පීඨාධිපති කෝලම
මෙරට ප්‍රශ්නය දේශපාලනඥයන්ගේ ම නො වෙයි. ඔවුන් ද යම් ප්‍රමාණයකට ප්‍රශ්නයට සාධකයක් වී ඇති බව පැහැදිලියි. එහෙත් මෙරට මූලික ප්‍රශ්නය උගතුන්ගේ. අද පරිපාලනයේ ඉන්නේත් ඒ උගතුන්ගෙන් කොටසක්. මොටාව කරගෙන යන්නේ උගතුන්. මෙටාවෙත් විශාල ප්‍රමාණයක් උගතුන්. අද මෙරට වැටී ඇති තත්වය දැන ගැනීමට මෙටාවට යෑම ප්‍රමාණවත්. අවශ්‍ය ම නම් මොටාවල දේශනවලටත් සහභාගි වී බලන්න පුළුවන්.
මෙයින් කියැවෙන්නේ නැහැ මෙරට මොටාවකට නොගිය අය ප්‍රශ්නයට දායක වන්නේ නැහැ කියා. මෙරට මොටාවකට යෑමට නොහැකි වූ අය විවිධ ක්‍රමවලින් ඉන්දියාවේ එංගලන්තයේ ඇමරිකාවේ එකල සෝවියට් දේශයේ චීනයේ පමණක් නොව නේපාලය වැනි රටවල විවිධ ආයතනවලටත් යනවා. සමහරු දේශපාලන සම්බන්ධකම් උඩ යනවා. ඔවුන් සමහරු ආපසු එනවා. තවත් සමහරු ඇවිත් යනවා. ඔවුනුුත් මෙරට ප්‍රශ්නයට දායක වෙනවා. ඔවුන්ගෙන් ඇතැමකු තමන්ට මෙරට මොටාවකට යෑමට නොහැකි වීම නිසා ඇති වූ හීනමානය වසා ගැනීමට තමන් මෙරට මොටාවේ අයට වඩා දන්න බව පෙන්වන්න යනවා.
තවත්
සමහරු මෙරට මොටාවකට යන්න බැරි වී පිටරට ගොස් ඉගෙනීමටත් අවස්ථාවක් නොලැබ බාහිර උපාධි ලබා ගන්නවා. ඔවුන්ගෙනුත් රටේ ප්‍රශ්නයට දායකත්වයක් තියෙනවා. තවත් සමහරු බාහිර උපාධියක්වත් ලබා ගැනීමට නොහැකි ව තමන් ඊනියා ගවේෂකයන් බව දැනෙන්න සලස්වමින් බොරු පාණ්ඩිත්‍යයක් පෙන්වනවා. මේ අයගෙනුත් සමහරු තමන්ට මොටවෙ අයට වඩා උගත්කමක් ඇති බව පෙන්වීමට විශාල මහන්සියක් ගන්නවා. තමන් කියවා ඇති පොතපත මොටාවෙ කියවා ඇත්තේ කවුරුන් ද යන්න ඔවුන් අසන සුලබ ප්‍රශ්නයක්.
මා
මේ සියලු ආකාරවල උගඅතුන් ආශ්‍රය කරලා තියෙනවා. එහෙත් මට තවමත් බුද්ධිමතකු හමු වෙලා නැහැ. මට එංගලන්තයේ දී නම් බුද්ධිමතුන් හමු වී තියෙනවා. මා ඕස්ත්‍රේලියාවේ
දී බුද්ධිමතුන් දැක නැහැ. ඒත් මට හමු නොවූ බුද්ධිමතුන් ඉන්න ඇති. මා සේවය කළ ස්වින්බර්න් අයතනයේ නම් බුද්ධිමතුන් හිටියේ නැහැ. සමහර විට අද ඉන්නවා වෙන්න පුළුවන්. මගේ මිතුරකු අලුත් අවුරුද්දට සුබ පැතුමක් එවමින් කියා තිබුණේ දැන් ස්වින්බර්න් විශ්වවිද්‍යාලය
තාරකා භෞතිකය අතින් ඉදිරියට පැමිණ ඇති බවයි. මා මලාවියෙ විශ්වවිද්‍යාලයේත්
ටික කලක් සේවය කළා. එතැනත් බුද්ධිමතුන් හිටියේ නැහැ. ඇමරිකාවේ දී බුද්ධිමතුන් හිටියත් හමු වී නැහැ. එහි දී මට හමුවන්නේ සිංහලයන් පමණයි.
අපට
එකල රහතන් වහන්සේ ඉන්න ඇති. එහෙත් උන්වහන්සේලා සසර කෙළවර කළ උත්තමයන් වහන්සේ. උන්වහන්සේ අතරින් සැරියුත් හාමුදුරුවන්ගේ මෙන් ප්‍රඥාවක් තිබූ රහතන් වහන්සේ නමක් මෙරට වැඩ සිටියේ යැයි මා හිතන්නේ නැහැ. රහත් වීම හා බුද්ධිමතකු වීම එකක් නොව දෙකක්. මා දකින විධියට නම් රහත්
වීම කියන්නේ දැනුම අත්හැරීම. බුද්ධිමතුන් කරන්නෙ දැනුම අභිසංස්කරණය නැත්නම් සාමාන්‍යයෙන් කියන විධියට දැනුම නිර්මාණය කිරීම. ඒ රහතන් වහන්සේ අතර පිරිනිවන් පානා තෙක් විවිධ
දක්‍ෂතා ඇති උත්තමයන් වහන්සේ වැඩ ඉන්න ඇති.
මෙරට
භික්‍ෂූන් වහන්සේ රජවරුන්ට අනුශාසනා කළා. ට්රෙවෝ ලිං කියන විධියේ රජු භික්‍ෂූන් වහන්සේ ජනයා අතර ත්‍රිකෝණාකාර සම්බන්ධයක්වත් කනිංහැම් කියන ආකාරයේ දේවතන්ත්‍රයක්වත්
(තියෝක්‍රසි) මෙරට තිබුණේ නැහැ. භික්‍ෂූන් වහන්සේ බුද්ධිමතුන් ලෙස නොවූවත් කාළාම සූත්‍රයේ සඳහන් විඤ්ඤුන් ලෙස රජුට අනුශාසනා කළා.
විසිවැනි සියවසේ දෙවැනි දශකයේ සිට මෙරට භික්‍ෂූන් වහන්සෙගේ විඤ්ඤූත්වය නැති වුණා. ඊනියා ගිහි උගත්තු භික්‍ෂූන් වහන්සේ විස්ථාපනය කළා. මේ උගතුන් බටහිර ක්‍රිස්තියානි අධ්‍යාපනයේ ප්‍රතිඵල. ඔවුන්ට ඇත්තේ අනුකාරකත්වය පමණයි. ඔවුන්ට අනන්‍යතාවක් නැහැ. අභිමානයක් නැහැ. අලුත් දෙයක් කරන්න බැහැ. බාහිරින් ගත් දෙයක් අපේ සංස්කෘතියට අවශෝෂණය කරන්න බැහැ. ඔවුන් අඩු තරමෙන් තමන් ඉගෙන ගන්න දේවත් හරියට දන්නේ නැහැ.
ඇතැම්
මොටාවක අවුරුදු එකහමාරට පීඨාධිපතිවරු පත් කර ගන්නේ විශ්වවිද්‍යාල පනතේ පීඨාධිපතිවරයකු
අංශ ප්‍රධානීන් අතරින් අවුරූදු තුනකට පත් කර ගත යුත්තේය කියා තිබිය දී. කාට හරි අහන්න පුළුවන් යමකු අවුරුදු තුනක් ජීවත් වෙනවා ද කියා නිශ්චිත ව කියන්න පුළුවන් ද කියා. ඒ උගතුන්ගේ බොරු ළාමක තර්කයක් පමණයි. යමකු අවුරූදු තුනක් නොව තව දවසක් ජීවත් වන්නේ ද කියා දන්නේ නැතුවයි අප විවිධ තනතුරුවලට පුද්ගලයන් බඳවා ගන්නේ. එහෙත් අප බලාපොරොත්තු වෙනවා අවුරුදු තුනක් රාජකාරිය කරාවි කියා. ඒ අතරතුර අදාළ පුද්ගලයා ඉල්ලා අස්වෙන්නත් පුළුවන්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති වූ දා මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් ඉල්ලා අසවණේ ඔහු වැන්නකු යටතේ සේවය කිරීමට නොහැකි බව පවසමින්.
මා
අද උදේ ජාතික රූපවාහිනියේ ශනිදා ආයුබෝවන් වැඩ සටහන නැරඹුවා. එසේත් නැත්නම් නැරඹිමට ලැබුණා. සෞන්දර්ය විශ්වවිද්‍යාලයට සම්බන්ධ පිරිසක් සහභාගි කර ගනිමින් ඒ වැඩ සටහන නිෂ්පාදනය කෙරී තිබුණෙ. සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ
හින්දුස්ථානි සංගීතයට අමතර ව ජන සම්ප්‍රදායත් ඉගැන්වෙනවා. එය මොටාවක් ම නො වෙයි. ඒ වැඩ සටහනෙහි කෝලම් ගැන ජන ගායනා ගැන සඳහන් වුණා. මා දන්නා තරමින් කෝලම් ලැබුණෙ කේරළයෙන්. එහෙත් අප සමත් වෙලා තියෙනවා ඒ අපේ කර ගන්න. වැදගත්කම ඇත්තේ එතැනයි. ඇතැම් නැලවිලි ගීයක නාද රටාව වංගයෙත් (බෙංගාලයේත්) තියෙන්න පුළුවන්. එහෙත් අපට ඇසෙන්නේ සිංහල ගීයක්. අප අවශෝෂණය යනුවෙන් හඳුන්වන්නේ බාහිරින් ලැබෙන දේ අපේ කර ගැනීමයි.
අද
අප සමස්තයක් ලෙස ගත් කල හුදෙක් බටහිර ඉංගිරිසි ක්‍රිස්තියානි අධ්‍යාපනයේ අනුකාරකයන් පමණයි. මෙරට
මොටාවල ඉන්නේ දඬු අනුකාරකයන්. හිතන්න බැරි අය. ඔවුන් විශ්වවිිද්‍යාල පනතවත් කියවන්නෙ නැහැ. පීඨාධිපති තෝරන්නෙ කොහොමද කියාවත් දන්නෙ නැහැ. ශනිදා ආයුබෝවන් වැඩ සටහනේ ලේකම් කෝලම කියා අලුත් කෝලමක් පෙන්නුවා. මෙරට ප්‍රශ්නයට වග කිවයුතු අනුකාරක උගතුන් ගැන කියන්න ඉදිරියේ දී පීඨාධිපති කෝලමක් ඉදිරිපත් කරන්න පුළුවන් නම් හොඳයි.