Main Logo

Friday 8 January 2016

අප නැවතත් යටත්විජිතයක් වූ දා

අප නැවතත් යටත්විජිතයක් වූ දා


අප රට නැවතත් යටත්විජිතයක් බවට පත්වූයේ අදින් අවුරුද්දකට පෙර 2015 ජනවාරි 8 වැනි දා ය. එයට සිංහල බෞද්ධයන්ගෙන් බහුතරය අකමැති වුවත් මෛත්‍රිපාල සිරිසේන දෙමළ හා මුස්ලිම් ජනයාගේ අති විශාල බහුතර ඡන්දයකින් ජනාධිපති ලෙස තේරී පත්විය. ඔහු සැබවින් ම ඉන්දියාවේ අපේක්‍ෂකයා විය. ඔහුට එංගලන්තයේත් ඇමරිකාවේත් සහාය ලැබිණි. අද මෙරට පාලනය කෙරෙන්නේ මේ රටවල් තුන මගිනි. ඉන්දියාවට අවශ්‍ය දෙමළ ජාතිවාදය ඔවුන්ට අවශ්‍ය ආකාරයට සිංහල බෞද්ධයනට විරුද්ධව මෙහෙයවීමට ය. ඔවුහු දහතුනට එහා යන සහසන්ධීය රාජ්‍යයක් පිහිටුවීමට කටයුතු කරති. දෙමළ ජාතිවාදය දේශපාලනයෙහි දී ආරම්භ කළ එංගලන්තය විසුරණු දෙමළ ජනතාව මගින් විග්නේෂ්වරන් උපයෝගී කරගනිමින් ඊළාම් දේශපාලනයක යෙදෙයි. ඇමරිකාව දෙමළ ජාතිවාදයට ආධාර කරන අතර රට ආර්ථික හා දේශපාලන වශයෙන් මෙහෙයවයි.


අද ඊනියා ආර්ථික සම්මේලනයක් පවත්වන්නේ ද ඒ සඳහා ය. ඒ සම්මේලනයට සෝරොස් වැනි මංකොල්ලකාරයකුට ආරාධනා කෙරුණේ ඇමරිකාවේ මැදිහත් වීමෙනි. දෙමළ ජාතිවාදයට පක්‍ෂව කටයුතු කළ නෝර්වේහි විදේශ ඇමති ලංකාවට පැමිණෙයි. ලංකාව බ්ලෙයාර්ගේ ගෙදර බවට පත් වී ඇත. රනිල් වික්‍රමසිංහ විධායක අගමැති ලෙස එංගලන්තය හා ඇමරිකාව වෙනුවෙන් පෙනී සිටියි. මෛත්‍රිපාල සිරිසේන විධායක ජනාධිපති නොව චාරිත්‍රානුකූල ජනාධිපති කෙනකු පමණ ය. ඔහුට  අද අත්හරින්නට බලයක් නැත. ඇමරිකාවේ පුවත්පතක පළ වූ ඉහත සඳහන්  රූපයෙන්  මේ සියල්ල ඉතා මැනවින් නිරූපණය වෙයි.

නලින් ද සිල්වා

2016 ජනවාරි 08