Main Logo

Thursday, 23 November 2017

හිතට වධ දෙන ප්‍රශ්න

හිතට වධ දෙන ප්‍රශ්න

ඊයේ (විසිදෙවැනි දා) ලිපියෙහි සඳහන් ජෝන් වීලර්ගේ සිතට වධ දුන් ප්‍රශ්නය හැරුණු විට තවත් සිතට වධ දෙන ප්‍රශ්න තිබෙනවා. එකක් තමයි මට අනෙක් අයට තේරෙන විධියට යමක් කීමට නොහැකි වීම. වීලර් ආචාර්ය උපාධි හතළිස්පහක පමණ උපදේශක වී සිටියා. එමෙන් ම ෆයින්මාන් ඇතුළු නොබෙල් ත්‍යාගලාභී කිහිප දෙනකු ම ඔහුගේ ශිෂ්‍යයන්. මගේ ශිෂ්‍යයන් බොහෝ දෙනකු අද ඉන්න තැන් බැලුවම කියන්න පුළුවන් ඔවුන්ට මා කී කිසිවක් තේරී නැති බව. එය ඔවුන්ගේ වරදක් වෙන්න බැහැ. තවත් වධ දෙන ප්‍රශ්නයක් නම් සිංහල ජාතියේ අනාගතයයි. අද අපට නායකයකු නැහැ. මුහුණු පොතේ ඉන්න අය කියාවි නායකයන් ඉන්නවා කියා. ඒත් මුහුණු පොත් ප්‍රතිචාර මා කියවන්නේ ඉතා අකමැත්තෙන්. ඔවුන් ප්‍රශ්න දෙස බලන්නේ ඉතා මතුපිටින්.

Wednesday, 22 November 2017

දියගොඩ සැමතැන පෙර ද පසු ද

දියගොඩ සැමතැන පෙර ද පසු ද

ක්වොන්ටම් භෞතිකයේ ද්විත්ව සිදුරු පරීක්‍ෂණය ගැන ඇතැමුන් දන්නවා.  භෞතික විද්‍යාව පිළිබඳ නොබෙල් ත්‍යාගලාභී රිචඩ් ෆයින්මාන් එය තේරුම් ගැනීමට නොහැකි බව ප්‍රකාශ කළා. එහි ඉතිහාසය තරංගවාදය කරා දිව යනවා. තහඩුවක සිදුරු දෙකක් තුළින් ආලෝක ධාරාවක් යවා එය තිරයක් මත පතිත කරවීම මෙහි මූලික කටයුත්ත. එසේ කිරීමේ ප්‍රතිඵලයක් ලෙස තිරයේ රටා නිර්මාණය වෙනවා. මේ රටා තේරුම් කර දුන්නේ, මතක තබා ගන්න තේරුම් කර දුන්නේ, තරංගවාදය මගින්. පසුව ප්ලෑන්ක් ක්වොන්ටම් අදහස ඉදිරිපත් කළා. අයින්ස්ටයින් ෆෝටෝනය යන සංකල්පයට පසුබිම සකස් කළා. ඉන් පසු ආලෝකය ෆෝටෝන ලෙසත් තේරුම් කෙරුණා.

Tuesday, 21 November 2017

මැතිවරණ දේශපාලනය හා බැඳුම්කර මගඩිය

මැතිවරණ දේශපාලනය හා බැඳුම්කර මගඩිය

බැඳුම්කර කොමිසමේ සාක්කි විභාගය අවසන්. එහි වාර්තාව තව සති තුනකින් පමණ නිකුත් වේය කියා හිතනවා. කොමිසමට කළ හැක්කේ නිර්දේශ කිරීම පමණයි. වරදකරුවන් කවුදැයි නිගමනය කිරීම කොමිසමේ කාර්යයක් නො වෙයි. රනිල් කොමිසමට ලිඛිත ව මෙන් ම වාචික ව ද කරුණු දක්වා සිටියා. ඔහු තමන් කරන්නේ කුමක් ද යන්න දන්නා එකම දේශපාලනඥයා. ඔහු මහජන මතයට ගරු කරන්නේ නැහැ. එහෙත් සමහර විට මහජන මතය ඉදිරියේ අඩියක් පස්සට ගන්නවා. ඒ අඩි දෙකක් ඉදිරියට තැබීමේ බලාපොරොත්තුවෙන්.

Monday, 20 November 2017

සත්භාවවේදයට එරෙහිව ඥානවිභාගය

සත්භාවවේදයට එරෙහිව ඥානවිභාගය

පසුගිය දහසයවැනි බ්‍රහස්පතින්දා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයනාංශය මගින් ඉහත සඳහන් තේමාවෙන් සමුළුවක් සංවිධානය කර තිබුණා. එය එකී අධ්‍යයනංශයෙහි ප්‍රධානී  ආචාර්ය චරිත හේරත්ගේ මෙහෙයවීමෙන් පැවැත්වුණේ. මා හිතන්නේ අධ්‍යයනාංශයත් ශාස්ත්‍ර පීඨයත් එහි දී විශාල කාර්යභාරයක් ඉටු කළ බව. ශාස්ත්‍ර පීඨාධිපතිතුමා ඇතුළු ඒ සියල්ලන්ට මගේ ස්තුතිය. සමුළුව පැවැත්වුණේ ලෝක දාර්ශනික දිනය සැමරීමට. විශ්වවිද්‍යාලයකින් මට අධ්‍යයනික දේශනයක් සඳහා ආරාධනයක් ලැබීම හාවා හඳ දැකීම වගේ වැඩක්. චරිත නොවන්නට මට මේ ආරාධනයත් නොලැබෙන බවත් මා දන්නවා.

Sunday, 19 November 2017

ගිංතොට සිද්ධි ඇති වන්නේ ඇයි?

 ගිංතොට සිද්ධි ඇති වන්නේ ඇයි?

ගිංතොට සිද්ධ වුණේ මොකක් ද කියන එක ජනමාධ්‍යයෙන් කියන්නේ නැහැ. එක්තරා වෙබ් අඩවියකට අනුව මෙය බයිසිකලයක යම් අයකු හැප්පීම නිසා හටගත්තක්. අවාසනාවකට මෙන් හැප්පීමට අමතර ව ඒ සිද්ධියට සම්බන්ධ වී ඇත්තේ එක ම ජාතියකට හෝ එක ම ජනවර්ගයකට අයත් දෙදෙනකු නො වෙයි. ප්‍රශ්නය තාවකාලික ව සමනයකට පත් වී ඇතත් දින දෙකකින් නැවත ඇවිළී ගිහින්.

Saturday, 18 November 2017

සංහිඳියාවේ දිග පළල

සංහිඳියාවේ දිග පළල

උතුරු පළාතේ අධ්‍යාපන ඇමති පාසල් උත්සවයක දී ජාතික කොඩිය එසවීම ප්‍රතික්‍ෂෙප කරලා. ඔහු මෙරට රටවැසියකු නො වේ ද? ඔහුගේ ක්‍රියාව අනුමත කළ හැකි ද? ඊනියා සංහිඳියාව වෙනුවෙන් අප එවැනි ක්‍රියා නොසැලකිය යුතු ද? මෙය ටික දිනකින් උතුරේ ජනතාවත් අමතක කරාවි ද?

Friday, 17 November 2017

බැඳුම්කරය හා මැතිවරණ දේශපාලනය

බැඳුම්කරය හා මැතිවරණ දේශපාලනය

අර්ජුන් ඇලෝෂියස් සමග දූරකතන සම්බන්ධකම් පැවැත් වු පාද සටහන් කරුවන් රාශියකගේ විස්තර හෙළි වෙලා. ඔවුන් මොනවා කතා කළා ද කියා අප දන්නේ නැහැ. සමහරවිට පෞද්ගලික කාරණා වෙන්නත් බැරි නැහැ. ඒත් අපට ප්‍රශ්න තියෙනවා. සැක තියෙනවා. ඒ සැක දුරු කිරීම පාද සටහන් කරුවන්ගේ මෙන් ම රවි කරුණානායකගේත් රනිල්ගේත් පමණක් නොව මෛත්‍රිපාලගේත් කාර්යයක්. 

මේ බැඳුම්කර මගඩියේ මුල මෛත්‍රිපාලත් ඉන්නවා. ඒ සම්බන්ධ පළමු කෝප් වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් වීමට ඔන්න මෙන්න තිබිය දී මෛත්‍රිපාල පාර්ලිමේන්තුව විසුරුවා හැරියා. ඒ බව අද වන විට බොහෝ දෙනාට අමතක වෙලා. ඒ පළමු කෝප් වාර්තාව ඉල්ලා මා ශ්‍රෙෂ්ඨාධිකරණයෙහි නඩුවක් ද පැවරුවා. එහෙත් එයට ගෙන ආ මූලික විරෝධයක් බොහෝ කලකට පසු අධිකරණය පිළිගත්තා. මූලික විරෝධයකටත් තීන්දුව දීමට මාස ගණනාවක් ගත වෙන අවස්ථා තියෙන බව ඉන් පැහැදිලි වුණා. මෛත්‍රිපාල හා රනිල් මැතිවරණ දේශපාලනය යොදා ගෙන බැඳුම්කර මගඩියෙන් පළමුව ගොඩ ආවා.