Main Logo

Saturday 14 November 2015

බුදුන් වහන්සේ ආත්මවාදියකු කිරීම (2015 නොවැම්ර් 11 විදුසර ලිපිය)

බුදුන් වහන්සේ ආත්මවාදියකු කිරීම

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා අපෙන් තොරව වාස්තවික ලෝකයක්, යථාර්ථයක් ඇති බව පෙන්වීමට ගෙනෙන උදාහරණ කිහිපයක්් විමසා බලමු.  අගෝස්තු 12 වැනි දා ලිපියෙන් ඒ මහතා මෙසේ කියයි. “යථාර්ථය යනුවෙන් හැඳින්වන්නේ කුමක්‌ ද? එය සාර්වත්රත සංකල්පයක්‌ ද? එය සැමට පොදු ද? එය සැමට පොදු විය යුතු ද? නැත හොත් එය සංස්‌කෘති අනුව වෙනස්‌ වන්නේ ද? අප ගේ ඉන්ද්රිතය සංජානනයෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ පවතින්නේ ද? අප ගේ ඉන්ද්රි යයන් ගෙන් වෙන් වූ ලෝකයක්‌ ඇති ද? එවැනි ලෝකයක්‌ නැතැයි පැවසීම, අප බලන්නේ නැත්නම් ලෝකයක්‌ නැතැයි පැවසීම හා සමාන ය. අප ගේ ඉන්ද්රියය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇත නමුත් එය තවමත් හරිහැටි දැනගන්නට බැරි වී ඇතැයි පැවසීම සත්යයට කිට්‌ටු ය.”


අමරතුංග මහතා අපගේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්වායත්ත වූ ලෝකයක් ඇතැයි කී පමණින් එවැන්නක් ඇති බව නො පෙන්වයි. ඔහු සාධනයෙන් තොරව යමක් ප්‍රකාශ කරයි. එවැනි ප්‍රකාශ සාධන හෝ පෙන්වාදීම් හෝ නො වේ. අමරතුංග මහතා සාධනයක් (ඔප්පු කිරීමක්) නොමැතිව කරන ප්‍රකාශ අප පිළිගත යුත්තේ ඇයි? එවැනි ලෝකයක් නැතැයි කීම අප බලන්නේ නැත්නම් ලෝකයක් නැතැයි කීමට සමාන බව අමරතුංග මහතා කියයි. සිංහල බෞද්ධයනට අනුව දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ඇත. එවැනි ලෝක නැතැයි කියන්නකුට අමරතුංග මහතා අනුව යමින් සිංහල බෞද්ධයකු පිළිතුරු දුනහොත් ඒ මහතා එය පිළිගන්නේ ද? එසේත් නැත්නම් ඉන්ද්‍රිය ගෝචර සංසාරයක් නොමැති නිසා සංසාරයක් නැතැයි කියන්නකුට ඒ පිළිතුර දුනහොත් අමරතුංග මහතා ඒ පිළිතුර සමග එකඟ වනනේ ද? 

අනෙක් අතට අමරතුංග මහතා පවසන්නේ ඉන්ද්‍රිය පද්ධතියෙන් ස්වායත්ත වූ ලෝකයක් ඇති නමුත් තවමත් ඒ හරිහැටි දැනගැනීමට නොහැකි වී ඇති බවත් ය. තවමත් හරිහැටි දැනගැනීමට නොහැකි වූ දෙයක් ඇතැයි පවසන්නේ කෙසේ ද? අමරතුංග මහතා කෝප්පයක් ඇතැයි පවසන්නේ කෝප්පය ගැන යමක් දැනගැනීමෙන් පසුව ය. අඩුම තරමෙන් කෝප්පය අනෙක් වස්තූන්ගෙන් වෙන්කර ගත හැකිය යන දැනුම අමරතුංග මහතාට වේ. කෝප්පය පිළිබඳ මේ ඊිනියා දැනීම අපේ නිර්මාණයක් පමණක් බව අපි පසුගිය සතියේ පෙන්වා දුන්නෙමු. අප කියන දේ නොපිළිගත්තත් අමරතුංග මහතාට අනුව ඒ මහතාට කෝප්පයක් ගැන දැනුමක් ඇත. ඒ දැනුම අනුව එ මහතාා කෝප්පයක් ඇති බව පවසයි. එහෙත් ඒ මහතා අපෙන් ස්වායත්ත වූ යථාර්ථයක් ඇති බව පවසන්නේ ඒ පිළිබඳ දැනුමක් නැතිව ය. 
  
අප කියන්නේ අප දකින ලෝකය, එනම් ඉන්ද්‍රිය ගෝචර (මනසේ ආධාරයෙන්) ලෝකය හා මනසින් පමණක් අප දකින ලෝකය අපේ නිර්මාණයක් බව ය. අප නිර්මාණය කරන ලෝකය වෙනත් දෙයට අමතර ව අපේ පංචෙන්ද්‍රියට හා මනසට සාපේක්‍ෂ ය. එනම් අප නිර්මාණය කරන ලෝකය සළායතනවලට සාපේක්‍ෂ ය.  සළායතනවලිනුත් මනස ප්‍රධාන ය. මනසක් නැතිව කිසිම සංකල්පයක් නැත. සංකල්ප නොමැතිව ලෝකයක් නැත. එය ද හුදු ප්‍රකාශයක් පමණක් යැයි යමකුට කිව හැකි ය. අපේ ලෝකය යනු අපේ දැනුම ය. අපේ දැනුමෙන් බාහිරව ලෝක පවතින්නේ යැයි කීම අමරතුංග මහතා ආදීන්ගේ පංචෙන්ද්‍රියට විෂය නොවන ලෝකයක් නැත යන මතවාදය සමග එකඟ නො වේ. අමරතුංග මහතා වැන්නෝ ඉන්ද්‍රිය ගෝචර ලෝකයක් ගැන පමණක් විශ්වාස කරති. ඔවුන්ගෙන් ඇතැමෙක්් (අමරතුංග මහතා ද එසේ දැයි නො දනිමි) පුනබ්භවය නො පිළිගනිති. ඒ පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර නොවන බැවිනි. ඔවුන්ට චාර්වකවාදීන්ට මෙන් සියල්ල මරණයෙන් කෙළවර වෙයි. පුනබ්භවය ඉන්ද්‍රිය ගෝචර නොවූ පමණින් ඒ නැතැයි පැවසීම අමරතුංග මහතාගේ ම අප බලන්නේ නැත්නම් ලෝකයක් නැතැයි කීමට සමාන ය.   

අප එකිනෙකාගේ දැනුම් වෙනස් බව ඉතා පැහැදිලි ය. අප අම්මා යයි කියන්නේ ඉංගිරිසින් මදර් ( mother) යැයි කියන තැනැත්තියට නොවන බව පසුගිය සතියේ ලිපියෙන් ද පැහැදිලි කෙළෙමි. අප සියල්ලන්ට ම ඇත්තේ එකම දැනුමක් යැයි කිසිවකුටවත් කීව නො හැකි ය. අමරතුංග මහතා තම ලිපි කිහිපයකින් ම පළකර ඇත්තේ චීන විද්‍යාව චක්‍රීය චින්තනය මත බිහි වූ බවත් චීන සංස්කෘතිය ස්වභාව ධර්මය සමග සහජීවනයෙන් විසූ බවත් ය. බටහිර දැනුම (විද්‍යාව ද ඇතුළුව) රේඛීය චින්තනය මත පදනම් වී ඇති අතර ස්වභාව ධර්මය අප වෙනුවෙන් මැවී හෝ මවා හෝ ඇති බව උපකල්පනය කරයි. එවැනි වෙනත් සංස්කෘතීන්වලින් එකම දැනුමක් බිහිවන්නේ කෙසේ ද? 

චීනයේ පැවතියේ ද බටහිර විද්‍යාව බව නීඩ්හම් මහතා පවසා ඇති තැනක් අමරතුංග මහතාට උද්ධෘතයක් සහිත ව පෙන්වා දිය හැකි ද? ඔහු ඒ බව 2015 ජූලි 01 ලිපියෙහි වාක්‍යයකින් පමණක් කියයි. “චීනයේ තිබුණේ කවදත් කොතැනත් තිබුණු විද්යා ව ය. මේ බව විද්වත් ජෝශප් නීඩ්හම් ඉතා ම පැහැදිලි ලෙස එතුමා ගේ Science and Civilization in China (1954) නමැති ග්රපන්ථයෙන් පෙන්වා දෙයි. මේ බව නො දන්නා ලෝකයේ විද්යාඤවන් බොහොමයක්‌ තිබෙනවා යෑයි සිතන අඥානයෝ, තවමත් ලෝකය පැතලි යෑයි සිතන අඥානයින් මෙන්, බහුභූත දොඩවති.”.  

අමරතුංග මහතා අදාළ ඡෙදය පිටු අංක සහිත ව සඳහන් කළ යුතු ය. අමරතුංග මහතාගේ අපහාස බැහැර කර මේ සම්බන්ධයෙන් දැනට කිව යුත්තේ අප කියන්නේ ලෝකයේ මිනිසුන් විවිධ දැනුම් පද්ධතීන් බිහිකර ඇති බව ය. ඉන් සමහරකට විද්‍යාව යන නම යොදන්නේ අමරතුංග මහතා ය. බටහිර විද්‍යාව මේ දැනුම් පද්ධතිවලින් එකක් පමණ ය. බටහිර විද්‍යාව අනෙක් දැනුම් පද්ධතිවලින් වෙන් වන්නේ එහි ඇති වියුක්ත ප්‍රවාද නිසා ය. චීන විද්‍යාව යනුවෙන් හැඳින්වෙන දැනුම් පද්ධතියෙහි  වියුක්ත ප්‍රවාද නැත. වෛදික දැනුම් පද්ධතදයෙහි වුව ද වියුක්ත ප්‍රවාද ඇත්තේ ඉතාමත් පහළ මට්ටමක ය. ඒ බව අප මෙයට පෙර ද කියා ඇත. වෛදික ගණිතයෙහි බොහෝ විට ඇත්තේ සූත්‍ර ය. වෛදික ගණිතයෙහි සාධන නැත. ස්වසිද්ධි පද්ධතියකින් පටන්ගෙන නිගමනවලට ඒමක් වෛදික ගණිතයෙහි දක්නට නැත. පැරණි භාරතීයයන් පමණක් නොව විසිවැනි සියවසේ ඉන්දියාවේ විසු ශ්‍රෙෂ්ටතම බටහිර ගණිතඥයා වූ රාමනුජන් ට ද සාධනය පිළිබඳ දැනුමක් නොවී ය. මේ සියල්ලෙන් කියැවෙන්නේ එක් එක් සංස්කෘතියෙහි නිර්මාණය වී ඇති දැනුම් විවිධ බව ය. අපි විවිධ දැනුම් පද්ධති ගැන පසුව තවදුරටත් සාකච්ඡා කරමු. දැන් නැවතත් යථාර්ථයක් ඇත් ද යන්නට යොමුවෙමු. 

2015 අගෝස්තු 19 දින ලිපියෙහි මෙසේ සපහන් කරයි. “පැවැත්ම (existence) ගැන බුදුන් දැක්‌වූ අදහස්‌ කච්චායන-ගොත්ත සුත්රියෙහි පහදා දී ඇත. එහි පැවසෙන්නේ සැම දෙයක්‌ ම පවතී යන්න එක්‌ අන්තවාදයක්‌ බව ය. එය අන්තවාදයක්‌ වන්නේ කෙසේ ද? සැම දෙයක්‌ ම නියත ව වෙනස්‌ නො වී සැම දා පවතී යන්න ඉන් අදහස්‌ වන්නේ නම් එය අන්තවාදයක්‌ වන්නේ ය. සැම දෙයක්‌ ම නො පවතී යන්න අනෙක්‌ අන්තවාදය බව පැවසීමෙන් බුදුහු තම අදහස පැහැදිලි කරති. මේ අන්තවාද දෙක එකල දාර්ශනිකයන් අතර පැවැති බව පෙන්වා දිය හැකි ය. උපනිෂද් පැවසුවේ නිත්යන වූ ආත්මයක්‌ පවතින බව ය. එය ශාශ්වතවාදය විය. කාර්වක (එකල පැවැති ධර්මයක්‌) මතය වූයේ කිසිවක්‌ නො පවතින බව ය. එය උච්ඡේදවාදය ලෙස හැඳින්වේ. මේ නයින් බලන කල යථාර්ථයක්‌ බුදුන් නො පිළිගත් බව කිව නොහැකි ය. මක්‌ නිසා ද සැම දෙයක්‌ ම නො පවතී යන්න අන්තවාදයක්‌ බව උන්වහන්සේ පැවසූ හෙයිනි. තව ද ලෝකයේ යථාර්ථයක්‌ නැතැයි බුදුන් පවසා නැත”

අමරතුංග මහතා බොහෝ පොතපත කියවා තිබෙන්නට පුළුවන. එ මහතා දැන් කරන්නේ එ පොතපතෙහි කරුණු තමාට තේරුම් යන අකාරයට විදුසර පුවත්පතෙන් කීම ය. එහෙත්   ඒ කරුණු නිවැරදි ද නැද්ද  (සම්මුතිය අනුව) යන්න ගැන ඒ මහතාට අවබෝධයක් නැත. ඉහත සඳහන් ඡෙදයට අනුව චාර්වක (මෙය කාර්වක යනුවෙන් සඳහන් වන්නේ මුද්‍රණ දෝෂයකින් යැයි සිතමි) කිසිවක් නොපවතින බව කීවේ ය. එය උච්ඡෙදවාදයක් නො වේ. කිසිවක් නොපවතින බව කියැවෙන්නේ නාස්තිකවාදයෙහි (nihilism) ය. කෙසේ වෙතත් මෙය බුදුන්වහන්සේ ලෝකය ශූන්‍ය යැයි දේශනා කිරීම සමග පටලවා ගත යුතු නො වේ. ලෝකය ශූන්‍ය වන්නේ අප නිර්මාණය කර ඇති ලෝකය ශූන්‍ය නිසා ය. අපේ ලෝක බොරු ය. ඒ ඇතැම් ලෝකවල බටහිර විද්‍යාව වැනි පට්ටපල් බොරු ද වෙයි. ශාස්වතවාදීහු දිගින් දිගට පවතින ලෝකයක් ගැන විශ්වාසය පළ කළහ. උච්ඡෙදවාදීන්ගේ ලෝකය එසේ නො වී ය. එහි කැඩීම් විය. සිඳ දැමීම් විය. චාර්වක අමරතුංග මහතා කියන අර්ථයෙන් නොවූවත උච්ඡෙදවාදයෙකි. උච්ඡෙදවාදීහු මරණින් පසු ඉපදීමක් නැතැයි විශ්වාස කළහ. උච්ඡෙදවාදීහු කිසිවක් නැතැයි නො කීහ. ඔවුන්ට අනුව පවතිනා දෙය තාවකාලික විය. එහි කැඩීම්, සිඳදැමීම් විය. මේ බව අප කලින් ද සඳහන් කර ඇති නමුත ඥානවන්ත අමරතුංග මහතා ඒ තේරුම් ගෙන නැත.  ඇතැම්විට ඒ මහතා අඥානයන් කියන දේ බැහැර කරනවා විය හැකි ය.

බුදුන් වහන්සේ සෑම දෙයක් ම නොපවතී යන්න මෙන් ම පවතී යන්න ද අන්තවාද ලෙස සැලකූහ. සෑම දෙයක් ම පවතී යන්න අන්තවාදයක් වන්නේ ඇයි? අමරතුංග මහතාට අනුව සෑම දෙයක් ම වෙනස් නොවී පැවතීම යන්න එක් අන්තයකි. ඔහු කියන්නේ යමක් වෙනස් වෙමින් පැවතීම ප්‍රශ්නයක් නොවන බවත් බුදුන් වහන්සේ ඒ ප්‍රතිෙ’ක්‍ෂප නොකළ බවත් ය. එසේ පැවසීමෙන් අමරතුංග මහතා විසින් බුදුන් වහන්සේ ආත්මවාදියකු බවට පත්කෙරෙති. මෙහි දී ප්‍රශ්නය වනුයේ වෙනස් වෙමින් පවතින්නේ කුමක් ද, එලෙස වෙනස් වෙමින් පවතින යමක් ඇත් ද යන්න ය. මේ ප්‍රශ්නය මෙරට මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලා අතර අවුරුදු දහසකට ඉහත සාකච්ඡා වූවකි. උන්වහන්සේලාට අනුව යමක් වෙනස් වෙමින් පවතින්නේ ය යන්න ද ආත්මවාදී විය. අපට ඒ නිගමනයෙන් බැහැරවීමට හේතුවක් නොමැත. මේ නිගමනය ඊනියා යථාර්ථවාදයට පටහැණි ය. අපට සිතාගත හැක්කේ අභයගිරිවාසී භික්‍ෂූන් වහන්සේ නිසා මහාවිහාරික භික්‍ෂූන් වහන්සේලාට ඒ නිගමනයට පැමිණීමට සිදු වූ බව ය. 

යමක් වෙනස් වෙමින් පවතීය යන්න ප්‍රත්‍යක්‍ෂය නිසා මිනිසුන් නිර්මාණය කරගත් ඉතා සරල වියුක්ත ප්‍රවාදයකින් හටගත්තකි. අපට ළදරු වියක්, ළමා වියක්, ගැටවර වියක්, තරුණ වියක්, මැදි වියක්, මහළු වියක් ඇතැයි අපි කියමු. මේ පැහැදිලිව ම වෙනස් වීමකි. මෙහි දී වෙනස්වන්නකු සිටී යැයි උපකල්පනය කෙරෙයි. නලින් ද සිල්වා යනුවෙන් පුද්ගලයකු ඒ සියළු විය ගතකර ඇතැයි අපි උපකල්පනය කරමු.  වෙනස්වන නලින් ද සිල්වා කෙනකු ගැන කියන්නේ ප්‍රත්‍යක්‍ෂය හා බැඳුණු සරල වියුක්තකරණයකිනි. එය ආත්මාවාදී ය. නලින් ද සිල්වා යන ආත්මය ප්‍රත්‍යක්‍ෂයෙන් දුටුවකු නැති බව පැහැදිලි ය. එහෙත් සියල්ලන්ට ම පාහේ නලින් ද සිල්වා යනුවෙන් පුද්ගලයකු ඇත. මට ද මම වෙමි යන සංකල්පය වෙයි. මේ මම හෙවත් නලින් ද සිල්වා යන්න පංචෙන්ද්‍රිය ගෝචර නො වේ. අද යමකුට දැකිය හැක්කේ මහළු වියේ පසුවන ඊනියා නලින් ද සිල්වා කෙනකු ය. නලින් ද සිල්වාගේ රූපකාය වෙනස් වී ඇත. එපමණක් නොව දැනුම පිළිබඳ ඔහුගේ දැනුම ද වෙනස් වී ඇත. 

නලින් ද සිල්වා යනුවෙන් අපේ මනස් විසින් නිර්මාණය කරනු ලැබ ඇත්තේ සරල වුවත් වියුක්ත සංකල්පයකි, දැනුමකි. ඒ් සංකල්පය අපේ නිර්මාණයකි. එක් එක් විය පසුකරන නලින් ද සිල්වා කෙනකු සිටින බව, අනිත්‍ය දුක්ඛ අනාත්ම පිළිබඳ අපේ නොදැනුම නිසා වියුක්තකරණයෙන් ලබාගන්නා නිර්මාණයක්, දැනුමක් පමණකි. අපි මේ දැනුම නිසා සංසාරයේ සැරිසරමු. අනිත්‍යය යනු හුදු වෙනස්වීම නො වේ. හුදු වෙනස්වීම අනිත්‍යය ලෙස ගන්නා අයකුට බුද්ධිමය වශයෙන්වත් ආත්මවාදයෙන් ඉවත්විය නො හැකි ය. වෙනස්වන්නකු හෝ වෙනස්වන දෙයක් හෝ නොමැතිව වෙනස්වීම බුද්ධියෙන් අනිත්‍ය ගැන කිවහැකි කරුණ ය. බුදුන් වහන්සේ වෙනස් වෙමින් පවතින ලෝකයක් ඇතැයි කීම ද අන්තයක් ලෙස ගනිමින් ප්‍රතිෙ’ක්‍ෂප කළහ. වෙනස්වබ නලින් ද සිල්වා කෙනකු ඇතැයි ගැනීම ද, බටහිර විද්‍යාව පමණට නොවුවත් පට්ටපල් බොරුවකි. අපි ඉඩක් ලැබුණහොත් ලබන සතියේ මෙය තවදුරටත් පැහැදිලි කර ගනිමු.

නලින් ද සිල්වා  

2015 නොවැම්බර් 11