Main Logo

Saturday, 28 February 2015

ශ්‍රී ල නි ප කැඩී ඉවරයි

ශ්‍රී ල නි ප කැඩී ඉවරයි

අගමැති සිහිනය මවාගෙන ශ්‍රී ල නි පක්‍ෂය කඩා නොදමන ලෙස ඒ සිහිනය වඩාත්ම දුටු නිමල් සිරිපාල ද සිල්වා කියා ඇත. ඔහු අද මෛත්‍රිපාල සිරිසේනගේ විපක්‍ෂ නායකයා ය. මෛත්‍රිපාල ද ඒ වචනවලින් ම නොවුණත් එවැනි අදහසක් ප්‍රකාශ කරයි. ඔහු ද අගමැති සිහිනය තදින් ම දුටුවේ ය. මේ දෙදෙනා එක් ව හොරා හොරා යැයි කියන්නේ කාහට ද? අගමැතිකම වෙනුවෙන් ශ්‍රි ල නි පක්‍ෂය කැඩීමේ පාපකර්මයට ඔවුන් වගකිව යුතු ය. 

අද ශ්‍රි ල නි පක්‍ෂය කැඩීමට අවශ්‍ය නැත. එය කැඩී ඉවර ය. මෛත්‍රිපාල හා නිමල් සිරිපාල එය කැඩුවේ යැයි මම නො කියමි. ඔවුන්ට ඒ සඳහා ශක්තියක් නැත. එය කැඩුවේ සබරගමු පළාතේ ඊනියා යහපාලන ආණ්ඩුකාරයාග් පුත්‍ර රත්නය වූ ඩිලාන් පෙරේරා ද නො වේ. ඔහුට ද ඒ සඳහා ශක්තියක් නැත. ඔවුන්ට ශක්තිය නො තිබුණත් අද ශ්‍රී ල නි පක්‍ෂය මහින්ද පිළ හා මෛත්‍රිපාල පිළ යනුවෙන් කණ්ඩායම් දෙකකට කැඩී ඇත. 

එ කණ්ඩායම්වලට අමතර ව චන්ද්‍රිකා කණ්ඩායමක් ද ඇති වීමේ ප්‍රවනතාවක් තිබිණි ද අද වන විට ඒ සඳහා කිසිම ඉඩක් නැති බව පැහැදිලි ය. චන්ද්‍රිකා කණ්ඩායමක් ලංඩනයේවත් පිහිටුවිය නො හැකි ය. චන්ද්‍රිකා වරක් ඇගේ සැමියා වූ සිංහල බෞද්ධ විරෝධී විජය කුමාරතුංග සමග එකතු වී ශ්‍රි ල නි පක්‍ෂය දෙකඩ කළා ය. රාජිත ද විටෙක කුමාර් රූපසිංහ සමගත් විටෙක චන්ද්‍රිකා සමගත් බණ්ඩාරනායකලාට හා ශී්‍ර ල නි පක්‍ෂයට විරුද්ධ ව එකතු විය. ඒ සෑම අවස්ථාවක ම ශ්‍රී ල නි පක්‍ෂය ඇතුළතින් සිට ආරක්‍ෂා කළේ මහින්ද රාජපක්‍ෂ ය. පිටතින් සිට ආරක්‍ෂා කළේ දිනේශ් ගුණවර්ධන ය.  

ශ්‍රී ල නි පක්‍ෂය මෙරට ජාතිකත්වයේ පක්‍ෂය වෙයි. එය කැඩීමේ අවශ්‍යතාව සිංහල බෞද්ධ විරොධී කුමාර් රූපසිංහට විය. විජය කුමාරතුංගට විය. එහෙත් එයටත් වඩා විජාතික බලවේගවලට විය. කුමාර් රූපසිංහලා විජය කුමාරතුංගලා විජාතික බලවේගවල බළල් අත් පමණක් වූහ. අපි කිසි විටෙක ශ්‍රී ල නි පක්‍ෂයට හිස නැති කවන්ධයක් කියා අපහාස නො කෙරුවෙමු. ශ්‍රි ල නි පක්‍ෂයට හා මහින්ද රාජපක්‍ෂට එරෙහිව කිසිම විටෙක මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ඊනියා සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරය සමග එකතු නො වුනෙමු. 

ශ්‍රි ල නි පක්‍ෂය කඩනු ලැබුවේ ප්‍රධාන වශයෙන් ම ඉන්දීය ඔත්තු සේවය (රෝ) විසිනි. එහි දී යොදාගනු ලැබූ එක් පුද්ගලයකුට පසුගියදා බර්ග්හෝෆ් ආයතනයේ මැතිහත් වීමෙන් කටුනායක දී පැවැත්වූ ශ්‍රී ල නි ප මන්ත්‍රි වැඩමුළුවේ දී කුමාර වෙල්ගම (වාචික ව)  පහර දී ඇති බව පුවත්පත්වලින් කියවීමු. විජය කුමාරතුංගගේ මාමා කෙනකු වූ කාලෝ ෆොන්සේකා අතින් ද  පංචෙන්ද්‍රිය ගෝචර සංසිද්ධි මත පමණක් පදනම්වන බුද්ධිමතකු ලෙස හඳුන්වනු ලැබූ මොහු ඉන්දියාවේ පශ්චාත් උපාධියකට ඉගෙන ගත්තේ යැයි කියැවෙයි. දෙමළ ප්‍රශ්නය ගැන හා මානුෂීය මෙහෙයුම් ගැන ඔහු පොතක් ලියා ඇත්තේ ඉන්දීය දෘෂ්ටි කෝණයකිනි. බර්ග්හොෆ් ආයතනය සිංහල විරෝධය ගැන ප්‍රසිද්ධියක් උසුලයි. ඩිලාන් පෙරේරා හා ඔහු විසින් රැගෙන එනු ලැබුවේ යැයි කියන එ ජා පක්‍ෂයේ නීතිඥයා ගැන අමුතුවෙන් කිවයුතු නැත. 

කටුනායක වැඩමුළුව සංවිධානය කරනු ලැබුයේ ශ්‍රි ල නි පක්‍ෂයේ මෛත්‍රිපාල කණ්ඩායම විසින් බව පැහැදිලි ය. ඒ කණ්ඩායම පිටුපස නූතන කඩහපොළ හිමිවරු ද උන්වහන්සේලාගේ දායකයෝ ද රෝ ඒජන්තයෝ ද වෙති. නුදුරු අනාගතයේ දී ම ශ්‍රී ල නි පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨයන් දෙදෙනකුට ඇමතිකම් හිමිවන බවට රාවයක් වෙයි. ඒ කුමක් වුවත් මෛත්‍රිපාලට ශ්‍රී ල නි පක්‍ෂය එකතු කිරීමේ කිසිම අවශ්‍යතාවක් නැති බව පැහැදිලි ය. ඔහුට අවශ්‍ය ඇමතිකම් දීමෙන හෝ වෙනත් ක්‍රමයකින් හෝ තම ගොඩ වැඩි කරගෙන මහින්ද පක්‍ෂයෙන් එළවා දැමීම ය. තමාට අගමැතිකම නොදීමේ පළිය ඔහු ගන්නේ මහින්දගෙන් පමණක් නොව ශ්‍රී ල නි පක්‍ෂයෙන් ද ය. සිංහල ජාතිකත්වයෙන් ද ය. 

අද අමුතුවෙන් ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමට අවශ්‍යතාවක් නැත. ජාතික හෙළ උරුමයට කිසිම දවසක ජාතිකත්වයක් නො තිබිණි. ජනතා මිතුරෝ කාලයේ සිට ඔවුන් ක්‍රියාකර ඇත්තේ අවස්ථාවාදීව ය. අද කළ යුත්තේ හැකිනම් මෛත්‍රිපාල ශ්‍රී ල නි පක්‍ෂයේ සභාපතිකමෙන් ඉවත් කිරීම ය. ඔහු විධායක ජනාධිපති බලය හේතුවෙන් ඒ තනතුරට බටහිරයන්ගේ හා ඉන්දියාවේ පිහිටෙන් පත්වූවෙකි. දේශීය හා විදේශීය විජාතික බලවේගවලට අවශ්‍ය සිංහල ජාතිකත්වයේ පක්‍ෂය වූ ශ්‍රී ල නි පක්‍ෂය කඩා එය දුර්වල කිරීමට ය. අගමැති සිහිනය දකිමින් සිටි මෛත්‍රිපාල ඒ ක්‍රියාදාමයේ බළල් අතක් පමණකි.  

ශ්‍රී ල නි පක්‍ෂයට අනාගතයක් ඇත්තේ මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් පමණකි. තවදුරටත් ඔහු අගමැති අපේක්‍ෂක ලෙස ඉදිරිපත් කළ යුතු නැත. මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි ප නායකයන් කියන්නේ අගමැති අපේක්‍ෂක යනුවෙන් කෙනකු ඉදිරිපත් කරන්නේ නැති බව ය. එසේ නම් ඔවුන් කළ යුත්තේ ශ්‍රි ල නි පක්‍ෂයේ නායකත්වයට මහින්ද රාජපක්‍ෂ පත්කර ගැනීම ය. එවිට අගමැති අපේක්‍ෂක ප්‍රශ්නය නිරායාසයෙන් ම විසඳෙනු ඇත. ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වයට පත්කර ගත යුත්තේ අගමැති තනතුරක් නොලැබීම නිසා ඉන්දිය ඔත්තු සේවයට යට වී පක්‍ෂයේ ජනාධිපති අපේක්‍ෂකයාට විරුද්ධව මෙරට බටහිර නියෝජිතයා වූ එ ජා පක්‍ෂය ප්‍රමුඛ සංධානයක ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත් වූවකු ද නැත්නම් අවුරුදු හතළිහක පමණ කාලයක් පක්‍ෂය ආරක්‍ෂා කරගෙන සිටි තැනැත්තකු ද? 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 28

  

පළිගැනීම

පළිගැනීම

මේ ජී බී සේනානායකගේ කෘතිය පිළිබඳ විචාරයක් නො වේ. අවිචාරයෙන් ක්‍රියා කරන මෛත්‍රීපාලකයන්ගේ පළිගැනීම පිළිබඳ ව සටහනක් පමණකි. අද වන විට ආණ්ඩුවේ දින සියයෙන් දින පනහක් ගෙවී ගොස් ය. අද වන විට ආණ්ඩුව කර ඇත්තේ මොනවා ද? ඉටු කර ඇති පොරොන්දු කවරේ ද? දින සියය එකින් එක ගෙන කරුණු දැක්වීම අවශ්‍ය නො වේ. සාධාරණ වශයෙන් (පොදු යන අරුතින්) ආණ්ඩුව කර ඇත්තේ කුමක් ද? 

මේ ආණ්ඩුව යනු පාන්ඩුවක් යැයි අපි කීවෙමු. අද ඇත්තේ යහපාලනයක් නොව යමපාලනයක් යැයි ද අපි කීවෙමු. ඒ ආණ්ඩුවට දින විසිපහක් පිරීමට ද පෙර ය. පැහැදිලිව ම නුගේගොඩ රැස්වීමට පෙර ය. ආණ්ඩුව දන්නේ වැඩ දෙකක් පමණ ය. ඒ අනාගැනීම හා පළිගැනීම ය. අකිල විරාජ් කාරියවසම් මෙරට අධ්‍යාපන ඇමති ය. ඔහු දැන් ටයිපටියක් පැළඳ කබායක් අඳියි. එහෙත් ඔහුට බොහෝ දේ ඉගෙනීමට තිබේ. උසස් පෙළ පංතියට යෑමට සාමාන්‍ය පෙළ ගණිතය සමත්වීම කල්දැමීමට හැකි යැයි පසුගිය ආණ්ඩුව ගත් තීරණය අකිල විරාජ් වෙනස් කළේ ය. ඒ ගණිතය වැදගත් යැයි සිතෙන නිසා විය හැකි ය. එසේත් නැත්නම් පසුගිය ආණ්ඩුවෙන් පළිගැනීමට විය හැකි ය.  පසුගිය ආණ්ඩුවේ ඊනියා වැරදි කීම පළිගැනීමක් මිස වෙන කිසිවක් නො වේ. 

ගණිතය යනු උසස් පෙළට බටහිර විද්‍යාව ඉගෙනීමට බලාපොරොත්තුවන සිසුන්ට හැරෙන්නට අනෙක් අයට කිසිසේත් ම අනිවාර්ය විය යුතු නො වේ. බටහිර ගණිතය ඉගෙනීමෙන් නිරවුල් ව කල්පනා කිරීමට පුහුණුවක් ලැබෙන්නේ යැයි සිතන්නන්ට නිරවුල් ව සිතීමට නො හැකි ය. උදාහරණ වශයෙන් මා සමග ලිඛිත වාදවලට එළඹි අයගේ (මොවුහු වාචික විවාදවලට සහභාගි වීමට අකමැති වෙති) නම් ලැයිස්තුව ද වෙනත් පඬියන්ගේ නම් ද ඉදිරිපත් කළ හැකි ය.ඒ කුමක් වුවත් අකිල විරාජ් අනාගෙන ඇත. ආණ්ඩුව නැවතත් පරණ චක්‍රලේඛය වලංගු කර ඇත. 

ආණ්ඩුව විද්වත් සභාව යනුවෙන් කුමක්දෝ එකක් ඇටවී ය. එහි කැඳවුම්කරුවහන්සේ මාදුළුවාවේ සෝභිත හිමියෝ ය. එහෙත් උන්වහන්සේ නොදැන ම එහි රැස්වීම් හතරක් පවත්වා ඇත. සෝභිත හිමියන්ට රෝ ඔත්තු සේවයේ පිහිට ය. ජ වි පෙ නායක අනුර කුමාර දිසානායකට නම් විද්වත් සභාව ගැළපෙයි. ඒ එහි කිසිම විද්වත්කමක් නැති බැවිනි. 

ආණ්ඩුව අනාගැනීමට අමතර ව කරන්නේ තමන්ගේ දේශපාලන විරුද්ධකාරයන්ගෙන් පළිගැනීම පමණ ය. ඊනියා අතුරු අයවැය ජනතාවට අත්‍යවශ්‍ය යැයි කී කොත්තමල්ලි හා උම්බලකඩ සහන මිලකට දීම හැර තම දේශපාලන විරුද්ධකරුවන්ට අධික බදු පැනවීමට ගත් නීච උත්සාහයක් පමණකි. ඊනියා ධනපතියන්ට බදු පැටවීමට තරම් එ ජා පක්‍ෂය ධනපති විරෝධී නොවන බව අපි දනිමු. වැලි ගොඩ දමන්නන්ට එරෙහිව ගත් පියවර මෛත්‍රී සිතින් ගත් එකක් නොවන බව පොළොන්නරුවේ වැසියෝ දනිති. 

විවිධ චෝදනා මත දේශපාලන විරුද්ධකරුවන් අත්අඩංගුවට ගැනීම් කීයක් පසුගිය දින පනහේ දී අපි දුටුවෙමු ද? ඒ බොහෝ දෙනාට, සියල්ලට ම පාහේ, ඇප දීමට අධිකරණයට සිදුවෙයි. ගත් ගමන් බලපත්‍ර ආපසු දීමට සිදුවෙයි. අනුර කුමාර ඒ පිළිබඳ අධිකරණ ඇමතිට චෝදනා කරයි. එහෙත් එය අධි මාධ්‍ය සංදර්ශනයෙහි තවත් දිග හැරීමක් පමණකි. 

වැඩිකල් නොගොස් ආණ්ඩුව ආණ්ඩුවේ ම අයගෙන් පළිගන්නා දිනය උදාවනු ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට මෛත්‍රිපාලගේ ශ්‍රී ල නි පක්‍ෂය ද විරුද්ධ ය. දින සියය පිළිබඳ දැන් පරස්පර කතා ආණ්ඩුවේ ලොක්කන්ගේ කටවලින් පිටවෙයි. අප්‍රියෙල් විසිතුන්වැනි දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම පිළිබඳ යුද්ධය ආරම්භ වී ඇත. වඩාත් භයානක පළිගැනීම් ඉදිරියට ය. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 28

Friday, 27 February 2015

මෛත්‍රීට පුළුවන් ද ?

මෛත්‍රීට පුළුවන් ද?

රටක ජනාධිපතිවරයකු ද සිරකරුවකු වීමට හැකි ය. අද මෛත්‍රිපාල සිරිසේන එ ජා පක්‍ෂයේ සිරකරුවෙකි. ඔහු ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට විවිධ පාර්ශ්ව කටයුතු කළ බව රහසක් නො වේ. ඒ අතර විදේශීය ඔත්තු සේවා ද තානාපති (මහා කොමසාරිස්) කාර්යාල ද විය. ඔවුන්ට අවශ්‍ය ව තිබුණේ මහින්ද රාජපක්‍ෂ පැරදවීම මිස මෛත්‍රිපාල සිරිසේන ජනාධිපති කරවීම නො වේ. මහින්ද රාජපක්‍ෂ පරාජය කිරීම යනු මෛත්‍රිපාල සිරිසේන ජයග්‍රහණය කරවීම නො වේ දැයි කාරණාකාරයකු ප්‍රශ්න කිරීමට ඉඩ ඇත. එය තර්කයක් ලෙස ඇත්තක් ලෙස පෙනී යයි. එහෙත් මෛත්‍රිපාල සිරිසේන වෙනුවට නිමල් සිරිපාල ආදේශ කළත් එය වලංගු වීමට තිබිණි. 

මේ පාර්ශ්වවලට අවශ්‍ය ව තිබුණේ් ඔවුන්ගේ වචනවලින් කියන්නේ නම් රාජපක්‍ෂ රෙජිමය පරාජය කිරීම මිස අහවලා දිනවීම නො වේ. අහවලා කවුරුන් වුවත් ඔවුන්ට ප්‍රශ්නයක් නො වී ය. මහින්ද රාජපක්‍ෂ පරාජය කළ හැකි හොඳම අපේක්‍ෂකයා තෝරා ගැනීම ඔවුන්ගේ ප්‍රශ්නය විය. යම් කිසි පුද්ගලයකු තෝරා ගෙන ඔහු ජනාධිපති කළ යුතු ය යන හැඟීමක් ඔවුන්ට ප්‍රායෝගික ව ගත්කල නො තිබිණි. 

ප්‍රායෝගික ව ගත්කල යනුවෙන් මා කියන්නේ ඔවුන්ගේ අපේක්‍ෂකයා වූ රනිල් වික්‍රමසිංහට ජයගැනීමට නොහැකි බව ඔවුන් යම් අවබෝධයකින් පසු වූ නිසා ය. ඔවුන්ට මහින්ද රාජපක්‍ෂ පරාජය කර රනිල් වික්‍රමසිංහ ජයග්‍රහණය කරවීමට අවශ්‍ය විය. එහෙත් ඒ දෙක ම එක්විට කළ නොහැකි බව ඔවුහු දත්හ. එබැවින් ඔවුන්ට අවශ්‍ය වූයේ වෙනත් කවුරුන් ලවා මහින්ද රාජපක්‍ෂ පරාජය කරවා රනිල්ට පසුව විධායක බලතල ලබා දීම ය. එනම්  රනිල් පළමුව අගමැති කර පසුව ව්‍යවස්ථා සංශෝධනයක් මගින් අගමැතිට විධායක බලතල පැවරීම ය. 

රනිල් අගමැති කිරීමට තිබූ හදිසිය මෛත්‍රිපාල ජනාධිපති කිරීමට තිබූ වුවමනාවට වැඩි විය. ඒ නිසා ම දෝ ව්‍යවස්ථානුකූල ව රනිල් අගමැති ලෙස පත්කර ගැනීමට නොහැකි විය. කලබලය නිසා රනිල් පික්පොකට් අගමැතිවරයකු ලෙස පත්විණි. කෙසේ වෙතත් එතැන දක්වා නීත්‍යානුකූල ව නොවුනත් සැලැස්මට අනුව කටයුතු කෙරිණි. දැන් ඇත්තේ සැලැස්මේ ඉතිරි කොටස ක්‍රියාත්මක කිරීම ය. රනිල් ට අද අවශ්‍ය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ඒ බලතල අගමැතිට පැවරීම ය. එහෙත් එය කරගන්නේ කෙසේ ද? මෛත්‍රිපාල සිරිසේන දැන් අවුරුදු හයකට ජනාධිපති ය. 

මෛත්‍රිපාලට තම විධායක බලතල අහිමි කර ගැනීමට දැන් අවශ්‍යතාවක් නැත. ඔහු ශ්‍රී ල නි පක්‍ෂයේ ඔහු විසින් පත්කරන ලද නායකයන් ලවා විවිධ ඉල්ලීම් ඉදිරිපත් කරයි. ශ්‍රී ල නි පක්‍ෂය විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනු තබා බලතල අඩු කිරීමට ද අද එකඟ නැත. බලතල අඩු කිරීමට නම් වෙනත් යෝජනා ද සමගාමී ව ක්‍රියාත්මක විය යුතු යැයි ශ්‍රී ල නි පක්‍ෂය කියන්නේ එබැවිනි. මැතිවරණයට පෙර ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටත් වැදගත් ඇමති ධුර පහක් සහිත ව තවත් ඇමති ධුර තමන්ට ලැබිය යුතු යැයි මෛත්‍රිපාලගේ  ශ්‍රී ල නි ප නායකයෝ කියා සිටිති. එහෙත් රනිල්ට අවශ්‍ය  මැතිවරණයෙන් පසු ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට ය.

රනිල්ට ඒ කටයුතු සියල්ල කරගැනීම සඳහා අප්‍රියෙල් විසිතුන්වැනි දාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අවශ්‍ය වෙයි. එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ජනාධිපතිට ය. ජනාධිපතිට රනිල්ට ඇහුම්කම් නොදී අප්‍රියෙල් විසිතුනට පසු පාර්ලිමේන්තුව විසුරුවා නොහැර සිටීමට ප්‍රළුවන් ද? අප්‍රියෙල් විසිතුනට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට විදේශිකයන් ද බලපෑම් කරනු ඇත. මෛත්‍රිපාලට ඒ බලපෑම්වලට නොසැලී මුහුණ දිය හැකි ද? 

එසේ මුහුණ දීමට හැකි ක්‍රමයක් ඇත. ඒ මහින්ද රාජපක්‍ෂ පාර්ලිමේන්තුවට පත්කර ඔහු අගමැති කර වෙනත් අමාත්‍ය මණ්ඩලයක් පත්කර ගැනීමෙනි. බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ බලපෑම් ඉදිරියේ නොසැලී සිටීමේ ශක්තිය මහින්දට ඇත. මෛත්‍රිපාල එයට සූදානම් ද?

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 27
    

රණවිරුවන්ට එරෙහිව දෙමළ ජාතිවාදී සාක්‍ෂිකරුවන් සුරැකීම

රණවිරුවන්ට එරෙහිව දෙමළ ජාතිවාදී සාක්‍ෂිකරුවන් සුරැකීම

දින කිහිපයකට පෙර ආණ්ඩුව සාක්‍ෂිකරුවන් ආරක්‍ෂා කරගැනීමේ පණතක් සම්මත කර ගත්තේ ය. බැලූ බැල්මට එය ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයට එකඟ ය. ආණ්ඩුවේ විපක්‍ෂය ද සැබෑ විපක්‍ෂය ද පණතට පක්‍ෂ විය. එහෙත් පණත කුමක් සඳහා ද? එය තේරුම් ගෙන ඇත්තේ ඉන්දියාවේ එන්ඩීටීවී ආයතනය ය. ඔවුන්ගේ වෙබ් අඩවියේ පෙබරවාරි 20 වැනි දා ඒ පිළිබඳ නියම තත්ත්වය පැහැදිලි කර ඇත.

පණතෙහි අරමුණ ඊනියා ප්‍රජාතන්ත්‍රවාදයක් රැකීම හෝ මානව අයිතිවාසිකම් සුරැකීම හෝ නො වේ. ආණ්ඩුවටත් දෙමළ ජාතිවාදීන්ටත් ඉන්දියාවටත්, නූතන කඩහපොළ හිමියන්ටත් අවශ්‍ය දෙමළ ජාතිවාදී රායප්පු ජෝසෆ් හා ඔහුගේ සගයන් සුරැකීම ය. මෙහි දී ආණ්ඩුව යනු රනිල් වික්‍රමසිංහගේ එ ජා ප මෙන් ම මෛත්‍රිපාල සිරිසේනගේ ශ්‍රී ල නි පක්‍ෂයත් ය. මේ පණත පිටුපස එංගලන්තය ප්‍රමුඛ බටහිරයන් හා ඉන්දියාව ඇති බව පැහැදිලි ය. 

පණත කඩිමුඩියේ ගෙනාවේ ආණ්ඩුව ඊනියා මානව හිමිකම් කඩවීම් පිළිබඳ අභ්‍යන්තර පරීක්‍ෂණය ආරම්භ කිරීමට පෙර බටහිරයන්ගේ ඉන්දියාවේ හා දෙමළ ජාතිවාදයේ අවශ්‍යතාවට ය. පණතෙන් කෙරෙන්නේ මූලිකව ම රණවිරුවන්ට, මහින්ද රාජපක්‍ෂට හා ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව පැවැත්වීමට යන මේ යමපාලන පරීක්‍ෂණයේ දී බොරු සාක්‍ෂිකරුවන්ට ආරක්‍ෂාව සැපයීමට ය. ඒ බව එන්ඩීටිවි වෙබ් අඩවියේ පළ වී ඇති නියෝජ්‍ය විදේශ ඇමති අජිත් පෙරේරාගේ ප්‍රකාශයකින් ද තහවුරු වෙයි. 

බටහිරයන් හා දෙමළ ජාතිවාදීන් අදත් කියන්නේ දෙමළ ජනයා සමූලඝාතනය කෙරුණු බව ය. එසේ සමූලඝාතනය කෙරිණි නම් රායප්පු ජෝසෆ්ලා තවමත් ජීවත්වන්නේ කෙසේ ද යන්න ප්‍රශ්නයකි. ඒ කෙසේ වෙතත් බටහිරයන්ට ඔවුන්ගේ චැනල් ෆෝ වැනි ජනමාධ්‍යවලට දෙමළ ජාතිවාදීන්ට අනුව හමුදාව විසින් මානුෂීය මෙහෙයුම් අවසානයේ දී හතළිස් දහසකට අධික පිරිසක් මරා දමනු ලැබ ඇත. 

රායප්පු ජෝසෆ් මේ පැමිණිලි ඉදිරිපත් කරන ප්‍රධානියෙකි. එහෙත් ඒ සඳහා ඔහුටවත් බටහිර ජනමාධ්‍යවලටවත් සාක්‍ෂි නැත. අද මේ සූදානම් වන්නේ ආණ්ඩුවේ ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණයට බොරු සාක්‍ෂිකරුවන් ඉදිරිපත් කිරීමට රායප්පුලාට අවස්ථාව ලබා දීම ය. එහෙත් රායප්පුලා මෙයින්වත් සෑහීමකට පත්නොවෙති. ඔවුන්ට අවශ්‍ය ඊනියා ජාත්‍යන්තර පරීක්‍ෂණයකි. මේ මත ප්‍රකාශ කිරීම ජාතිවාදය ඇවිස්සීමකැයි රනිල් කියනු ඇත. ජ වි පෙරමුණ ද එසේ කියනු ඇත.

ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම් කතාව ආරම්භ කළේ සරත් ෆොන්සේකා ය. ඔහු මානුෂීය මෙහෙයුම්වල හමුදාවට අණදුන් හමුදාපති ය. ඊනියා මානව අයිතිවාසිකම් කඩවීම්වලට ඔහු ද වග කිව යුතු ය. ඔහුට විරුද්ධව ඒ සම්බන්ධයෙන් ඇමරිකාවේ අධිකරණයක නඩුවක් ද විය. එහෙත් නඩුව අස්කර ගනු ලැබිණි. ඔහු කුප්‍රසිද්ධ සුදුකොඩි කතාව අම්බලන්ගොඩ දී මෙන් ම රත්නපුරේ දී ද කළේ ය. මහින්ද රාජපක්‍ෂට විරුද්ධව ජනාධිපති අපේක්‍ෂකයා ද විය. ආණ්ඩුව විසින් ඔහුට විරුද්ධව තිබූ චෝදනාවලින් නිදොස් කොට නිදහස් කෙරී ඇත. එහෙත් ඔහුට මන්ත්‍රීකම නො ලැබෙයි. රනිල් කෙසේවත් ඊනියා පොදු අපේක්‍ෂකයන්ට කැමති නැත. 

ඒ කෙසේ වෙතත් සරත් ෆොන්සේකාට ද ඊනියා අභ්‍යන්තර පරීක්‍ෂණය ඉදිරියේ ඕනෑම සාක්‍ෂියක් දීමට දැන් අවස්ථාව ලැබී ඇත. ආණ්ඩුව ඉහත සඳහන් පණත යටතේ ඔහු ද ආරක්‍ෂා කරනු ඇත. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 27

Thursday, 26 February 2015

රනිල්ගේ බොරු තර්ක

රනිල්ගේ බොරු තර්ක

රනිල් වික්‍රමසිංහ හා මෛත්‍රිපාල සිරිසේන අතර සීතල යුද්ධයක් කෙරී ගෙන යන බව අපි කලින් ද කීවෙමු. ආරක්‍ෂක කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති වූ ද රනිල්ගේ බෑණා වූ ද රුවන් විජේවර්ධනගේ තටු කපා දැමීමට මෛත්‍රිපාල පියවර ගත්තේ ය. අද රුවන්ට ඇත්තේ ආරක්‍ෂක කටයුතු පිළිබඳ පාසල්, ශිෂ්‍ය භට කණ්ඩායම් ආදිය ගැන සොයා බැලීමට ය. ආරක්‍ෂක කටයුතු පිළිබඳ වැදගත් කාර්යයන් සියල්ල මෛත්‍රිපාල සිරිසේන යටතේ ම පවතියි.  

රනිල් මෙන් ම ජේ ආර් ජයවර්ධන ද ජනතාවට කියා සිටියේ රකින්නට පරම්පරාවක් නැති බව ය. වෙනත් කටයුතුවල දී කෙසේ වෙතත් රාජ්‍ය පාලන උරුමය සම්බන්ධයෙන් ඔවුහු මාතෘ මූලික සම්ප්‍රදාය අනුගමනය කරති. රනිල් ජේ ආර්ගේ බෑණා ය. රුවන් රනිල්ගේ බෑණා ය. රනිල්ගෙන් පසු උරුමය දීමට ඔහුට අවශ්‍ය වන්නේ රුවන්ට ය. සජිත්, රවි ආදීන් එහි දී කෙසේ ක්‍රියා කරාවි දැයි කිව නො හැකි ය. එහෙත් ඒ ඉදිරි සටනකි. අද සටන ඇත්තේ රනිල් හා මෛත්‍රිපාල අතර ය. 

රනිල්ට අවශ්‍ය වූයේ පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට ය. එහෙත් ඔහුට දිනීමට නොහැකි බව බටහිරයෝ ද ඉන්දියානුවෝ ද දත්හ. ඔවුන්ගේ ඔත්තු සේවා වෙනත් අපේක්‍ෂයකු ඉදිරිපත් කිරීමට ක්‍රියාත්මක විය. විශේෂයෙන් ම ඉන්දියානු රෝ ඔත්තු සේවය එහි දී ඉදිරියෙන් සිටියේ ය. ඔවුහු සිංහල ජාතිකත්වය වෙනුවෙන් පෙනී සිටි පිරිස් හමුවූහ. ඒ අතර මාදුළුවාවේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි, චම්පික රණවක, කරුණාරත්න පරණවිතාන ආදීහු සිටියහ. එක් කලෙක බටහිරයන්ට අවශ්‍ය වූයේ කරු ජයසූරිය ඉදිරිපත් කිරීමට ය. ඔවුන් සෙවූයේ රනිල් වැනි සිංහල බෞද්ධ සංස්කෘතිය සමග පෑහීමට නොහැකි පුද්ගලයකු නොව සිංහලත්වය සමග ඇයි හොඳයි කම් පැවැත්විය හැකි අයකු ය.

අවසානයේ දී ඉන්දියාවට අවශ්‍ය වූයේ මෛත්‍රිපාල සිරිසේන හා නිමල් සිරිපාල යන දෙදෙනාගෙන් එක් අයකු ඉදිරිපත් කිරීමට ය. එහෙත් මහින්ද රාජපක්‍ෂ නිමල්ට අගමැතිකම දීමට පොරොන්දු වී ඔහු නවතා ගත්තේ ය. මෛත්‍රිපාලට අගමැතිකම පොරොන්දු වීීී නම්  ඊනියා පොදු අපේක්‍ෂකයා වන්නේ නිමල් සිරිපාල ය. අද ඔහු ව්‍යාජ විපක්‍ෂ නායකයා ය. රටේ දේශපාලනය සිදුවන්නේ ඒ ආකාරයට ය. මෛත්‍රිපාල ඊනියා පොදු අපේක්‍ෂකයා වීමේ දී  රතන හිමියන් යම් වැඩ කොටසක් කර ඇති බව පැහැදිලි ය. මෛත්‍රිපාල එහිමියන් නූතන කඩහපොළ හිමියන් ලෙස හැඳින්වූයේ නිකමට නො වේ. 

රනිල් කැමති වුවත් නැතත් අද මෛත්‍රිපාල විධායක ජනාධිපති ය. රනිල්ට අවශ්‍ය ඉක්මණින් ව්‍යවස්ථාව සංශෝධනය කර විධායක බලතල විශාල ප්‍රමාණයක් අගමැතිට පවරා ගැනීමට ය. එහෙත් වත්මන් පාර්ලිමේන්තුවෙන් ඒ කරවා ගැනීමට නොහැකි බව ඔහු දනියි. ඔහුට අවශ්‍ය හැකි ඉක්මණින් පාර්ලිමේන්තුව විසුරුවා හැර එ ජා පක්‍ෂය බහුතරය වූ පාර්ලිමේන්තුවක් පත්කර ගෙන තමන්ට අවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනය කර ගැනීම ය. ඔහුගේ ඊනියා ජාතික ආණ්ඩුව මැතිවරණයෙන් පසුව පිහිටුවා ගන්නකි. 

එහෙත් මෛත්‍රිපාලට හා ශ්‍රී ල නි පක්‍ෂයේ ඉහළ නායකයන්ට අවශ්‍ය මේ පාර්ලිමේන්තුව තව අවුරුද්දක් පවත්වාගෙන යෑමටත් එතෙක් ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටත් මහින්ද රාජපක්‍ෂ නැතිව මැතිවරණයට ඉදිරිපත් වීමටත් ය. ශ්‍රී ල නි පක්‍ෂයේ දෙවැනි පෙළ නායකත්වයට හා සාමාජිකත්වයේ අති විශාල බහුතරයට අවශ්‍ය මහින්ද රාජපක්‍ෂගේ නායකත්වයෙන් හැකි ඉක්මණින් මැතිවරණයකට යෑමට ය. ඒ ඒ අය කරන ප්‍රකාශවලින් මේ වෙනස දැකගත හැකි ය. රාජිත සේනාරත්නට අවශ්‍ය අවුරුද්දක් මේ ආකාරයෙන් පවත්වාගෙන යෑමට ය. දින සියය නොව අවශ්‍ය වන්නේ දින සියයේ වැඩ නිම කිරීම බව ඔහු පවසන්නේ දින සියයකින් මැතිවරණයකට යෑමට ඔහු, මෛත්‍රිපාල  හා ශ්‍රි ල නි පක්‍ෂයේ ප්‍රබලයන් යැයි කියන නිවටයන් සූදානම් නැති බැවිනි. 

ජ වි පෙරමුණ ඇත්තේ රනිල් සමග ය. ඔවුහු අද ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට විරුද්ධ වෙති. චම්පිකලාට යන එන මං නැත. චම්පික අවුරුදු හයක් ඇමතිකම කිරීමේ සිහිනය දකියි. නූතන කඩහපොල හිමියන් ගැන ආරංචියක් නැත. එහෙත් රනිල් බොරු තර්ක ගෙන එමින් අපියෙල් 23 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කතාකරයි. එහෙත් ඔහුත් අපත් දන්නා කරුණ නම් පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ ජනාධිපතිට බව ය. ජනාධිපති අපියෙල් 23 දින පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අකමැති ය. 

රනිල් බොරු තර්ක ඉදිරිපත් කරන්නේ එක් පැත්තකින් තමා පික්පොකට් ගැසූ අගමැතිකම රැක ගැනීමට ය. අනෙක් පැත්තෙන් අප්‍රියෙල් 23 දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ය. එහෙත් මෙය අසංගත බව පරස්පර විරෝධී බව ඔහුට නො වැටහෙයි. ඔහු කියන්නේ මේ පාර්ලිමේන්තුව මහින්ද රාජපක්‍ෂට සහාය දීමට පත්කරගත් එකක් බවත් එබැවින් ජනවාරි 8 වැනි දාට පසු එයට පැවැත්මක් නැති බවත් ය. ඒ බොරුවකි. එසේ ජනාධිපති වෙනස්වන විට පාර්ලිමේන්තුව අහෝසි වන බවක් කියා ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කිනම් වගන්තියේ ද? එය ඇත්තක් නම් අද පාර්ලිමේන්තුව පවත්වාගෙන යෑම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමකි. ව්‍යවස්ථාව කිහිප වතාවක් ම උල්ලංඝනය කර ඇති රනිල් වික්‍රමසිංහට එය ප්‍රශ්නයක් නොවිය හැකි ය. එහෙත් එය බොරුවක් බව අපි දනිමු. 

රනිල්ට පෙන්වීමට අවශ්‍ය මේ පාර්ලිමේන්තුවට අප්‍රියෙල් 23 දිනට පසු පැවැත්මක් නැති බව ය. එහෙත් ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඒ සඳහා ප්‍රතිපාදනයක් සොයාගත නො හැකි ය. ජනාධිපතිට අවශ්‍ය නම් පාර්ලිමේන්තුව 2016 දක්වා පවත්වාගෙන ගිය හැකි ය. රනිල්ගේ බොරු තර්කයෙන් කියන්නේ මේ පාර්ලිමේන්තුව ජනවාරි 8 වැනිදාට පසු නීත්‍යානුකූල නොවන නමුත් දින සියයේ මගඩිය හේතුවෙන් එය අප්‍රියෙල් 23 දින තෙක් පවත්වාගෙන ගියත් ඉන්පසු නම් කෙසේවත් පාර්ලිමේන්තුව පවත්වාගෙන ගිය නොහැකි බවත් ය. මෛත්‍රිපාල සිරිසේන නීතිය හදාරා නැති නමුත් පාර්ලිමේන්තු පත්කර ගන්නේ ජනාධිපතිවරුන්ට සහාය දීමට නොවන බව දනියි. හැරත් මේ පාර්ලිමේන්තුව මහින්දට සහාය දීමට පත්කර ගත් එකකැයි මෛත්‍රිපාල කෙසේවත් පිළිගනියි ද? 

අද රනිල්ට කළ හැක්කේ බටහිරයන් ලවා මෛත්‍රිපාලට බලකර අප්‍රියෙල් 23 දා කෙසේ නමුත් පාර්ලිමේන්තුව විසුරුවා හැරවීමට උත්සාහ ගැනීම ය. බොරු තර්ක ගෙන ඒමේ වාසිය මෛත්‍රිපාලට ය. එහෙත් මෙහි දී වැදගත්වන අනෙක් සාධකය වූ ඉන්දියාව  කිනම් පියවරක් ගනියි ද? ඔවුන් ගන්නා පියවර දෙමළ ජාතිවාදය සමග බැඳී ඇත. 

නලින් ද සිල්වා

2015 පෙබරවාරි 26

අමරතුංග මහතා සාපේක්ෂතාව පිළිගනියි (විදුසර ලිපියකි)

අමරතුංග මහතා සාපේක්‍ෂතාව පිළිගනියි

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා තමාගේ ම වූ මතයක්, අදහසක් ඉදිරිපත් කරන බවක් අපට කියයි. මේ අදහස ඊනියා විද්‍යාත්මක ප්‍රවාදයක් ද යන්න ඔහු අපට පවසන්නේ ද? එය පංචෙන්ද්‍රිය ගෝචර පරීක්‍ෂණවලින් තහවුරු කළ හැකි ද? පංචෙන්ද්‍රිය ගෝචර අත්දැකීම්වලින් තොර ලෝකයක් නැති කාලෝ ෆොන්සේකා මහතා අමරතුංග මහනතාගේ නව අදහස පිළිගන්නේ ද?

Wednesday, 25 February 2015

ඉදිරි මැ තිවරණයේ තීරකය ජතිකත්වය්යි

 ඉදිරි මැතිවරණයේ තීරකය ජාතිකත්වයයි

අද (පෙබරවාරි 25) ජ වි පෙරමුණේ අනුර කුමාර දිසානායක නුවර දී පවත්වන ලද කතාවකින් ඔහු ජාතිවාදීන් යැයි හඳුන්වන්නන්ට හොඳ හැටි බැට දී ඇතැයි වාර්තා වෙයි. එසේ ම අප්‍රියෙල් 23 වැනි දා පාර්ලිමේන්තුව විසිරුවා නොහැර ඊනියා ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට කතාකරන්නන් ද ඔහු අතින් විවේචනය වී ඇත.  කටහඬ අනුරගේ වුවත් චින්තනය රනිල් වික්‍රමසිංහගේ ය, නැත්නම් රවි කරුණානායකගේ ය. ඒ කාගේ වුවත් ජ වි පෙ නායකයන් දැන් මැදිවියේ පසුවුව ද, ජ වි පෙරමුණ එක්සත් ජාතික පක්‍ෂයේ තරුණ සංවිධානය බවට පත් වී අවසන් ය. 

ඊනියා ජාතික ආණ්ඩුව සම්බන්ධයෙන් අනුර කුමාර අතින් විවේචනය වන්නේ ශ්‍රී ල නි පක්‍ෂයේ නායකත්වය බව පැහැදිලි ය. මේ නායකයෝ තම වැරදි වසාගැනීමට හෝ වෙනත් හේතුවකට හෝ ඇමතිකම් ලබාගෙන ජාතික ආණ්ඩුවක් යැයි කියන මගඩියක තවත් අවුරුද්දක් හෝ දෙකක් හෝ කල්ගත කිරීමට උත්සාහ දරති. එ ජා පක්‍ෂයේ සිරකරුවකු බවට පත් වී සිටින මෛත්‍රිපාල සිරිසේන කැබීනට් මණ්ඩලයේ තම ශක්තිය වැඩිකර ගැනීම සඳහා එවැනි ඊනියා ජාතික ආණ්ඩුවක් පත්කර ගැනීමට කැමතිවනු ඇත. එවැනි ආණ්ඩුවක් පිහිටුවීම නම් වචනයේ පරිසමාප්තාර්ථයෙන් ම ජනාධිපතිගේ දෑත් ශක්තිමත් කිරීමකි. 

මහින්ද රාජපක්‍ෂගේ දෑත් ශක්තිමත් කිරීමේ අවශ්‍යතාවක් එකල නො වී ය. බොහෝ දෙනා ආණ්ඩුවට එකතු වූයේ තම තමන්ගේ දෑත් ශක්තිමත් කර ගැනීමට ය. එහෙත් ඔවුන් කීවේ ජනාධිපති දෑත් ශක්තිමත් කිරීමට යන බවකි. එහෙත් දැන් නම් මෛත්‍රිපාල සිරිසේනගේ දෑත් ශක්තිමත් කිරීමට අවශ්‍ය වී ඇත.  රනිල් හා අනුර කුමාර ඒ සඳහා සහාය නොදෙන බව පැහැදිලි ය. මෛත්‍රිපාලගේ කෙසේ වෙතත් රනිල්ගේ දෑත් ශක්තිමත්ව කිරීමට අනුර කුමාරට අරලිය ගහ මන්දිරයෙන් කාමරයක් ලැබී ඇතැයි කියැවෙයි. 

එහෙත් මේ සියල්ලට ම වඩා වැදගත් වන්නේ අද ඊනියා ජාතිවාදීන්ට එරෙහිව කරන උද්ඝෝෂණය ය. රනිල් වික්‍රමසිංහ මෛත්‍රිපාල සිරිසේන සමග එකතු වී ඊනියා ජාතිවාදයට එරෙහිව රැළියක් පැවැත්වීමට යන බව කියැවෙයි. ඉතා පැහැදිලිව මේ පසුගිය 18 වැනි දා නුගේගොඩ පැවති රැළියට පිළිතුරකි. එසේ පිළිතුරු රැළි පැවැත්වෙන බව අපි කල්තබා ම කීවෙමු. එසේ කීමෙන් අපි ගෞරවයක් බලාපොරොත්තු නො වෙමු. දේශපාලනය ගැන උනන්දුවක් දක්වන බොහෝ අය පිළිතුරු රැළි ගැන සිතන්නට ඇත. 

පසුගිය ජනාධිපතිවරණයේ දී ද මතුවීමට තිබුණේ ජාතිකත්වය ය. අපි ඒ බව සංධානයට කීවෙමු. එහෙත් එහි ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු මෙහෙයවූවෝ අවසන් සතිය දක්වා ම ජාතිකත්වය අමතක කළහ. ඒ අතර සිදුවූයේ ජාතිකත්වය අමතක කර ඊනියා දුෂණය ගැන කතාකිරීමට එ ජා ප ප්‍රචාරකයන් ඉදිරිපත් වීම ය. අවුරුද්දකට වැඩි කලක් තිස්සේ එ ජා ප මේ ප්‍රචාරය ගෙන ගියේ ය. එහි දී ඔවුන්ට ඇමරිකාව ප්‍රමුඛ  (ප්‍රශ්නය ඇති කළේ එංගලන්තය වුවත් අද එය මෙහෙයවන්නේ ඇමරිකාව ය) බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ සහාය නොමඳ ව ලැබිණි. ඉන්දියාවේ උගත් රෝ ඔත්තු සේවයට වැඩ කරන සිංහලයෝ මෙහි දී විශේෂයෙන් යොදාගනු ලැබිණි. මේ එකකු මා හමුවීමට ද පැමිණියේ කොටින්ට විරුද්ධව රණවිරුවන් කළ මෙහෙයුම් ඔහු ඉන්දීය දෘෂ්ටි කෝණයකින් විස්තර කර ලියූ පොතක් ද රැගෙන ය. විය යුතු පරිද්දෙන්ම මම ඔහු ගෙදරින් එළවා දැමුවෙමි.  

සිංහල ජාතිකත්වය හා සිංහල බෞද්ධ චින්තනය (මෙය අමරසේකරගේ ජාතික චින්තනයෙන් වෙනස් බව දැන්වත් පාඨකයා දැනගත යුත්තේ අවුල් සහගත ව නොසිතීමට ය) විස්තර කරන ලිපි ඉදිරියේ දී තව තවත් ලිවීමට බලාපොරොත්තුවෙමි. එහෙත් කිව යුත්තේ බටහිර හා ඉන්දීය ගැත්තන් කෙසේ කීව ද සිංහලයන්ගේ ඡන්දවලින් 65%ක් හෝ සිංහල බෞද්ධයන්ගේ ඡන්දවලින් 70%ක් හෝ ගත්තේ නම් මහින්ද රාජපක්‍ෂට ජනාධිපතිවරණය ජයගැනීමට තිබුණු බව ය. බටහිරයෝ ද ඉන්දියානුවෝ ද එය දැන සිටියහ. එබැවින් ඔවුන්ට අවශ්‍ය වූයේ 65% අඩුකිරීම ය. ඒ සඳහා ඔවුහු වෙනසක් අවශ්‍යය, දූෂණයට එරෙහි විය යුතු ය, ඊනියා සාධාරණ සමාජයක් බිහිකළ යුතුය, ඊනියා යහපාලනයක් ඇතිකළ යුතු ය, ඊනියා පිවිතුරු හෙටක් උදාකළ යුතු ය ආදී සිහින ඡන්දදායකයා, විශේෂයෙන් ම තරුණ ඡන්දදායකයා හමුවේ තැබූහ. එහි දී ඔවුහු, විශේෂයෙන් ම බටහිරයෝ , සයිබර් අවකාශය යොදාගත්හ.

ජ වි පෙරමුණේ මිනීමැරුම්, බටලන්ද, වයඹ පළාත් සභා ඡන්දය, වෝටර්ස් ගේට් ආදී කිසිවක් ගැන පමණක් නොව කොටි බෝම්බ ගැන ද නොදත් තරුණ තරුණියෝ ජාතිකත්වය පිළිබඳ අවබෝධයක් නැතිව මෛත්‍රිපාල සිරිසේනට ඡන්දය දුන්හ. මහින්ද රාජපක්‍ෂට ලැබුණු සිංහලයන්ගේ ඡන්දය 58%ක් පමණ විය. එය 65%ට වඩා අඩු විය. බටහිරයන්ගේ හා ඉන්දියානුවන්ගේ ජයග්‍රහණය වූයේ 65%, 58% දක්වා අඩුකිරීම ය. 

ඉදිරි මැතිවරණයේ ද ීඑය එසේ ම සිදු නොවන බව මෛත්‍රිපාල කෙසේ වෙතත් රනිල් දනියි. එබැවින් එහි දී ජාතිකත්වය තීරක බලය වීම වැළැක්වීමට රනිල් බටහිරයන්ගේ ද ඉන්දියානුවන්ගේ ද සහාය ඇතිව දැන් සිට ම සූදානම් වෙයි. අසාද් සාලි කී අයුරින් නොව නුගේගොඩ රැස්වීමේ බෞද්ධ කොඩි නො වී ය. එහෙත් එහි ජාතික කොඩි ද මහින්ද රාජපක්‍ෂගේ ඡායාරූප ද විය. පැහැදිලිව ම අද මහින්ද රාජපක්‍ෂ සිංහල ජාතිකත්වයේ සංකේතය වෙයි. නුගේගොඩ රැස්වීම අහවල් පක්‍ෂයක හෝ අහවල් පුද්ගලයකුගේ රැස්වීමක් නො විය. එය වත්මන් යුගයේ ජාතිකත්වයේ රැස්වීම විය.

රනිල් ද බටහිරයෝ ද ඉන්දියානුවෝ ද  ඒ බව දනිති. රනිල් අද ජාතිකත්වයට බිය වී ඇත. ඔහු ජාතිකත්වය වෙනුවෙන් යම් ප්‍රමාණයකට වුවත් පෙනී සිටින ජනමාධ්‍ය මර්දනය කිරීමට සැරසෙන්නෙත් නුගේගොඩ ජාතිකත්ව රැස්වීමට විරුද්ධව ඊනියා ජාතිවාදී නොවන රැස්වීම් සංවිධානය කරන්නේත් එබැවිනි. 

නලින් ද සිල්වා 

2015 පෙබරවාරි 25