදහම ඉගෙන ගත් අය. මා විද්‍යාඥයකු
වීමට බලාපොරොත්තුවෙන් සිටි සමසමාජ පාක්‍ෂිකයෙක්. අපි ඊනියා යථාර්ථවාදීන්. අප කාළාම
සූත්‍රය හරිහැටි දැනගෙන හිටියේ නැහැ. අප එකල හිතුවේ කාළාම සූත්‍රය විද්‍යාත්මක ය
කියා. වාචිස්සර හාමුදුරුවන්ගෙන් තාර්කික හා න්‍යායික බුදුදහම උගත් ඇතැම් දත්
දෙස්තරලා තවමත් කාළාම සූත්‍රය ඉගෙන ගත් බවක් පේන්න නැහැ. ඔවුන් තවමත් අපරණිතයි.
එහෙත් ගැමුණු පරිණත වෙද්දී මේ ඉන්ද්‍රිය ගෝචර
ලෝක කතා පමණක් විශ්වාස කිරීම අත්හැරියා. ඔහු නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ කතන්දරය
ඉන්ද්‍රිය ගෝචර නොවන බව සමහර විට නොදැන සිටින්න ඇති. ඔහු ඉංජිනේරු සංස්ථාවේ වැඩට
ගිය පසු ක්‍රමයෙන් ආකල්පීය වෙනසකට භාජනය වූ බව පැහැදිලියි. ඔහුට කුලසිංහ මහතා
හමුවීම යහපත් වෙන්න ඇති. කුලසිංහ මහතාට යම් ජාතිකත්වයක් තිබුණා. මට ඔහු
හඳුනාගැනීමට හැකි වූයේ අවසන් කාලයේ. ගැමුණු කියන අන්දමට යමකු සිවිල් ඉංජිනේරුවකු
හරි කාර්මික ඉංජිනේරුවකු ලෙස හඳුන්වාගැනීම ගැන කුලසිංහ මහතා කැමති වී නැහැ. ඔහුට
හිටියේ ඉංජිනේරුවන්.
ගැමුණු උපාධිය ලැබුවේ කාර්මික ඉංජිනේරු
අංශයෙන්. එහෙත් ඔහු කුලසිංහ මහතාගේ මග පෙන්වීම යටතේ වඩා වැඩ කර තියෙන්නේ සිවිල්
ඉංජිනේරු අශයේ. ගැමුණුගේ උපාධිය ගැනත් යමක් කියන්න ඕනෙ. ඔහු උපාධිය නිම කිරීමට
තරමක කාලයක් ගත්තා. ඔහු ඊනියා දක්‍ෂ ශිෂ්‍යයෙක් වුණෙ නැහැ. තම කණ්ඩායමේ ප්‍රථමයා
වීම (බැච් ටොප්) ඔහුට අවශ්‍ය වුණේ නැහැ. 1962 ඔහු සමග විශ්වවිද්‍යාලයට ඇතුල් වූ
ඊනියා දක්‍ෂ ශිෂ්‍යයන් ගැන කීමට ඇත්තේ කුමක් ද?
ඉංජිනේරු කියන්නේ ශිල්පයක්. බටහිර වෙදකමත්
ශිල්පයක්. බොහෝ දෙනාට ඒ ගැන වැටහීමක් නැහැ. සිංහලයන් දක්‍ෂතා දක්වා ඇත්තේ
ශිල්පයෙහි මිස ශාස්ත්‍රයෙහි නො වෙයි. අපට අදත් දක්‍ෂතා ඇත්තේ ශිල්පයෙහි මිස ශාස්ත්‍රයෙහි
නො වෙයි. ගැමුණු ශිල්පයෙහි අති දක්‍ෂයෙක් වුණා. ඔහු තම බටහිර ඉංජිනේරු ශිල්පය මෙරට
සංස්කෘතියෙන් වියුක්ත කර සිතුවේ නැහැ. ඔහු කියනා පරිදි ම බාර හාරවීම් පේවීම් ඔහුගේ
ඉංජිනේරු ශිල්පය සමග බැඳී තිබුණා.
ඔහු ඊනියා දක්‍ෂ ශිෂ්‍යයෙක් නොවීම ඔහුට වාසියක්
වෙන්න ඇති. තරුණ කල බුද්ධිවාදී හේතුවාදී වුණත් ශිල්පීය පුද්ගලයන්ට හේතුවාද
අත්හැරීමට ඉඩකඩක් ලැබෙනවා. ඊනියා දක්‍ෂ ශිෂ්‍යයන්ට, තමන් දක්‍ෂ යැයි සිතා සිටින දද ජනයාට, බුද්ධිවාදය
අත්හරින්න බැරි වෙනවා. එසේ අත්හැරීම ම තම ඊනියා බුද්ධියට කැළලක් කියා ඔවුන්
හිතනවා. ගැමුණුට එවැනි හීනමානයක් තිබුණේ නැහැ. ඊනියා බුද්ධිමතුන් ශාස්ත්‍රයෙහි කරන
ඉටිගෙඩියක් නැහැ, ඔවුන් දන්නේ බොරු සංවාදවල යෙදීම පමණයි.
ගැමුණු හා මා අවසන් වරට සම්බන්ධ වුණේ ආර් ප්‍රේමදාස
ක්‍රීඩාංගණයේ ආලෝක කණු සවිකිරීමට ගිය අවස්ථාවේ. ඔහුට අවශ්‍ය වුණේ එක්තරා උසකින් වූ
ආලෝක කණුවල හෙවනැලි තණතිල්ලට නොවැටෙන සේ පිටියට අවම දුරකින් සවි කිරීමට. පඬියන්
නොදන්නවාට ඉර පොළොව වටේ ගමන් කරනවා. හෙවනැලි ඇද මිනිසුන්ට හෙවනැල්ලේ දිග වෙනස්වීම
මිස ඉරේ ගමන පෙනෙන්නේ නැහැ. ඔවුන්ගේ හෙවනැලි බුද්ධියෙන් ඇද වෙලා.
ඉරේ ප්‍රශ්නය එය හැමදා ම එක ම පථයක, පාරක
නොයෑමයි. ඉර ක්‍රාන්තිවලයය (ecliptic) කියා හැඳින්වෙන පථයක වාර්ෂික චලනයක යෙදෙන අතර දෛනික ව ද නැගෙනහිරේ
සිට බටහිරට ගමන් කරනවා. ඉර ක්‍රාන්තිවලයයේ යන නිසා දෛනික චලිතය දවසින් දවස වෙනස්
වෙනවා. ඉර දෙසැම්බර් 21 වැනි දාට දකුණට ම ගොස් ජූනි 21
වැනි දාට උතුරට ම යනවා. මේ දිනවල උත්තරාර්ධ ගෝලයේ රටවල රෑටත් ඉර පායලා. ලංකාවෙත්
ඉර බහින්නෙ ටිකක් පරක්කුවෙලා.
ඉර දෛනික ව එක ම පාරක යන්නෙ නැති නිසා කණුවල
හෙවනැලිවල දිග හා දිශාව, දිනය හා වෙලාව අනුව වෙනස් වෙනව. ඒක
ගණනය කරන්න පුළුවන්. ඒ සඳහා ගෝලීය ත්‍රිකෝණමිතියත් (spherical trigonometry) ඛගෝලයෙහි (celestial sphere) ඉරේ පථයත් දැනගැනීම අවශ්‍ය වෙනවා. ගණනය
කිරීම් කොළඹට සාපේක්‍ෂව කරන්න ඕන. ඒත් ඒක ලොකු වැඩක් නො වෙයි. මා ඒ ගණනය කරල අහවල්
අහවල් තැන්වල කණු සවි කරන්න කියා ගැමුණුට උපදෙස් දුන්නා. ඒක මගෙන් වෙච්ච ප්‍රායෝගික
වැඩක්. ඒක තාරකා විද්‍යාවට සම්බන්ධයි.
ගැමුණු මගෙන්
ඒක ඇහුවට ජනමාධ්‍යවේදියකු කිසි දිනෙක තාරකාවක් ගැන කළු කුහර ගැන ගුරුත්වජ
කාච ගැන මහා පිපිරුම ගැන අහල නැහැ. ජනමාධ්‍යවේදීන්ගෙ හෙවනැලි ඇදයි.
ගැමුණු අප අත්හැර ගොස් ඇත්තෙ ජූලි දෙවැනි දා.
ඔහුට මා නිවන් සුව (දුක නැති කිරීම යන අරුතින් මිස සැපක් විඳීම යන අරුතකින් නො
වෙයි) පතනවා. ඔහු පඬියකු නොවූ නිසා සසරක් ගැන විශ්වාස කළා. ඔහුගේ අභාවයෙන් මට
මිතුරකුත් රටට අතිදක්‍ෂ වැඩකාරයකුත් නැති වුණා.