Main Logo

Sunday 31 January 2016

සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය (2016 ජනවාරි 31`රිවිර ලිපිය)

සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය

මෙහි සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය යන්න සන්දර්භ දෙකකින් විස්තර වෙයි. එකක් ලෝක මට්ටමෙන් ය. අනෙක ලංකාව වශයෙනි. අපට වඩා දැනෙන්නේ ලංකාව සම්බන්ධයෙන් සිංහල බෞද්ධ සංස්කෘතියේ සුවිශේෂත්වය ය. එහෙත් ලෝක මට්ටමෙන් ද එහි ඇති සුවිශේෂත්වය නොදැන රටේ වත්මන් දේශපාලනය අවබෝධ කරගත නො හැකි ය. සිංහල බෞද්ධයනට ලෝක මට්ටමෙන් එහි ඇති සුවිශේෂත්වය අවබෝධ නො වේ. එසේ වුවත් මැවුම්කරුවකු ගැන විශ්වාස කරන බටහිර හා ඉන්දියානු සංස්කෘතිවලට ඒ සුවිශේෂත්වය හොඳින් ම දැනෙයි. ගුණදාස අමරසේකර මහතා වරක් කියා තිබුණේ එක්තරා තායිලන්ත උගතකුට අනුව නැවත බෞද්ධ සංස්කෘතියක රටක් කරවීමට හැකි රටවල් තුනක් තිබූ බව ය. අමරසේකර මහතාට අනුව ඒ උගතා කියා තිබුණේ ඒ  රටවල් තුන ලංකාව, මියන්මාරය හා කාම්බෝජය යන ථෙරවාදී රටවල් බව ය.


එහෙත් පොල් පොට්ගෙන් පසු කාම්බෝජයට ඒ කාර්යය කළ නො හැකි ය. පොල් පොට්ගේ  ප්‍රශ්නය වූයේ ඔහු අනුගමනය කළ ක්‍රියා මාර්ගය ය. බටහිරයන්ට ඔහු නැතිකිරීමට ඒ ක්‍රියා මාර්ගය නිසා පහසු විය. නැතිවූයේ පොල් පොට් පමණක් නොවේ. එහි ථෙරවාද සංස්කෘතියට තිබූ ශක්තිය ද නැති වී ගියේ ය. මියන්මාරය ද අවුං සාන් සුකී මගින් අඩපණ කිරීමට බටහිරයන්ට හැකි විය. ලංකාව පමණක් තවමත් ඉතිරි වී තිබේ. එහෙත් ඉතා සුළු කරුණකින් ලංකාවට ඇති ශක්තිය ද නැති වී යෑමට ඉඩ ඇත. අප ප්‍රවේසම් නොවුණහොත් ලංකාවේ ථෙරවාද සංස්කෘතිය ද දුර්වල වනු ඇත. බොහෝ සිංහල බෞද්ධයනට නොතේරුණ ද අප බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුමට හා අශෝක බුද්ධාගමට ද විරුද්ධ වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතියට වන අගතිය නැති කිරීීමට ය. ඇතැමුනට ඒ බව නොතේරුණ ද බටහිරෙන් හෝ ඉන්දියාවෙන් හෝ හැකිනම් හා අවශ්‍ය නම් යමක් සිංහල බෞද්ධ සංස්කෘතියට අවශෝෂණය කරගැනීමට අප විරුද්ධ නැත. එහෙත් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියේ හෝ ඉන්දීය සංස්කෘතියේ හෝ ආධිපත්‍යයට යට වී ඔවුන්ගේ දැනුම ඇතුළු සංස්කෘතිය අනුකරණය කිරීමට අපි විරුද්ධ වෙමු. ඒ ඒ දැනුම් අතර ඊනියා පාලම් නැත. පාලම්වලින් සිදුවන්නේ අධිපතිවාදී දැනුමට අනෙක් දැනුමක් යට වීම පමණකි. ලංකාවේ බෞද්ධ උගතුන් ඊනියා පාලම් තනා බුදුදහම ද විකෘති කර ඇති අන්දම උදාහරණ සහිත ව පෙන්වා දිය හැකි ය. ඒ විකෘති කිරීම්වලින් ඔවුන්ට මෙරට හා පිටරට මහාචාර්යකම් හා වෙනත් තනතුරු ලැබී ඇත්තේ සංස්කෘතික ආධිපත්‍යයට ඔවුන් යට වී ඇති බැවිනි. 

ලෝකයේ ඇත්තේ සභ්‍යත්ව ගැටුමක් යැයි සැමුවෙල් හංටින්ග්ටන් තම සභ්‍යත්ව ගැටුම (Clash of Civilizations) නම් පොතෙහි සඳහන් කරයි. සෝවියට් දේශයේ හා ඊනියා සමාජවාදයේ කඩාවැටීමෙන් පසු හංටින්ග්ටන්ට අනුව තිබෙන්නේ ධනවාදය හා සමාජවාදය අතර ගැටුමක් නොව සභ්‍යත්ව ගැටුමකි. ඔහු සභ්‍යත්වයක් ලෙස විස්තර කරන්නේ මනුෂ්‍යත්වය හැරුණු විට ලොව මිනිසුන් සාමූහික ව එකතුවන ඊළඟ ප්‍රවර්ගය ලෙස ය. ක්‍රිස්තියානි සභ්‍යත්වය, මුස්ලිම් සභ්‍යත්වය යනුවෙන් ඒ විවිධ වෙයි. බොහෝ මුස්ලිම්වරු ලෝකයේ කොහේ හිටියත් මුස්ලිම්වරුන් ලෙස සිතති. අයිඑස්අයිඑස් ත්‍රස්තවාදීන් අතර ලංකාවේ මුස්ලිම්වරු ද වෙති. හංටින්ග්ටන් තම පොතෙහි කියන්නේ මහායාන සභ්‍යත්වයක් ලෝකයේ තිබිණි ද ථෙරවාද සභ්‍යත්වයක් නැති බව ය. අපට ලෝකයේ ථෙරවාදීන් ලෙස සිතිය නොහැකිය යන්න ඉන් අදහස් වෙයි. එහි ඇත්තක් වෙයි. සිංහල බෞද්ධයන් බොහෝ දෙනා තායිලන්තයේ සංචාරය කරන්නේ භාණ්ඩ මිළ දී ගැනීමට හා වෙනත් ක්‍රියාවන්හි යෙදෙමින් පන්සිල් කඩා ගැනීමට ය.  

අප හන්ටිංග්ටන්ගේ සියළු අදහස් පිළිගත යුතු නො වේ. ලෝකයේ ඇත්තේ සභ්‍යත්ව ගැටුමක් නොව චින්තන හා සංස්කෘතික ගැටුමකි. එය සෝවියට් දේශය කඩා වැටීමට පෙර සිට ම විය. ඊනියා සමාජවාදය හා ධනවාදය අතර වූ ගැටුම ද සංස්කෘතික හා චින්තන ගැටුමක් විය. සෝවියට් දේශයේ කම්කරු පාංතික ආඥාදායකත්වයක් (මේ යෙදුම ද අද වන විට ව්‍යවහාරයෙන් ඈත්වෙමින් පවතියි) කිසි දිනෙක ඇති නොවිණි. ලෙනින් ඇතුළු පිරිස නැගෙනහිර කතෝලික චින්තනයෙහි (ඕතොඩොක්ස් පල්ලියෙහි) සාමූහික ප්‍රාග්ධනය එක්රැස් කරමින් රාජ්‍ය ධනවාදයක් පිහිටුවූහ. එය බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ඇති වූ පෞද්ගලික ප්‍රාග්ධනය එක්රැස් කිරීමෙන් වෙනස් විය. මාක්ස් ද පදනම් වූයේ කතෝලික චින්තනයෙහි බව අමතක නොකළ යුතු ය. අප සමාජවාදය ලෙස දකින්නේ සාමූහික ප්‍රාග්ධනය සහිත රාජ්‍ය ධනවාදයකි. 

ලංකාවේ තිබූ හෙළ බෞද්ධ සංස්කෘතිය වෙනුවට සිංහල බෞද්ධ සංස්කෘතිය පිහිටුවනු ලැබුයේ මූලික වශයෙන් අශෝක රජුගේ මැදිහත් වීමෙනි. එය ස්ථාවර වීමට අවුරුදු අටසියයක් පමණ ගත විය. කෙසේ වෙතත් මෙරට තිබූ හෙළ බෞද්ධ සංස්කෘතිය වෙනස්වීම විජය පැමිණි වකවානුවේ සිට කෙරී ගොස් ඇත. වෛදික බමුණෝ ඒ වෙනස් කිරීමට ගත් උත්සාහය අත් නො හැරියහ. ඔවුහු බෞද්ධයන් ලෙස ද ඒ කටයුත්තෙහි නිරත වූහ. පෘතුගීසිහු, ලන්දේසිහු හා ඉතා සියුම් ලෙස ඉංගිරිසිහු ද සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට බැරි නම් දුර්වල කිරීමට කටයුතු කළහ. අද ද ඉංගිරිසිහු හා ඉන්දියානුවෝ ඒ කටයුත්තේ යෙදී සිටිති. බටහිර යුදෙවු ක්‍රිස්තියානි ආධිපත්‍යය යටතේ ලෝකය විනාශ වෙමින් පවතියි. පුද්ගලිකත්වය දිනපතා වර්ධනය වෙයි. ලංකාවේ හා සෙසු ලෝකයේ අපරාධ වැඩිවන්නේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනය හේතුවෙනි. ඒ චින්තනයෙහි පරිසරය සුරැකිය හැකි නො වේ. මේ සම්බන්ධයෙන් මා පොතක් ලියා ඇති මුත් එය අද මුද්‍රණයේ නැත. පරිසරය රැකිම සම්බන්ධ ව පැරිසියේ පසුගිය දා පැවැත්වූ සම්මේලනය කිසිම ප්‍රතිඵලයක් නැති මාධ්‍ය සන්දර්ශනයක් පමණක් විය. ලංකාවේ ද මාධ්‍ය සන්දර්ශන පැවැත්වෙන්නේත් දේශපාලනය පුවත්පත් සාකච්ඡාවලට සීමාවන්නේත් බටහිර අනුකරණයෙනි. 

බටහිරයන්ට හා ඉන්දියානුවන්ට හැකිනම් සිංහල බෞද්ධ සංස්කෘතිය විනාශ කිරීමට අවශ්‍ය වෙයි. අද ඉන්දියානුවෝ වේදිකාවේ කුමක් කීවත් ථෙරවාද බෞද්ධ දර්ශනයට විරුද්ධ වෙති. බටහිරයන් ද එසේ ම ය. බටහිර ඉතා සුළුවෙන් ව්‍යාප්ත වන්නේ ථෙරවාදයක් නොව දලයි ලාමාගේ මහායාන බුද්ධාගමකි. මැවුම්කරුවකු හෝ බටහිර විද්‍යාවේ මහා පිපිරුම (බිග් බෑන්) වැනි මැවීමක් හෝ නොමැති ථෙරවාදයට පමණක් ආධ්‍යාත්මික වශයෙන් බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියට අභියෝග කළ හැකි ය. මුස්ලිම් සංස්කෘතිය හා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය අතර ගැටුම මේ වන විට නැවතත් ආරම්භ වී ඇත. එය ලෝක යුද්ධයක් කරා විකාශය වීමේ භයානක ඉඩකඩක් වෙයි. ඒ  සංස්කෘතික වෙනසක් නිසා ඇතිවන්නකි. ථෙරවාදී රටවල් එකතු කිරීමට නොහැකි වීමත්, ඔවුන් යුද්ධායුධ සම්බන්ධයෙන් ශක්තිමත් නොවීමත්් හේතුවෙන් ථෙරවාදයට එරෙහිව සෘජු යුද්ධ ක්‍රියා මාර්ගයකට එළඹීමට බටහිරයන්ට හා ඉන්දියානුවන්ට අවශ්‍ය නැත. එහෙත් සංස්කෘතික වශයෙන් ථෙරවාදය පරාජය කිරීමටත්, වක්‍ර ව දෙමළ ජාතිවාදය හා මුස්ලිම් ආගම්වාදය යොදා ගනිමින් තමන්ට ආධ්‍යාත්මික ව අභියෝගයක් විය හැකි සිංහල බෞද්ධ සංස්කෘතිය නැති කිරීමට විවිධ අය විවිධ කටයුතු කරති. 

ප්‍රභාකරන් පමණක් නොව ඇතැම් සිංහලයෝ ද සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව යොදා ගැනෙති. ඊනියා රාජ්‍ය නොවන සංවිධාන යනු බටහිර විවිධ ප්‍රභේදවල ක්‍රිස්තියානි රාජ්‍ය හෝ සංවිධාන හෝ මගින් අප වැනි රටවල නඩත්තු කෙරෙන සංවිධාන වෙයි. මේ සංවිධානවල චින්තනය යුදෙවු ක්‍රිස්තියානි වෙයි. ඔවුහු සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කටයුතු කරති. ඊනියා යුද්ධාපරාධ ගැන මේ බටහිර ගැත්තෝ කෑ ගසති. යුද්ධවල දී සිදුකරන ක්‍රියා සියල්ල පාරදෘශ්‍ය විය යුතු නො වේ. කොටි ඔත්තුකරුවන්ට ආධාරකරුවන්ට විරුද්ධව ඇතැම් පියවර ගැනීමට සිදු වී නම් එහි ඇති වරද කුමක් ද? බටහිර රටවල් හෝ ඉන්දියාව හෝ යුද්ධවල දී පාරදෘශ්‍ය ව කටයුතු කර ඇත් ද? අපේ දුර දිගු විහිදුම් බලකාය ගැන සෙවීමට එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් කොමසාරිස්ට ඇති බලය හෝ රුදාව හෝ කුමක් ද? ඔහු බ්ලෙයාර්ගේ යුද්ධ කටයුතු හැන නිහඬ ය. එහෙත් මේ නිවට ආණ්ඩුව ඔහුටත් බ්ලෙයාර්ටත් අනෙක් බටහිරයන්ට හා ඔවුන්ගේ නියෝජිතයන්ටත් ලංකාවට පැමිණ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහිව කටයුතු කිරීමට අවසර දෙයි. මේ ආණ්ඩුවට බටහිරයන් සහතික දෙන්නේ ආණ්ඩුවේ නිවට කමට ය.

ශ්‍රී ල නි පක්‍ෂය මරාදැමීමට පළමුව ඒ හා එ ජා පක්‍ෂය අතර වූ ප්‍රධාන වෙනස වූයේ 1952 න් පමණ පසු ශ්‍රී ල නි ප සිංහල බෞද්ධ සංස්කෘතිය මත පදනම් වූ පක්‍ෂයක් වීමත් එ ජා ප  ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය මත පදනම් වූ පක්‍ෂයක් වීමත් ය. ශ්‍රී ල නි පක්‍ෂය වෙනස් කිරීමට බටහිරයෝ විවිධ උත්සාහ දැරූහ. අනූවේ දශකයේ මුල චන්ද්‍රිකා කුමාරතුංග එංගලන්තයේ සිට මෙරටට ආනනය කරනු ලැබුයේ ශ්‍රී ල නි පක්‍ෂයේ සිංහල බෞද්ධ පදනම බිඳ දමා දෙමළ ජාතිවාදයට දොළ පිදේනි දීමට ය. එහෙත් ඒ සාර්ථක නො වී ය. එ ජා ප හා ශී්‍ර ල නි ප අතර ඊනියා සමගියක් ඇතිකර දෙමළ ජාතිවාදය හැසිරවීමට ඉන්දියාවට කාලයක් තිස්සේ අවශ්‍ය විය. අවසානයේ දී ඒ සඳහා මෛත්‍රිපාල සිරිසේන යොදාගනු ලැබිණි. එහෙත් ඔහු ශ්‍රී ල නි ප මරාදැමූ බැවින් ඉන්දියාවේ උපක්‍රමය සාර්ථක නො වී ය. මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වයෙන් නව පක්‍ෂයක් අවශ්‍ය බව අප කිියා සිටියේ සංධානයේ නායකයන් ද එයට විරුද්ධ වූ කාලයක ය. එහෙත් අද කාට කාටත් ඒ අවශ්‍යතාව පෙනී ගොස් ඇත. මෛත්‍රිපාල සිරිසේනට තමා කළ වැරදීවලට වන්දි ගෙවිය හැක්කේ මහින්ද රාජපක්‍ෂට අගමැති කම ලබාදීමෙන් පමණකි. ඒ සඳහා ව්‍යවස්ථාවේ ඉඩ ඇති බව පෙන්වා දීමට හැකි ය.

මෙරට සිංහලයන්ගේ සුවිශේෂත්වයට විරුද්ධ ව ව්‍යාජ කරුණු ඉදිරිපත් කිරීමට විවිධ පඬියන් ඉදිරිපත් වී ඇත. මෙරට ජාතියකට ඇත්තේ සිංහල පමණ ය. ඒ රටක පුරවැසියා ජාතිකයෙකි යන බටහිර අර්ථයෙන් නො වේ. සිංහල හැරුණු විට මෙරට ඇත්තේ ජනවර්ග ය. සිංහලයන් සුවිශේෂ වන අතර ඔවුහු අන්‍යයන් මෙන් සාංක්‍රමණිකයෝ නො වෙති. ඔවුුහු වෙනත් රටකින්  නො පැමිණියෝ ය. සිංහල භාෂාව, දෙමළ හෝ අරාබි හෝ මෙන් නොව වෙනත් කිසිම රටක භාවිතා වන්නක් නො වේ. පාළි, සංස්කෘත, දෙමළ පමණක් නොව බටහිර භාෂාවල වචන ද සිංහලයෙහි වෙයි. එහෙත් සිංහලය (හෙළය) මෙරට නිෂ්පන්නිත භාෂාවකි. සිංහලයෝ මෙරටට ආවේණික වන අතර මෙරට ඉතිහාසය හා සංස්කෘතිය ගොඩ නැගුවෝ වෙති. අප වර්ධනය විය යුත්තේ සිංහල බෞද්ධ සංස්කෘතිය වටා ය. ඊනියා ථෙරවාද කතිකාවත මල්වත්ත හා කෝට්ටේ කුමක් කීව ද නිර්ථෙරවාදී ය.

නලින් ද සිල්වා

2016 ජනවාරි 28