Main Logo

Friday, 12 January 2024

ප්‍රේමකුමාරගේ සමාජ විද්‍යාවට පෙරවදනක්

 

ප්‍රේමකුමාරගේ සමාජ විද්‍යාවට පෙරවදනක්

 

මා ඊයේ (ජනවාරි 11) ලියු ලිපිය පහළොස්දහසකට අධික පිරිසක් අතරට ගිහිල්ලා. එය නාළිකාවල  හරි නලවල හරි (යුටියුබ්) ප්‍රේක්‍ෂක සංඛ්‍යාවෙන් දාහෙන් එකක්වත් නො වෙයි. ලිපිය සම්බන්ධයෙන් හා හා ලකුණු කෙරී ඇත්තේ තිහක් පමණ. ජෙප්පන් හා සෙප්පන් දැන් මගේ ලිපි කියවන්නේ නැතිවෙන්න පුළුවන්. ලිපියට කලින් අරුන් සිද්ධාර්ථන් ලියූ සටහනට ප්‍රතිචාර රාශියක් ලැබී තිබුණා. සියල්ලෙන් පැහැදිලි වන්නේ සිංහල හරි දෙමළ හරි බෞද්ධ හරි හින්දු හරි ක්‍රිස්තියානි හරි භේදයකින් තොරව මෙරට සිංහල බෞද්ධ විරෝධී නොවන්නන්ට  එක්වන්න පුළුවන් බව.

 

මා ඊයේ ලියූ ලිපියේ මෙසේ සඳහන් කළා.   අරුන් සමග ඇති වු සාකච්ඡාවේ දී මා තේරුම්ගත් ප්‍රධාන කාරණය වුණේ මෙරට සිංහල ජාතිය සමග දෙමළ ජනකොටස්වලට එකතු වීමට ඇති ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ බුදුදහම හරහා බව. අපි ගැනත් පසුව කතා කරමු. මිහිඳු මහා රහතන් වහන්සේ එදා කළ දේට සමාන ක්‍රියාවක් අද යාපනයේ කරන්න පුළුවන්."

 

කොටසට මෙරට උගත් මහාචාර්යවරු දෙදෙනකු ප්‍රතිචාර දක්වා තිබුණා. ඔවුන් කොළඹ මොටාවේ මහාචාර්යවරු. මා මෙන් නොව මෙරට සම්භාවනාවට පාත්‍ර වූ මහාචාර්යවරු. මා ගැන රටේ දන්නේ කේන්ති යන මිථ්‍යා මතධාරී පුද්ගලයකු ලෙස. පිස්සු තද වූ මැන්ටලයක් ලෙස. මෙරට සම්භාවනාවට පත් වූ කිසිම උගතකු මගේ පිට කසා නැහැ.  ඉංගිරිසියෙන් සිංහල සමාජය ගැන කියන ලියන විදග්ධයන් මා ගැන දන්නේ ගුණදාස අමරසේකර හඳුන්වා දුන් හොඳ සංකල්පයක් වූ ජාතික චින්තනය විනාශ කළ පුද්ගලයා ලෙස. එහි ඇත්තක් තියෙනවා. අමරසේකරහේ ජාතික චින්තනය බටහිරින් ගත් සංකල්පයක්. මා කතාකරන්නේ ජාතියක සංස්කෘතියක  චින්තනය ගැන. මා චින්තනය යන සංකල්පය ලබා ගත්තේ පටිච්ච සමුප්පදාය ඇසුරෙන්.

 

අමරසේකර දැනුම සංස්කරණයක් ගැන දන්නේ නැහැ. මා හිතන්නේ නැහැ ඔහු මගේ ලෝකය සම්පූර්ණයෙන් කියවා ඇතැයි කියා. ඔහු කිසි දා මා ගැන හොඳක් කියා හෝ ලියා හෝ නැහැ. මගේ පොතක් විචාරයට ලක්කර නැහැ. එහෙත් සේන තෝරදෙණිය අශෝක අමරතුංග වැන්නන්ගේ පොත් අගයා තියෙනවා. ඔහු වික්ටර් අයිවන් ප්‍රඥංකුරයකු ලෙස වරක් හැඳින්වූවා.  මට එය ප්‍රශ්නයක් නො වෙයි. ඔහු ඉංගිරිසි කතා කරන සමාජයට ප්‍රියයි. මා මගේ භාර්යාව හා දරු මුණුබුරන් කිසි දිනෙක එකිනෙකා සමග ඉංගිරිසියෙන් කතා කර නැහැ.  මෙරට ඇත්තේ ඉංගිරිසි ක්‍රිස්තියානි දැනුම් ආධිපත්‍යයක්. ඉංගිරිසියෙන් සිංහල සමාජය ගැන ලියන ලියූ අජිත් සමරනායක, මාලින්ද සෙනෙවිරත්න, උදිත දේවප්‍රිය ආදීන් තමයි ඉංගිරිසි කියවන සිංහල විද්වතුනට ප්‍රමිතීන් සපයන්නේ. ඉංගිරිසියෙන් ලියන්නන්ට මාර්ටින් වික්‍රමසිංහ අමරසේකර ආදීන් ප්‍රබුද්ධයන්.

 

මේ මහාචාරයවරුන් දෙදෙනාගෙන් එක් අයකු සම්භාවනීය ඉතිහාසඥයෙක්. අනෙක් තැනැත්තා මෙටාවේ එතරම් ප්‍රසිද්ධ චරිතයක් නොවුවත් මොටාවෙ සම්භාවනාවට පත් වූ සමාජ විද්‍යාඥයෙක්. ඉතිහාසඥයා නිර්මාල් දේවසිරි. සමාජ විද්‍යාඥයා  ප්‍රේමකුමාර සිල්වා. මේ ඔවුන්ගේ ප්‍රතිචාර.

 

“"අරුන් සමග ඇති වු සාකච්ඡාවේ දී මා තේරුම්ගත් ප්‍රධාන කාරණය වුණේ මෙරට සිංහල ජාතිය සමග දෙමළ ජනකොටස්වලට එකතු වීමට ඇති ප්‍රධාන මාර්ගය වැටී ඇත්තේ බුදුදහම හරහා බව.“ - නලින් සිල්වා

මං හිතන්නෙ මේ වැඩේ කරල පෙන්නන්න වෙනව. ඕක ආණ්ඩුවක අනුග්‍රහය යටතෙ කරන්න බැරි වුනානෙ. දැනටමත් කරනව කට්ටිය. ඒත් ඒවට දෙමළ ජනයාගෙන් නං දැනට ලොකු සපෝට් එකක් නැහැ. දෙමළ සමාජයේ ඉන්න අපි වගේ ද්‍රෝහීන් ටික දෙනෙක් තමයි සපෝට් කරන්නෙ. අභියෝගය තියෙන්නෙ පොදු දෙමළ ජනයා අතරටබුදු දහමගෙනිහින් මේ වැඩේ කරන්න පුළුවන් දෙයක් කියල පෙන්නන එක. ආයෙත් සිංහල-බෞද්ධ ආණ්ඩුවක් එනකල් ඉන්න වුනොත් නං ඉතින් සෑහෙන් කාලයක් ඉන්න වෙනව. ආවත් චමිපික නායකත්වය දෙන ආණ්ඩුවක් තමයි."

 

"Premakumara de Silva

 

ඕකේ අනික් පැත්ත වෙලා තියෙන්නේ එනම් හින්දු භක්තිවාදය 'බුදුදහාම' ආක්‍රමණය කරලා තියෙන්නේ."

 

නිර්මාල් කලින් කියා තිබුණා මා හා අරුන් අතර ඇති වූ සංධානයක් ගැන. දෙදෙනකු හමුවීම සංධානයක් නම් දැනට අවුරූදු තිහකට පමණ පෙර නිර්මාල් අප නිවසේදී මා හුමුවීම සංධානයක් වෙන්න ඕන. ඔහුට නම් අවශ්‍ය වුණේ මා සමග එකට වැඩ කරන්න, එහෙත් අරුන් එවැන්නක් කතා කෙළේ නැහැ.

 

මගේ ජීවිතයේ ස්වර්ණමය අවධිය මා කොළඹ මොටාවෙ ගත කළ අවුරුදු දහතුනක් පමණ  කාලය. එකල එහි උගත් නිර්මාල් ප්‍රේමකුමාර ධම්ම දිසානායක සරත් විජේසුරිය තිස්ස කුමාර අගලකඩ සිරිසුමන හිමි ජගත් වැල්ලවත්ත ලියනගේ අමරකීර්ති සමන්ත හේරත් ලලිතසිරි ගුණරුවන් ආදීන් ශාස්ත්‍ර පීඨවල මහාචාර්යවරු ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරු. ඔවුන්ගෙන් ගුණරුවන් විද්‍යා පීඨයේ උගත්තෙක්. ඔහු ජාතිකවාදියෙක්. එහෙත් ඔහු හා මා අතර විශාල වෙනස්කම් තියෙනවා. මා හිතන්නේ ඔහුගේ ජාතිකවාදය මගේ ජාතිකවාදයට වඩා අමරසේකරගේ ජාතිකවාදයට සමීප කියා. ඔහු අනෙක් අය මෙන් සමාජයෙ සම්භාවනාවට පාත්‍ර වූ අයෙක්. ඔහු කියන දේට ජනතාව සවන් දෙනවා.

 

මා අවුරුදු තිස්පහකට වැඩි කාලයක් නූතනත්ව ආධිපත්‍යයට විරුද්ධයි. නිර්මාල් මා හමුවීමට පැමිණියේ ඔවුන් ඊනියා පශ්චාත්නූතනවාදීන් වීමෙන් පසුව මා සමග එකට වැඩ කිරීමට ආරාධනා කිරීමට. එහෙත් මා ඊනියා පශ්චාත්නූතනවාදයටත් එදා විරුද්ධ වුණා. අද පශ්චාත්නූතනවාදයට විරුද්ධ වෙන්න අවශ්‍ය නැහැ. එය ස්වාභාවික මරණයකට පත් වෙලා. අදත් ඇත්තේ නූතනත්වයක් මිස ඊනියා පශ්චාත්නූතනත්වයක් නො වෙයි. ඇතැම් පශ්චාත්නූතනවාදීන් මගේ නූතනත්ව ආධිපත්‍ය විරෝධී අදහස් දුටුවේ පශ්චාත්නුතනවාදී අදහස් ලෙස. මට මතකයි වරක් ලියනගේ අමරකීර්ති පුවත්පතකට ලියා තිබුණා තමන් ඇමරිකාවේ දී උගත් සමහර දේ මගෙන් කලින් අසා තිබූ බව.

 

නිර්මාල්ගේ සංධාන ගැන ඉතිහාසය ගැන කියන්න අවශ්‍ය නැහැ. සිංහල බෞද්ධ විරෝධියකු වූ ඔහු මෙන් නොව අරුන් සිද්ධාර්ථන් දෙමළ හින්දු විරෝධියෙක් නො වෙයි. අරුන් වෙල්ලාලයන්ට විරුද්ධ නැහැ. ඔහු විරුද්ධ වන්නේ වෙල්ලාලවාදයටයි.ඔහු ඊනියා නිරාගාමිකයකු නො වෙයි. ඔහු පඬි නැට්ටෙක් නො වෙයි.

 

මට නිර්මාල් කියන දේ ගැන කතා කරන්න අවශ්‍ය නැති වුවත් ප්‍රේමකුමාර සිල්වාගේ සමාජවිද්‍යාව ගැන කතා කරන්න ඕන. අර "හින්දු භක්තිවාදය බුදුදහාම ආක්‍රමණය කිරීම" මොන තරම් බුද්ධිමත් ප්‍රකාශයක් ? අපි වෛදික ආගම් හින්දු ආගම බුදුදහම හා බුද්ධාගම ගැන හැකි වුණොත් හෙට කතා කරමු.  මා සමාජ විද්‍යාඥයකු නොව භෞතික විිද්‍යාඥයකුවත්  වීමට නොහැකි වූ අයෙක්. මා හිතන්නේ නැහැ මට කිසි දා ශාස්ත්‍ර පීඨයකට ඇතුල් වීමට සුදුසුකම් ලබන්නවත් පුළුවන්කමක් තිබුණා කියා. ඒකට කමක් නැහැ. අපි කතා කරමු.