පසුගිය සතියේ ලිපියෙහි තීන්ත වේලීමටත් පෙර එක්තරා පියකු තම සිඟිති බිළිඳා ගලේ ගසා මරාදැමීමේ පුවතක් වාර්තා විණි. සිංහල බෞද්ධ රටේ මෙවැනි ක්‍රියා සිදුවන්නේ ඇයි ද යන්න භික්‍ෂූන් වහන්සේලාගේ අවධානයට යොමු වී ඇත් දැයි නො දනිමි. අප රට තරම් බණ කියන රටක් ලෝකයේ තවත් ඇතැයි නො සිතමි. එහෙත් අප බණ අසන්නේ ඒ පිළිපැදීමට යැයි සිතිය නො හැකි ය. නීතිය මගින් රට හැඩ ගැස්සවිය නොහැකි බව මේ වන විට බොහෝ දෙනාට අවබෝධ වී ඇතැයි සිතමි. රට හැඩ ගැස්සවිය හැක්කේ රටේ සංස්කෘතියට ය. කෙටියෙන් කියන්නේ නම් රටේ ජනතාවගේ ක්‍රියාකාරීත්වයෙන් පිළිබිඹු වන්නේ රටේ සංස්කෘතිය ය. අප රටේ අද ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියක් ද යන ප්‍රශ්නය අසන්නට සිදු වී ඇත. ඇතැම් උගතකු එය ම අනෙක් පැත්තට කරකවා කියනු ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය ජනතාවගේ හැසිරීම් රටාවෙන් පිළිබිඹු වන බව ය.
අපි බණ ඇසීමෙන් ම පටන් ගනිමු. බණ ඇසීම අද විලාසිතාවක් බවට පත් වී ඇත් ද? අප අහවල් හාමුදුරුවන්ගේ බණ ඇසුවා යැයි ඇතැම් උපාසිකාවන් කියන්නේ අප අහවල් සාප්පුවෙන් බඩු ගත්තා යැයි කියන අන්දමින් මහත් උජාරුවෙනි. ඒ සමග ම හරි හොඳ බණ ටික යනුවෙන් ද කීමට උපාසිකාව අමතක නොකරනු ඇත. මේ සියල්ල පිටුපස ඇත්තේ ලකුණු දමා ගැනීම හා සමාජ තත්ත්වයක් අත්කර ගැනීම ය. සිංහල බෞද්ධයන් මෙතරම් මමත්වය පිම්බීමට යොමු වී ඇත්තේ කවදා සිට ද යන්න තරමක ප්‍රශ්නයකි. මා ද ඇතුළු ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නන් ද ගෞරවයක් ලබාගැනීමේ ආශාව මිරිකා හළ අය යැයි කීමට නො හැකි ය. රාගයෙන් (ආශාවන්ගෙන්) මිදී ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නෝ කී දෙනෙක් වෙත් ද? එමෙන් ම ජාතික ව්‍යාපාරය දේශපාලන අභිමතාර්ථ සඳහා බලයට පැමිණීම සඳහා යොදා ගන්නෝ ද වෙති. අද දේශපාලනකරණයට ලක් නොවූ ජාතික ව්‍යාපාරය දුර්වල වී ඇත්තේ ඇතැමුන් බලයට පැමිණීම සඳහා ජාතික ව්‍යාපාරය දේශපාලනීකරණයට ලක්කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ය. ඒ ක්‍රියාවලිය අවසන් වී ඇත්තේ ඔවුන් බලාපොරොත්තු වූ ආකාරයට නොව මහින්ද රාජපක්‍ෂ මහතා දේශපාලනීකරණය වූ ජාතික ව්‍යාපාරය තම අතට ගැනීමෙනි. අද මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් තොර දේශපාලනීකරණය නොවූ ජාතික ව්‍යාපාරයක් ගැන සිතිය නො හැකි ය.
සිංහල බෞද්ධයන් හා හෙළ බෞද්ධයන් අතර ප්‍රධාන වෙනස මමත්වය පිම්බීම විය හැකි ය. හෙළ බෞද්ධයන් කෙටූ සෙල්ලිපි අපට තවමත් වැඩි වශයෙන් හමු වී නැත් ද? එසේත් නොමැති නම් ඔවූහු සෙල්ලිපි ගැන එතරම් උනන්දුවක් නො දැක්වූවෝ ද? එසේත් නොමැති නම් සිංහල බෞද්ධයෝ හෙළ බෞද්ධයන්ගේ සෙල්ලිපි විනාශ කළෝ ද? කෙසේ වුවත් සිංහල බෞද්ධයන්ගේ සෙල්ලිපි ඉතා විශාල සංඛ්‍යාවක් දිවයින පුරා ම දැකගත හැකි ය. මේ බොහොමයක් අපේ ඉතිහාසය ලිවීමේ දී වැදගත් වී ඇති බව අමුතුවෙන් කිව යුතු නො වේ. සිංහල බෞද්ධයනට වෙනත් කිසිවකුට නැති තරමේ ලිඛිත ඉතිහාසයක් ඇත්තේ ද අප බොහෝ දේ වාර්තා කිරීමට දැක් වූ කැමැත්ත නිසා යැයි සිතිය හැකි ය. එහෙත් ඒ අතර ම කිවයුතු කරුණක් වනුයේ මේ වාර්තා බොහෝ විට පෞද්ගලික කීර්තියක් ගෞරවයක් අපේක්‍ෂවෙන් තබන ලද ඒවා බව ය. අද ද ජලකරාමයක් විවෘත කරන අවස්ථාවක දී පවා ඒ පිළිබඳ ඉදිකෙරෙන සමරු ඵලයකයෙහි සඳහන් නොවන්නේ කරාමය සවිකළ කාර්මික භවතාගේ නම පමණ ය. මෙය දේශපාලනඥයන්ට පමණක් සීමාවූවක් ද නො වේ. බොහෝ විට පාසල් ත්‍යාග ප්‍රදානොත්සවවල දී, ක්‍රීඩා උත්සවවල දී, විශ්වවිද්‍යාල උපාධි ප්‍රදානොත්සවවල දී අහවල් ත්‍යාගය අහවල් කුසලානය ප්‍රදානය කළේ කවු ද යන්න හඬගා කීව යුතු ව ඇත. අප තරම් පුද්ගලයන්ගේ නමින් පාරවල් ගොඩනැගිලි ආදිය නම් කරන, පුද්ගලයන් වෙනුවෙන් මුද්දර නිකුත්කරන රටක් තවත් නොමැති විය හැකි ය. ඒ මදිවාට දැන් ඒ ඒ අයගේ නමින් පදනම් ද ඇත. කිසිම පදනමක් නැති මේ පදනම් මගින් කෙරෙන සේවය ජනතාව යැයි කියන්නන්ට ද එසේත් නැත්නම් පදනමෙහි නම සඳහන් පුද්ගලයාට ද?
සෙල්ලිපිවල තම නම සඳහන් කරගැනීම අශෝක බෞද්ධ සංස්කෘතිය මෙරටට හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් විය හැකි ය. අපට එය දඹදිවෙන් ලැබුණක් විය හැකි ය. විජය හා අශෝක සංස්කෘතීන් උකහා ගැනීමෙන් පසු සිංහල බෞද්ධ උගතුන් ඒ සංස්කෘතීන්වල ඇතැම් ලක්‍ෂණ උපරිමයකට ගෙන ගිය බව පෙනෙයි. අශෝක රජුගේ ටැම්ලිපි උගතුන් හා ඔවුන්ගේ උපදෙස් ලබාගත් ප්‍රභූන් විසින් ආදර්ශයට ගෙන ඒ වර්ධනය කරගත් බවක් පෙනී යයි. දැනුදු බටහිර ක්‍රිස්තියානි සංස්කෘතිය සම්බන්ධයෙන් ගත්කල උගත්තු එය කරති. අවාසනාවකට අද මෙරට උගත් සංඛ්‍යාව ප්‍රතිශතයක් ලෙස ගත්කල එදාට වැඩි ය. ඒ නිසා ම අපේ අනුකාරකත්වය ද වැඩි වී ඇත. නිදහස් අධ්‍යාපනයෙන් මෙතරම් උගතුන් සංඛ්‍යාවක් බිහි නොකරන්නට අපේ මමත්වය මෙතරම් නොපිම්බෙනු ඇත. අද වන විට භික්‍ෂූන්වහන්සේ තමන්වහන්සේගේ තනතුරු පිළිබඳ ව ගිහියන්ට ද වඩා උනන්දුවක් දක්වන බව පෙනී යයි. සුද්දන් අප පාලනය කිරීමේ දී අපේ මේ දුර්වලකම යොදාගෙන ඇති බව පෙනී යයි. නමට පමණක් ඇති තනතුරු භික්‍ෂූන් වහන්සේට ලබා දී බලය තමන් අත රඳවා ගන්නේ කෙසේ දැයි සුද්දෝ දැන සිටියහ. අපේ ඉතිහාසයෙහි සෙල්ලිපිවල පුරාජේරුව වැඩියෙන් ම ඇති සෙල්ලිපිය ලෙස සැලකිය හැකි නිශ්සංඛමල්ල රජුගේ සෙල්ලිපිය අපේ අවධානයට මෙයට වඩා යොමු විය යුතු ය. එහි සඳහන් අන්දමට මෙරට රජකම ගොවි වංශයේ අයකුට හිමි නොවිය යුතු ය. මෙහි සඳහන් ගොවි වංශය වත්මන් ගොයිගම කුලය විය නො හැකි ය. එකී සෙල්ලිපියෙහි ගොවි වංශය ලෙස හැඳින්වෙන්නේ යක්‍ෂ ගෝත්‍රිකයන් ද? යක්‍ෂ ගෝත්‍රිකයෝ ගොවියෝ වූහ. මෙරට ඉතිහාසය යගු කෞරාණ හෙවත් යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ ඇසෙන් බැලූ විට අපට වෙනත් අර්ථකථන ගෙතිය හැකි ය.
අප සිංහල බෞද්ධයන් වීමෙන් පසු මමත්වය ඉහළ ගොස් ඇති නමුත් එයින් කියැවෙන්නේ අපේ සාමූහිකත්වය නැති වූ බව නො වේ. යගු කෞරාණයන්ගෙන් හා හෙළ බෞද්ධ සංස්කෘතියෙන් අපට උරුම වූ සාමූහිකත්වය සුළුවෙන් වුවත් අප අතර තවමත් දකින්නට ඇත. එය ඊනියා වැඩවසම් සංස්කෘතියක ලක්‍ෂණ යැයි කියමින් බටහිරයන් අනුකරණයෙන් පෞද්ගලිකත්වය ඉස්මතු කිරීමට උගතුන් යත්න දරණ නමුත් සාමූහිකත්වයෙහි නෂ්ටාවශේෂ අප අතර තවමත් දකින්නට ඇත. එසේ නොවන්නට මේ සටහනවත් නොලියැවෙන්නට ඉඩ තිබිණි. (මතු සම්බන්ධයි)
නලින් ද සිල්වා
2014-08-31
2014-08-31