Main Logo

Thursday, 3 December 2015

අමරතුංග මහතා වෙනුවෙන් පඹයන් ඉදිකිරීම (2015 දෙසැම්බර් 02 විදුසර ලිපිය)

අමරතුංග මහතා වෙනුවෙන් පඹයන් ඉදිකිරීම

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන ජනප්‍රිය පොතපතට එහා යන පොතක් කියවා නොමැති බව පැහැදිලි ය. ඒ බව උදාහරණ කිහිපයක් පමණක් රැගෙන මම පසුගිය සතියේ ද එයට පෙර සතියේ ද විදූසරෙන් පෙන්වා දුන්නෙමි. දැන් ඒ මහතා නිවැරදි යැයි කීමට කණිටු පාසල් සිසුවකු තරමටවත් වාද කිරීමට තබා යමක් තේරුම් ගැනීමටවත් හැකියාවක් නැති කැනඩාවේ කාර්මික පසලක බටහිර විද්‍යාව උගන්වන බෝධි ධනපාල මහතා මාස කිහිපයකට පසුව නැවතත් කරළියට පැමිණ ඇත. 

Monday, 30 November 2015

ගීත, විනෝද ගමන් හා අයවැය (2015 නොවැම්බර් 29 රිවිර ලිපිය)

ගීත, විනෝද ගමන් හා අයවැය 

ව්‍යාජ සංඛ්‍යාලේඛන හා බොරු පුරසාරම් සහිත අයවැය කතාව ගැන සිතමින් මම පසුගිය 21 වැනි සෙනසුරාදා ඩ්‍රීම්ස්ටාර් වැඩ සටහන නැරඹීමි. ඉඩක් ලැබෙතොත් මා ඒ වැඩසටහන අවසන් අදියරේ දී නරඹන්නේ විනිසුරුවන්ගේ, විශේෂයෙන් ම දේශපාලන ඉවක් ඇති නදීක ගුරුගේ මහතාගේ, ප්‍රතිචාරවලට ද සවන් දී සංගීතය ගැන යමක් ඉගෙනීමට හැකි බැවිනි. ගුරුගේ මහතා මට එක දවසක්  මුණ ගැසී ඇති අතර අනෙක් දෙදෙනා කිසි දවසක මුණ ගැසී නැත. (විද්වත්හු මා ඇසුරු නො කරති) එහෙත් ඒ සෙනසුරාදා මගේ සිත වෙනතකට යොමු වූයේ මා කළු ද සුදු ද නොදන්නා වසන්ත දුක්ගන්නාරාළ මහතාගේ වදන් කිහිපයකිනි. එක්තරා ගීතයකට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා  වත්මන් පරම්පරාවේ ගීත  විනෝද ගමනක් යෑමේ දී ගායනය කළ නොහැකි බව සඳහන් කෙළේ ඒ ගීතවල දොසක් දැකීමට නො වේ. ඔහුට අනුව අප තවමත් චාරිකාවලදී ගයන්නේ සිරිපාදේ සමනළ කන්ද පෙනේ වැනි ගීත ය. ඒ මහතා එවැනි ගීතවලට ද අබමල් රේණුවක දොසක් නොකී බව සඳහන් කළ යුතු ය. 

Friday, 27 November 2015

රූපික ලෝකය හා තරමක විද්‍යාව (2015 නොවැම්බර් 25 විදුසර ලිපිය)

රූපික ලෝකය හා තරමක විද්‍යාව


ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා වැඩි වැඩියෙන් ලියන තරමට වැඩි වැඩියෙන් අසංගත (පරස්පර) කරුණු ප්‍රකාශ කරයි. එසේ ම ඔහු ජනප්‍රිය පොත් තමාට තේරෙන ආකාරයෙන් කියවා ඒවා විදුසර පාඨකයාට “තේරුම්” කර දෙයි, එමගින් පාඨකයා අවුල් කරයි. ඔහු ක්වොන්ටම් යාන්ත්‍රිකය ගැන කර ඇති එකම නොමග යැවීම ස්ක්‍රොඩිංජර් යනුවෙන් ලිවීම පමණක් නො වේ. ඒ නොමග යැවීම් ගැන ඉඩ ලැබෙන පරිදි කරුණු දක්වමි. දැනට පහත දැක්වෙන පරස්පරය පමණක් සාකච්ඡා කරමි. අමරතුංග මහතා 2015 නොවැම්බර් 11 වැනි දින ලිපියෙහි මෙසේ කියයි.

Monday, 23 November 2015

කපුවෝ කපෝති (2015 නොවැම්බර් 22 ඉරිදා රිවිර ලිපියේ මුල් පිටපත)

කපුවෝ කපෝති

ලංකාණ්ඩුවේ ද අනුග්‍රහයෙන් ඉදිරිපත් කෙරුණු ජෙනීවා යෝජනාවෙන් කියැවෙන කරුණුවලින් ශ්‍රී ලංකාව නැවතත් යටත්විජිතයක් බවට පත් කෙරෙන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පණත අහෝසි කිරීමට යෝජනා කෙරෙයි.  තමන් බලයට පත්කිරීමට උපකාර කළ යටත්විජිතවාදීන්ගේ් අවශ්‍යතාව මත ආණ්ඩුව දෙමළ කොටි ත්‍රස්තවාදීන් 38 දෙනකු දැනටමත් ඇප මත නිදහස් කර ඇති අතර තවත් කණ්ඩායමක් ඊනියා පුනරුත්ථාපනයකට ලක්කර නිදහස් කිරීමට යයි. මේ එකක්වත් අධිකරණ තීන්දු යැයි සැලකිය හැකි ද? අධිකරණයෙන් ඇප දුන්නේ යැයි කිව හැකි වුව ද එසේ කෙරෙන්නේ බොහෝ විට නීතිපති දෙපාර්තමේන්තුවේ ස්ථාවරය ද පදනම් කර ගනිමිනි. ත්‍රස්තවාදීන් 31 දෙනකු ඇප මත නිදහස් කිරීමේ දී නීතිපති දෙපාර්තමේන්තුව උදේ එකක් කියා හවස සිරකරුවන්ගේ (හා තවත් අයගේ) උද්ඝෝෂණ මත ඔවුන්ට ඇප දීමට විරුද්ධ නො වී ය. මෙහි දී නීතිපති දෙපාර්තමේන්තුවට යම්කිසි ආකාරයක දේශපාලන මැදිහත්වීමක් සිදු නොවිණි යැයි පැවසිය හැකි ද? පුනරුත්ථාපනය කිරීම  කිසිම අධිකරණයක ගත් තීන්දුවක් ක්‍රියාත්මක කිරීමක් නො වේ. 

Friday, 20 November 2015

යථාර්ථයේ විශ්වාසය (2015 නොවැම්බර් 18 විදුසර ලිපිය)

යථාර්ථයේ විශ්වාසය

ඩී එස් සී උපාධිධාරි සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතියෙහි පැන නගින ජීවිතයේ අරුත කුමක් ද යන ප්‍රශ්නයට පිළිතුරු දීමට ගොස් තමන් ජනප්‍රිය පොතපතින් පමණක් කියවා ඇති එහෙත් තමන්ට අවබෝධයක් නැති හැමිල්ටෝනිය යාන්ත්‍රිකය ෂ්රොඩිංගර් සමීකරණය ආදිය ගැන කියවමින් විදුසරෙහි පිටු නාස්ති කරයි. ඒ  මහතා ෂ්රොඩිංගර් යන්න ලියන්නේ ස්ක්‍රොඩිංජර් ලෙස ය. ඒ රෝම අකාරදීය යොදා ගනිමින් ෂ්රොඩිංගර් (ූSchrodinger)  යන්න ලියන ආකාරය සිංහලෙන් ප්‍රකාශ කරමින් ලබාගන්නකි. එසේ සිංහලෙන් ලිවීම (උච්චාරණය) පිළිබඳ ව මම ඒ මහතාට දොස් නො කියමි. එහෙත් ඒ මහතා ෂ්රොඩිංගර් සමීකරණය පිළිබඳ ව ගුරුවරයකුගෙන් අසා දැන නොගත් බවත් තමන් වැනි ම අය හෑර වෙනත් කිසිවකු සමග ඒ පිළිබඳ සාකච්ඡා කර නොමැති බවත් එයින් පැහැදිලි වෙයි. මෙරට විශ්වවිද්‍යාලවල විද්‍යා පීඨවල කිසිවකු ෂ්රොඩිංගර් යන්න ස්ක්‍රොඩිංජර් ලෙස උච්චාරණය කරනු මා අසා නැත. ඔවුහු ඇතැම්විට ෂ්රූඩිංගර් ලෙස නම් එය උච්චාරණය කරති.

Monday, 16 November 2015

නීතියට ස්වාධීන විය හැකි ද? (2015 නොවැම්බ ර් 15 ඉරිදා රිවිර ලිපියෙහි මුල් පිටපත)

නීතියට ස්වාධීන විය  හැකි ද?  

ජනවාරි 8 වැනි දා සිට දේශපාලනය කැළඹිලි සහිත වෙයි. ඒ ඇරඹුනේ ම නීත්‍යානුකූලව නො වේ. එක් අගමැතිවරයකු සිටිය දී ම ව්‍යවස්ථාවට පටහැණිව තවත් අගමැතිවරයකු පත් කෙරිණි. තිලක් මාරපන මහතා සහ විජ්යදාස රාජපක්‍ෂ මහතා එකල කොහේ සිටියේ දැයි අපි නො දනිමු. නීතිය බූරුවකු යැයි කියමනක් තිබේ. සමහර විට ඒ මහත්වරුන්ට වෙනත් මතයක් තිබෙන්නට ඇත. එහෙත් නායකයාට විරුද්ධව යෑමට ඔවුන් මැලිවන්නට ඇත. මේ ආණ්ඩුවට සිංහලයන්ගේ බහුතරය විරුද්ධ ය. ආණ්ඩුව පවතින්නේ විජාතික බලවේගවල හා දෙමළ ජාතිවාදයේ ආධාරයෙනි. ඒ නිසා ම ආණ්ඩුවට තැන්පත් වීමට නො හැකි ය. ආණ්ඩුව වරෙක නීතියේ පිහිට පතයි. තවත් විටෙක නීතියට පටහැණිව ක්‍රියාකරයි. ආණ්ඩුව යනු නීතිය ය.

Saturday, 14 November 2015

බුදුන් වහන්සේ ආත්මවාදියකු කිරීම (2015 නොවැම්ර් 11 විදුසර ලිපිය)

බුදුන් වහන්සේ ආත්මවාදියකු කිරීම

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා අපෙන් තොරව වාස්තවික ලෝකයක්, යථාර්ථයක් ඇති බව පෙන්වීමට ගෙනෙන උදාහරණ කිහිපයක්් විමසා බලමු.  අගෝස්තු 12 වැනි දා ලිපියෙන් ඒ මහතා මෙසේ කියයි. “යථාර්ථය යනුවෙන් හැඳින්වන්නේ කුමක්‌ ද? එය සාර්වත්රත සංකල්පයක්‌ ද? එය සැමට පොදු ද? එය සැමට පොදු විය යුතු ද? නැත හොත් එය සංස්‌කෘති අනුව වෙනස්‌ වන්නේ ද? අප ගේ ඉන්ද්රිතය සංජානනයෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ පවතින්නේ ද? අප ගේ ඉන්ද්රි යයන් ගෙන් වෙන් වූ ලෝකයක්‌ ඇති ද? එවැනි ලෝකයක්‌ නැතැයි පැවසීම, අප බලන්නේ නැත්නම් ලෝකයක්‌ නැතැයි පැවසීම හා සමාන ය. අප ගේ ඉන්ද්රියය පද්ධතියෙන් ස්‌වායත්ත වූ ලෝකයක්‌ ඇත නමුත් එය තවමත් හරිහැටි දැනගන්නට බැරි වී ඇතැයි පැවසීම සත්යයට කිට්‌ටු ය.”