ඇමරිකා ගමනට පෙර
මා මස හතරක් පමණ ලංකාවේ ගතකර ඊයේ පොහෝ දින ඇමරිකාවට පැමිණියා. ඊට පෙර බොහෝ දෙනකු මා හමුවීමට පැමිණියා. ඒ අතර ගුණදාස අමරසේකර ද සිටියා. මේ වසර අවසන් වන විට ඔහුට අනූපහ පිරෙනවා. එහෙත් ඔහු තවමත් ශාරීරික ව දුර්වල වුණත් මානසික ව දුර්වල නැහැ. අප චින්තන පර්ෂදය ලෙස ඒ මාස හතරෙ වැදගත් කටයුතු දෙකක් කළා. එකක් අමරසේකර වෙනුවෙන් අභිනන්දන උපහාර උළෙලක් පැවැත්වීම. අනෙක සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනයේ සභාපතිතුමාගේ ජාතික උපදේශක සභාවක් පිහිටුවීමට වත්මන් සභාපති වාකිෂ්ට මහතා සමග එකඟතාවකට පැමිණ ඒ අනුව කටයුතු කිරීම.
අමරසේකර මහතා හා මා අතර ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකඟතාවක් නැති වීම වෙනත් කරුණක්. එහෙත් ඒ මහතා විසින් ජාතිකත්වය වෙනුවෙන් කරන ලද සේවය අමතක කළ හැක්කක් නො වෙයි. ජාතික චින්තනය යන යෙදුම හරිශ්චන්ද්‍ර විජයතුංග කුලියාපිටියේ ප්‍රනන්ද මහතුන් කලින් සඳහන් කර තිබුණත් ඒ වදන් වෙනත් අරුතකින් යෙදීමට අමරසේකර මහතාට හැකි වුණා. එහි දී ඔහුට එක්තරා ලේඛකයකු ලෙනින් රුසියන් ජාතික චින්තනය මත පදනම් වී ය යන්නෙන් සඳහන් කර තිබූ සටහන වැදගත් වුණා.
බෞද්ධ
සම්මේලනයේ සභාපතිතුමා විසින් පිහිටුවා ගන්නා ලද උපදේශක සභාව එතුමාගේ උපදේශක සභාවක්. එතුමා ඒ උපදෙස් අනුව සම්මේලනයට ඇතැම් යෝජනා ඉදිරිපත් කරනවා. සම්මේලනයේ විධායක සභාව අනුමත කරන්නේ නම් යෝජනා ක්‍රියාත්මක කරාවි. මෙහි දී කිව යුත්තක් නම් උපදේශක සභාව පිහිටුවා ඇත්තේ සිංහල බෞද්ධ බලය ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව වෙනුවෙන් බව . එය සමස්ත වැඩ පිළිවෙළක්. එහි අරමුණු තුනක් තියෙනවා. ඒ අරමුණු උපදේශක සභාව දන්නවා. ඇතැමුන් අද යන එන මං නැතුව පුහු වීර හිමාල කතා කියවනවා. තරුණයන්ගේ භාෂාවෙන් නම් ලොරි ටෝක් දෙනවා.
මා
හමුවීමට පඬි නැට්ටන් නම් පැමිණියේ නැහැ. අරුණ මුණසිංහ තමලූ පියදිගම හා ඔහුගේ පොළොන්නරු මිතුරා එකට හමුවීම වැදගත් වුණා. අරුණ මුණසිංහ තමයි උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාල සටනේ පෙරමුණ ගත් තැනැත්තා. මට මතක හැටියට ඔහු අන්තර් වෛද්‍ය පීඨ ශිෂ්‍ය කමිටුවේ කැඳවුම්කරු වුණා. එකල බොහෝ වෛද්‍ය ශිෂ්‍යයන් අප නිවසට ආවා ගියා. තමලුගේ පියාත් ඒ සටනේ සිටි බව අරුණ අප සමග කිවුවා.
අප
බොහෝ කරුණු කතා කළා. අරුණ හෙට අනිද්දා විශ්‍රාම ගන්නවා. තමලු රැකියාවක් පටන් ගත්තා පමණයි. මා හරිහමන් රැකියාවක් කළ අයකු නො වෙයි. අප පරම්පරා තුනකට අයත්. එහෙත් අපට කතා කිරීමට පොදු දේ රාශියක් තිබුණා. අරුණ මුණසිංහ බටහිර වෙදමහතකු වුණත් පාරම්පරික වෙදකම ගැන උනන්දුවක් දක්වනවා. ඔහුට මහගම සේකර සමග ඥාති සම්බන්ධයක් තියෙනවා.
මා
හමුවීමට පැමිණි තවත් පුද්ගලයකු වූයේ දිලිත් ජයවීර. මේ කිසිවකු මගේ ශිෂ්‍යයන් නො වෙයි. මා කිසිවකුට කිසි දෙයක් උගන්වා නැහැ. මා දිවයිනට ලිවුවා විදුසරට ලිවුවා දැන් සකර්බර්ග්ට ලියනවා. ඒ ලිපි කියවන පිරිසක් ඉන්න බව මා දන්නවා. එමෙන් ම කියවා නොකියවූ බව අඟවන පිරිසක් ද ඉන්නවා. තවත් සමහරු එළිපිට විරුද්ධ වෙනවා. ඒ සකර්බර්ග් මගින්. සකර්බර්ග් හොඳ මිනිහා. ඔහු නැත්නම් අප පඬි නැට්ටන් ජෙප්පන් සෙප්පන් ආදීන් ගැන ඔවුන්ගේ මෝඩකම් පුරසාරම් ගැන දැන ගන්නේ කොහොමද?
ඉදිරියේ සිදුවන දේශපාලනික වෙනස්කම් ගැන මා දිලිත් සමග කතා කළා. මා ඔහුගේ දේශපාලන ව්‍යාපෘතියේ නැහැ. එහෙත් ඔහු අද ජාතිකවාදී දේශපාලනයේ වැදගත් පුද්ගලයෙක්. තව මාස හයකින් පමණ අපට නැවතත් ජාතිකවාදී දේශපාලන සංධානයක් ගැන කතා කරන්න වේවි. එය 2024 දී වැදගත් කාර්යභාරයක් ඉටු කරාවි.
මේ
ලිපියටත් කලින් ලිපිවලට ලැබුණු ප්‍රතිචාරය ම පඬි නැට්ටන්ගෙන් ජෙප්පන්ගෙන් හා සෙප්පන්ගෙන් ලැබේවි. ඔවුන් දන්නෙ බටහිර ආධිපත්‍යයක් ගැන කතා කරමින් ඇමරිකාවට යන්නේ ඇයි ද කියා අහන්න පමණයි. පාරම්පරික වෙදකමක් ගැන කියමින් හදවත් සැත්කම් කිරීම ගැනත් ඔවුන් පඬි මත දොඩවනවා. ඔවුන් ම තමයි මගේ පුතාලා රාජකීය විදුහලට යැවීම ප්‍රශ්න කෙළෙත්. 360 ඩිල්කා සමන්මලීත් එයට සම්මාදන් වුණා.
මේ
සියල්ල ම ගලා එන්නේ ජාතික චින්තනය කියන්නෙ අනුරාධපුරයට බරකරත්තයෙන් යෑම කියා කියපු සුවාදීනයන්ගෙන්. මේ සුවාදීනයක් සමහරු බෝට්ටුවේ මොටාවට ආ අය. සමහරු කොල්ලෑවෙ ආ අය. මෙරට මොටාවල කොල්ලෑවෙ ආ මහාචාර්යවරු බෝට්ටුවෙ ආ පීඨාධිපතිවරු ඉන්නවා. මොටාවට එන්න බැරි වුණාට සමහරු ඉතා ඉහළ සංකල්ප ප්‍රවාද සංස්කරණය කරනවා. ලංකාවෙ එහෙම අය විරලය කියන්න බැහැ. එහෙම අය නැහැ.
කොහොමටත් පඬි නැට්ටන්ට ජෙප්පන්ට සෙප්පන්ට මාක්ස් ධනවාදයට විරුද්ධ ව ධනවාදී රටක ඉඳන් කතා කිරීම පේන්නෙ නැහැ. ඒ එකල සමාජවාදී රාජ්‍ය තිබුණෙ නැති නිසා කියාවි. දැන් ජෙප්පන් හා සෙප්පන් සමාජවාදයක් ගැන කියවන්නේ සමාජවාදී රටවල ඉඳන් වෙන්න ඇති. සමාජවාදය ඇති වෙන ඉටිගෙඩියක් ද?