ඉන්දියානු විස දුම
ඉන්දියාවෙන් ලංකාවට විෂ ධූමයක් හෙවත් විස දුමක් ඇවිල්ලා. ඒකෙන් කිහිප දෙනකු ලෙඩ වේවි. දින කිහිපයකින් පසු එය නැති වේවි. එහෙත් ඊට වඩා විස දුමක් (ඊනියා විසඳුමක්) දින කිහිපයකට කලින් ලංකාවට ආවා. ඒ විස දුම හරිගියොත් ලංකාව ම ලෙඩ වී මරණයට පත් වේවි. ඉන්දියාවෙන් විස දුම් එන්නෙ විසඳුම් හැටියට. විශේෂයෙන් ම රෝ සංවිධානයෙන්. රෝ නැති වුවත් ඒක අද ඊයේ නොවෙයි අවුරුදු දහස් ගණනක් තිස්සෙ එන එකක්. අප එම්සීසී ගිවිසුම ගැන කතා කරනවා. එයට විරුද්ධ වෙනවා. එයත් මූලික වශයෙන් රට බෙදීමක් සඳහා ගන්නා තැතක් බව මා කියා ඇති. එම්සීසී ගිිවිසුම අත්සන් කිරීම තාවකාලික ව වුවත් නතර කර ගැනීම දේශප්‍රේමීන් ලැබූ ජයග්‍රහණයක් වගේ ම පරාජයක්. අර උපවාසය නතර කළ ආකාරය ගැන මගේ පැහැදීමක් නැහැ. ආණ්ඩුව හාමුදුරුවන්ගෙ උපවාසය අවසානයේ දී ඩැහැ ගත්තා. මා එසේ කීම ගැන බොහෝ දෙනා අසතුටු වන්න පුළුවන්. ඒකට මට කරන්න දෙයක් නැහැ.