පේරාදෙණි ගුරුකුලය
පේරාදෙණිය ගුරුකුලයේ උපත නැගීම හා බිඳවැටීම කියල පොතක් කියෙව්ව. පිටු
හයසිය ගණනක් ඇති ඒ පොත ලියල තියෙන්නෙ සේන තෝරදෙනිය. පොතේ දත්ත රාශියක් තියෙනවා.
මුලාශ්‍රත් දක්වල තියෙනවා. බොහොම මහන්සි වෙලා කරපු වැඩක්. පොතේ කියන විධියට
කතුවරයා මට අවුරුදු දෙකකට කලින් පේරාදෙණියට ගිහින් තියෙන්නෙ. මා පේරාදෙණියෙ ඉගෙන
ගත්තෙ එක වසරයි. ඒ කොළඹට එන්න වුණු නිසා. ඒ කාලෙ එක විශ්වවිද්‍යාලයයි තිබුණෙ. ඒ
ලංකා විශ්වවිද්‍යාලය. පේරාදෙණියෙ විද්‍යා පීඨයට කිව්වෙ දෙවැනි විද්‍යා පීඨය කියලා.
මා පසුව අවුරුදු අටක් පමණ එහි ඉගැන්නුවා. ඒ කාලෙ කොළඹ හා පේරාදෙණිය විශ්වවිද්‍යාල
දෙකක් බවට පත් වුණා. දෙවැනි වතාවෙ පේරාදෙණියෙ මට පත්වීමක් දුන්නෙ නැහැ. ඒ වන විට
විශ්වවිද්‍යාල මණ්ඩප වෙලා. දැන් අප ඉගෙන ගත් ලංකා විශ්වවිද්‍යාලය නැහැ. අප දැන්
නැති විශ්වවිද්‍යාලයක උපාධිධාරීන්. මා උපාධි සහතිකය ගත්තෙත් නැහැ. මා හිතන්නෙ ලංකා
විශ්වවිද්‍යාලෙ වාර්තා තියෙන්නෙ පේරාදෙණියෙ කියලයි. ඒත් කොළඹත් තම උරුමය අත්
හරින්නෙ නැහැ. මා නම් මේ සියලු උරුම අත්හැරලා. ඒ අයත් මා අත්හැරලා. මට විශ්වවිද්‍යාලයෙන්
ලැබුණෙ භාර්යාව විතරයි.