කොරෝනා කෙරුණේ කෙසේ ද?
කොරෝනා වෛරසය ගැන කියන්න තරම් දෙයක් මා දන්නේ නැහැ. මා කරන්නේ රුපියල් අස්සේ අලුක්කාල් ගැසීමක්. ඒ අලුක්කාල මගේ පැත්තේ මට සාපේක්‍ෂ ව කීමයි මා කරන්නේ. වයිරසවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් ජනමාධ්‍යවේදීන් මෙරට ඉන්නවා. සාර්ස් වෛරසය හැඳිනගත් දැනට හොංකොංහි සේවය කරන මහාචාර්ය ජෝසෆ් ශ්‍රියාල් මලික් පීරිස් ලන්ඩන් රාජකීය සංගමයේ අධිසාමාජිකත්වයකින් පිදුම්ලත් ලංකිකයන් දෙදෙනාගෙන් එක් අයෙක්. අනෙක් තැනැත්තා ඉංජිනේරුවරයෙක්. දෙදෙනාම ශිල්පීන්. මෙරට දක්‍ෂ ශිල්පීන් ඉන්නවා. වෛරස බැක්ටීරියා විනාශ කරන බල්බයක් නිපදවූ මංජු ගුණවර්ධන එවැන්නෙක්. ලංකාවේ නැත්තේ ශාස්ත්‍රඥයන්. පඬියන් නම් ඕනැවටත් වඩා ඉන්නවා. තවමත් ලංකාවේ ඊනියා ශාස්ත්‍රඥයකුට ඔවුන්ට අනුව උසස් වූ රාජකීය සංගමයේ අධිසාමාජිකත්වය ලැබී නැහැ. මලික් පීරිස් කියන විධියට මේ කොරෝනා වෛරසය සාර්ස් වෛරසය තරම් දරුණු නැහැ.