Main Logo

Sunday, 7 September 2014

ඉතා සංවේගයෙන් ලියමි - 3


සිංහල බෞද්ධයන්ගේ මමත්වය ඉතා ඈත කාලයක සිට පැවතෙන්නක්‌ නමුදු සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි සාමූහිකත්වයක්‌ ද විය. එය හෙළ බෞද්ධ යුගයේ සිට ම පැවතුණකි. හෙළ බෞද්ධයන් අතර මමත්වයක්‌ නොතිබිණි යෑයි මෙයින් නො කියෑවෙයි. එහෙත් විජය සංස්‌කෘතියෙහි හා අශෝක සංස්‌කෘතියෙහි බලපෑම හේතුකොටගෙන සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි මමත්වය හෙළ බෞද්ධ සංස්‌කෘතියෙහි මමත්වයට වඩා වැඩි විය. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි යගු කෞරාණයන් හෙවත් යක්‌ෂ, ගෝත්‍රිකයන්ගේ ඉතිහාසය අමතක කිරීමටත් එකී ගෝත්‍රිකයන් අවමානයට ලක්‌කිරීමටත් කටයුතු කෙරී ඇත. පසුගිය සතියෙහි අපි නිශ්ශංක මල්ල රජුගේ සෙල්ලිපිය ගැන සඳහන් කළෙමු. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ගොවි වංශය ලෙස එකල හැඳින් වී ඇත්තේ යගු කෞරාණයන් යෑයි සිතිය හැකි ය. එහෙත් යගු කෞරාණයන් පොළොන්නරු යුගයෙන් පසුව ද විජය හා අශෝක සංස්‌කෘතීන් සමග පැමිණි බමුණු සංස්‌කෘතියට විරුද්ධව සටන් කර ඇති බව පෙනෙයි. උම්මග්ග ජාතකයෙහි ගොවියා පුත් මහොෂධයන් හා කේවට්‌ට ආදී බමුණු පඬියන් අතර සටන එහි සංකේතයක්‌ ලෙස සැලකිය හැකි ය. එදා සිටි බමුණු පඬියෝ විජය හා අශෝක සංස්‌කෘතීන් නියෝජනය කළහ. අද අප අතර සිටින බමුණු පඬියෝ බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි නියෝජිතයෝ වෙති.

සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි මමත්වය යම් ප්‍රමාණයකට වැඩී ගිය ද එය සිදු වී ඇත්තේ සාමුහිකත්වය පරදවා නො වේ. සිංහල බෞද්ධ සංස්‌කෘතිය ද සමස්‌තයක්‌ ලෙස ගත්කල සාමූහිකත්වයට මුල්තැන දෙන්නක්‌ විය. මෙහි දී සිංහල බෞද්ධ සංස්‌කෘතිය ඇති වී තිබෙන්නේ ම හෙළ බෞද්ධ සංස්‌කෘතියට විජය හා අශෝක සංස්‌කෘතීන් යම් පමණකින් වුව අවශෝෂණය කිරීමෙන් පසුව බව නැවත නැවතත් මතක්‌ කරගත යුතු ය. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි ද වී ගොවිතැන මුල්තැන ගැනීමත්, වැව් කර්මාන්තය අත්‍යවශ්‍ය කටයුත්තක්‌ බවට පත්වීමත් සමූහිකත්වයට මුල්තැන ලැබීමට හේතු වනු ඇති බව පැහැදිලි ය. ආර්ථිකය, සංස්‌කෘතිය හා දේශපාලනය අතර අසංගත බවක්‌ සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි දක්‌නට නො වී ය.

මේ තත්ත්වය වෙනස්‌වීමට පටන් ගත්තේ පෘතුගීසීන්ගේ පැමිණීමෙන් පසුව ය. පෘතුගීසීහු නැගී එන යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියක සාමාජිකයෝ වූහ. ඔවුහු ආගමෙන් කතෝලිකයන් වුව ද සංස්‌කෘතියෙන් ගැලිලියෝගේ පුරෝගාමිහු වූහ. පෘතුගීසීන්ට ද වඩා ලන්දේසිහු ද, ලන්දේසීන්ට වඩා ඉංග්‍රීසිහු ද යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය නියෝජනය කළහ. යුරෝපීයයන් අප රටට ගෙන ආ යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය පෞද්ගලිකත්වයට පංචෙන්ද්‍රියයන්ට හා පංචෙන්ද්‍රි ය පිනවීමට මුල්තැන දෙන්නක්‌ විය. එහි සාමුහිතත්වය පරයා යන පෞද්ගලිකත්වයක්‌ වෙයි. ඔවුන්ගේ ඊනියා දැනුමෙහි (දැනුම යනු කුමක්‌ දැයි බටහිරයෝ අදත් නො දනිති. ඔවුන් ඊනියා ඥාන විභාගයක්‌ - දැනුම පිළිබඳ දැනුමක්‌ ගැන තෙපරබෑව ද, ඔවුන්ට දැනුම යනු කුමක්‌ දැයි දැනගැනීමට හැකියාවක්‌ නැත) පදනම වන්නේ ද පංචෙන්ද්‍රීය ගෝචරභාවය ය. ඔවුහු පංචෙන්ද්‍රීය ගෝචර නොවන දැනුම් මිථ්‍යාවන් ලෙස සලකති. එහෙත් පට්‌ටපල් බොරුවක්‌ වූ බටහිර විද්‍යාවෙහි පංචෙන්ද්‍රීය ගෝචර සංසිද්ධි තේරුම් ගැනීමට පංචෙන්ද්‍රීය ගෝචර නොවන සංකල්ප හා කතන්දර ගොතති. මෙරට වත්මනෙහි ජීවත්වන අනුකාරක නිවට බමුණු පඬියෝ මේ කතා විශ්වාස කරති. ඔවුන්ට නාථ දෙවියන්ගෙන් දැනුම ලබාගැනීම ගැන විශ්වාසයක්‌ නැත. පුනබ්භවයක්‌ ගැන විශ්වාසයක්‌ නැත. ඔවුන් ඒ විශ්වාස නොකරන්නේ ඒ පංචෙන්ද්‍රීනය ගෝචර නොවන බැවිණි. එහෙත් ඔවුහු පංචෙන්ද්‍රිය ගෝචර නොවන පට්‌ටපල් බොරුවක්‌ වූ ගුරුත්වාකර්ෂණ බලය විශ්වාස කරති, නැත අදහති. පුනබ්භවය විශ්වාස නොකරණ මේ පඬියෝ ඊනියා ජාතික චින්තනයක්‌ ගැන කතා කළ ද බෞද්ධයන් ලෙස පෙනී සිටිය ද මිසදිටුවෝ පමණක්‌ ම වෙති. ඔවුන් දන්නා ජාතික චින්තනයක්‌ ද නැත. ඊනියා ජාතික චින්තනය ලිබරල්වාදයට හෝ මාක්‌ස්‌වාදයට හෝ ආදේශයක්‌ නොවන බව වටහා ගැනීමට තරම් විචාරශීලී බවක්‌ ඔවුන්ට නැත. අවාසනාවකට අද වන විට නාථ දෙවියන් සමග ගනුදෙනු කළ, එතුමන් සමග, සන්නිවේදනයෙහි දී අපට අනගි සහායක්‌ ලබා දුන්නෝ අද නාථ දෙවියන් ද විකුණාගෙන කති. අද නාථ දෙවියෝ ද පෞද්ගලිකත්වය හමුවේ අසරණ වී සිටිති.

බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය අපට හඳුන්වා අදී ඇති නමුත් අපට එය අනුකරණය කිරීමට මිස අවශෝෂණය කිරීමට නොහැකි වී ඇත. මෙය අප රටේ ප්‍රශ්නයක්‌ පමණක්‌ නො වේ. ඉන්දියාව ඇතුළු සාක්‌ කලාපයේ රටවලට ද, ථෙරවාදී බෞද්ධ සංස්‌කෘතියක්‌ ඇති අග්නිදිග ආසියාවේ රටවල ට ද, වෙනත් ආසියාතික රටවලට ද මෙය ප්‍රශ්නයක්‌ වී ඇත. වාසනාවකට බටහිර යුදෙවු සංස්‌කෘතිය මෙරට ශීඝ්‍රයෙන් පැතිර නො ගියේ ය. එය කොළඹට හා ඇතැම් නගරවලට ද ඉංග්‍රිසි පාසල්වල අධ්‍යාපනයක්‌ ලැබූ සුළුතරයකට ද සීමා විය. මෙරටට 1948 දී සීමිත නිදහසක්‌ ලැබෙන විට තත්ත්වය එසේ විය. සිංහල බෞද්ධ සංස්‌කෘතියෙහි පෞද්ගලිකත්වය ක්‍රියාත්මක වූයේ සාමූහිකත්වයට යටත්ව ය. එහෙත් ඉංගි්‍රසි අධ්‍යාපනයෙන් හා යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙන් අපට ලැබුණු පෞද්ගලිකත්වය සාමූහිකත්වය පරයා ක්‍රියාත්මක වූවක්‌ විය. මේ පෞද්ගලිකත්ව දෙක අතර වෙනස අප වටහාගත යුතු ය.

ඒ අතර විජය හා අශෝක සංස්‌කෘතීන් අවශෝෂණය කරගත් ආකාරයට යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය අවශෝෂණය කරගැනීමට ඉංග්‍ර§සීන් (හා ලන්දේසීන්) විසින් බිහිකරණු ලැබූවන්ට නො හැකි විය. එහි දී සිදුවූයේ ඉංග්‍රිසීන් එවැනි අවශෝෂණයක්‌ ගැන සැලකිල්ලක්‌ නො දැක්‌වීම ය. ඉන්දියාවේ සේවය කළ මැකෝලිගේ බසින් කියන්නේ නම් ඔවුන්ට අවශ්‍ය වූයේ හමෙන් කළු එහෙත් සිතුම් පැතුම්වලින් ඉංග්‍රීසින් වූ පිරිසක්‌ බිහිකර කිරීම ය. එසේ බිහිවූවෝ මැකෝලිගේ දරුවෝ වූහ. එහෙත් මැකෝලිගේ දරුවෝ සීමිත පිsරිසක්‌ වූහ. මැකෝලිගේ දරුවන් ගමට යැම ආරම්භ කළේ නිදහස්‌ අධ්‍යා පනයත් සමග ය.නිදහස්‌ අධ්‍යාපනයෙන් කෙරුණු මූලික කාර්යය වූයේ මැකෝලිගේ දරුවන් බිහි කිරීම ය. නිදහස්‌ අධ්‍යාපනයෙන් ඒ ඒ පුද්ගලයාට සමාජ හිණිමගේ ඉහළට යැමට අවස්‌ථාව සැලසුණ නමුත් රටක්‌ ලෙස ගත්කල එයින් සිදුවූයේ අයහපතකි.


නලින් ද සිල්වා

2014-09-07