අපි සන්නිවේදනය සම්බන්ධයෙන් පැන නගින ගැටළු කිහිපයක් පසුගිය සතියේ සාකච්ඡා කළෙුමු. එහි දී විශේෂයෙන් ම රජරට වකුගඩු රෝගය හා ආසනික් ගැන කියැවෙන දෑ අපේ අවධානයට යොමු විය. අප කලින් සාකච්ඡා කරමින් සිටියේ සංයුක්ත හා වියුක්ත සංකල්පවල වර්ගීකරණය පිළිබඳ ව තරමක් වියුක්ත ව වුව ද වර්තමානයෙහි ඇති වී තිබෙන තත්වය අනුව ඒ සංකල්ප ගැන සංයුක්ත ව කතාකිරීමේ වැදගත් බවක් පැන නැගී ඇත.
අප රට විද්‍යාඥයන් නොමැති බව මා දැනගෙන බොහෝ කල් ය. ඒ කරුණු දෙකක් නිසා සිදුවෙයි. පළමුවෙන් ම බටහිර විද්‍යාව යනු තවත් එක් දැනුම් පද්ධතියක් පමණක් බවත් එහි ඇති මහේශාඛ්‍යභාවයක් නොමැති බවත් මා දැනගෙන අවුරුදු විසිපහකට පමණ වැඩි ය. එබැවින් ඒ අරුතින් මෙරට තබා බටහිරවත් විද්‍යාඥයන් නොමැති බව මම එදා සිට ම දනිමි. දැනට අවුරදු විස්සකට පමණ ඉහත මා ශ්‍රි ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ යම්කිසි සභාවක කරන ලද කතාවක මාතෘකාව වූයේ විද්‍යාත්මක බොරුකාරයෝ යන්න ය. එකල මම ඒ සංගමයේ මහා මණ්ඩලයේ (council) සාමාජිකයෙක් වීමි.
ඒ කතාව සම්බන්ධයෙන් එකී මහා මණ්ඩලයේ සාමාජිකයෙක් චෝදනාවක් කළේ ය. මට මතක අයුරින් ඒ චෝදනාවේ හරය වූයේ මෙරට පමණක් නොව පිටරට ද බටහිර විද්‍යාවට සම්බන්ධ වූවන් බොරුකාරයන් ලෙස හැඳින්වීම වරදක් බව ය. විශේෂයෙන් ම ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ මහා මණ්ඩලයේ සාමාජිකයකු වෙමින් ඒ සංගම් ගොඩනැගිල්ලේ දී ම පවත්වන ලද රැස්වීමක දී මා එලෙස විද්‍යාත්මක බොරුකාරයන් ගැන කතාකිරීම වරදක් යැයි චෝදනාව ඉදිරිපත් කළ තැනැත්තා කියා සිටියේ ය. එකල පැවති මහා මණ්ඩලය ඒ චෝදනාව ප්‍රතික්‍ෂෙප කළේ මගේ අදහස් මට ප්‍රකාශකිරීමට ඇති අයිතියට අවහිර නො කරමිනි.
එහෙත් ඒ එදා ය. අද මගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය උදුරා ගැනීමට පමණක් නොව අප ගවේෂණ කණ්ඩායමේ සාමාජිකයන්ට තමන්ට කැමති අදහසක් දෑරීමේ අයිතිය ද උදුරාගැනීමට එකී මහා මණ්ඩලය ක්‍රියා කර ඇත. මම තවමත් ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ යාවජීව සාමාජිකයෙක් වෙමි. එහෙත් එහි කටයුතුවලට මම දැන් සහභාගි නො වෙමි. එසේ වුවත් මම දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ පීඨාධිපති වෙමි. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ වත්මන් මහා මණ්ඩලය කැලණිය විශ්වවිද්‍යාලයේ රජරට වකුගඩු රෝගය සම්බන්ධ ගවේෂණ කණ්ඩායමට විරුද්ධව පුවත්පත් මගින් ප්‍රකාශයක් කර ඇත. ඒ ප්‍රකාශය පුවත්පතක පළවූයේ පසුගිය ජූලි 03 වැනි ඉරිදා වුවත් එය නිකුත් කළේ හා එයටත් වඩා එය අනුමත කළේ කවදා දැයි නො දනිමි.
එහෙත් එකී වත්මන් මහා මණ්ඩලයට අප දැනට සති හයක් පමණ කාලයක් තිසසේ කරන පැහැදිලි කිරීම් සන්නිවේදනය වී නොමැති බව පැහැදිලි ය. ඔවුහු තවමත් දිව්‍ය බලයෙන් අපට ආසනික් පිළිබඳ හෝඩුවාව ලැබූ බව කියති. ඔවුන් එසේ කියන්නේ අදහස් ලැබීම පිළිබඳ ව අප කෙතෙකුත් පැහැදිලි කිරීම්වල නිරත වී තිබිය දී ය. අදහස් දෙවියන්ගෙන් ලැබුණත්, යක්‍ෂයකුගෙන් ලැබුණත්, සිහිනෙන් ලැබුණත් ඒ අදහස් අප ඔවුන්ගේ ඊනියා විද්‍යත්මක ක්‍රමය මගින් තහවුරු කර ඇත්නම් අදහස්වල සම්භවය පිළිබඳ ඔවුන්ට කීමට ඇත්තේ කුමක් ද?
එමෙන් ම ඔවුහු ද ඇතැම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු ද අප සහල්වල ආසනික් ඇතැයි කීම පිළිබඳ තොරතෝංචියක් නැතිව කෑ ගසති. සහල්වල ආසනික් ඇති බව අපට පෙර විවිධ කණ්ඩායම් කියා ඇත. ඒ අතර කැලණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය රංජිත් ජයසේකර මහතා හා පේරාදෙණි විශ්වවිද්‍යාලයේ කණ්ඩායමක් ද වන බව බොහෝ අයට අමතක වී ඇත. කොළඹ කාර්මික හා තාක්‍ෂණික ආයතනයේ නිලධාරීන්ට පමණක් සහල්වල ආසනික් නොපෙනේ නම් එයට හේතුව ඔවුන්ට දෙවියන්ගේ හාල් කැවීම විය හැකි ය. ඒ කෙසේ වෙතත් සහල්වල ආසනික් තිබීම අපේ ගවේෂණය සබන්ධයෙන් ගත්කල ද්විතීයික කරුණකි. එය අපේ ගවේ’ෂණයට මූලික ව අදාළ වන්නක් නො වේ. ඒ බව තවමත් මේ ඊනියා විද්‍යාඥයන්ට සන්නිවේදනය වී නැත.
මේ මහා විද්‍යාඥයන්, ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් යැයි කියාගන්නා අයට ඒ බව සන්නිවේදනය වී නැත්තේ ඇයි? අපේ අධ්‍යයනය රජරට හා ආශ්‍රිත ප්‍රදේශවල වකුගඩු රෝගයට හේතුව සෙවීම හා ඔවුන්ට ප්‍රතිකාර කිරීම ය. එහි දී අප දැනගත් අන්දමට රජරට වකුගඩු රෝගයට ප්‍රධාන හේතුව ආසනික් ය. එයට අමතර ව ඒ ප්‍රදේශයෙහි කුඹුරු පස ද, එහි කිවුල සහිත බොන වතුර ද හේතු වෙයි. ඒ කරුණු තුනෙන් එකක්වත් නොමැති වුවහොත් වකුගඩු රෝගය නො වැළඳෙයි. අප ඒ බව පැහැදිලිව කිහිප වතාවක් කියා තිබියදීත්, ඇතැම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පඬියන් මෙන් විකාර ප්‍රශ්න අසන්නේ ඔවුන් තමන් ලියන දෙය හැරෙන්නට වෙනත් දෙයක් නොකියවන බැවින් ද?
ලංකාවේ ආසනික් ස්වභාවයෙන් පිහිටා නැත. මුළු ලෝකයේ ම මෙතරම් ප්‍රතිශතයක් ආසනික් තිබේ යැයි කීමෙන් ලංකාවේ ඒ ප්‍රමාණයට ආසනික් ඇති බව ගම්‍ය නොවන බව පාසල් ශිෂ්‍යයකුට වුව ද වැටහෙන කරුණක් වුවත් අපේ ඊනියා විද්‍යාඥයන්ට හා විද්‍යාඥවරියන්ට ඒ බව තේරුම්ගත නොහැක්කේ සන්නිවේදනයේ වරදකින් නම් විය නො හැකි ය. ලංකාවේ පොළොවේ ස්වාභාවික ව ආසනික් නැත්නම් අපට ආසනික් ලැබෙන්නේ කෙසේ ද කොහෙන් ද යන්න විසඳාගැනීමට තිබූ ඊළඟ ප්‍රශ්නය විය. අපට ආසනික් ලැබෙන්නේ පලිබෝධනාශක ද ඇතුළු කෘෂි රසායනික ද්‍රව්‍ය නිසා බව ඉතා පැහැදිලි ය. අප ඒ බව ප්‍රකාශ කළා පමණක් නොව එකී ද්‍රව්‍යවල ආසනික් ඇති බව ද නැවතත් බටහිර රසායන විද්‍යාවේ ක්‍රම අනුව ම තහවුරු කර ගැනීමෙන් පසුව පමණක් එසේ කළෙමු.
එවිට තමන් විද්‍යාඥයන් ලෙස සිතන පඬියන් කියන්නේ නැගෙනහිර පළාතේ ද වෙනත් පළාත්වල ද කෘෂි රසායනික ද්‍රව්‍ය යොදන නමුත් ඒ පළාත්වල වකුගඩු රෝගය දක්නට නොලැබෙන බව ය. ඔවුන්ට වකුගඩු රෝගය වැළඳීම සඳහා ආසනික්වලට අමතර ව කුඹුරු පස ද, විශේෂිත කිවුල් ජලය ද අවශ්‍ය බව අමතක වන්නේ මහළුබව නිසා ද වෙනත් කරුණක් නිසා ද යන්න නො වැටහෙයි. අපේ ප්‍රශ්නවලට පිළිතුරු ලබා ගැනීමෙන් පසු අද අපට අවශ්‍ය මෙරට ගොවි ජනයා කෘෂි රසායනික ද්‍රව්‍ය යොදාගන්නා කෘෂිකර්මයෙන් ඉවත්කර ගැනීම ය. එසේ ඉවත්කර ගෙන අපේ හෙළ ගොවිකම ඔස්සේ අප සියළු දෙනාට වස විස නැති බතක් කෑමට අවස්ථාව උදාකර ගැනීමට ය.
අප කෙතෙක් එසේ නොවේ යැයි කීවත් මේ පඬියෝ අප ඊනියා විද්‍යාත්මක ක්‍රමය අනුගමනය කර නැතැයි කියති. මොවුන් විද්‍යාඥයන් නොවන්නේ පළමුවෙන් ම බටහිර විද්‍යාව ඊනියා අනන්‍ය විද්‍යාවක් නොවීම හේතුකොට ගෙන ය. බටහිර විද්‍යාව යනු ඊනියා විද්‍යාත්මක ක්‍රමයක් නැති තවත් දැනුම් පද්ධතියක් පමණ ය. අනෙක් දැනුම් පද්ධති මිථ්‍යා නම් බටහිර විද්‍යාව ද තවත් මිථ්‍යාවක් පමණකි. හැකිනම් මේ සම්බන්ධයෙන් මා සමග විවාදයකට එළඹෙන ලෙස ඊනියා විද්‍යාඥයන්ට අභියෝග කරමි. අපි ජනතාවට කරුණු කීමට ඉදිරිපත් කිරීමට පෙර ඔවුන්ගේ කසිකබල් ඊනියා ක්‍රමය අනුගමනය කළෙමු.
මේ ඊනියා ක්‍රමය යනු අන් කිසිවක් නොව පටිපාටිය (procedure) අනුගමනය කිරීමකි. ඊනියා කල්පිතය (hypothesis) කුමක් ද නියැදි කීයක් ලබාගත යුතු ද, නියැදි කෙසේ ලබාගත යුතු ද, ඒ නියැදි පරීක්‍ෂා කිරීමේ දී අනුගමනය ඛල යුතු ක්‍රියා මාර්ගය කුමක් ද, එකතු කළ යුත්තේ කිනම් රසායනික ද්‍රව්‍ය ද, රත්කළ යුත්තේ කිනම් උෂ්ණත්වයකට ද යොදාගත යුතු ආධාරක (අන්වීක්‍ෂ, ප්‍රේක්‍ෂාවලි ආදිය) කවරේ ද ආදිය එක් පැත්තක වෙයි. මේ පටිපාටිය දැනගැනීමට අවශ්‍ය වන්නේ තාක්‍ෂණික ශිල්පීන් මිස විද්‍යාඥයන් නො වේ. ඒ පටිපාටිය අනුගමනය කිරීමෙන් පසු ඇතැම් විට ඕනෑම විද්‍යාපීඨ ශිෂ්‍යයකුට කළහැකි සම්මත සංඛ්‍යානාත්මක විශ්ලේෂණයකින් පසු සම්මත ආකෘතියක් අනුව ඊනියා පර්යේෂණ පත්‍රිකාවක් ලියා සඟරාවකට ඊනියා විද්‍යාත්ම සැසි වාරයකට යැවෙයි. එහි දී තමන් වැනිම වූ විද්‍යාඥයන් යැයි කියාගන්නා දෙදෙනකුට යවා ඒ ඊනියා පර්යේෂණ පත්‍රිකාව ඇගයීමට ලක්කෙරෙයි.
මේ පටිපාටියෙහි ඇති කිසි විද්‍යාවක් නැත. සම්මත විද්‍යාවේ පරිධියේ ඇති ක්‍රම අනුගමනය කිරීමක් පමණක් මෙහි දී සිදුවෙයි. තාක්‍ෂණ ශිල්පියකුට ද මේ පටිපාටිය අනුගමනය කිරීමෙන් පත්‍රිකා ලිවිය හැකි ය. බොහෝ විට පටිපාටිය අනුගමනය කරමින් අදාළ ක්‍රියාවලියෙහි නිරතවන්නෝ ශිෂ්‍යයෝ ය, නැත්නම් තාක්‍ෂණික ශිල්පීහු ය. මේ පටිපාටිය අනුගමනය කරන්නන්ට විද්‍යාඥයන් යැයි කියන්නේ නම් තාක්‍ෂණික ශිල්පීන්ට ද විද්‍යාඥයන් යැයි කිවයුතු ය. මෙරට ඊනියා විද්‍යාඥයන් නොමැතිවීමට මේ දෙවැනි කරුණ ද, එනම් ඔවුන් හුදු තා’ක්‍ෂණික ශිල්පීන් පමණක් වීම ද බලපායි. මොවුන් විසින් සකස් කෙරී ඇති සංකල්පයක්, ප්‍රවාදයක් වේ ද? ඔවුන්ගෙන් සමහරකු අදහස්වල සම්භවය පිළිබඳ මෙතරම් කලබැගෑනියක් ඇතිකරන්නේ ඔවුන්ට කිසි දිනෙක අදහසක් පහළ වී නැති නිසා ය. ඒ කෙසේ වෙතත් අප ඔවුන්ගේ පටිපාටිය (උෂ්ණත්වය ආදිය පිළිබඳ සංශෝධනයන්ට යටත් ව) අනුගමනය කළ බව පැහැදිලි ව සඳහන් කළ යුතු ය. එහෙත් එක් කරුණක දී, එනම් අපේ ගවේෂණයෙහි ප්‍රතිඵල ඊනියා සඟරාවකට යැවීම සම්බන්ධයෙන් නම් අපි වෙනස් මගක් අනුගමනය කළෙමු.
අප ඊනියා විද්‍යාව පිළිබඳ සඟරාවක අපේ ගවේෂණවල ප්‍රතිඵල පළකරනු වෙනුවට ජනමාධ්‍යයට ලබාදුන්නේ ඇයි දැයි ඔවුහු අපෙන් අසති. එයට හේතු තුනක් වෙයි. පළමුව අපට ආසනික් පිළිබඳ අදහස ලැබුණේ සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන් වීම නිසා එහි කතෘත්වය පිළිබඳ ප්‍රශ්නයක් වෙයි. අදහස ලැබුණේ දෙවිවරුන්ගෙන් යැයි එවැනි සඟරාවක පළ නො කෙරෙයි. අදහස කොහෙන් ලැබුණේ ද යන්න සඟරාවට වැදගත් නො වෙයි. එහෙත් එය කිව යුතු යැයි අපි සිතමු. දෙවනුව ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය අප කණ්ඩායමේ සාමාජිකයන් ඔවුන්ට අනුව බැරූරුම් විද්‍යාඥයන් ලෙස නොපිළිගන්නා බව දැන් හෙළිදරවු වී ඇත. මේ සංගමය මා එවැනි බැරූරුම් විද්‍යාඥයකු ලෙස නොපිළිගන්නා අතර (මා ඊනියා විද්‍යාඥයකු නොවන නිසා මම එය සතපහකට ගණන් නො ගනිමි.) අපේ කණ්ඩයමේ අය මා බටහිර විද්‍යාව පිළිබඳ දරණ අදහස් නොපිළිගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරන තෙක් ඔවුන් ද බැරූරුම් විද්‍යාඥයන් ලෙස නොපිළිගන්නා බව පැහැදිලි ය. මේ සංගමයේ සාමාජිකයන් අප කණ්ඩායමේ පත්‍රිකාවක් පිළිගනු ඇතැයි සිතිය නො හැකි ය. තුන්වැනුව මගේ කල්පනාව අනුව දෙදෙනකුට පමණක් යවා ගවේෂණයක ප්‍රතිඵල විනිශ්චය කරනු වෙනුවට විශාල පිරිසකට ඒ ලැබෙන්නට සෑලෑස්වීම යහපත් ය. එමෙන් ම අප යොදාගත් ක්‍රමය කුමක් දැයි ලිඛිත ව එය ඉල්ලන ඕනෑම කෙනකුට දීමට අපි සූදානමින් සිටිමු. එහෙත් අවාසනාවකට තවම කිසිවකු එසේ ඉල්ලා නැතිවා පමණක් නොව අපේ රසායනාගාරවලට පැමිණ අප කරන්නේ කුමක් ද යන්න පිරික්සීමටවත් ඉදිරිපත් වී නැත. අප අනුගමනය කරන එව බලව (එහි ඵස්සිකො) ක්‍රමයට ඔවුන් අනුගත වීමට අකමැතිවන්නේ ඔවුන් අනුගමනය කරන බයිබල් ක්‍රමය නිසා ද?