Main Logo

Sunday 8 September 2013

පිල්ලෙගෙ වාර්තාව හා ටී එන් ඒ මැතිවරණ ප්‍රකාශය

පිටිකිරි රතුපස්වල ආසනික් හා බටහිර විද්‍යාව ලිපි පෙළ තවත් සති කිහිපයක් පමාකිරීමට සිදුවන්නේ සෘජු දේශපාලන මාතෘකා කරළියට පැමිණ ඇති බැවිනි. කෙසේ වුවත් ඒ ලිපි පෙළ හා ඉදිරි සතිවල පළවන ලිපි  අතර සම්බන්ධයක් නැතිවා නො වේ. එහි දී ද මෙහි දී ද අප සාකච්ඡා කරන්නේ පහළොස්වැනි සියවසේ අග ඉතාලියේ ඊනියා පුනරුදය ඔස්සේ කරළියට පැමිණි ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් ව, බටහිර ඊනියා විද්‍යාව ද ඇතුළු බටහිර දැනුම යොදා ගනිමින් යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතිය ලොව පුරා තහවුරු කිරීමට බටහිරයන් කරන වෑයම ය. මෙරට දෙමළ ජනයාට දෙමළ නිසා ම පමණක් වූ ප්‍රශ්නයක් නැති බව අපි බොහෝ කලක සිට කියමු. එහෙත් ජාතික ව්‍යාපාරයේ යෙදෙන්නේ යැයි කියන බොහෝ සංවිධාන ඒ ගැන සැලකිල්ලක් නොදක්වති. එයට මූලික හේතුව සිංහලයන්ට හා විශේෂයෙන් ම සිංහල බෞද්ධයනට වියුක්තව සිතීමට බැරි කම ය. ජාතික චින්තනයක්, දේශීය දැනුමක් ආදිය ගැන විසිරුණු අදහස් පළ කළ ද ජාතික ව්‍යාපාරයෙහි යෙදෙන බව කියන බොහෝ පඬියන්ට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය යන්න හා පොදුවේ චින්තනය යන සංකල්ප දිරවා ගැනීමට නොහැකි බව දනිමි. ඔවුහු ද එකී චින්තනයෙහි ප්‍රතිඵල වෙති. ඔවුහු ද බටහිර විද්‍යාව ඇතුළු බටහිර දැනුම හිස මුදුණින් පිළිගනිති. මුළු ලෝකයම (එකිනෙකා නිර්මාණය කරන ලෝක වෙනස් බවත් ඒ ලෝක යම් චින්තනයක් මත පදනම් වන බවත් අපි කියමු) සමස්තයක් ලෙස ගෙන දැකිය හැක්කේ වියුක්ත ව සිතීමෙනි. අපේ චින්තනයෙහි අංගයක් නොවූව ද වර්තමානයෙහි බටහිරයන් පරාජය කිරීමට නම් තරමකට වුවත් වියුක්ත ව සිතීමට පුරුදු විය යුතු ය. මේ ලිපිය ද ඒ ඒ සිද්ධි එකින් එක ගෙන කරන විශ්ලේෂණයකට වඩා සමස්තය දැකීමකි. 

පිල්ලෙ කවුදැයි අප නොදැන සිටියා නො වේ. ඇය දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයෙහි දෙමළ සම්භවයක් සහිත ලියකි. ලන්දේසීන් වත්මන් දකුණු ඉන්දියාවෙන් ගෙන ගිය වෙල්ලාලයන් හෙවත් කෘෂිකාර්මික කම්කරුවන් පදිංචි කර ඇත්තේ ද මේ නැටෝල් ප්‍රදේශයෙහි ය. පිල්ලෙ වෙල්ලාල දැයි මම නො දනිමි. එහෙත් ළදරු වියෙහි දී ඇයට වෙල්ලාල චින්තනය බලපාන්නට ඇත. වෙල්ලාල චින්තනයෙහි එක් අංගයක් නම් බටහිරයන්ට දක්වන ගැති කම ය. ලන්දේසීහු ද ඉංගිරිසිහු ද අනෙක් රටවලට වෙල්ලාලයන් ද ඇතුළු දෙමළ ජනවර්ගය වැඩියෙන් ගෙන ගියේ පොදුවේ දෙමළ ජනයා බටහිරට සුවච ව සේවය කිරීම හේතුවෙනි. බටහිරයන් කිසිම රටකට සේවය කිරීම සඳහා සිංහලයන් ගෙන ගොස් නැති බව අමතක කළ යුතු නො වේ. පිල්ලෙට දකුණු අප්‍රිකාවේ ද ඇමරිකාවේ ද ලැබුණේ බටහිර යුදෙවු ක්‍රිස්තියානි අධ්‍යාපනයකි. අපට වැදගත් නොවූ හාවඩ් විශ්වවිද්‍යාලය යුදෙවු ක්‍රිස්තියානි අධ්‍යාපනයක් ලබාදෙන විශ්වවිද්‍යාලයකි. පිල්ලෙ සිතන්නේ පතන්නේ බටහිරයන්ට අවශ්‍ය අන්දමට ය. පිල්ලෙ පැමිණියේ ඔබාමාට සේවය කිරීමට ය. ඔබාමා ප්‍රසිද්ධියේ කුමක් කීව ද ඔහුට අවශ්‍ය වන්නේ බටහිරයන්ට අභියෝගයක් වූ  සිංහල බෞද්ධ සංස්කෘතිය හැකිනම් විනාශ කිරීමට ය, බැරි නම් දුර්වල කිරීමට ය. පිල්ලෙගෙ වාර්තාව ඒ සඳහා ය. ඇමරිකාව යුදෙවු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටකි. පිල්ලෙ කිසි දිනෙක ඔබාමා ධම්මපදයේ නොව බයිබලයේ අත තබා දිවුරුම් දෙන්නේ ඇයි දැයි නො අසයි. එහෙත් නිදහස් චතුරස්‍රයෙහි ඇති බෞද්ධ කොඩියක් ගැන මැසිවිලි කියයි. යුද්ධයෙන් මියගිය අයට ගරුකිරීම ඇගේ ප්‍රතිපත්තිය කියමින් නන්දිකඩාල් හි මල් විසුරුවීමට ඇයට අවශ්‍ය වන්නේ යුදෙවු ක්‍රිස්තියානි චින්තනය වෙනුවෙනි. ප්‍රභාකරන් යනු යුද්ධයෙන් මියගිය අහිංසකයකු නොව වෙල්ලාලයන්ට රැවටී හිංසාව මෙහෙයවූ ත්‍රස්තවාදියා බව මේ ඊනියා මානවහිතවාදිනියට අමතක වෙයි. ඇය ආණ්ඩුව ඒකාධිපතිවාදයක් කරා යන්නේ යැයි කියන්නේ තමන්ගෙන් ප්‍රශ්න ඈසූ ජනමාධ්‍යවේදීන්ට චෝදනා කරමිනිෂ ආණ්ඩුව තමන්ට රටේ ඕනෑම තැනකට ගොස් ඕනෑම කෙනකු හමුවීමට අවසර දුන් බවත් ඇය ඒ අවසරය අනිසි ලෙස යොදා ගෙන ආණ්ඩුවට හොරෙන් ත්‍රිකුණාමලයේ දී කතෝලික පූජකවරයකු හමු වූ බවත් අමතක කරමිනි.  ලංකාවේ දෙමළ ජනයාගේ ඊනියා අයිතිවාසිකම් ගැන කතාකරන ඇය දකුණූ අප්‍රිකාවේ දෙමළ ජනයාගේ අයිතීන් අමතක කරයි. මැන්ඩෙලාගේ  දකුණු අප්‍රිකාවේ දෙමළ භාෂාවට හා දෙමළ සංස්කෘතියට ඇති තැන කුමක් ද? 

පිල්ලෙට ලංකාවට ඒමට ආරාධනාකිරීම නිවැරදි ය. ඇය කවුදැයි අද පඬියන් හැරෙන්නට සියල්ලෝ දනිති. පිල්ලෙ ගැන බටහිරට කීමට අපට අවශ්‍ය නො වේ. එහෙත් ඇතැම්හු ඇගේ කතාවේ ඇතැම් කොටස් ගැන ප්‍රසාදය පළකරති. විශේෂයෙන් ම කොටි සංවිධානය මිනීමරු සංවිධානයක් යැයි කීම අගයති. ඇයට අද ඒ බව නොකියා බැරි ය. එහෙත් 1909 මැයි මාසයට පෙර ඇය කීවේ කුමක් ද?  ළමයින් බඳවා ගැනීම ගැන ඇය කොටින්ට චෝදනා කළේ ද? ඇය ද අනෙක් බටහිරයන් ද ඔවුන්ගේ ගැත්තන් ද කියා සිටියේ මේ මිනීමරු සංවිධානය පරාජය කිරීමට නොව ඔවුන් සමග සාකච්ඡා කර ඊනියා සාමයක් උදාකර ගැනීමට ය. ප්‍රභාකරන්ගේ දෙමළ ත්‍රස්තවාදය අවුරුදු තුන්සිය පනහක පමණ දෙමළ වෙල්ලාල දේශපාලනයේ, විශේෂයෙන් ම ඉංගිරිසින් යටතේ පසුගිය අවුරුදු එකසිය අසූවක පමණ දෙමළ ජාතිවාදයේ විකාශයක් පමණකි. ඒ සඳහා වෙල්ලාලයන් සිංහලයන්ට විරුද්ධව උසිගන්වනු ලැබුයේ ඉංගිරිසින් විසිනි. මේ දේශපාලන ප්‍රවාහය ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි විස්තර කෙරෙයි. නන්දිකඩාල් කලපුවේ දී පරාජය කරනු ලැබුයේ ඒ දේශපාලන ප්‍රවාහය ය. ඉන්පසු සියළු දේශපාලන ගිවිසුම්, දහතුන, පළාත්සභා ආදී සියල්ල අහෝසි වෙයි. අපි ඒ බව පුන පුනා කියා ඇත්තෙමු.


එමෙන් ම දෙමළ ත්‍රස්තවාදය පරාජය කළ පමණින් දෙමළ ජාතිවාදය පරාජය නොවන බව අපි 1995 තරම් ඈතක දී ඉහත සඳහන් කෘතියෙහි සඳහන් කළෙමු. ඒ ව්‍යාජ දේශ හිතෛශීන් මාක්ස්වාදී තිඹිරිගෙයි නැළවෙන කාලයෙහි දී ය. ඊනියා ජනවාර්ගික ප්‍රශ්නයට විසඳුමක් නැත. එයට හේතුව ජනවාර්ගික ප්‍රශ්නයක් මෙරට නැති වීම ය. ඇත්තේ සිංහල බෞද්ධ සංස්කෘතියට එරෙහි ව බටහිරයන් වෙල්ලායන්ගේ ප්‍රධානත්වයෙන් දෙමළ ජනතාව යොදා ගැනීම ය. ඒ ප්‍රශ්නයට විසඳුම නන්දිකඩාල් වෙයි. බටහිරයෝ ඒ විසඳුම ගැන උරණ වෙති. ඔවුන්ට නැවතත් රවුම යෑමට අවශ්‍ය වෙයි. දෙමළ ජාතික සංධානය දේශපාලනය කරන්නේ ඒ සඳහා ය. දෙමළ ජාතික සංධානය අද තරග වදින්නේ ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය නමැති චෙල්වනායගම් පිහිටුවා ගත් සිංහල විරෝධී දේශපාලන පක්‍ෂයේ නමින් ය. ඔවුහු කොටි සංවිධානයේ ත්‍රස්තවාදය පිළිගත්හ. අදත් පේ්‍රමචන්ද්‍රන් වැන්නන් කියන්නේ ආයුධ අතට ගැනීමට ය. විග්නේෂ්වරන්ට ප්‍රභාකරන් වීරයෙකි. කොටින් මිනීමරු සංවිධානයක් යැයි බොරුවට කියන පිල්ලේ එහූ දෙමළ ජාතික සංධානය සමග සාකච්ඡා කළා ය. එහෙත් සිංහල සංවිධාන සමග සාකච්ඡා නො කළා ය. බළලා මල්ලෙන් එලියට පැන ඇත්තේ දෙමළ ජාතික සංධානයේ මැතිවරණ ප්‍රකාශයත් සමග ය. එය 1976 කුප්‍රසිද්ධ වඩුකොඩෙයි ගිවිසුමේ නව මුද්‍රණයක් පමණකි. බටහිර දාසයන් ලෙස වෙල්ලාලයෝ සිංහල සංස්කෘතිය නැතිකිරීමේ දේශපාලනය නැවත අරඹා අසරණ දෙමළ ජනයා ලක්‍ෂ ගණනින් නැවත බිලි දීමට සූදානම් වෙති. ඒ සඳහා පෙර පරිදි ම බටහිරයන් විසින් ආයුධ සැපයෙනු ඇත. එහෙත් බටහිරයන් හා වෙල්ලාලයන් වෙනුවෙන් මිය යෑමට අසරණ දෙමළ ජනයා කටයුතු කළ යුතු ද? ඒ දෙමළ ජනයා අද කළ යුත්තේ සිංහලයන් සමග එකතු වී තමන් පෙළන ඊනියා කුලීන වෙල්ලාලයන් හා බටහිරයන් පරාජය කිරීම ය.


නලින් ද සිල්වා

2013-09-08