Main Logo

Sunday 29 September 2013

දෙමළ ජාතිකවාදය යනු දෙමළ ජාතිවාදයයි

සිංහල හා දෙමළ ජාතිකවාද අතර පැහැදිලි වෙනසක් වෙයි. ඒ වෙනස මෙවර පළාත් සභා මැතිවරණයේ දී ද දැකගත හැකි විය. සිංහල ජාතිකවාදය පහළ සිට උඩට ක්‍රියාත්මක වන අතර දෙමළ ජාතිකවාදය උඩ සිට පහළට ක්‍රියාත්මක වෙයි. සිංහල ජාතිකවාදය අවුරුදු දහස් ගණනක් තිස්සේ වැඩෙන අතර මෙරට දෙමළ ජාතිකවාදයට අවුරුදු තුන්සිය පනහකට අඩු වයසක් වෙයි. දෙමළ ජාතිකවාදය බටහිරයන්ගේ නිර්මාණයක් වෙයි. එය එදත් අදත් ක්‍රියාත්මක වන්නේ සිංහලයන්ට විරුද්ධව ය. බටහිරයන් එය ආරම්භ කළේ ම සිංහලයන්ට විරුද්ධ ව ය. ලන්දේසිහු දෙමළ ජනයා වත්මන් දකුණු ඉනදියාවෙන් ආනයනය කර ඔවුන් සිංහලයන්ට විරුද්ධව විවිධ මුදලිවරුන්ගේ නායකත්වයෙන් යොදාගත්හ. යාපන වයිපව මාලර් නම් ව්‍යාජ කවි ඉතිහාසය නිර්මාණය කළ මුදලි ඉන් එක් අයෙකි. දෙමළ ජනයා යටත්විජිතවාදීන්ට නිවට ව සේවය කිරීමේ ප්‍රතිඵලය වූයේ බටහිරයන් ඔවුන් විවිධ රටවල සේවය සඳහා රැගෙන යෑම ය. ලංකාවේ ද, දකුණු අප්‍රිකාවේ ද, මලයාසියාවේ ද, ෆීජි දූපත්වල ද ආදී වශයෙන් දෙමළ කුලීකරුවන් දක්නට ලැබෙන්නේ එබැවිනි. (වෙල්ලාලයෝ ද කෘෂිකාර්මික කුලීකරුවෝ වූහ) ඒ දෙමළ ජනයා අතරෙන් කිහිප දෙනෙක් බටහිරයන්ගේ හිත දිනාගෙන නායකයෝ වූහ. සාමාන්‍ය දෙමළ ජනයා සාධාරණ වශයෙන් ගත්කල මේ නායකයන් අනුගමනය කරති. එබැවින් දෙමළ ජාතිකවාදය, අප එය එනමින් හඳුන්වන්නේ නම් බටහිරයන් විසින් හැසිරවුණු හා තවමත් හැසිරවෙන ජාතිවාදයකි. එය බටහිරයන්ගේ අනුග්‍රහය මත පමණක් පවතින නිවට ජාත්‍යන්තරවාදයකි. බටහිරයෝ එකී දෙමළ ජාතිවාදය සිංහලයන්ට විරුද්ධව යොදා ගනිති. අප කලින් ද පෙන්වා දී ඇති පරිදි බටහිරයෝ විවිධ ජනවර්ග සිංහල බෞ්ධයන්ට එරෙහිව යොදාගත්හ. එහෙත් සිංහල කතෝලිකයෝ ද ක්‍රිස්තියානිහු ද මැලේ ආදී ඇතැම් ජනවර්ග ද බටහිර යුදෙවු ක්‍රිස්තියානි යටත්විජිතවාදයට විරුද්ධ ව මේ වන විට සිංහල බෞද්ධයන් සමග අත්වැල් බැඳගෙන සිටිති. 

පෘතුගීසීන් පැමිණීමෙන් පසුව දොන් ජුවන් ධර්මපාල වැනි අය බිහිවුණ ද සාධාරණ වෙයෙන් ගත්කල සිංහලයෝ බටහිර ක්‍රිස්තියානි යටත්විජිතවාදීන්ට විරුද්ධව සටන් කළහ. අද ද සටන් කරති. එහි දී මායාදුන්නේ රජුගේ සිට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ දක්වා නායකයන් අපට දැකගත හැකි ය. මේ නායකයෝ සිංහල ජාතිකවාදය විසින් බිහිකරනු ලැබුවෝ ය. බණ්ඩාරනායක මහතා ද එවැනි නායකයෙකි. බණ්ඩාරනායක මහතා සිංහල ජනමතය සකස්කළා නොව සිංහල ජනමතය විසින් ඒ මහතා සකස් කෙරිණි. ශ්‍රී ල නි පක්‍ෂය බිහිකෙරුණේ සිංහල ජාතිකවාදය මගිනි. ඇතැමුන් චන්ද්‍රිකා කුමාරතුංග එංගලන්තයේ සිට ආනයනය කර ශ්‍රී ල නි ප ප්‍රතිපත්ති උඩ සිට වෙනස්කිරීමට ගත් උත්සාහය අසාර්ථක විය. තමා සිංහලයකු වීම ගැන ලජ්ජාවන්නේ යැයි කියන විමුක්ති කුමාරතුංග ගෙනාව ද සිංහල විරෝධීන්ට සිංහල ජනමතය වෙනස් කිරීමට නො හැකි ය. සිංහලයෝ සහජයෙන් ම යටත්විජිත විරොධී වෙති. ඔවුහු යුද්ධයෙහි දක්‍ෂයෝ වෙති. බටහිරයන්ට සිංහලයන්ගෙන් යුද්ධ පරාජය පමණක් ම හිමි විය. බටහිරයන්ට සිංහලයන් පරාජය කිරීමට හැකිවූයේ ගිවිසුම් මගින් පමණ ය. බටහිරයෝ යුද්ධයෙහි දක්‍ෂ සිංහලයන්ට වෛර කරති. ඒ අතර සිංහල බෞද්ධ චින්තනය ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයට ආධ්‍යාත්මික අභියෝගයකි.                

පොන්නම්බලම් රාමනාදන්ගේ සිට කනගසබාපති විග්නේස්වරන් දක්වා දෙමළ නායකයෝ සිංහල විරෝධී වෙති. ඔවුහු ඉංගිරිසින්ගේ අධ්‍යාපනයේ ප්‍රතිඵල වෙති. අවාසනාවකට මෙන් ඇතැම් සිංහලයෝ ද මේ අධ්‍යාපනයේ ප්‍රතිඵලයක් ලෙස සිංහල විරෝධී් වෙති. දොන් ජුවන්ගේ අවතාර වූ ඔවුහු ඊනියා විවෘත මනසකින් සිංහලයන්ට විරුද්ධව ඉංගිරිසින්ට කඩේ යති. කොටි ත්‍රස්තවාදය පරාජය කළ ආණ්ඩුවේ කිසි හොඳක් නොදකින මොවුහු ඊනියා යහපාලනය ආදී විකාර සංකල්පවලට මුවා වී එ ජා ප බලයට පත්කිරීමට කටයුතු කරති. එහෙත් යටත්විජිතවාදී එ ජා පක්‍ෂයට සිංහල ජාතිකවාදී නොවී කිසිදු බලයක් ලබාගත නොහැකි ය. එ ජා පක්‍ෂයේ ඊනියා යහපාලනය ගැන මනා වැටහීමක් ඇති බහුතර සිංහලයෝ එ ජා පක්‍ෂයට ඡන්දය නො දෙති. ඉදිරියේ දී එ ජා ප ඡන්ද පදනම තවත් අඩුවනු ඇත. ජාතිකත්වයක් ඇති එහෙත් සංධාන විරෝධී සියයට පහක් පමණ ෆොන්සේකාගේ පක්‍ෂයට චන්දය දෙති. එහෙත් ෆොන්සේකාට මහින්ද රාජපක්‍ෂ මහතාට තරගයක් දිය නො හැකි ය.


අප සැමදාමත් කියා සිටියේ මෙරට දෙමළ ජනයාට දෙමළ වීම නිසා පමණක් අසාධාරණයක් සිදු වී නොමැති බව ය. ඒ බව මැතිවරණයේ දී තවත් තහවුරු විය. දෙමළ නායකයන්ගේ ඕනෑ එපාකම්  අනුව පමණක් ක්‍රියාකරන වහල් මානසිකත්වයක් ඇති දෙමළ ජනයා සිංහල විරෝධී වූයේ ඔවුන්ට ආර්ථික පහසුකම් තිබිය දී ය. ජී ජී පොන්නම්බලම් කර්මාන්ත ඇමතිව සිටිය දී පිහිටුවන ලද කර්මාන්තශාලා රාශියක් උතුරු හා නැගෙනහිර පළාත්වල තිබිය දීත් දෙමළ නායකයෝ තම බටහිර ගැති සිංහල විරෝධී දේශපාලනය ක්‍රියාත්මක කළහ. අද උතුරු වසන්තයක් තිබීම දෙමළ නායකයෝ නො සළකති. එහෙත් ඒ නිසා උතුරු වසන්තය අත්හැරිය යුතු නො වේ. මේ සංවර්ධනය බටහිර ආකෘතියේ එකක් වුත් යම් සංවර්ධනයක් උතුරට ද අවශ්‍ය ය. අප අමතක නොකළ යුත්තක් නම් විග්නේස්වරන් ශ්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවකු ලෙස පත්වූයේ දෙමළ ජනයාට අසාධාරණකම් ඇතැයි කියන රටක බව ය. අද කළ යුත්තේ උතුරේ බටහිර විරෝධී නව දෙමළ තරුණ නායකත්වයක් බිහිකර දෙමළ ජනයා ද යටත්විජිත විරෝධී මාවතකට ගැනීම ය. ඊනියා ජනවාරගික ප්‍රශ්නයක් නොමැතිවීම නිසා ඒ විසඳිය නො හැකි ය. විසඳිය හැක්කේ ඇති ප්‍රශ්නයක් මිස නැති ප්‍රශ්නයක් නො වේ. දහතුන්වැනි සංශෝධනය සිංහලත්වයට එරෙහිව බටහිර අනුග්‍රහයෙන් ඉන්දියාව කඩිමුඩියේ අපට බලයෙන් පැටවූ එකකි. එහි අඩුපාඩු හා වැරදි බෙහෝ ය. එය අසංගත ය. පසුගියදා ශ්‍රෙෂ්ඨාධිකරණය ඉඩම් පිළිබඳ අයිතිය පළාත් සභාවලට නැති බව තීරණය කරමින් එහි එක් අසංගත බවක් ලොවට හෙළි කළේ ය. පොලිස් බලතල ද පළාත් සභාවලට පැවරීමට අදාළ පනත්වල යාන්ත්‍රණයක් දක්වා නැත. එහෙත් අප එයින් සෑහීමකට පත්විය යුතු නො වේ. දහතුන ගෙනැවිත් ඇත්තේ සිංහලයන්ට විරුද්ධව බටහිර ගැති සිංහල විරෝධී දෙමළ ජාතිවාදී නායකයන්ගේ මනදොළ පිනවීමට ය. එය නැති ප්‍රශ්නයකට ගෙනෙන ලද ඊනියා විසඳුමකි. අප එය මුළුමනින් ම විසිකර දැමිය යුතු ය. එහි දී බටහිරයන්ගේ ආර්ථික තහංචි ආදියට මුහුණ පෑමට අප සූදානම් විය යුතු ය. සිංහලයන්ගේ බටහිර යටත්විජිත විරෝ්ධයට ප්‍රතිචාරයක් ලෙස බටහිරයන් ඊනියා ජාත්‍යන්තර යුද අපාරාධිකරණ මගින් දඬුවම් දීමට අර අඳින්නේ ජනාධිපතිතුමාට හා ආරක්‍ෂක ලේකම් තුමාට ය. යථා කාලයේ දී ඔවුන් සමස්ත ජාතියට ම දඬුවම් කිරීමට ඉදිරිපත්වනු ඇත. ජනාධිපතිතුමා එක්සත් ජාතීන් හමුවේ බටහිර පොලිස්කාරයන්ට අභියෝග කර ඇත. ඒ පොලිස්කරුවන්ගේ මෙරට නියෝජිතයෝ තානාපති කාර්යාලවල සිට දෙමළ ජාතිවාදය වෙනුවෙන් පාලනයට ඇඟිලි ගසති. වහාම ඒ නතරකිරීමට කටයුතු කළ යුතු ය.


නලින් ද සිල්වා

2013-09-29