Main Logo

Saturday, 16 July 2011

වකුගඩු රෝගය, ආසනික්, සහල් හා විද්‍යාඥයෝ

කැලණිය විශ්වවිද්‍යාලයේ රජරට වකුගඩු රෝගය සම්බන්ධ ගවේෂණයෙහි යෙදෙන කණ්ඩායමට මේ වන විට මල් පොකුරු මෙන් ම ගල්මුල් ද ලැබී ඇත. ගල්මුල් බොහෝවිට ලැබෙන්නේ ඊනියා විද්‍යාඥයන්ගෙන් හා විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන්ගෙනි. මල් පොකුරු ලැබෙන්නේ සාමාන්‍ය ජනතාවගෙනි. අපේ ගවේෂණයෙහි ප්‍රතිඵල සම්බන්ධයෙන් ඇතැම් දුර්මත ද පළවන බැවින් හා ඒ ප්‍රතිඵල උපයෝගී කරගෙන විවිධ අය විවිධ න්‍යාය පත්‍ර අනුව කටයුතු කරන බැවින් තවදුරටත් අපේ ගවේෂණ ගැන සඳහන්කිරීම අවශ්‍ය ය.

අප ගවේෂණය කළේ රජරට වකුගඩු රෝගය පිළිබඳව ය. කලින් සඳහන් කර ඇති ආකාරයට පිළිතුරු සැපයිය යුතු ප්‍රභ්න දෙකක් විය. එකක් මේ විශේෂිත වකුගඩු රෝගය රජරට හා අවට ප්‍රදේශවලට පමණක් සීමා වී ඇත්තේ ඇයි ද යන්න ය. අනෙක රෝගය පසුගිය අවුරුදු විසිපහක පමණ කාලයකට සීමාවන්නේ ඇයි ද යන්න ය. ෆ්ලුවොරයිඩ් එයට පිළිතුරක් නොවන්නේ අවුරුදු විසිපහකට පෙර ද ෆ්ලුවොරයිඩ් තිබූ හෙයින් සහ ලංකාවේ ෆ්ලුවොරයිඩ් ව්‍යාප්ත වී ඇති ආකාරය හා රජරට වකුගඩු රෝගය ව්‍යාප්ත වී ඇති ආකාරය අතර සහසම්බන්ධයක් නොමැති බැවිනි. එහෙත් ඇතැම් ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන්ට ඒ බව තේරුම් ගැනීමට නොහැකිවීම කණගාටුවට කරුණකි. කැඩ්මියම් හා ඇල්ගී සම්බන්ධයෙන් ද මූලික ව පැවසිය හැක්කේ ඒ බව ය.

එහෙත් හේතුව ලෙස සිතන රසායන ද්‍රව්‍යයේ ව්‍යාප්තිය හා රෝග ව්‍යාප්තිය අතර සහසම්බන්ධයක් තිබේ දැයි අප සොයා බැලිය යුත්තේ රෝගයට එකම හේතු කාරකය ලෙස අදාළ ද්‍රව්‍යය පමණක් දක්වා ඇත්තේ නම් පමණකි. එසේ නැතහොත් අපට අනෙක් හේතු ද සොයා බැලීමට සිදු වෙයි. අනෙක් අය විසින් දක්වා ඇති හේතු මෙන් නොව ආසනික් සම්බන්ධයෙන් අප කියා සිටින්නේ ආසනික් තිබූ පමණින් වකුගඩු රෝගය නො වැළඳෙන බව ය. රජරට නිදන්ගත වකුගඩු රෝගය වැළඳීම සඳහා කුඹුරු පස නමින් හැඳින්වෙන පස ද විශේෂිත කිවුල් ජලයක් ද අවශ්‍ය වෙයි. ඇතැම් ජ්‍යෙෂඨ මහාචාර්යවරුන්ට මේ බව කිහිප වතාවක් කියාදීත් තේරුම් ගත නොහැක්කේ ඇයි ද යන්න මහාචාර්යවරයකුගෙන් ම අසා දැනගත යුතු ය. අනුරාධපුර නගරයේ ජනයාට ඒ රෝගය නොවැළඳෙන්නේ ඔවුන් බොන වතුර බොහෝ විට වැවෙන් පොම්ප කරන බැවිනි. වැව්වල ආසනික් සාන්ද්‍රතාව මෙන් ම කිවුලට හේතු වූ ලවන වර්ගවල ද සාන්ද්‍රතාව ලිංවල අදාළ සාන්ද්‍රතාවන්ට අඩු ය.

අප ජලයේ ආසනික් හඳුනාගැනීම සඳහා යොදාගන්නා ක්‍රමය සම්මත ක්‍රමයෙන් වෙනස් වන්නේ උපකරණ වශයෙන් නොව යොදා ගන්නා රසායනික ද්‍රව්‍ය (අම්ල ආදිය) හා රත්කරණ උෂ්ණත්වය ආදී වශයෙනි. මේ විස්තර තවමත් ඊනියා විද්වත් සඟරාවක පළ වී නොමැති බව ඇත්ත ය. එහෙත් ඒ විස්තර විද්වත් සම්මේලන යැයි කියන රැස්වීම් කිහිපයක ද පසුගිය දා අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වන ලද රැස්වීමක දී ද විස්තර කෙරී ඇත. ඒ අරුතින් ගත්කල පහසුකම් ඇති රසායනාගාරයක ඒ ක්‍රමය යොදාගෙන අපේ ප්‍රතිඵල ලැබේ දැයි පරීක්‍ෂා කළ හැකි ය. එහෙත් කිසිවෙක් එසේ නො කරති. අඩුම තරමෙන් අපේ රසායනාගාරවලට පැමිණ අප ඒ පරීක්‍ෂණ කරන්නේ කෙසේ දැයි සොයා බැලීමට (එව බලව) කරන ලද ආරාධනයක් පවා ඔවුහු නො පිළිගනිති. ඒ කිසිවක් නොකරන ඔවුහු හුදෙක් අපේ ප්‍රතිඵල ඊනියා විද්‍යාත්මක සඟරාවල පළකර නොමැතිය යන්න මත පිහිටා අවලාද නගමින් කටයුතු කරති.

මෙහි දී කිවයුතු තවත් කරුණක් ඇත. මෙරට බටහිර විද්‍යාඥයන් ඒකරාශි කරන ආයතනය වූ ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය පසුගිය දා නිවේදනයක් නිකුත් කරමින් මා විකේන්ද්‍රික (අසම්මත) අදහස් දරණ පුද්ගලයකු බව පවසා අප කණ්ඩායමේ අනෙක් සාමාජිකයන් මගේ අදහස්වලින් දුරස්ථ නොවුවහොත් ඔවුන් බැරෑරුම විද්‍යාඥයන් ලෙස සැලකිය නොහැකි බවට අනතුරු අඟවා ඇත. ලංකාවේ සඟරාවක පර්යේෂන පත්‍රිකාවක් පළකර ගැනීමට නම් බොහෝ විට මෙරට තීරක විද්‍යාඥයන් දෙදෙනකු ලවා ඒ අනුමත කරවා ගත යුතු ය. ඒ සියළු විද්‍යාඥයෝ බොහෝ විට ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයෙහි සාමාජිකයෝ වෙති. අපේ කණ්ඩයමෙන් යවන පත්‍රිකාවක් කතුවරුන්ගේ නම් නැතිව වුවත් හඳුනා ගැනීම අපහසු කටයුත්තක් නො වේ. බැරෑරුම් විද්‍යාඥයන් නො වේ යැයි විද්‍යාභිවර්ධන සංගමයේ මහා මණ්ඩලය විසින් හඳුන්වා දෙනු ලබන පිරිසකගේ පත්‍රිකාවක් ඉහත සඳහන් තීරක විද්‍යාඥයන් අතින් අනුමත වේ යැයි සිතන්නේ ද? ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය ඉතා සියුම් අයුරෙන් රජරට වකුගඩු රෝගය සම්බන්ධ අප කණ්ඩායමේ පත්‍රිකාවක් ලංකාවේ පළවීම වළක්වා ඇත. ඒ අතර ඔවුහු අපේ ප්‍රතිඵල ඊනියා විද්‍යා සඟරාවක පළකරණ ලෙස ඉල්ලති.

අපේ ගවේෂණයේ එක් අවස්ථාවක අදාළ ප්‍රදේශවලට ආසනික් එකතුවන්නේ පලිබෝධනාශක මගින් බව දැනගත්තෙමු. ඉන්පසු ඒ ප්‍රදේශයේ භෝග ගැන සොයා බැලීමේ දී කොහොඹ ගස්වල හා තවත් ශාඛවල ආසනික් ඇති බව දැනගත්තෙමු. කෘෂි රසායනික ද්‍රව්‍ය ඔස්සේ පසට හා ජලයට එකතුවන ආසනික් මගින් ඒ ඒ ශාඛයට ඒ ඒ ප්‍රමාණයෙන් ආසනික් උරා ගැනෙයි. සහල්වල ද යම් ප්‍රමාණයක් ආසනික් ඇති බව අපට පෙනී ගියේ ය. එය හුදෙක් අතිරේක දැනුමක් විය. එහෙත් ජනමාධ්‍ය මගින් වඩාත් ප්‍රචාරය වූයේ එය ය. එසේ වුවත් ජනමාධ්‍යයෙන් වැඩි අවධාරණයක් නොකෙරුණ කරුණ නම් රජරට වකුගඩු රෝගයට බත්කෑම හේතුවක් නොවන බව ය. පලිබෝධනාශක භාවිතය හේතුවෙන් ඇතැම් ආහාරපානවලට යම් ප්‍රමාණයක ආසනික් ප්‍රතිශතයක් ඇතුල්වේ. එය භෝගයෙන් භෝගයට වෙනස්වෙයි. ලංකාවේ නිෂ්පාදිත සහල්වල යම් ප්‍රමාණයක් ආසනික් අඩංගු නමුත් එය පොදුවේ ගත්කල ඇමරිකාවේ නිෂ්පාදීත සහල්වල ඇති ආසනික් ප්‍රමාණයට අඩු ය. එහෙත් චීනයේ හැරෙන්නට වෙනත් රටක සහල්වල තිබිය හැකි උපරිම ආසනික් ප්‍රමාණය නියම කෙරී නැති බව ද පැහැදිලි කළ යුතු ය. සහල් පිලිබඳ ව අපට එයට වඩා යමක් ප්‍රකාශ කළ හැකි නො වේ.

එහෙත් ඇතැම්හු මේ කරුණ මුල්කරගෙන මහත් ආන්දෝලනයක් ඇතිකිරීමට උත්සාහ ගනිති. අප කලින් සතියේ සඳහන් කළ ආකාරයට තමන් ලෝක ප්‍රසිද්ධ විද්‍යාඥයන් යැයි කියාගන්නා විවිධ ආණ්ඩු විරෝධීහු ද, උපකුලපති අධ්‍යක්‍ෂ ආදී තනතුරු බලාපොරොත්තුවෙන් ආණ්ඩුවට හේත්තු වී සිටින්නෝ ද සිටින්නියෝ ද ආණ්ඩුවත් අපත් අපහසුවට ලක්කරමින් සහල්වල ආසනික් ඇති නැති බව ගැන කතාකරති. මේ එක් අයකු පසුගිය දා අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී පැවති රැස්වීමේ දී කියා සිටියේ හැත්තෑවේ දශකයේ මුල මඤ්ඤොක්කා කා පවුල් පිටින් මිය ගිය බව ය. එකල එ ජා පාක්‍ෂිකයන් බණ්ඩාරනායක මැතිණියගේ ආණ්ඩුවේ වගා සංග්‍රාමයට එරෙහිව එවැනි කතා පැතිර වූ බව අපි දනිමු. සමහරු ආණ්ඩුවෙන් ලකුණු දා ගැනීමට කිසිසේත් ම සහල්වල ආසනික් නැතැයි කියති. තවත් සමහරු අපේ ප්‍රතිඵලවලට අනවශ්‍ය ආකාරයෙන් අතිශෝක්තියෙන් ප්‍රචාරයක් ලබා දී ආණ්ඩුවට පහර දීමට ඒ ප්‍රතිඵල යොදා ගනිති. මේ සහල්වල ආසනික් බෙහෙවින් ඇතැයි යනුවෙන් ද කොහේත් ම නැතැයි යනුවෙන් ද කෙරෙන ලකුණු තරඟයෙන් මිදීමට කාලය පැමිණ ඇත. අප දහතුන් වැනි ව්‍යවස්ථා සංශෝධනයේ ඵලවිපාක ගැන කතාකළ යුතු ය.

අප කළ යුත්තේ රජරට වකුගඩු රෝගීන් සුවකර ගැනීමට උපරිම වශයෙන්් උත්සාහ ගැනීම ය. රජරට වකුගඩු රෝගයට අප දක්වා ඇති හේතුව වැරදි නම් ඒ බව අඩුම තරමෙන් දත්ත සමග සංගත වන ආකාරයෙන් පෙන්වා දිය යුතු ය. එසේ වැරදි බව පෙන්වා දිය හැකි නම් ඊළඟට කළ යුත්තේ රජරට වකුගඩු රෝගයට හේතුව කුමක් දැයි අනාවරණය කර ගැනීම ය. ඒ සඳහා කළ යුතු වැඩ කරන අතර රජරට පමණක් නොව රටේ සියළුම ගොවීන් වස විස නැති ගොවිතැනක් කරා ගෙන යෑමට ද අපි කටයුතු කළ යුතු වෙමු. ඒ පිළිබඳ දැනුම ඇත්තෝ රට පුරා විසිරී සිටිති. ජනාධිපතිතුමා යටතේ පිහිටුවන ඒකකයක් මගින් මේ දැනුම ඒකරාශී කර එය ගොවි ජනතාව කරා ගෙන යා යුතු ය.

මෙරට ඇති ජාතික දැනුම මේ වන විට අභාවයට යමින් පවතියි. ගොවිකමේ, වෙදකමේ ආදී වශයෙන් ඇති මේ දැනුමට සම්‍යක් දෘෂ්’ටික දෙවිවරුන් එකතුකරන දැනුම ද වෙයි. ඊනියා විද්‍යාඥයන් සම්‍යක් දෘෂ්ටික දෙවිවරුන්ට සිනහසෙන්නේ ඒ අදෘශ්‍යමාන පාර භෞතික බලවේග කියමිනි. එහෙත් ගුරුත්වාකර්ෂණ බලය ද අදෘශ්‍යමාන වෙයි. ගුරුත්වාකර්ෂණය ඉන්ද්‍රිය ගෝචර නො වේ. ඒ ඉන්ද්‍රිය ගෝචර දැනුමක් බව පෙන්විය හැකි අයකු වෙතොත් ඔහුගේ හෝ ඇයගේ හෝ ගුරුත්වාකර්ෂණය ගෝචර වන විශ්මිත ඉන්ද්‍රිය ද රැගෙන කැලණිය විශ්වවිද්‍යාලයට පැමිණෙන ලෙසට ආරාධනය කරමි. අපේ විද්‍යා පීඨයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඔහුගේ හෝ ඇයගේ හෝ ඒ විශ්මිිත ඉන්ද්‍රිය මෙන් ම සිහිය ද පරීක්‍ෂාකරනු ඇත. සිහිය පරීක්‍ෂා කරන්නේ කිනම් විද්‍යාත්මක ක්‍රමයකට අනුව ද ආදී අසිහියෙන් අසන ප්‍රශ්නවලට වුවත් අපි බටහිර ඊනියා තොරතුරු දැනගැනීමේ අයිතියට අනුව නොව සිංහල බෞද්ධ ක්‍රමයට අනුව ඉඩ දෙමු.