නික්ම යෑමට පෙර
අදින් අවුරුදු හැත්තෑපහකට කලින් නරක මිනිහෙක් උපන්නා. ඒ මම. බොහෝ දෙනා මගේ නරක ගතිගුණ දන්නවා. ඒත් ඔවුන් දන්නේ ටිකයි. මගේ නරක ගතිගුණවලට දෙම්ව්පියන් වග කිවයුතු නැහැ. ඔවුන් අප හදා වඩා ගන්න බොහෝම දුක් වින්දා. සිංහල ගුරුවරුන් වූ ඔවුන්ට ලොකු වැටුපක් ලැබුණේ නැහැ. දරුවන් අට දෙනකු ලොකු මහත් කරන එක ලෙහෙසි පහසු වැඩක් නොවෙයි. මගේ දෙමව්පියන්ට අවශ්‍ය වුණේ මා විශේෂඥ වෛද්‍යවරයකු කරන්න. මා එයට අකමැති වූ විට ඔවුන්ට මා ඉංජිනේරුවකු කිරීමට අවශ්‍ය වුණා. මා එයටත් කැමති වුණේ නැහැ. එවිට ඔවුන් මා පරිපාලන සේවයට (එකල සිවිල් සේවය) බැඳේවි යැයි සිතුවා. එහෙත් මට එයත් අවශ්‍ය වුණේ නැහැ. මට අවශ්‍ය වුණේ විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරයකු හා විද්‍යාඥයකු වීමට. ඒ අවුරුදු පහළොවේ සිට මගේ කැමැත්ත. එහෙත් එය ඉටු කර ගන්න මට බෑරි වුණා. කථිකාචාර්යවරයකු නම් වුණා. ඒත් එක් වතාවක අවුරුදු දෙකකුත් දෙවැනි වතාවේ අවුරුදු දහයකුත් මට ඒ රැකියාව අහිමි වුණා. විද්‍යාඥයකු වීමට මට බැරි බව තේරුම් ගත්තා. ඒක ලොකු දෙයක්.