කපුවෝ කපෝති
ලංකාණ්ඩුවේ ද අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු ජෙනීවා යෝජනාවෙන් කියැවෙන කරුණුවලින් ශ්‍රී ලංකාව නැවතත් යටත්විජිතයක් බවට පත් කෙරෙන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කිරීමට යෝජනා කෙරෙයි. තමන් බලයට පත්කිරීමට උපකාර කළ යටත්විජිතවාදීන්ගේ් අවශ්‍යතාව මත ආණ්ඩුව දෙමළ කොටි ත්‍රස්තවාදීන් 38 දෙනකු දැනටමත් ඇප මත නිදහස් කර ඇති අතර තවත් කණ්ඩායමක් ඊනියා පුනරුත්ථාපනයකට ලක්කර නිදහස් කිරීමට යයි. මේ එකක්වත් අධිකරණ තීන්දු යැයි සැලකිය හැකි ද? අධිකරණයෙන් ඇප දුන්නේ යැයි කිව හැකි වුව ද එසේ කෙරෙන්නේ බොහෝ විට නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ද පදනම් කර ගනිමිනි. ත්‍රස්තවාදීන් 31 දෙනකු ඇප මත නිදහස් කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුව උදේ එකක් කියා හවස සිරකරුවන්ගේ (හා තවත් අයගේ) උද්ඝෝෂණ මත ඔවුන්ට ඇප දීමට විරුද්ධ නො වී ය. මෙහි දී නීතිපති දෙපාර්තමේන්තුවට යම්කිසි ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොවිණි යැයි පැවසිය හැකි ද? පුනරුත්ථාපනය කිරීම කිසිම අධිකරණයක ගත් තීන්දුවක් ක්‍රියාත්මක කිරීමක් නො වේ.
මේ සිරකරුවෝ මිනීමරුවෝ ය. නැත්නම් මිනීමැරුම්වලට වක්‍ර ව ආධාර කළ අය ය. එසේත් නැත්නම් දණ්ඩ නීති සංග්‍රහයට අනුව වෙනත් අපරාධ කළ අය ය. ඔවුන් දේශපාලන මතයක් දැරූ බවත් ඒ මතය වෙනුවෙන් අපරාධ කර ඇති බවත් පැහැදිලි ය. එහෙත් එපමණකින් ඔවුන් දේශපාලන සිරකරුවන් බවට පත් නො වේ. දේශපාලන මතයක් වෙනුවෙන් මිනීමැරිය නො හැකි ය. දෙමළ ත්‍රස්තවාදීන් සටන් කෙළේ වෙන ම රාජ්‍යයක් පිහිටුවීමට ය. ඒ දේශපාලන මතය හුදෙක් ප්‍රභාකරන්ගේ මතයක් පමණක් නො වේ. හැත්තෑවේ දශකයේ වෙන ම රාජ්‍යයක් දිනාගැනීම සාමාන්‍ය දෙමළ ජනයාගේ දේශපාලන ඉල්ලීමක් බවට පත්වූ බව සැබෑ ය. එහෙත් හතළිහේ දශකයේ සිට ම දෙමළ ජාතිවාදී නායකයෝ ඒ මතය ප්‍රකාශ කළහ. ලංකාවට නිදහස ලැබීම සම්බන්ධයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ප්‍රකාශයක් කළ දොස්තර නාගනාදන් (ඔහු පසු ව චෙල්වනායගම්ගේ නායකත්වයෙන් පිහිටුවනු ලැබූ ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයෙහි පළමු භාණාඩාගාරික විය.) සිංහලයන්ට නිදහස ලැබී ඇති බවත් දැන් කළ යුත්තේ දෙමළ ජනයා සිංහලයන්ගෙන් නිදහස දිනාගැනීම බවත් සඳහන් කෙළේ ය. දෙමළ රාජ්‍යයක් පිිටුවීමේ මේ ඉල්ලීම දෙමළ සමාජයේ උඩ සිට පහතට ඒමට අවුරුදු තිහක් පමණ ගත විය.
හතළිහේ දශකයට ඉහත දී ද මෙරට දෙමළ ජාතිවාදය විය. එය 1831 සිට පැවත එන්නකි. (විස්තර සඳහා ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවන්න) දෙමළ ජාතිවාදය ක්‍රමයෙන් විකාශය වී හතළිහේ දශකයේ දෙමළ බෙදුම්වාදය බවටත් හැත්තෑවේ දශකයේ දෙමළ ත්‍රස්තවාදය බවටත් පත් විය. ප්‍රභාකරන් යනු ඕපපාතිකයෙක් නො වී ය. ඔහු නාගනාදන්ලාගේ දේශපාලන දරුවෙකි. රාමනාදන්ලාගේ හා අරුණාශලම්ලාගේ දේශපාලන මුණුබුරෙකි. අද උතුරේ විග්නේෂ්වරන් ඊළඟ ත්‍රස්තවාදී පරපුර බිහිකිරීමට කටයුතු කරයි. තවමත් සිංහලයන්ට රාමනාදන්ලා දේශප්‍රේමීහු වෙති. ප්‍රශ්නය වූයේ රාමනාදන්ලාට දහනවවැනි සියවසේ අගභාගයේ සිට 1931 දක්වා මෙරට දේශපාලනයේ නායකයන් විය හැකි වුවත් සර්වජන ඡන්දයත් සමග එසේ නායකයන් වීමට නොහැකි වීම ය. රාමනාදන් අරුණාශලම් ආදීන් සිංහලත්වයට මෙරට හිමි විය යුතු තැන ලබා දීමට විරුද්ධ වූ දෙමළ ජාතිවාදීන් ලෙස සිංහලයන් විසින් හඳුනාගැනෙන තෙක් දෙමළ ජාතිවාදයෙන් මිදීමට සිංහලයන්ට නොහැකි ය.
අද දෙමළ ත්‍රස්තවාදය පවතින්නේ එංගලන්තයේ ය. ලංකාවේ දී ඒ පරාජය කිරීමට මහින්ද රාජපක්‍ෂ මහතාගේ දේශපාලන නායකත්වයෙන් මෙරට හමුදාවට හැකි විය. එහෙත් එම්මැනුවෙල් පියතුමා ආදී කොටි අනුග්‍රාහකයන්ට එංගලන්තයේ රැකවරණ ලැබෙනවා පමණක් නොව කොටින් සැමරීමට ද අවස්ථාව ලැබෙයි. ආයුධ ගත් කොටි ත්‍රස්තවාදීන් හා ඔවුන්ට සහාය දුන් කොටි ත්‍රස්තවාදීන් ලංකාවේ සංචාරය කරවීමට ද දෙමළ ත්‍රස්තවාදීහු බලාපොරොත්තු වෙති. එම්මැනුවෙල් පියතුමා එයට උදාරණයකි. ඔහුට ඒ සඳහා බාධාවක් වී ඇත්තේ ඔහුගේ ගෝලිය දෙමළ සංසදය ලංකාවේ තහනම් වීම ය. එහෙත් දුර්වල ලංකාණ්ඩුව තම පැවැත්ම උදෙසා එංගලන්තයේ බහට තහනම ඉවත් කිරීමට ද ඉඩ ඇත. නැත්නම් එම්මෑනුවෙල් පියතුමා ගැන බොරු කතාවක් කියා ඔහුට ලංකාවට පැමිණීමට අවසර දීමට ඉඩ ඇත. එම්මැනුවල් පියතුමා ආදීන් ලංකාව එන්නේ සතුටු සාමීචි කතාවලට නො වේ. ඔවුන්ට අර ඇප මත නිදහස් කරනු ලැබූවන් හමුවනු ඇත. දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ ද ත්‍රස්තවාදීන් (ඇප මත නිදහස් කළ අය ද ඇතුළුව) හැංගූ ආයුධ තවමත් උතුරු හා නැගෙනහිර පළාත්වල තිබෙන්නට පුළුවන. අපි නැවතත් දෙමළ ත්‍රස්තවාදය ලංකාවේ ඇති කිරීමට කටයුතු කරන්නෙමු ද? විග්නේස්වරන්ගේ බලාපොරොත්තු ඉටු වේ ද?
මේ ආණ්ඩුව පිහිටුවනු ලැබුයේ ප්‍රධාන වශයෙන් ම දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමට ය. ශ්‍රී ල නි ප හා එ ජා ප එකතු කර අවුල් (හවුල් නොව) ආණ්ඩුවක් ඊනියා ජාතික ආණ්ඩුවක නාමයෙන් ඇති කරනු ලැබුයේ ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීමට, චීන ශ්‍රී ලංකා සබඳතා අවම කිරීමට හා දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමටත් ය. ඊනියා රාජපක්‍ෂ රෙජිමය පරාජය කෙළේත් දූෂණ භීෂණ නිසා නොව පසුගිය ආණ්ඩුව දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ නිසා ය. මෛත්‍රිපාල රනිල් ආණ්ඩුව වැඩියෙන් ම වළිකන්නේ දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ මහින්ද රාජපක්‍ෂ හා ගෝඨාභය රාජපක්‍ෂ මහතුන්ට හා ඒ මහතුනට සහාය දක්වන්නන්ට උපරිම දඬුවම් ලබා දීමට ය. එහෙත් තමන්ට එක්වූ දූෂිතයන් රැකගැනීමට ආණ්ඩුව කටයුතු කරයි. ආණ්ඩුව දුෂණයට හා භිෂණයට විරුද්ධ නැත.
ආණ්ඩුව හා යටත්විජිතවාදීන් දෙමළ ත්‍රස්තවාදීන් ඇප පිට නිදහස් කරන්නේ නම් මෙරට ත්‍රස්තවාදය වැළැක්වීම පණත යටතේ සිරගත කෙරී ඇති සිංහල සිරකරුවන් ඇප මත නිදහස් නො කරන්නේ ඇයි? ඔවුන් සිරබත් කන්නේ සිංහලයන් ලෙස ඉපදීම නිසා ද? මෙය සිංහලයන්ට එරෙහිව ක්‍රියාත්මක වන නග්න ජාතිවාදයකි. දෙමළ ත්‍රස්තවාදී අපරාධ කරුවෝ තමන් දේශපාලන මතයක් දැරීම හේතුවෙන් දේශපාලන සිරකරුවෝ නො වෙති. ඔවුන්ගේ අපරාධවලට ලක් වී ඇත්තේ සාමාන්‍ය ජනයා ය. දේශපාලන මතවාදයක් දැරීම සාමාන්‍ය ජනයා මරා දැමීමට බලපත්‍රයක් නො වේ.
දෙමළ ත්‍රස්තවාදීන් නොයෙකුත් ආකාරවලින් නිදහස් කළ යුතු යැයි කියන යටත්විජිතවාදීහු හා ඔවුන්ගේ ගැත්තෝ එක් පැත්තකින් හමුදාව යුද්ධාපරාධ කර ඇතැයි කියමින් ජනතාවගේ ස්වෛරිභාවය නැති කර විදේශ විනිසුරුවන් සහිත විශේෂ අධිකරණ පිහිටුවා විශේෂ අධිකරණ පිහිටුවා රණවිරුවන්ට දඬුවම් කළ යුතු යැයි කියති. අනෙක් පැත්තෙන් පැරීසියේ සිදු වූ ත්‍රස්තවාදී ප්‍රහාරයට විරුද්ධව අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන්ට විරුද්ධව යැයි කියමින් සිරියාවට බෝම්බ හෙළති. එයින් සාමාන්‍ය වැසියන් මිය යන්නේ නැද්ද? මහා පඬියකු ලෙස කතාකරන මංගල සමරවීර මහතා සිරියාවට ගුවනින් පහර දීමෙන් බටහිරයන් යුද්ධාපරාධ සිදුකරන බවට පැමිණිලි කිරීමට ජෙනීවා යන්නේ නැද්ද? ආණ්ඩුව ඒ වෙනුවට බහුතරය සිංහලයන් වූ හමුදාවට හා රාජපක්‍ෂවරුන්ට දඬුවම් කිරීමට උත්සාහ කරති. එහෙත් ඩෙස්මන්ඩ් ද සිල්වා මහතා ඇතුළු පරණගම කොමිසමට උපදෙස් දුන් ජාත්‍යන්තර නීතිය ගැන හසළ දැනුමක් ඇත්තවුන් හා හිටපු මේජර් ජෙනරල් ජෝන් හෝම්ස් කියා ඇත්තේ හමුදාවට එරෙහිව යුද්ධාපරාධ චෝදනා නොමැති බව ය. (ඒකබද්ධ විපක්‍ෂය එකී මත ප්‍රසිද්ධ කළ යුතු ය. හමුදාව යුද්ධාපරාධ කර නැතැයි නීතියෙන් කියැවෙද්දී සාමාන්‍ය ජනතාව මරා දැමූ දෙමළ ත්‍රස්තවාදීන් ඇප මත වුවත් නිදහස් කරන්නේ කිනම් ආණ්ඩුවක් ද?
එයට ඇත්තේ එක් පිළිතුරකි. ශ්‍රී ල නි ප හා එ ජා ප එකතු කරනු ලැබුයේ යටත්විජිතවාදීන්ගේ හා කලාපීය අධිපති ඉන්දියාවේ හෙවත් රනිල් මෛත්‍රී දිගයේ කපුවන්ගේ මැදිහත් වීමෙනි. එහි දී ඔවුහු අගමැති වීමේ පුද්ගලික බලාපොරොත්තු කඩ වී සිටි මෛත්‍රිපාල සිරිසේන මහතා යොදා ගත්හ. එසේ කෙළේ ශ්‍රි ල නි පක්‍ෂයට පහර වදින ලෙසට ය. සිරිසේන මහතා ශ්‍රී ල නි පක්‍ෂයට එරෙහිව ජනාධිපතිවරණයට ඉදිරිපත් විය. ශ්‍රී ල නි පාක්‍ෂික මන්ත්‍රිවරුන් කිහිප දෙනෙක් යටත්විජිතවාදීන්ගේ ශක්තිය ලැබීම හේතුකොටගෙන හා තමන්ගේ දුූෂණ වසාගැනීම සඳහා සිරිසේන මහතාට සහාය දුන්හ. එවිට පක්‍ෂය කැඩේය යන අදහසින් මහින්ද රාජපක්‍ෂ මහතා පක්‍ෂ සභාපතිත්වය සිරිසේන මහතාට ලබා දීමට කටයුතු කෙළේ ය. අද ශ්‍රී ල නි පක්‍ෂයක් නැත. එය මියගොස් ය. එය මරා දැමුවේ මෛත්‍රිපාල සිරිසේන මහතා ය. එහෙත් අද ඔහු ශ්‍රි ල නි පක්‍ෂයේ සභාපති ලෙස ව්‍යාජ වීර ප්‍රකාශ කරයි. ඔහු ඉදිරි පළාත් පාලන මැතිවරණයෙහි දී ශ්‍රී ල නි පක්‍ෂය දිනවීමට කටයුතු කරන්නේ යැයි කියයි. ජනාධිපතිවරණයේ දී ශ්‍රී ල නි පක්‍ෂයේ හා සංධානයේ අපේක්‍ෂකයාට විරුද්ධව තරග කර මහා මැතිවරණයේ දී සංධානයට හා පක්‍ෂයට එරෙහිව කටයුතු කර ඔහු අද කතාකරන්නේ කටින් ද යන ප්‍රශ්නය මතුවුවත් උදේ එකක් කියා දවල් වෙනත් එකක් කියා සවස තමා එසේ කීවේ දැයි අසන සිරිසේන මහතාට පෞද්ගලික කරුණු වඩා වැදගත් වන බව අපි දනිමු. බෝධිසත්ත්වයකු නොවන සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරය අහොසි කිරීමට යන්නේ 2020 දී හෝ ඒ ආසන්නයේ හෝ විධායක අගමැති වීමේ සිහිනය ඉටු කර ගැනීමට ය. ඔහුටවත් රනිල් වික්‍රමසිංහ මහතාටවත් ඒ සඳහා කිසිම ඉඩක් නොදිය යුත්තේ මෙරට බටහිරයන්ගේ හා ඉන්දියාවේ (කපුවන්ගේ) පාපන්දු පිටියක් බවට පත්වීම වැළැක්වීමට ය.
කපුවන් කපෝති කරමින් අද වන විට රනිල් මෛත්‍රී දීගය කැඩී අවසන් ය. දීගය විවාහ සහතිකයට සීමා වී ඇත. ඇවන්ගාඩ් සිද්ධිය සම්බනධයෙන් (නො) දත් දොස්තර රාජිත සේනාරත්න සහ එ ජා ප මන්ත්‍රීන් අතර ඇති ගැටුමෙන් පෙන්නුම් කෙරෙන්නේ අත්හැරුණු දිගයේ හෙවනැල්ලත් ඇද බව ය. මෛත්‍රිපාල සිරිසේන මහතාට අද අවශ්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා කිනම් ක්‍රමයකින් නමුත් මුළුමනින් ම දේශපාලනයෙන් අතුගා දැමීමට ය. අද කළ යුත්තේ ඒකාබද්ධ විපක්‍ෂය ශක්තිමත් කිරීම ය. එහෙත් ඒකාබද්ධ විපක්‍ෂය යනු ශ්‍රී ල නි පක්‍ෂයේ ඊළඟ භවය මිස අවස්ථාවාදීන්ට බඳින හිණිමඟක් නොවිය යුතු ය.
නලින් ද සිල්වා
2015 නොවැම්බර් 19