Main Logo

Sunday 17 January 2016

ඉන්දියාවට හා එංගලන්තයට එරෙහිව නව පක්‍ෂයක් හා නායකත්වයක්

ඉන්දියාවට හා එංගලන්තයට එරෙහිව නව පක්‍ෂයක් හා නායකත්වයක්

ජනවාරි 17 වැනි දා ඉරිදා රිවිර පුවත්පතට නොලියූ එහෙත් පළ කිරීමට ලබන ඉරිදා වන තුරු බලා සිටීමට නොහැකි කරුණු කිහිපයක් ඉතා කෙටියෙන් පහත දැක්වෙයි.


අද මෛත්‍රිපාල සිරිසේන ක්‍රියා කරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නො වේ. ඔහුට ලබන මැතිවරණයෙන් පසු විධායක අගමැතිකම නොලැබෙන බවට රනිල් සහතික වී ඇත. අවුල් ආණ්ඩු දීගය ලබන මැතිවරණය තෙක් කෙසේවත් නොපවතිනු ඇත.

සිරිසේනට අද අවශ්‍ය විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් (එනම් මීළඟ මැතිවරණයෙන් හා ජනාධිපතිවරණයෙන් පසුව ද) තබා ගැනීම ය. ඔහු ඒ සඳහා නොයෙක් උපාය යොදයි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නො වේ. ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ ඒ බවක් සඳහන් නො වේ. එසේ වුවත් සිරිසේන තම ජනාධිපතිවරණ ප්‍රකාශනයේ සඳහන් කෙළේ ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති සංශෝධනය නොකරණ බව ය. සිරිසේනට ඉන්දියාවේ විරුද්ධතාව මත ද ඒ පොරොන්දුව ඉටුකළ හැකි ද? එසේ කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර එයට නැවතත් මහින්ද රාජපක්‍ෂ පත්කිරීමට ඉඩ දී ඔහු අගමැති වීමට කැමතිවන්නේ ද? එසේ නොකළහොත් ඔහුට හෝ අද ආණ්ඩුවේ සිටින ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන ඇමතිවරුන්ට (සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂය මරා දැම්මේ ය) හෝ රනිල්ගේ ආණ්ඩුවක කිසිම තැනක් හිමිනොවනු ඇත.

ගාන්ධිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඉන්දියාව කෙතරම් මෙරට ප්‍රශ්නවලට මැදිහත් වන්නේ ද යන්න ය. අද ලංකාව ක්‍රියාකරන්නේ ඉන්දියාවේ හා එංගලන්තයේ අණ පරිදි ය. ගාන්ධි යුද්ධාපරාධ සම්බන්ධයෙන් ලංකාවට චෝදනා නැගී ය. රනිල් හෝ ඊනියා යුද්ධයේ අවසාන කාලයේ වැඩබලන ආරක්‍ෂක ඇමති වූ සිරිසේන හෝ එයට විරුද්ධව මේ වන තුරු (17 සවස) වචනයක් කියා නැත. ඉන්දියාව දැනට සිරිසේනට විරුද්ධව යුද්ධාපරාධ චෝදනා ඉදිරිපත් නො කරයි. ඒ සිරිසේන ඉන්දියාවට කීකරු ව සිටින තාක් ය.

ලංකාව පකිස්ථානයෙන් ජෙට් යානා මිළ දී ගැනීමට පකිස්ථාන අගමැතිවරයා සමග අත්සන් කළ ගිවිසුම ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි  බිඳ දමා ඇත. දැන්  ලංකාව පකිස්ථානයෙන් ජෙට් මිළ දී නොගනු ඇත.  අප ඉන්දියාවට මෙතරම් වහල්වන්නේ ඇයි? චීනය සමග සම්බන්ධතා දිය කළේ ඉන්දියාවේ හා එංගලන්තයේ අවශ්‍යතාව පරිදි ය.

පැහැදිලිව ම උතුරේ මහ ඇමති විග්නේස්වරන් දෙමළ සංසදය අද (ජනවාරි 17) විසුරුවා හරිනු ඇත්තේ ඉන්දියාවේ අණ පරිදි ය. එය එංගලන්තයට හා එහි විසුරුණු දෙමළ ජනයාට ප්‍රශ්නයක් වුවත් විග්නේස්වරන්ට කළ හැකි දෙයක් නැත.

ආණ්ඩුව නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර අවසන් ය. එහෙත් එය ප්‍රසිද්ධ නොකරයි. ඒ වෙනුවට මහජන මතය විමසීමට යැයි කියමින් බොරු කමිටුවක් පත්කර ඇත. ඒ හැරෙන්නට තවත් කමිටු ද පත්කර ඇත. මේ කමිටුවල වැඩි බලය ඇත්තේ සිංහල බෞද්ධ විරෝධීන්ට ය. ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න, ජයදේව උයන්ගොඩ වැන්නන්ගේ අදහස් කවරේ දැයි අපි අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ දන්නෙමු. මහජන මතය කුමක් වුවත් රනිල් ඉදිරිපත් කරනු ඇත්තේ ඉන්දියාවට හා එංගලන්තයට අවශ්‍ය දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙන ව්‍යවස්ථාවකි. මහජන මතය විමසන්නේ මහජනයාගේ ඇසට වැලි ගැසීමට ය.

සිංහල බෞද්ධ විරෝධී මාක්ස්වාදීන් හා රනිල්ගේ එ ජා පක්‍ෂය අත්වැල් බැඳගෙන ඇත. රනිල් තමා සිංහල බෞද්ධයකු බව කියයි. අපි ඒ පිළිගනිමු. එහෙත් එ ජා පක්‍ෂය සිංහල බෞද්ධ නොව ඇංග්ලිකන් ක්‍රිස්තියානි පක්‍ෂයකි. එහි සංස්කෘතිය හා චින්තනය ඇංග්ලිකන් ක්‍රිස්තියානි වෙයි. මාක්ස්වාදයේ චින්තනය කතෝලික වෙයි. ප්‍රභාකරන් හින්දු වන්නට ඇත. එහෙත් දෙමළ ජාතිවාදයේ චින්තනය ක්‍රිස්තියානි වෙයි. දෙමළ ජාතිවාදය 1833 දී ඉංගිරිසින් විසින් සිංහල බෞද්ධයනට විරුද්ධ ව දේශපාලනික ව බෞතීස්ම කරන ලද්දකි. (ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවන්න) . රනිල් ප්‍රභාකරන් ක්‍රිස්තියානි නෝර්වේ වුවමනාවට ගිවිසුම් අත්සන් කෙළේ බෞද්ධයන්ගේ හෝ හින්දූන්ගේ හෝ අවශ්‍යතාවට නො වේ. ප්‍රභාකරන්ට කතෝලික පූජකවරු ආධාර නො කළෝ ද? ඒ ගැන සෙවීමට රනිල් කමිටුවක් පත්කරන්නේ ද?  භික්‍ෂූන් වහන්සේලා ක්‍රිස්තියානි නීතිය යටතට පත්කිරීමට රනිල් උත්සාහ කරයි. අද අගමැති පමණක් නොව තත්ත්වාකාරක ජනාධිපති හා කතානායක ද වන ඔහු ක්‍රිස්තියනි රෝම ලන්දේසි නීතිය ආධරයෙන් තත්ත්වාකාරක මහානායක ද වීමට උත්සාහ කරයි. ඒ එංගලන්තයේ ඇංග්ලිකන් පල්ලියේ ආදර්ශය අනුව ය. ඇංග්ලිකන් පල්ලියේ නායකයා කැන්ටබරියේ ආච්බිෂොප්වරයා නොව එලිසබෙත් වින්ඩ්සර් ය.

සිංහල බෞද්ධයනට ප්‍රවාද (ප්‍රමාද නොවේ) ගැන වැටහීමක් නැතිවුවත් ඔවුහු එ ජා පක්‍ෂය ඉවෙන් හඳුනති. නිල වශයෙන් නොවූවත් එ ජා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සිරිසේනට  2015 ජනවාරි 8වැනි දා පැවති ජනාධිපතිවරණයේ දී සිංහල බෞද්ධයන්ගෙන් 40%කවත් ඡන්දය නො ලැබිණි. සිරිසේන ඒ බව වටහා ගන්නේ නම් මැනවි. රනිල්ට එපමණවත් නොලැබෙනු ඇත. ඔහුට සිරිසේනලාගේ හා සරත් ෆොන්සේකාලාගේ පිහිට අවශ්‍ය වෙයි.  

අද පමා වී වුවත් සිංහල බෞද්ධයන්ගේ හා සිංහලත්වයට ගරුකරන්න අනෙක් අයගේ පක්‍ෂයක් වහාම ඇතිකළ යුතු වෙයි. ඒ නොමැතිව ඉන්දියාවට හා එංගලන්තයට විරුද්ධව සටන් කළ නො හැකි ය. ඒ මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් ඇති විය යුතු ය. සිරිසේනට දේශපාලන අනාගතයක් අවශ්‍ය නම් මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය පිළිගත හැකි ය. මෙය රනිල්ට විරුද්ධව කරන සටනක් නොව එංගලන්තයට හා ඉන්දියාවට එරෙහිව කරන සටනකි. ඒ සඳහා නායකත්වය දීමට තමාට නොහැකි බව සිරිසේන වුවත් වටහාගත යුතු ය. ඔහු සිංහල බෞද්ධකම අගයන්නේ නම් මහින්ද නැවතත් ජනාධිපති කරගැනීමට කටයුතු කළ යුතු ය. ක්‍රිස්තියානි සංස්කෘතියේ දෙමළ ජාතිවාදය තිබෙනතාක් විධායක ජනාධිපති ක්‍රමය තිබිය යුතු ය. ඒ පදවියට සුදුසු සිංහල බෞද්ධයකු පත්කර ගත යුතු ය.

නලින් ද සිල්වා

2016 ජනවාරි 17