Main Logo

Sunday, 2 March 2014

ආණ්ඩුවට රට හා සිංහල මතය පාවාදීමට නො හැකි ය



ආණ්ඩුවට හිතවත් යැයි කියන විද්වත් නාමයෙන් පෙනී සිටින ඇතැමුන් ද, එ ජා පක්‍ෂයේ හා ජ වි පෙරමුණේ නායකයන් ද ජෙනීවා සම්බන්ධයෙන් ආණ්ඩුවට වරද පැටවීමේ ව්‍යායාමයක නිරත වී සිටිනු පෙනෙයි. එහි වාසිය ගෙන ඇතැම් ඊනියා වාමාංශීක ඇමතිවරු දහතුන හා උගත් පාඩම් කොමිසමේ වාර්තාව ක්‍රියාත්මක කිරීමට බලකරති. මේ සියල්ලෙන් පෙනී යන්නේ ප්‍රශ්නය මානුෂික මෙහෙයුම්වල අවසාන දෙසතියෙහි දී ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීමක් නොව බටහිරයන්ට අවශ්‍ය ආකාරයට රට බෙදීමට කටයුතු නොකිරීම බව ය. දහතුන්චැනි ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම ක්‍රියාත්මක නොකිරීම දෙමළ ජනයාගේ මානව අයිතිවාසිකම් කඩකිරීමක් ලෙස කෙනකුට තර්ක කළ හැකි වුව ද, එවිට සියළු අණපනත් මානව අයිතිවාසිකම් හා සම්බන්ධ යැයි පිළිගැනීමට සිදුවී මානව අයිතිවාසිකම්වලට ඇති අනන්‍යතාව නැතිවනු ඇත. එසේ කරගැනීමට බටහිරයන් හා දෙමළ ජාතිවාදීන් සූදානම් නොවනු ඇත. කෙසේ වෙතත් අද පඬියන්, ඇතැම් ඇමතිවරුන් හා පොදුවේ දෙමළ ජාතිවාදීන් හා බටහිරයන් කියන කරන දෙයින් පැහැදිලි වන්නේ ඔවුන් ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීම් යොදාගන්නේ දෙමළ ජාතිවාදයේ අවශ්‍යතා සපුරා අවසානයේ දී රට බෙදීමට බව ය. මෙහි තවත් භයානක පැත්තක් ද ඇත. රජිව් ගාන්ධි ඝාතකයන් නිදහස්කිරීමට තමිල්නාඩු ප්‍රාන්ත ආණ්ඩුව ගත් තීරණය ගැන උතුරු පළාත් සභාවේ මහ ඇමති විග්නේෂ්වරන් තම සතුට පළකළේ ය. එය දෙමළ ජාතික සන්ධානයේ ආනන්දි පාර්ශ්වය ඉක්මවා යැමට කරන ලද ප්‍රකාශයක් වුවත් නැතත් ඉන් පැහැදිලි වන්නේ පොදුවේ බටහිරයන්ගේ හා ඉන්දියාවේ ද ලංකාවේ ද බටහිර රටවල ද සිටින දෙමළ ජාතිවාදීන්ගේ අභිලාෂය ය. ඔවුන්ට අවශ්‍ය තමිල්නාඩුව හා ලංකාවේ උතුරු පළාත ඇතුළත් මහා ඊළමක් පිහිටුවීම ය. බටහිරයන් එයට සහාය දෙනු ඇත්තේ දෙමළ ජනයා හා නායකයන් තමන්ට විරුද්ධව චීනයට හෝ වෙනත් රටකට හෝ උපකාර වන අන්දමින් ක්‍රියා නොකරන බව දන්නා බැවිනි. ඉන්දියාවේ රජිව් ඝාතනය පිළිබඳ තමිල්නාඩුවේ ජයලලිතාගේ මතය හදිසියේ ඇතිවූවක් නො වේ. අද ඉන්දීය ආණ්ඩුව මිනීමරුවන් නිදහස්කිරීම පිළිබඳ කලබලයට පත් වී සිටිය ද එහි දී සෝනියා ගාන්ධි ද රජිව්ගේ දියණිය ද යම් ප්‍රමාණයකට යොදාගනු ලැබිණි. 

විද්වතුන් ඊනියා වාමාංශික (මාක්ස්වාදීන්, ජනවේග කල්ලි සාමාජිකයන් ආදීන්, ජනවේග කල්ලියේ ප්‍රධානියා ද විද්වත් පිරිසට අයත් ය!)් ඇමතිවරුන්, එ ජා ප හා ජ වි පෙ නායකයන්, දෙමළ ජාතිවාදීන් ආදීන් කියන්නේ 2009 දී හා ඉන්පසුව ආණ්ඩුව ජෙනීවාහි හා වෙනත් තැන්වල දහතුන හා උගත් පාඩම් වාර්තාව ක්‍රියාත්මක කරන බවට පොරොන්දු වී ඇති බවත් එහෙත් ඒ පොරොන්දු ඉටුකර නොමැති බවත් ය. එබැවින් සියල්ලට වරදකරුවා ආණ්ඩුව බව ය. එය එසේ නම් දැන් කළ යුත්තේ කුමක් ද?  බටහිරයන්ට අවශ්‍ය පරිදි සියල්ල ක්‍රියාත්මක කර ඊනියා මානව අයිතිවාසිකම් චෝදනාවලින් නිදහස් වීම ද? එවිට කෙරෙන්නේ මහා ඊළමට පාර කැපීම පමණ ය. ශ්‍රී ල නි පක්‍ෂයේ සහාය නොමැතිව මන්ත්‍රීකමක්වත් ලබාගත නොහැකි ඇමතිවරුන්ට අප සවන්දිය යුතු නැත. කළ යුත්තේ ඔවුන්ට ලබන මැතිවරණයේ දී නාම යෝජනා ලබා නොදීීම ය. අනෙක් අතට ආණ්ඩුව ඉහත කී ආකාරයෙන් පොරොන්දු වී ඇත්නම් එයට වරදකරුවෝ කවරහු ද? ඔවුහු නම් විවිධ අවස්ථාවල ආණ්ඩුවට කිට්ටු වී ආණ්ඩුවට වැරදි උපදෙස් දුන්නෝ වෙති. උගත් පාඩම් කොමිසම් වාර්තාව ආණ්ඩුවේ වාර්තාවක් නොව ආණ්ඩුව විසින් පත්කෙරුණු කමිටුවක වාර්තාවකි. කමිටුවේ සාමාජිකයෝ බොහෝ දෙනෙක් පොළොවේ පස් පෑගූ අය නො වෙති. එහි වාර්තාව පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීමට ආණ්ඩුව බැඳී නැත. ආණ්ඩුවට හා බහුතරයට එකඟවිය හැකි යෝජනා පමණක් ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් ය. අනෙක් අතට දහතුන ඉන්දියාව විසින් ජේ ආර් ජයවර්ධන මත බලෙන් පටවන ලද්දකි. අද ඉන්දියාව පවා ඉන් ඉවත් වී ඇත. කෙසේ වෙතත් අප ඉන්දියාවේ හෝ වෙනත් රටක හෝ බලපෑමට යටවිය යුතු නො වේ. ආණ්ඩුව සවන්දිය යුත්තේ ඊනියා විද්වතුන්ට නොව බහුතර මතයට ය.  බහුතර මතය ඊනියා විද්වත් මතයට විරුද්ධ ය.

ආණ්ඩුව ඊනියා විද්වතුන්ගේ බහට කන් දී වැරදි පොරොන්දු දී ඇත්නම් එය වෙනස්කිරීමට කාලය පැමිණ ඇත. බටහිර අධ්‍යාපනයක් ලත් විද්වත්තු පට්ටපල් බොරු වූ තම දැනුම එකම ඊනියා විද්‍යාත්මක සත්‍යය ලෙස සලකමින් බටහිරට අවශ්‍ය විසඳුම් යෝජනා කරති. හතළිස්තුන තරම් ඈත කාලයක දී මෙරට අවුරුදු දහස් ගණනක් තිස්සේ සිංහල දෙමළ ජාතිකත්ව තිබිණි යැයි කී කසිකබල් මාක්ස්වාදීන්ට, ඔවුන් පසුපස යන සත පහක් නොවටිනා ජනවේග කල්ලි කරුවන්ට අවශ්‍ය අන්දමට ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති සකස් කිරීමට සිංහලයන් ඉඩ දිය යුතූු නැත. ශ්‍රී ල නි ප යනු බටහිරයන්ගේ රාවය නැගීමට ඇති පක්‍ෂයක් නොවන බවත් එය මුල සිට ම සිංහලයන්ගේ අවශ්‍යතා අනුව ප්‍රතිපත්ති සකස්කර ගත් පක්‍ෂයක් බවත් සියළු ආකාරයේ පඬියන් තේරුම් ගත යුතු ය. 1951 දී ශ්‍රී ල නි ප’ක්‍ෂයෙ ප්‍රතිපත්තිය ස්වභාෂා විය. 1952 මැතිවරණයේ දී ශ්‍රී ල න ි ප හා ල ස ස ප දිනාගත් ආසන සංඛ්‍යාව සමාන විය. සිංහල ජනයා ඒ පක්‍ෂ දෙක අතර එතරම් වෙනසක් නොදුටුවෝ ය. එහෙත් වැඩිකල් නොගොස් ශ්‍රී ල නි ප භාෂා ප්‍රේමීන් ඇතුළු සිංහල ජනයාගේ හඬට සවන් දී සිංහල පමණක් ප්‍රතිපත්තියට මාරු විය. ඒ සමග ශ්‍රී ල නි ප ජාතිකත්ව ගමන ආරම්භ විය. 1954 දී මින්නේරිය අතුරු මැතිවරණය ශ්‍රී ල න ි ප ජයගත්තේ ජාතිකත්ව පක්‍ෂයක් ලෙස ය. 1956 දී වෙනත් පක්‍ෂ සමග එකතු වී ආණ්ඩුවක් පිහිටුවීමට ළදරු ශ්‍රී ල නි ප සමත් විය. ජනවේග කල්ලිවල, ජඩමාධ්‍යවේදීන්ගේ හා වෙනත් අයගේ අවශ්‍යතා මත අනූවේ දශකයේ මුල ලංකාවට ආනයනය කරනු ලැබූ චන්ද්‍රිකා තවත් සු කී කෙනකු බවට පත්වීමට උත්සාහ දරමින් බටහිරයන්ට අවශ්‍ය අන්දමට ශී්‍ර ල නි ප ප්‍රතිපත්ති වෙනස් කළා ය. භාෂා ප්‍රතිපත්තිය ද ඇගේ දඬුඅඬුවට හසු වී වෙනස් විය. ඈ වෙනස් කළ ප්‍රතිපත්ති ආපසු හැරවිය යුතුව ඇත. පක්‍ෂයක ප්‍රතිපත්ති වෙනස්කිරීම ආනන්තරීය පාප කර්මයක් නො වේ. අද මහින්ද රාජපක්‍ෂ මහතාගේ නායකත්වය යටතේ ශ්‍රී ල නි  ප චන්ද්‍රිකාගේ ඇතැම් ප්‍රතිපත්ති වෙනස් කර තව තවත් ජාතිකත්වයේ මගට නැඹුරු වෙමින් ඇත. අද ලංකාවේ ශ්‍රී ල නි ප හා තරගකිරීීමට සමත් කිසිම පක්‍ෂයක් නැත්තේ අනෙක් පක්‍ෂ ජාතිකත්වයෙන් ඉවත් වී ඇති බැවිනි. ශ්‍රී ල නි ප ප්‍රතිපත්ති වෙනස සමග සන්ධානය පළාත් සභා මැතිවරණ ජයගන්නේ 1954 දී  ශ්‍රී ල නි ප මින්නේරිය අතුරු මැතිවරණය ජයගත් ආකාරය සිහිපත් කරමිනි.  ආණ්ඩුවට ඊනියා මානව අයිතිවාසිකම් කඩකිරීමේ චෝදනාවලින් නිදහස් වීම සඳහා විද්වතුන්ගේ මුසාවන්ට එකඟ වී දහතුනට හා උගත් පාඩම් කොමිසම් වාර්තාවට මුළුමනින් යට වී රටත් තමන්ට ඡන්දය දෙන සිංහල බහුතරයත් පාවා දිය නො හැකි ය.                                            


නලින් ද සිල්වා

2014-03-02