Main Logo

Wednesday 23 March 2016

අපි අලුතෙන් හිතමු

අපි අලුතෙන් හිතමු

අප නොදැනුවත් ව නමුත් හිතන්නේ සුද්දන්ට (බටහිරයන්ට) වුවමනා අන්දමට ය. අපේ පාසල්, විශ්වවිද්‍යාල හා වෙනත් එවැනි ආයතනවලින් අප පුරුදු කෙරෙන්නේ සුද්දන් අනුව සිතීමට ය. අද පිරිවෙණෙන් හා දහම් පාසලෙන් ද කෙරෙන්නේ ඒ කාර්යය ම ය.අප බොහෝ දෙනාට ඒ බව නොවැටහෙයි. ඒ අපට ලබාදෙන දැනුම සුද්දන්ගේ දැනුම නිසා ය. 


සුද්දන්ගේ දැනුම් විද්‍යාත්මක බව ද අපේ සාම්ප්‍රදයික දැනුම් මිථ්‍යා බව ද අපට සෘජුව හෝ වක්‍රව හෝ කියා දෙනු ලැබේ. යමක් පිළිගැනීමට නම් ඒ විද්‍යාත්මක විය යුතු යැයි කියැවෙයි. එහෙත් ඊනියා විද්‍යාත්මක විධි ක්‍රමය බටහිරයන්ගේ ම න්‍යායට හා තර්කයට විරුද්ධ ය. ඒ බව සුද්දෝ ද නො දනිති. ලංකාවේ සිටින සුද්දන් ගැන කියනුම කවරේ ද? අපි පසුව මේ ගැන විස්තරාත්මක ව තේරුම් ගනිමු. බටහිර විද්‍යාවේ ඇත්තේ කතන්දර පමණකි. එහි ඇත්තක් නැත.

එහෙත් අපට පුනරුත්තපත්තිය (පුනබ්භවය) විද්‍යාත්මක ව පෙන්වීමට යැයි ඊනියා විද්‍යාඥයෝ කියති. ඇතැම් ප්‍රබුද්ධ යැයි කියන ජාතිකවාදීහු ද බටහිර විද්‍යාවට මුළා වී පුනබ්භවය ප්‍රතික්‍ෂෙප කරති්! අපි ඔවුන්ට අනුකම්පා කරමු.

දෙමළ ජාතිවාදය පිළිබඳ ප්‍රශ්නය අවුල් වී ඇත්තේ ද අප බටහිරයන්ට අවශ්‍ය අන්දමට හිතන බැවිනි. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු මෙරට දෙමළ ජාතිවාදයක් තිබිය නො හැකි ය. එහෙත් අපට දෙමළ ජාතිවාදය පරාජය කිරීමට නො හැකි වී ඇත. මෙරට ජාතිවාදයක් ඇත. එය ඇමරිකන් කුමන්ත්‍රණයක් නො වේ. ඇමරිකාව ලෝක බලවතා වීමට පෙර ද එංගලන්ත සුද්දෝ සිංහල සංස්කෘතියට විරුද්ධව දෙමළ ජාතිවාදය බිහිකළහ. 

පසුගිය දා අපේ උගතුන් යැයි කියන අය ජාතික ගීය පිළිබඳ විවිධ කතා කීහ. ඒ සියල්ල ජාතික ගීයක් යනු කුමක් දැයි නොදන්නාකමේ ප්‍රතිඵල ය. ඇතැමුන් කීවේ අප සිංහල ජාතික ගීය දෙමළ ජනයාට බලයෙන් පොවන බව ය. ජාතික ගීය සිංහලෙන් පමණක් ගැයීම  දෙමළ ජනයාට කරන අසාධාරණයක් නො වේ. එය දෙමළෙන් ද ගැයීම නම් සිංහලයන්ට කරන අසාධාරණයකි. 

අපි හැකිතාක් සමස්තය දැකීමට උත්සාහ කරමු. ප්‍රශ්න මැදින් අල්ලා නොගෙන ප්‍රශ්නයේ ඉතිහාසයට යමු. ප්‍රශ්න කෑලිවලට කඩා විසඳුම් සෙවීම බටහිර ක්‍රමය වෙයි. අපි වෙනත් මගක් අනුගමනය කරමු. අපි අලුතෙන් හිතමු. 

මෙම ලිපිය මුහුණු පොතෙන් ද කියවිය හැකි ය.  

https://www.facebook.com/Nalin-de-Silva-188511888194878/


නලින් ද සිල්වා

2016 මාර්තු 23