Main Logo

Sunday 20 April 2014

අලුත් අවුරුද්ද ගැන අලුත් කතන්දරයක්


දැනුම යනු පෘථග්ජන අප විසින්, එනම් අපේ මනස් විසින් සංස්කරණය (නිර්මාණය) කෙරෙන්නකි. එසේ සංස්කරණය කෙරෙන්නේ අවිද්‍යාව හේතුකොටගෙන ය. පෘථග්ජන අප විසින් සංස්කරණය කෙරෙන්නේ බොරු (මුසා) ය. ඒ බව බුදුන් වහන්සේ දේශනා කර ඇත්තේ මෙසේ ය. “මහණෙනි, යම් නාම රූපයෙක් දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ලෝකය විසින් ද ශ්‍රමණ බ්‍රාහ්මණයන් සහිත දෙව්  මිනිසුන් සහිත ප්‍රජාව විසින් (ධ්‍රැව ශුශ සුඛ ආත්ම වභයෙන්) “මෙ සත්‍යය” යි දක්නා ලද නම්, ඒ නාමරූපය බුද්ධාදී ආර්යයන් විසින් ‘තෙල මෘෂායෙකැ’ යි සම්‍යක් ප්‍රඥාවෙන් යථාභූත කොට දක්නාලදය යන මෙ එක් අනුපස්සනායෙක. මහණෙනි, යම් නිර්වාණයක් සදෙවක .. ..දෙව්මිනිසුන් ඇතුළු ප්‍රජාව විසින් ‘තෙල මෘෂායෙකැ’ දක්නා ලද නම්, එ නිවණ ආර්යයන් විසින් “තෙල නිවණ සත්‍යය” යි යථාභූත කොට සම්‍යයක් ප්‍රඥායෙන් මොනවට දක්නාලද ය යන මෙ දෙවන අනුපස්සනා යි”. (බුද්ධජයන්ති ත්‍රිපිටක පරිවර්තන සංයුක්ත නිකාය සුත්තනිපාතය ද්වයතානුපස්සනා සූත්‍රය (237 පිටුව) 758 ගාථාව). එහෙත් දන්ත වෛද්‍ය පීඨයේ පීඨාධිපතිවරයකු ව සිටි මහාචාර්ය අශෝක අමරතුංගට අනුව නම් බුදුන් වහන්සේ එසේ දේශනා කර නැත. ඒ මහතා විදුසර පුවත්පතෙහි පළකරන සංවාදාත්මක ලිපි පෙළක අපට බෝසතුන් නැති, පුනබ්භවයක් නැති ඊනියා උගතුන්ගේ බුදුදහමක් කියා දෙයි. එය හෙළිදරවු කිරීමට කාලය පැමිණ ඇත.  මාර්ටින් වික්‍රමසිංහ මහතා ද බවතරණයෙහි කියා සිටියේ මේ බුදුදහම ය. මේ බුදුදහම විවිධ ස්වරූපයෙන් බටහිරයන් ඉදිරියේ බුදුදහම ඊනියා ගුඩුදහමක් නොවේ යැයි කීමට උත්සාහ කළ, කරන විශ්වවිද්‍යාලයීය බෞද්ධ උගතුන් ද ප්‍රකාශ කර ඇත. අපි මෙයට බවතරණ බුදුදහම යැයි කියමු. එසේ කියන්නේ බවතරණය ඊනියා ගුඩු නොවන බුදුදහමක් වෙනුවෙන් ලියැවුණු පළමු පොත නිසා නො වේ. 

පෘථග්ජන අප විසින් සංස්කරණය (නිර්මාණය) කෙරෙන අප විසින් සත්‍ය යැයි සැලකෙන දැනුම් සියල්ල බොරු ය. ඒ අතර අපට ප්‍රත්‍යක්‍ෂ නොවූ වියුක්ත දැනුම් ද වෙයි. ඒ දැනුම් පට්ටපල් බොරු ය. බටහිර ගණිතය තරම් පට්ටපල් බොරුවක් තවත් නැත. එහි කිසිවක් ඇතැයි සාධනය කෙරෙන්නේ නැත. එහි දී කෙරෙන්නේ කසිකබල් ඇරිස්ටෝටලීය ද්විකෝටික න්‍යාය යොදාගනිමින් එය වේ නම් මෙය වේය යන ආකාරයේ ප්‍රකාශ සාධනය කිරීම පමණකි. පළලක් හෝ ඝනකමක් හෝ නැති එහෙත් දිගක් පමණක් ඇති සරල රේඛා (ඛණ්ඩ) ඇත්තේ මොන ලෝකයේ ද? සරල රේඛා ප්‍රත්‍යක්‍ෂ වන්නේ පංචෙන්ද්‍රියන්ගෙන් කිනම් ඉන්ද්‍රියකට ද? (නො)දත් දොස්තර කෙනකු නොව දන්නා කෙනෙක් එයට පිළිතුරු දෙත්වා. බටහිර ගණිතයට පසුව පට්ටපල් බොරු ඇත්තේ බටහිර විද්‍යාවෙහි ය. ඕනෑම සාධාරණීකරණයක් වියුක්ත ය. ගෙඩිය යන්න වියුක්ත සංකල්පයකි. එය ප්‍රත්‍යක්‍ෂ වන්නේ පංචෙන්ද්‍රියන්ගෙන් කිනම් ඉන්ද්‍රියයකට ද? මේ පට්ටපල් බොරු පිළිගැනෙන්නේ බටහිර දැනුම් ආධිපත්‍යය හේතුකොටගෙන හා ඒ හැකිතාක් සංගත ව ගෙතී ඇත්නම් ය. යම් තරමකට සංගත ව පිළිගැණුනු බොරුවලට ප්‍රවාද යැයි කියනු ලැබෙයි. ඊනියා ප්‍රවාද යනු අන්කිසිවක් නොව යම් පමණකට සංගත වූ බොරු කතන්දර ය. 

සමස්තයක් ලෙස ගත්කල ආසියාතිකයන්ට බටහිර යුදෙවුවන්ට මෙන් වියුක්ත ප්‍රවාද නිර්මාණය කළහැකි නො වේ. මෙරට අවුරුදු දෙසියක පමණ ඉතිහාසයේ බටහිර විද්‍යාවේ ප්‍රවාදයක් නිර්මාණය කළ සිංහලයකු නැත. වියුක්ත ප්‍රවාද නිර්මාණය අපට ආගන්තුක ය. එය ඒ අන්දමට ම නොදැන සිටියත් අවුරුදු හතළිස්පහකට පමණ පෙරත් අපට බටහිරයන්ට මෙන් ප්‍රවාද නිර්මාණය කළ නොහැකි බව මම දැන සිටියෙමි. එහෙත් අපට සංයුක්ත ප්‍රවාද නිර්මාණය කිරීම එතරම් අපහසු කටයුත්තක් නොවිය යුතු ය. අඩු තරමෙන් සිංහල අවුරුද්ද පිළිබඳ ව යම් ප්‍රවාදයක් ගොඩනගා ගැනීමට අපට නොහැකි වී ඇත්තේ කිනම් ප්‍රවාදයක් (කතන්දරයක්) වුව ද යම් පමණකින් වුවත් සංගත විය යුතු බව අප අමතක කරන හෙයිනි. පරස්පර සහිත අසංගත කතා ඇසීමට ඇතැම් දරුවෝ ද අකමැති වෙති. 

අලුත් අවුරුද්ද පිළිබඳ ව ජනප්‍රිය කරවීමට උත්සාහ කරන එක් කතන්දරයක් නම් අවුරුද්ද ලබන්නේ සූර්යයා මන්නාරමට මුදුන්වන දින දෙකෙන් එක් දිනයක දී බව ය. ඒ දින දෙකෙන් සූර්යයා ද’ක්‍ෂිණාර්ධ ගෝලයේ සිට උත්තරාර්ධ ගෝලයට යන ගමනේ දී මන්නාරමට මුදුන්වන දිනය අලුත් අවුරුදු දිනය ලෙස ගැනීම මේ කතන්දරය මගින් සිදුවෙයි. මේ කතන්දරයේ වත්මන් පොතේ ගුරා ලෙස සැලකිය හැකි සූරිය ගුණසේකර මහතා ජාතික රූපවාහිනිය ඔස්සේ විකාශය වූ පැයක වැඩසටහනක කියා සිටියේ මෙවර අලුත් අවුරුද්ද උදාවන අප්‍රේල් දහහතරවැනි දා හෝ ආසන්නයේ හෝ සූර්යයා මන්නාරමට මුදුන්වන බවත් මෙන්න මේ අනුව (ඒ මහතාගේ වචන) අවුරුදු දහස් ගණනකට පෙර මන්නාරම අගනුවර කරගත් පළමු රජු වූ මනු රජු දවස ද අප්‍රේල් දහතරවැනි දා අලුත් අවුරුද්ද උදාවන්නට ඇති බවත් ය. ගුණසේකර මහතාගේ තර්කය මට නම් නො තේරෙයි. මෙන්න මේ අනුව යැයි කීමෙන් අදහස් කරන්නේ කුමක් ද? මේ තර්කය (ඒ ස්වරුපයෙන් ම නොවූවත්) වලංගු විය හැකි අවස්ථා ගණනක් වෙයි. ඒ අතර සූර්යයා මන්නාරමට මුදුන්වන දිනය හා හිරු මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණය වීම දිගින් දිගට ම ඉතිහාසයේ අප්‍රේල් දහහතර (දහතුන) සිදුවීම ප්‍රධාන ය. ගුණසේකර මහතාගේ තර්කය ඒ ආකාරයෙන් ම වලංගු වීමට නම් ඒ හැරෙන්නට වෙනත් ක්‍රමයක් නැත. එහෙත් මෙය ප්‍රත්‍යක්‍ෂ දැනුමක් නො වේ. ඉතිහාසය කෙසේවත් ප්‍රත්‍යක්‍ෂ නො වේ. අපට අතීතය ප්‍රත්‍යක්‍ෂයෙන් දැනගත හැකි ඉන්ද්‍රියයක් පංචෙන්ද්‍රියන් අතර නැත. අප ඉතිහාසය දැනගත යුත්තේ අනුමානයෙනි (ඉන්ෆරන්ස්). ඇතැම් සංසිද්ධි අසවල් අසවල් දින සිදු වූ බවට ඒ දිනවල ම ලියැවී ඇති බව දන්නේ නම් (එසේ ලියැවී ඇති බව දැනගැනීම ද ප්‍රශ්නයකි) යම් පමණකට එය අනුමානයක් නොවේ යැයි සැලකිය හැකි ය. අද අපි ප්‍රත්‍යක්‍ෂයෙන් හිරු මන්නාරමට මුදුන්වන්නේ අප්‍රේල් දහහතර (දහතුන) බව දනිමු. ඒ සඳහා කළ යුත්තේ එදින අදාළ වෙලාවට මන්නාරමට ගොස් සිරස් කෝටුවක සෙවනැල්ල නොමැති බව ප්‍රත්‍යක්‍ෂ කරගැනීම ය. හිරු මීනයෙන් මේෂයට සංක්‍රමණය වීම පෘථග්ජනයන්ට එවැනි ප්‍රත්‍යක්‍ෂයක් නොවූවත් විවිධ ගණිත ක්‍රම මගින් ඒ ගණනය කරගත හැකි ය. එහෙත් අතීතයේ හිරු අප්‍රේල් දහහතර (දහතුන) මන්නාරමට මුදුන් බව දන්නේ කෙසේ ද? සූරිය ගුණසේකර මහතා ආධ්‍යාත්මික ව හෝ අඳුනක් මගින් හෝ ගණනය කිරීමෙන් හෝ වෙනත් ක්‍රමයකින් හෝ ඒ බව දැනගත්තේ ද? කෙසේ වෙතත්් යම් උපකල්පන කිහිපයකට යටත් ව එය එසේ සිදු වී ඇති බව ගණනය කිරීමෙන් (අනුමානයෙන්) දත හැකි ය. (නො)දත් දොස්තරලාට නම් ඒ දත හැකි නොවන බව ද දනිමි. ඔවුන්ට වෙනත් දත් නම් දත හැකි ය. එහෙත් හිරු මිනයෙන් මේෂයට සංක්‍රමණය වීම ඉතිහාසයේ හැමදාමත් අප්‍රේල් දහහතර (දහතුන) සිදු වී ද?      (මතු සම්බන්ධයි)   



නලින් ද සිල්වා

2014-04-20