නව පක්‍ෂයක් කුමකට ද?
අද මෛත්‍රිපාල සිරිසේන ක්‍රියා කරන්නේ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට නො වේ. ඔහුට ලබන මැතිවරණයෙන් පසු විධායක අගමැතිකම (මෙවැනි පදවියක් නැතැයි ඊනියා උගතකු පැවසීමට ඉඩ ඇත. එහෙත් අගමැතිවරුන් ක්‍රියා කරන්නේ විධායකයන් ලෙස ය.) නොලැබෙන බවට රනිල් වික්‍රමසිංහ ක්‍රියාවෙන් සහතික වී ඇත. අවුල් ආණ්ඩු දීගය ලබන මැතිවරණය තෙක් කෙසේවත් නොපවතිනු ඇත. සිරිසේනට අද අවශ්‍ය විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් (එනම් මීළඟ මැතිවරණයෙන් හා ජනාධිපතිවරණයෙන් පසුව ද) තබා ගැනීම ය. ඔහු ඒ සඳහා නොයෙක් උපාය යොදයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නො වේ. ව්‍යවස්ථාවේ 83 වැනි වගන්තියේ ඒ බවක් සඳහන් නො වේ. එසේ වුවත් 83 වැනි වගන්තියට අනුව ජනතාවගේ පරමාධිපත්‍යය ගැන කියැවෙන 3 වැනි වගන්තිය සංශෝධනය කිරීමට තුනෙන් දෙකක ඡන්දයකට අමතර ව ජනමත විචාරණයක් ද අවශ්‍යවෙයි. ප්‍රශ්නය වනුයේ ව්‍යවස්ථාවේ 4 වැනි වගන්තිය අනුව ජනතාවගේ පරමාධිපත්‍යයේ විධායක බලය ජනාධිපති මගින් ක්‍රියාත්මක වීම ය. හතරවැනි වගන්තිය සංශෝධනය කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය නොවූවත් විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමෙන් පසු ජනතාවගේ පරමාධිපත්‍යයේ විධායක බලය ක්‍රියාත්මක කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය පැන නගී. ඒ අනුව 4 වැනි වගන්තියේ සඳහන් ජනතාවගේ පරමාධිපත්‍යයේ විධායක බලය පවරන්නේ කාහට ද කුමකට ද යන ප්‍රශ්නය පැන නගී. එයට විසඳුම කුමක් ද?.
මෙයින් කියැවෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට ජනමත විචාරණයක් අවශ්‍ය බව ද? සිරිසේන තම ජනාධිපතිවරණ ප්‍රකාශනයෙන් පොරොන්දු වූයේ ජනමත විචාරණයක් අවශ්‍ය වගන්ති සංශෝධනය නොකරණ බව ය. සිරිසේනට ඉන්දියාවේ විරුද්ධතාව මැද ද ඒ පොරොන්දුව ඉටුකළ හැකි ද? එසේ කර විධායක ජනාධිපති ක්‍රමය අහෝසි නොකර එයට නැවතත් මහින්ද රාජපක්‍ෂ පත්කිරීමට කටයුතු කර තමා අගමැති වීමට කැමතිවන්නේ ද? (මහින්ද නැවතත් ජනාධිපති කිරීමට ව්‍යවස්ථාවෙන් ඉඩක් ඇත.) එසේ නොකළහොත් ඔහුට හෝ අද ආණ්ඩුවේ සිටින ශ්‍රී ල නි පක්‍ෂයේ යැයි කියන ඇමතිවරුන්ට (සිරිසේන ශ්‍රී ල නි පක්‍ෂය මරා දැමූ බැවින් අද එවැනි පක්‍ෂයක් නැත) හෝ රනිල්ගේ ඉදිරි ආණ්ඩුවක කිසිම තැනක් හිමිනොවනු ඇත. දැනටත් සිරිසේන නීති ප්‍රකාර ජනාධිපති පමණක් වෙයි. අද තත්ත්වාධිකාරී ජනාධිපති රනිල් ය.
පසුගිය දා මෙරටට පැමිණි හිටපු ඉන්දීය මහකොමසාරිස් ගාන්ධිගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන්නේ ඉන්දියාව කෙතරම් මෙරට ප්‍රශ්නවලට මැදිහත් වන්නේ ද යන්න ය. අවුරුද්දකට ටිකක් වැඩි කලක් ලංකාව ක්‍රියාකරන්නේ ඉන්දියාවේ හා එංගලන්තයේ අණ පරිදි ය. ගාන්ධි යුද්ධාපරාධ සම්බන්ධයෙන් ලංකාවට චෝදනා නැගී ය. රනිල් හෝ ඊනියා යුද්ධයේ අවසාන කාලයේ වැඩබලන ආරක්‍ෂක ඇමති වූ සිරිසේන හෝ එයට විරුද්ධව මේ වන තුරු වචනයක් කියා නැත. දැනට ඉන්දියාව එකල වැඩ බැලූ ආරක්‍ෂක ඇමති සිරිසේනට විරුද්ධව යුද්ධාපරාධ චෝදනා ඉදිරිපත් නො කරයි. ඒ සිරිසේන ඉන්දියාවට කීකරු ව සිටින තාක් ය. ලංකාව පකිස්ථානයෙන් ජෙට් යානා මිළ දී ගැනීමට පකිස්ථාන අගමැතිවරයා සමග අත්සන් කළ ගිවිසුම ඉන්දියාවේ අවශ්‍යතාව පරිදි බිඳ දමා ඇත. දැන් ලංකාව පකිස්ථානයෙන් ජෙට් මිළ දී නොගනු ඇත. අප ඉන්දියාවට මෙතරම් වහල්වන්නේ ඇයි? දෙමළ, අරාබි, මෙන් නොව සිංහල මෙරටට ආවේණික ය. චීනය සමග සම්බන්ධතා දිය කළේ ඉන්දියාවේ හා එංගලන්තයේ අවශ්‍යතාව පරිදි ය. උතුරේ විග්නේස්වරන් දෙමළ සංසදය විසුරුවා හරින්නේ් ඉන්දියාවේ අණ පරිදි ය.
ආණ්ඩුව (රනිල්) නව ව්‍යවස්ථාව කෙටුම්පත් කර අවසන් ය. එහෙත් එය ප්‍රසිද්ධ නොකරයි. ඒ වෙනුවට මහජන මතය විමසීමට යැයි කියමින් ව්‍යාජ කමිටුවක් පත්කර ඇත. ඒ හැරෙන්නට තවත් කමිටු ද පත්කර ඇත. මේ කමිටුවල වැඩි බලය ඇත්තේ සිංහල බෞද්ධ විරෝධීන්ට ය. ලාල් විජේනායක, ජයම්පති වික්‍රමරත්න, ජයදේව උයන්ගොඩ ආදීන්ගේ අදහස් කවරේ දැයි අපි අවුරුදු විසිපහකට වැඩි කාලයක් තිස්සේ දන්නෙමු. මහජන මතය කුමක් වුවත් රනිල් ඉදිරිපත් කරනු ඇත්තේ ඉන්දියාවට හා එංගලන්තයට අවශ්‍ය දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දෙන ව්‍යවස්ථාවකි. මහජන මතය විමසන්නේ මහජනයාගේ ඇසට වැලි ගැසීමට ය. සිංහල බෞද්ධ විරෝධී ව්‍යවස්ථා සම්පාදනයට ජනතාව ද සහභාගි කරගත්තේ යැයි කීමට රනිල්ට අවශ්‍ය වී ඇත. සිංහල බෞද්ධයනට ප්‍රවාද (ප්‍රමාද නොවේ) ගැන වැටහීමක් නැතිවුවත් ඔවුහු එ ජා පක්‍ෂය ඉවෙන් හඳුනති. නිල වශයෙන් නොවූවත් එ ජා පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයා වූ සිරිසේනට 2015 ජනවාරි 8 වැනි දා පැවති ජනාධිපතිවරණයේ දී සිංහල බෞද්ධයන්ගෙන් 40%කවත් ඡන්දය නො ලැබිණි. සිරිසේන ඒ බව වටහා ගන්නේ නම් මැනවි. රනිල්ට එපමණවත් නොලැබෙනු ඇත. ඔහුට සිරිසේනලා හා සරත් ෆොන්සේකාලා අවශ්‍ය වෙයි. එහෙත් පාර්ලිමේන්තු මැතිවරණයක ආසන බෙදා ඇති ආකාරය අනුව සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 40%ක්වත් නොලබා සිංහල බෞද්ධ විරෝධී පක්‍ෂවල සහායෙන් ආණ්ඩුවක් පිහිටුවීමට රනිල් ප්‍රමුඛ එ ජා පක්‍ෂයට හැකි ය. ජනාධිපතිවරණයකට වඩා මහා මැතිවරණයක් සිංහල බෞද්ධයනට අවාසිදායක ය.
සිංහල බෞද්ධ විරෝධී මාක්ස්වාදීන් හා රනිල්ගේ එ ජා පක්‍ෂය අත්වැල් බැඳගෙන ඇත. රනිල් තමා සිංහල බෞද්ධයකු බව කියයි. අපි ඒ පිළිගනිමු. එහෙත් එ ජා පක්‍ෂය සිංහල බෞද්ධ නොව ඇංග්ලිකන් ක්‍රිස්තියානි පක්‍ෂයකි. එහි සංස්කෘතිය හා චින්තනය ඇංග්ලිකන් ක්‍රිස්තියානි වෙයි. මාක්ස්වාදයේ චින්තනය කතෝලික වෙයි. ප්‍රභාකරන් හින්දු වන්නට ඇත. එහෙත් දෙමළ ජාතිවාදයේ චින්තනය ක්‍රිස්තියානි වෙයි. දෙමළ ජාතිවාදය 1833 දී ඉංගිරිසින් විසින් සිංහල බෞද්ධයනට විරුද්ධ ව දේශපාලනික ව බෞතීස්ම කරන ලද්දකි. (රාමනාදන්ලා සිංහලයන්ට එරෙහි වූ ආකාරය දැනගැනීමට ප්‍රභාකරන් ඔහුගේ සියලා බාප්පලා හා මස්සිනාලා කෘතිය කියවන්න). රනිල් ප්‍රභාකරන් ක්‍රිස්තියානි නෝර්වේ වුවමනාවට ගිවිසුම් අත්සන් කෙළේ බෞද්ධයන්ගේ හෝ හින්දූන්ගේ හෝ අවශ්‍යතාවට නො වේ. ප්‍රභාකරන්ට ඇතැම් කතෝලික පූජකවරු ආධාර නො කළෝ ද? ඒ ගැන සෙවීමට කමිටුවක් පත්කරන්නේ ද? 2005 දී කතෝලික පෘතුගීසීන් ලංකාව ආක්‍රමණය කිරීමේ පන්සිය වස සැමරීමට යෝජනා කෙළේ රනිල් ය. රටේ වාසනාවට ඔහු එයට පෙර අගමැති තනතුරින් විසිවිය. භික්‍ෂූන් වහන්සේලා ක්‍රිස්තියානි නීතිය යටතට පත්කිරීමට රනිල් උත්සාහ කරයි. අද අගමැති පමණක් නොව තත්ත්වාකාරක ජනාධිපති හා කතානායක ද වන ඔහු ක්‍රිස්තියනි රෝම ලන්දේසි නීතිය ආධරයෙන් තත්ත්වාකාරක මහානායක ද වීමට උත්සාහ කරයි. ඒ එංගලන්තයේ ඇංග්ලිකන් පල්ලියේ ආදර්ශය අනුව ය. ඇංග්ලිකන් පල්ලියේ නායකයා කැන්ටබරියේ ආච්බිෂොප්වරයා නොව එලිසබෙත් වින්ඩ්සර් ය.
ඊනියා ථෙරවාදී කතිකාවත් කෙටුම්පත් පනත මහානායක හිමිපාණන්වහන්සේට නොපෙන්වීම වරදක් යැයි සිරිසේන කියයි. ඒ පනත කැබිනට් මණ්ඩලයේ ද සාකච්ඡා කර නැත. පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම ගැන සිරිසේන නොදැන සිටියේ ද? රනිල්ට ඒ සම්බන්ධයෙන් පිළිතුරක් දිය හැකි ද? ඒ කෙසේ වෙතත් භික්‍ෂූන්වහන්සේ අතර දැන් භේදයක් ඇති වී තිබේ. පල්ලි නිකාය ද ඇතුළු ඇතැම් භික්‍ෂූන් වහන්සේ පනතට පක්‍ෂ ය. උන්වහන්සේට අනුව අද ශාසනයේ පිරිහීමක් ඇති බැවින් කතිකාවතක් අවශ්‍ය වෙයි. එහෙත් ප්‍රශ්නය වනුයේ දියවන්නා කතිකාවත පොළොන්නරු කතිකාවතෙන් හෝ දඹදෙණි කතිකාවතෙන් හෝ වෙනස් වීම ය. අනුරාධපුර සමයෙහි කතිකාවත් නොතිබූ බව ද සැලකිල්ලට ගත යුතු ය. කතිකාවතක් රාජ්‍ය අනුග්‍රහයෙන් පැවැත්වුව ද එය රාජ්‍ය ලියවිල්ලක් විය යුතු නො වේ. එහෙත් දියවන්නා කතිකාවත රාජ්‍ය ලියවිල්ලකි. රාජ්‍ය ලියවිල්ලකින්, එනම් රාජ්‍ය නීතියකින් භික්‍ෂූන් වහන්සේ හැසිරවීමට සිංහල බෞද්ධ සම්ප්‍රදායෙහි ඉඩක් නැත.
භික්‍ෂූන් වහන්සේ පිළිබඳ නීති (විනය) පැනවීම භික්‍ෂූන් වහන්සේ කළ යුතු ය. බුදුන් වහන්සේ විනය පැනවීමේ දී කොසොල් රජුගේ අනුමැතිය ලබා නොගත් හ. අඩු තරමෙන් එහි දී රාජ්‍ය අනුග්‍රහයවත් ලබා නොගත්හ. අනුරාධපුර සමයෙහි දී මේ සම්ප්‍රදාය රැකගත් බව පෙනී යයි. එහෙත් පොළොන්නරු සමයේ රාජ්‍ය මැදිහත්වීම් සුළුවෙන් තිබී ඇත. එකල වුවත් රජු භික්‍ෂූන් වහන්සේට නීති නො පැණවී ය. ඉංගිරිසිහු සිංහල නායකයන් සමග 1815 දී අත්සන් කළ ගිවිසුමේත් සිංහල නීතිය (දෙමළ හෝ ෂර්යා හෝ නීතිය නොව) අනුව රට කරවීමටත් බුද්ධාගම හා දේවාලගම (එනම් සිංහල බුද්ධාගම හා සිංහල බෞද්ධ සංස්කෘතිය) රැකීමටත් පොරොන්දු වූහ. එහෙත් ඉංගිරිසිහු ගිවිසුමේ තීන්ත වේලීමටත් පෙර එය කැඩූහ. මහානායක පදවි ඇතිකර උන්වහන්සේ ඉංගිරිසි ආණ්ඩුවට මෙහෙවර කරන ඔත්තු සපයන්නන් බවට අක්ත පත්‍රය මගින් පත්කර ගත්හ. මෙරට අද සිංහල බෞද්ධ නීතියක් නැත. ඇත්තේ ක්‍රිස්තියානි රෝම ලන්දේසි නීතිය ය. එ නීතිය සිංහල බෞද්ධයනට එරෙහි වෙයි. මෙරට කතෝලික පල්ලියෙහි ප්‍රධානියා පත්කෙරෙනුයේ වෙනත් රාජ්‍යයක් වූ වතිකානුවෙනි. එය අපේ පරමාධිපත්‍යයට කෙතෙක් හිතකර ද? ආණ්ඩුවට එය නැවැත්විය හැකි ද? මහානායක හිමිවරුන් නම් පත්කෙරෙන්නේ අදාළ සභාවලිනි.
භික්‍ෂූන් වහන්සේ රටේ පොදු නීතියට ද ගරු කළ යුතු ය. බුදුන් වහන්සේ් ද එය අනුමත කළහ. එසේ වුවත් රජයට භික්‍ෂූන් වහන්සේට පමණක් බලපාන පරිදි නීති පැණවිය නො හැකි ය (එසේ පැණවීම කැනඩාවේ එක් මහාචාර්යවරයකු කියන අන්දමට ඊනියා මානව අයිතීන් කැඩීමකට ලඝු නො වේ). භික්‍ෂූන් වහන්සේට පමණක් බලපාන නීති (විනය) උන්වහන්සේ විසින් සකස් කෙරිය යුතු ය. අද ඒ නීති බල රහිත වී ඇත්තේ ඒ රෝම ලන්දේසි නීතියට යට කෙරී ඇති බැවිනි. ආණ්ඩුව කළ යුත්තේ භික්‍ෂු විනය රෝම ලන්දේසි නීතියෙන් බැහැර කරන පනතක් ගෙනැවිත් ඉංගිරිසින්ගේ තදබල වරදක් නිවැරදි කිරීම මිස කතිකාවත් ගෙන ඒම නො වේ. අද සිරිසේන ශ්‍රි ල නි ප මරා දමා ඇති බැවින් පමා වී වුවත් සිංහල බෞද්ධයන්ගේ හා සිංහලත්වයට ගරුකරන අනෙක් අයගේ පක්‍ෂයක් මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් වහාම ඇතිකළ යුතු වෙයි. (මරා දමා ඇති පක්‍ෂයක් කැඩිය නො හැකි ය) එසේ නොමැතිව ඉන්දියාවට හා එංගලන්තයට විරුද්ධව සටන් කළ නො හැකි ය. සිරිසේනට දේශපාලන අනාගතයක් අවශ්‍ය නම් මහින්ද රාජපක්‍ෂගේ නායකත්වය පිළිගැනීමට සිදුවෙයි. මෙය එජාප සමග කරන සටනක් පමණක් නොව එංගලන්තයට හා ඉන්දියාවට එරෙහිව ද කරන සටනකි. ඒ සඳහා නායකත්වය දීමට තමාට නොහැකි බව සිරිසේන වටහාගත යුතු ය. ඔහු සිංහල බෞද්ධකම අගයන්නේ නම් මහින්ද නැවත ජනාධිපති කරගැනීමට ක්‍රියා කළ යුතු ය.
නලින් ද සිල්වා
2016 ජනවාරි 21