Main Logo

Thursday 7 November 2019

උපවාසයට පෙර හා පසු

         සිංහල ලිත් ඉලක්කම්

උපවාසයට පෙර හා පසු


සිංහලයා  මෝඩයා කැවුන් කන්න යෝධයා කියල කතාවකුත් තියෙනවා. ඒ කතාව කවුරු හදපු එකක් ද කියන එක පැහැදිලි නැහැ. ඒත් සිංහලයන් ඉතා ඉක්මණින් රවටන්න පුළුවන් කියන එක නම් පැහැදිලියි. මා ගිවිසුම් ගැන කියල තියෙනවා. ගිවිසුම්වලින් සිංහලයන් පැරදිලා තියෙන්නෙ. ඒක ඉතිහාසයට යන කතාවක්. මට හිතෙන්නෙ පෘතුගීසීන් එන්න ඉස්සර ඉඳල ම සිංහලයන් රැවටිලා තියෙනවා කියලා. සිංහල කියන වර්ගයට මා යක්‍ෂ දේව නාග රාක්‍ෂස කියන හෙළයනුත් ඇතුල් කරනවා. හෙළයන් කියන්නෙ සූූර්යයා සමග සම්බන්ධ කියන එක මිසක් හෙල්වල ජීවත් වූ අය නො වෙයි. කඳුවල ජීවත් වූ අය කවු ද? සමහර විට අපට හෙළයන් කිව්වෙ ග්‍රීකයන් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපත් හෙලියොස් නමින් හැඳින්වුණු සූර්යයා පෞද්ගලිකකරණයට ලක් කළ ග්‍රීක නිකායක් සමග සම්බන්ධ වී ඉන්න ඇති. ඒ ග්‍රීකයන්ට අනුව සූර්යයා අශ්වයකු ඇද ගෙන යන කරත්තයක නැගී අහසේ යනවා. ඒ චිත්‍රය අවුරුදු දවස්වල අපත් අඳිනවා. හීලියම් කියන මූල ද්‍රව්‍යයට ඒ නම ලැබෙන්නේ පළමුව හීලියම් නිරීක්‍ෂණය කෙළේ සූර්යයාගේ වීම නිසයි.  

  
අද දේශපාලනය ඉතා ව්‍යාකූලයි. කවුරු කවුරුන් යොදා ගන්නවා ද කියන එක කියන්න බැරි තරමට ව්‍යාකූලයි. සිංහලයන් රවටන මිනිසුන් අපට පේන්න නැහැ. ඔවුන් ඉතා ජනප්‍රිය පුද්ගලයන් යොදා ගනිමින් රැවටීමේ කලාව ගෙනියනවා. මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් කම්පැක්ට් ගිවිසුම නැත්නම් සහශ්‍ර අභියෝගතා සංස්ථා ගිවිසුම එහෙමත් නැත්නම් පහසුවෙන් කියන්න පුළුවන් එම්සීසී ගිවිසුම අත්සන් කරන එක නැවතිලා. ඒත් ඒක නැවතිලා නැහැ. 

මා කතා කරන්නේ චතුස්කෝටිකය. එය බුදුහාමුදුරුවන්ට කලින් ලෝකෙ තිබුණ. ග්‍රීසියෙත් තිබුණ. සොක්‍රටීස්, ඔහුගේ ගෝලයා ප්ලේටොත් මේ ගැන දැන ගෙන හිටියා. ප්ලේටොගෙත් ගෝලයා වෙච්ච ඇරිස්ටෝටල්  මේ සියල්ල වෙනස් කළා. ඔහුට ග්‍රීක ගණිතඥයොත් උදවු වුනා. බටහිර ගණිතයෙ තියෙන්න ඒක එහෙ ම නම් මේක මෙහෙමයි කියන කතාව. ඒ කතාව රැඳිලා තියෙන්නෙ ඇරිස්ටෝටල් ආකෘතික ව ඉදිරිපත් කරපු ද්විකෝටික න්‍යාය මත. 

මට මේ බව නැවතත් මතක් වුණෙ පසුගිය දා උපවාස කර සිටි උඩුදුම්බර කාශ්‍යප හාමුදුරුවන් බැහැ දකින්න නිදහස් චතුරසය්‍රට ගිය වෙලාවෙ ඇරිස්ටෝටල් ගැන වෙච්ච කතා බහක දි. පැරණි ලංකාවෙ මිනිසුන් ඇරිස්ටෝටල් ගැන මෙන් ම ප්ලේටෝ ගැනත් දැන හිටියා. ඔවුන්ගෙ නම් සඳහන් සෙල්ලිපිත් තියෙනවා. පණ්ඩුකාභය (පණ්ඩ්‍රක අභය) රජුගෙ කාලයෙ ග්‍රීකයන්ට අනුරාධපුරේ කොටසකුත් වෙන් කරල දීල තිබුණා. ඒ රජුටත් ග්‍රීක සම්බන්ධයක්  තිබුණා. ලංකාවට පැමිණි බව කියන සිංහල නම් රජුට (පණ්ඩුකාභය කෙනකුට) ග්‍රීක භාර්යාවක් හිටියා. ඒත් අපි ඇරිස්ටෝටල් පසුපස ගියෙ නැහැ. අපි පැරණි  චතුස්කෝටිකයෙ ම හිටියා. දැන් ඉන්න බටහිර දැනුම කටගාගත් පඬි නැට්ටන්ට එහෙම කරන්න තරම් ශක්තියක් නැහැ. සමහර විට ශක්තිය ගන්න මයිලෝ බොන්න වෙන්න පුළුවන්. 

අද අපි සිංගප්පූරුුවක් ඇමරිකාවක් වෙන්න උත්සාහ කරනවා. දැන් මැලේසියාවක් වෙන්නත් උත්සාහ කරනවා. අපි ලංකාවක් වෙන්න උත්සාහ කරන්නෙ නැත්තෙ ඇයි? ලංකාවක් වෙනව කියන්නෙ අර කොළඹ විශ්වවිද්‍යාලයෙ බටහිර දාසයන් වූ කොල්ලන් බිත්තිවල ලොකු අකුරෙන් ලිව්ව විධියට බරකරත්තෙන් ආපහු අනුරාධපුරයට යැමක් නොවෙයි. අපි කවුරුන්වත් පස්සෙ නොගිහින් අපේ දැනුමක් නිර්මාණය කර ගනිමු. අවශ්‍ය පරිදි බටහිර දැනුමත් අපේ කර ගනිමු. 

අද මෙරට සංවිධානාත්මක ව බෞද්ධ විරෝධී ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙනවා. මා කතා කරන්නේ මංගල සමරවීර ගැන නො වෙයි. ඔහු සිංහල බෞද්ධ විරෝධීයි. ඒ ගැන සැකයක් නැහැ. ජෙනීවාට පළමුත් ඔහු එහෙමයි. ඊයේ පෙරේදා ඔහු උඩුදුම්බර හාමුදුරුවන්ට අපහාස කළා. ඔහුට වඩා සංවිධානාත්මක ව ඒ ව්‍යාපාරය ගෙන යන පිරිසක් රටේ ඉන්නවා. ඔවුන් ක්‍රියාත්මක වන්නේත් ජාතිකත්වය සමගයි. ඔවුන් ජාතිකත්වයේ ප්‍රධාන පුද්ගලයන් ආයතන තම බෞද්ධ විරෝධය වෙනුවෙන් ඉතා සියුම් ව යොදා ගන්නවා. දෙරණ වැනි ආයතනයක් පවා යොදා ගැනෙන බව පේනවා. අනෙක් නාළිකා ගැන කතා කරන්න දෙයක් නැහැ. 

ජාතිකත්වය දැක් වූ විරෝධය නිසා ආණ්ඩුව එම්සීසී ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් නොකරන බවට උඩුදුම්බර හිමියන්ට ප්‍රතිඥාවක් දී තියෙනවා. ආණ්ඩුවේ බලවතුන් මුල දී කියා සිටියේ ජනාධිපතිවරණයට පෙර ගිවිසුම අත්සන් කරන බවයි. එහි දී අප ද පෙන්වා සිටියේ දැන් තියෙන්නේ භාරකාර ආණ්ඩුවක් බැවින් එවැනි ගිවිසුම් අත්සන් කිරීමට නොහැකි බවයි. එසේ ම අප කියා සිටියේ යම් විධියකින් ගිවිසුම අත්සන් කළොත් එය අහෝසි කරන බවට පවත්වන ජනමත විචාරණයක් ලෙස ජනාධිපතිවරණය යොදා ගැනීමට. 

මගේ ලිපි කියවන්නේ දෙසීයක පමණ පිරිසක්. දෙකෝටියක් පමණ වූ ජනගහනයක දෙසීයක් කියන්නේ ගණිතයේ කියන විධියට නොගිණිය හැකි ප්‍රමාණයක්. ඒ දෙසීයට කළ හැකි බලපෑමක් නැහැ. කෙසේ නමුත් ආණ්ඩුව උපවාසයත් සමග දැන් කියනවා එම්සීසී ගිවිසුම ජනාධිපතිවරණයට පෙර අත්සන් කරන්නේ නැහැ කියා. ගිවිසුම අත්සන් නොකෙරෙන්නේ එය ජනාධිපතිවරණයට අවාසි නිසා. ගිවිසුමට විරුද්ධ ව විශාල ජනමතයක් ගොඩ නැගුණා. ආණ්ඩුව ගිවිසුම අත්සන් නොකිරීමට උපවාසය යොදා ගත්තා. සජිත් හා රනිල් අද කියන්නේ නැහැ අනාගතයේ දී ගිිවිසුම අත්සන් නොකරන බවක්. 

ගිවිසුම අත්සන් කිරීම පමා කිරීමක් පමණයි වෙලා තියෙන්නෙ. එසේ පමා කෙරුණේ ජාතිකත්වය නිසා. මා අහගෙන හිටියා තිස්ස ජනනායක කියනවා ජනමතය නිසා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කෙළේ නැහෑ කියා. එකල ඔහු උසස් පෙළ සිසුවකු පමණක් වූ නිසා ඒ කරුණු නොදන්නවා විය හැකියි. කැලණිය විශ්වවිද්‍යාලයේ එදත් අදත් දේශපාලනය ගැන උනන්දුවක් දැක් වූ දක්වන ඔහුගේ සමකාලිකයන්ගෙන්  ඔහුට ඉන්දු ලංකා ගිවිසුම ගැන අවබෝධයක් (ටියුෂන්) ලබා ගන්න පුළුවන්. 

ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන එක නවත්තගන්න බැරි වුවත් ජාතිකත්වයට පුළුවන් වෙන්න ඕන එම්සීසී ගිවිසුම අත්සන් කරන එක නවත්ත ගන්න. අද 1987ට වඩා ජාතිකත්වය රටේ වර්ධනය වෙලා, බලවත්. එහෙත් අප පරෙස්සම් වෙන්න ඕන. එදා ජාතිකත්වයේ සිටි සෝභිත හිමියන් ටික කලෙකින් ම විජාතික බලවේගවලට පුළුවන්කම ලැබුණ් ඊනියා සාධාරණ සමාජයක් ගැන සටන් වදින  හිමිනමක් බවට පත් කර ගන්න. චින්තන පර්ෂදයේ ආරම්භක සභාපතින් වහන්සේ වුවත් අප බොහෝ කලකට පෙර උන්වහන්සේගෙන් ඈත් වුනා. විජාතික බලවේග තමන්ට අවශ්‍ය පරිදි ජාතිකත්වය යොදා ගන්නවා. 

අප පරෙස්සම් විය යුතුයි. ජාතිකත්වයට හුදු ජනප්‍රියවාදී චරිත අවශ්‍ය නැහැ. අප කරන්නේ අමාරු වැඩක්. අප සෝඩා බෝතල් ඇරලා පැත්තකට වෙන්නෙ නැහැ. ජාතිකත්වය නැසීමට ජාතිකත්වය ම යොදා ගැනීම පරාජය කළ හැක්කේ විමසිල්ලෙන් සිටීමෙන් පමණයි.