Main Logo

Monday 11 November 2019

අවසන් දින කිහිපය

   සිංහල ලිත් ඉලක්කම්


අවසන් දින කිහිපය



අප ජනාධිපතිවරණයේ අවසන් දින කිහිපයට ඇවිල්ලා. මේ ජනාධිතිවරණයෙන් මා හුඟක් දේ ඉගෙන ගත්තා. මගේ කාලය අවසන් වී හුඟක් කල් බව මා දැන ගත්තේ ජනාධිපතිවරණයෙන්. මා විශ්වවිද්‍යාලයෙන් නික්ම ගොස් (එය විශ්‍රාම යෑමක්වත් ඉල්ලා අස්වීමක්වත් වූයේ නැහැ) අවුරුදු අටක් වෙනවා. අවශ්‍ය නම් මට තවත් අවුරුද්දක් විශ්වවිද්‍යාලයේ රැඳී ඉන්න තිබුණා. එහෙත් ආසනික් පර්යේෂණ නිමවීමත් පීඨාධිපතිධුර කාලය අවසන් වීමත් සමග තවදුරටත් මට විශ්වවිද්‍යාලයේ කාර්යයක් නැති බව මා තේරුම් ගත්තා. මා විශ්වවිද්‍යාලයෙන් නික්ම ගියා. කිසිවකු මට බාහිර කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන්න කියා ඉල්ලා සිටියේත් නැහැ (ඉල්ලා සිටියත් මා කැමති වන්නෙත් නැහැ). විශ්වවිද්‍යාලයත් බලන් හිටියේ මා නික්ම යන තුරු. විශේෂයෙන් ම ආචාර්යවරු.


එහෙත් මා සමාජයීය වැඩවලින් නික්ම ගියේ නැහැ. එය මගේ වරදක්. මා සමාජයීය වැඩවලින් ද අවුරුදු පහකට පමණ ඉහත මට අවුරුදු හැත්තෑවක් වූ පසු නික්ම යා යුතුව තිබුණා. ඒ බව මට වැටහී තිබුණේ නැහැ. ජනාධිපතිවරණයෙන් මා ඒ වැටහීම ලබා ගත්තා. මා දැන් කල් ඉකුත් වූ පුද්ගලයෙක් බව පැහැදිලියි. විශ්වවිද්‍යාලය මෙන් ම සමාජයත් බලා සිට ඇත්තේ මා නික්ම යන තුරු. ජනාධිපතිවරණයෙන් පසු සමාජයීය කටයුතුවලින් නික්ම යන්න ඕන.

මේ ජනාධිපතිවරණය තීරණාත්මකයි. මා ඒ බව කියන්නේ බොහෝ දෙනා කියන අරුතින් නම් නො වෙයි. දෙමළ ජාතිවාදී දේශපාලනය අවසන් වීම ජනාධිපතිවරණයේ දී තීරණය වේවි. අද දෙමළ කතා කරන ජනතාවගේ නායකයන් ඉන්නේ අවුල් තත්වයක. ජනාධිපතිවරණයේ දී කුමක් කරන්නේ ද යන ප්‍රශ්නයට ඔවුන්ට නිශ්චිත පිළිතුරක් නැහැ. සුමන්තිරන්ට හා තවත් කිහිප දෙනකුට අවශ්‍යයයි සජිත්ට ආධාර කිරීමට. එහෙත් ශිවාජිලිංගම්, විග්නේස්වරන් ඇතුළු කිහිප දෙනකුටත් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන්ටත් අවශ්‍ය ජනාධිපතිවරණය  වර්ජනය කරන්න. උතුරු හා නැගෙනහිර පළාත්වල ඊළමක් ප්‍රකාශ කළ වර්ධරාජ පෙරුමාල් දැන් තම මතය සම්පූර්ණයෙන් ම වෙනස් කර ගෙන.

මන්නාරමේ එම්මානුවෙල් ප්‍රනාන්දු බිෂොප්තුමා කියා තිබුණා ආගමික නායකයන්ට පුළුවන් වුනා කියා ජනාධිපතිවරණය වර්ජනය කිරීම නවත්වන්න. එතුමා ඒ බව කියා ඇත්තේ සජිත් ප්‍රේමදාස මුදල් ගෙවා ජාතිය ඇමතීමෙන් පසු බිෂොප් මන්දිරයට ගිය අවස්ථාවක. ඒ ප්‍රකාශය මුළුමනින් ම දේශපාලනිකයි. බිෂොප්තුමා වෙනත් චනවලින් කියා ඇත්තේ දෙමළ කතා කරන ජනයා සජිත්ට ඡන්දය දිය යුතු බවයි.  මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඒ ප්‍රකාශය ඇහෙන්න නැතිව ඇති. ඔවුන්ට ඇහෙන්නෙ පන්සලක ගෝඨාභයට පක්‍ෂව දේශපාලනික යමක් ප්‍රකාශ කළොත් පමණයි.

දෙමළ වෙල්ලාල නායකයන්ට තිබුණෙ  මුළු රටේ ම නායකයන් වීමේ අභිලාෂය. ඒක තමයි ඔවුන් කියන අභිලාෂය. 1931න් පසු ඔවුන් ක්‍රමයෙන් තේරුම් ගත්තා ඒ අභිලාෂය මුදුන්පත් කර ගැනීමට නොහැකි බව. ඔවුන් හතළිහේ දශකයේ වෙන ම රාජ්‍යයක් ඉල්ලුවේ ඒ නිසයි. නිජභූමිය එය යුක්තියුක්ත කිරීම සඳහා නිර්මාණය කර ගත් අදහසක් පමණයි. අද වන විට ඔවුන් තේරුම් ගනිමින් ඉන්නවා ඊනියා ඊළමත් ලබා ගත නොහැකි දෙයක් බව. දෙමළ වෙල්ලාල නායකයන් අතර ගැටුම් ඇති වන්නේ මේ තේරුම් ගැනීම උඩයි.

තව ටික කලකින් දෙමළ ජාතිවාදය පවතිනු ඇත්තේ සිංහල පවුල්වල ඉපිද පොරවල් වීමට අවශ්‍ය පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් අතර පමණයි. ඔවුන්ට සිංහල සමාජයෙන් තමන්ට වූ යම් ප්‍රශ්නයක් නිසා සිංහලයන්ගෙන් පළිගැනීමට හෝ යම් අඩුවක් නිසා බටහිර මතවාද කට ගා ගෙන පොරවල් වීමට හෝ අවශ්‍යයි. ඒ අවශ්‍යතාව විසින් ඔවුන් සිංහල බෞද්ධ විරෝධී තැනකට තල්ලු කෙරෙනවා. ඔවුන් හැමදාමත් දෙමළ වීම නිසා ම පමණක් දෙමළ කතා කරන ජනයාට වූ අසාධාරණය සොයාවි.

ඉහත සඳහන් හේතු නිසා වැඩිකල් යෑමට මත්තෙන් ගණුදෙනු (ඩීල්) දේශපාලනයට තිත තියන්න පුළුවන් වේවි. ගෝඨාභය දැනටමත් ඒ සඳහා පළමු පියවර තබා අවසන්. ඔහු අර කුප්‍රසිද්ධ ඉල්ලීම් දහතුන සාකච්ඡාවකින් තොරව ම ප්‍රතික්‍ෂෙප කරලා. වැඩිකල් යෑමට මත්තෙන් සිංහල නායකයන් උතුරේ හා නැගෙනහිර සෘජු ව ජනතාව අතර දේශපාලනය කරන්න ඕන. දෙමළ කතා කරන ජනයාටත් සිංහල නායකයන් ඇති කර ගන්න පුළුවන්.

ඉදිරි දින කිහිපයේ ව්‍යාජ ප්‍රකාශන රූහඬපට ආදියෙහි උපරිමය දකින්න පුළුවන් වේවි. ගෝඨාභයගෙ රටවැසිකම, ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රය, ඔහුගෙ බිරියගෙ පදිංචිය, පුතාගෙ පදිංචිය හා රැකියාව සහ තවත් දේ ගැන ව්‍යාජ ප්‍රකාශන රූහඬපට චම්පාගාරයෙන් නිකුත් වේවි. සජිත්ගෙ ජනාධිපතිවරණ ව්‍යාපාරය දැන් මෙහෙයවෙන්නෙ චම්පක අතින්. චම්පකගෙ ඊනියා දක්‍ෂතා ගැන අප දන්නවා. අර මුදල් ගෙවා ජාතිය ඇමතීම චම්පාගාරයෙ වැඩක් වෙන්න ඇති.

ඒ ගමන හාමුදුරුනමක් උපවාස කරනවා ගෝඨාභයට තමා ඇමරිකන් රටවැසිකම අත්හැරි බව ඔප්පු කරන්න කියා. උන්වහන්සේ කියන්නේ ගෝඨාභය තමන් වහන්සෙ උපවාස කරන තැනට ඇවිත් ඒ බව ඔප්පු කරන්න කියා ද? ගෝඨාභය  ඒ බව ඔප්පු කර අවසන්. එය ප්‍රසිද්ධියේත් මැතිවරණ කොමිසම ඉදිරියේත් කර තිබෙනවා. ගෝඨාභය ඒ ඒ පුද්ගලයා ඉදිරියේ ඒ බව ඔප්පු කරන්න අවශ්‍ය නැහැ. නාම යෝජනා භාර දුන් දිනයේ සජිත්ගේ නියෝජිතයකු හෝ වෙනත් නියෝජිතයකු හෝ ගෝඨාභයගේ නාම යෝජනාවට විරෝධයක් මතු කෙළේ නැහැ. ඔහුට විරුද්ධව උසාවි ගිය බැරල් බැරන් (වඳ) වුනා. උපවාස කරන හාමුදුරුවන්ටත් අධිකරණයට වඩින්න පුළුවන්. නිදහස් චතුරස්‍රයේ නඩු අහන්නෙ නැහැ.

එහෙත් මට ප්‍රශ්නයක් තියෙනවා හාමුදුරුවන්ගෙ ආරක්‍ෂාව ගැන. උන්වහන්සේ ගැන සම්පූර්ණ වගකීම චම්පාගාරය භාර ගන්න ඕන. යමක් සිදු කර එහි වගකීම ගෝඨාභයට පැවරීමට ඉඩ තියෙනවා. චම්පක, මංගල, රාජිත මේ දින කිහිපයේ අතිකාල (ඕවර්ටයිම්) සේවයේ යෙදෙනවා. සුදුවෑන් රියැදුරන් එළියට ඇවිල්ලා. සුදු වෑන් ආරම්භ වුනෙ දෙටු පෙම්දස් යුගයෙ. ඔය කියන රියැදුරා ඒ යුගයෙ අයකු වෙන්න බැරි නැහැ. කණිටු පෙම්දස්ගෙ දූෂිතයන් කුමක් කරන්න ද යන්නෙ.