මේ ලිපිය පළාත් සභා මැතිවරණය ගැන නො වේ. මැතිවරණයෙන් පසු කළ යුත්තේ කුමක් ද සම්බන්ධව ය. මෙරට ජනවාර්ගික ප්‍රශ්නයක් ඇතැයි යන මිථ්‍යාව නිර්මාණය කළෝ ඉංගිරිසිහු ය. සිංහලයන්ගෙන් හා ආණ්ඩුවෙන් දෙමළ ජනයාට අසාධාරණකම් සිදුවන බව ලෝ පුරා ප්‍රචාරය කරන ලද්දේ ඔවුන් විසිනි. එහෙත් කිසිම පඬියකුට කෙතරම් තෙපරබෑවත් දෙමළ ජනයාට දෙමළ වීම නිසා ම පමණක් සිදු වී ඇති අසාධාරණය කුමක් දැයි කිව නොහැකි වී ඇත. ඇතැම් පඬියන් බටහිරයන් හා එක්ව කියන්නේ සිංහල බෞද්ධයන් ජාතිවාදී බව ය. එහෙත් සිංහල බෞද්ධයන් අන්‍ය ආගම් සංස්කෘතීන් ඉවසා ඇත්තේ කිසිවකුට නොදෙවෙනි අයුරෙන් ය. වත්මන් ලෝකයේ දැනුම් ආධිපත්‍යය දරණ බටහිරයෝ තම මිථ්‍යා මත රාජ්‍ය නොවන සංවිධාන ජනමාධ්‍ය පාසල් හා විශ්වවිද්‍යාල මගින් පතුරුවා හරිති. අප ඊනියා දැනුම් සමාජයට විරුද්ධ විය යුත්තේ ඒ දැනුම බටහිරයන්ගේ අධිපතිවාදී යුදෙවු ක්‍රිස්තියානි දැනුම නිසා ය. පඬියන් ඊනියා දැනුම් සමාජයේ දැනුම කාගේ නිර්මාණයක් ද, කාගේ දැනුමක් ද යන ප්‍රශ්න නොඅසන්නේ ඇයි? ඔවුන්ගේ තකතීරු බසින් කියන්නේ නම් දැනුම් සමාජය යන්න විසංයෝජනය නොකරන්නේ ඇයි? අප වැනි රටවල් පූර්ණ නිදහස ලබාගනු ඇත්තේ බටහිර විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම් ආධිපත්‍යය පැරදවූ දිනක ය.
සිංහල බෞද්ධයන් ජාතිවාදී ය යන්න බටහිරයන්ගේ තවත් නිර්මාණයක් පමණකි. 1650න් පසු ලන්දේසීන් විසින් මෙරටට ආනයනය කරනු ලැබූ දෙමළ වෙල්ලාලයන් පළමුව ලන්දේසීන් විසින් ද දෙවනුව වඩාත් සියුම්ව ඉංගිරිසින් විසින් ද සිංහලයන්ට විරුද්ධව යටත්විජිතවාදීන්ගේ ඒජන්තයන් ලෙස යොදාගනු ලැබිණි. එමෙන් ම සිංහලයන් වැටුපට වැඩකිරීමට අකමැති වීම, සිංහලයන්ට වූ බිය හා සිංහලයන් කෙරෙහි වූ අවිශ්වාසය ආදිය නිසා මෙරටට ගෙන්වනු ලැබූ කොච්චි මැලේ ආදී ජනවර්ග ද ඉංගිරිසින් විසින් සිංහල බෞද්ධයනට විරුද්ධව යොදාගනු ලැබිණි. එපමණක් නොව සිංහල ක්‍රිස්තියානිහු ද කතෝලිකයෝ ද සිංහල බෞද්ධයනට විරුද්ධව යොදාගනු ලැබූහ. ඔවුහු සියල්ලෝ ම එකල ඉංගිරිසි යටත්විජිතවාදීන්ගේ ඒජන්තයෝ වූහ. සිංහල බෞද්ධයෝ මේ ඒජන්තයන්ට ඔවුන්ගේ සංස්කෘතික හා ආර්ථික ආකූමණවලට විරුද්ධ වූහ. පියදාස සිරිසේන මහතාගේ නවකතාවල ද අනගාරික ධර්මපාලතුමාගේ කතාවල හා ලිපිලේඛනවල ද පාණදුරා වාදය ඇතුළු පංචමහා වාදවල ද මේ විරුද්ධත්වය දැකගත හැකි ය. ඒ විරුද්ධත්වය සිංහල බෞද්ධයන්ගේ යටත්විජිත විරෝධී සටනෙහි ප්‍රකාශයක් විය. එය යටත්විජිතවාදීන්ගේ ඒජන්තයට දැක් වූ විරෝධයකි. සිංහල බෞද්ධයන් ඉතිහාසය පුරා ම විරුද්ධ වී ඇත්තේ යටත්විජිතවාදීන්ට, ආක්‍රමණිකයන්ට හා ඔවුන්ගේ ඒජන්තයන්ට මිස ජනවර්ගවලට නො වේ. මේ සිංහල සංස්කෘතියෙහි හා පුරෝගාමි යක්‍ෂ ගෝත්‍රික සංස්කෘතියෙහි ලක්‍ෂණයකි. එය සිංහලයන් මුස්ලිමුන්ට සලකා ඇති ආකාරයෙන් පෙන්නුම් කෙරෙයි. මුස්ලිමුන් වත්මන් දකුණු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වී ඇත්තේ පෘතුගීසී ආක්‍රමණයට සියවස් දෙකකට පමණ පෙර ය. මුස්ලිම් ජනයා දෙමළ කතාකළ අතර ඉස්ලාම් ආගම ඇදහූහ. පොන්නම්බලම් රාමනාදන්ට අනුව ඔවුහු ජනවාර්ගික ව දෙමළ වූහ. මෙරටට සංක්‍රමණය වූ මුස්ලිමුන්ට තම ආගම අදහමින් සංස්කෘතිය රැකගනිමින් දෙමළ කතාකරමින් ජීවත්වීමට කිසිදු බාධාවක් නො වී ය. සිංහල බෞද්ධයෝ මුස්ලිමුන්ට බෞද්ධවීමට හෝ සිංහල කතාකිරීමට හෝ බල නොකළහ. එපමණක් නොව වැදි ජනයාට ද තම සංස්කෘතිය රැකගෙන සියවස් ගණනාවක් ම සිංහල බෞද්ධයන් සමග ජීවත්වීමට කිසිදු බාධාවක් නොවී ය. එදා කිසිදු ජනවාර්ගික ප්‍රශ්නයක් නො වී ය. සිංහල රජවරු පෘතුගීසීන්ගෙන් මුස්ලිමුන් ද කතෝලිකයන් රෙපරමාදු ලන්දේසීන්ගෙන් ද ආරක්‍ෂා කළහ.
ඒ සියල්ල වෙනස් වූයේ ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ ආක්‍රමණවලින් පසුව ය. ඔවුහු විවිධ ජනවර්ග සිංහල බෞද්ධයන්ට එරෙහිව යොදාගත්හ. 1915 සිංහල මුස්ලිම් කෝලාහලය ඒ ක්‍රියාදාමයෙහි ප්‍රතිඵලයක් විය. අද වන විට පොදුවේ ගත්කල සිංහල ක්‍රිස්තියානි/කතෝලික, මැලේ ආදී විවිධ ජනවර්ග ඇතැම් පූජකවරුන්ගේ සිංහල විරෝධී යටත්විජ්තවාදී ප්‍රයත්නවලට පටහැණිව විවාහ හා සංස්කෘතික ක්‍රියාකාරකම් ඔස්සේ යටත්විජිතවාදයට එරෙහිව සිංහල බෞද්ධයන් සමග අත්වැල් බැඳගෙන සිටිති.
ඉංගිරිසිහු දෙමළ ජනයා විශේෂයෙන් ම ඉංගිරිසි කතාකරන දෙමළ වෙල්ලාලයන් සිංහලයන්ට එරෙහිව යොදාගත්හ. ඉංගිරිසින්ට අවශ්‍ය වූයේ වෙල්ලාලයන් රටේ ම නායකයන් බවට පත්කිරීමට ය. එහෙත් චෙල්වනායගම් ඒ කළ නොහැකි දෙයක් බව වටහා ගත්තේ ය. ඔහු 1948 පමණ උතුරු හා නැගෙනහිර පළාත්වල වෙන ම රාජ්‍යයක් පිහිටුවීම සඳහා ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය බිහිකළේ ය. මේ සියල්ල ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා, දෙමළ ජාතිවාදයට එරෙහිව, දැක්ම - 1 ආදී කෘතිවල විස්තර කෙරෙයි. දෙමළ ජාතිවාදයෙහි වෙල්ලාල ආධිපත්‍යය 1976 වඩුකොඩෙයි සම්මේලනයත් සමග කූටප්‍රාප්ත විය. ඒ සමග එහි අවරෝහණය ද ඇරඹිණි. වෙල්ලාලයන් හා දෙමළ ජාතිවාදය සිංහලයන්ට එරෙහිව යොදා ගනු ලබන්නේ ඉංගිරිසින් ප්‍රමුඛ බටහිරයන් විසිනි. එහෙත් වෙල්ලාලයන්ටත්, ඉන්දීය බමුණන්ටත්, රාජ්‍ය නොවන ගැත්තන්ටත්, ඇතැම් කතෝලික හා ක්‍රිස්තියානි පූජකවරුන්ට හා ප්‍රභූන්ටත්, කසිකබල් මාක්ස්වාදීන්ටත්, ඔවුන් සියල්ල පිටුපස ඇති බටහිරයන්ටත් වෙල්ලාල නොවන ප්‍රභාකරන් අවශ්‍ය විය. වෙල්ලාල ආධිපත්‍යය බිඳීම ද ඒ සමග ආරම්භ විය. අද වෙල්ලාල ආධිපත්‍යය නැගෙනහිර, මධ්‍යම හා ඌව පළාත්වල දෙමළ ජනයා අතර බිඳී ඇත. වර්තමානයෙහි වෙල්ලාල ආධිපත්‍යය ඇත්තේ උතුරු පළාතේ පමණ ය. එහි ද යාපන අර්ධද්වීපයෙන් පිටත වෙල්ලාල නායකත්වය දුර්වල වී ඇත. සම්බන්ධන් උතුරේ දී නාම යෝජනා දුන්නේ චෙල්වනායගම් පිහිටු වූ ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂයෙන් බමුණන්ට ද බටහිරයන්ට ද ප්‍රිය වූ “ උභය කුල පාරිශුද්ධ” විග්නේෂ්වරන්ගේ නායකත්වයෙනි. යාපන අර්ධද්වීපයේ් සියයට පනහකට අධික ඊනියා අඩුකුල ජනයා සිටියත් ඒ කුලවලින් නාම යෝජනා ලැබී ඇත්තේ දෙදෙනකුට පමණ ය. ඉන්දීය බමුණෝ ද බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ඒ රටවල ජීවත්වන විසුරුණු දෙමළ ජනයා ද, නැවතත් වෙල්ලාල නායකත්වයෙන් සිංහලයන්ට විරුද්ධව දෙමළ ජාතිවාදය පණගැන්වීමට උත්සාහ කරති. එහෙත් නන්දිකඩාල් කලපුවේ ගිල්වනු ලැබූ දෙමළ ජාතිවාදයට ඇතැම් පූජකවරුන්ගේ පිහිටෙන් වුවත් නැවත උත්ථානයක් නැත. අද කළ යුත්තේ වෙල්ලාල, බ්‍රාහ්මණ, බටහිර, ඇතැම් කතෝලික හා ක්‍රිස්තියානි පූජක හා ප්‍රභූ, රාජ්‍ය නොවන ගැති, කසිකබල් මාක්ස්වාදී සිංහල විරෝධී යටත්විජිතවාදී සමාගම යාපන අර්ධද්වීපයෙන් ද පළවා හැරීම ය. ආර්ථික වැඩ පිළිවෙළකට අමතර ව සංස්කෘතික හා දේශපාලන වැඩ පිළිවෙළක් ද ක්‍රියාත්මක කර යටත්විජිත විරෝධී නිදහස් සටනේ ඊළඟ පියවර ජයග්‍රහණය කරමු.
නලින් ද සිල්වා
2013-09-22