Main Logo

Sunday 5 January 2014

දකුණු අප්‍රිකාව හා ශ්‍රී ලංකාව - 2


දකුණු අප්‍රිකාවේ කළු ජනතාව බහුතරය වෙයි. ලන්දේසීන් ප්‍රමුඛ යටත්විජිතවාදී සුද්දෝ සුළුතරය වුවත් දේශපාලන සංස්කෘතික හා ආර්ථික බලය දැරූහ. ඒ යටත්විජිතවාදයේ ආධිපත්‍යය හේතුකොටගෙන ය. සුද්දෝ දකුණු අප්‍රිකාවේ ඉතා දරුණු වර්ගභේදවාදයක් ක්‍රියාත්මක කළහ. එයට විරුද්ධව කළු ජාතිකයෝ නැගී සිටියෝ ය. නෙල්සන් මැන්ඩෙලා ඒ අරගලයේ කැපී පෙනුණු නායකයා විය. සුද්දෝ ඔහු සිරකළහ. එහෙත් අරගලය නිම නො වී ය. සුද්දන්ට තව දුරටත් කළු අරගලය මර්දනය කිරීමට නොහැකි බව පෙනී ගියේ ය. අද එංගලන්තයේ අගමැති වූ ද දෙමළ ජාතිවාදයේ වත්මන් ප්‍රධාන අනුග්‍රහකයා ලෙස මෙරට බහුතරය වූ සිංහලයන්ට තර්ජනය කරන චණ්ඩියා වූ ද ඩේවිඩ් කැමරන් තරුණ අවධියේ දී මැන්ඩෙලා මරා දැමිය යුතු බවට උද්ඝෝෂණය කළ බව බොහෝ දෙනා නො දනිති. කෙසේ වෙතත් මැන්ඩෙලා හිරේ සිටිය ද කළු ජනතාවගේ අරගලය වර්ධනය වත් ම තමන් විශාල පිරිසක් ඝාතනය වන බවත් අවසානයේ දී තමන්ට දේශපාලන බලය මෙන් ම ආර්ථික බලය ද නැතිවන බවත් තමන්ට කිසිවක් නැතිව දකුණු අප්‍රිකාවෙන් පිටවීමට සිදුවන බවත් සුද්දන්ට වැටහිණි. එය වැළැක්වීමට සුද්දන්ට අවශ්‍ය විය. ඒ සඳහා යොදාගත හැකි සුදුසු ම පුද්ගලයා මැන්ඩෙලා විය. මැන්ඩලා හිරෙන් නිදහස් කළ බවත් ඔහු ඊනියා සංහිඳියා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ බවත් සුද්දන්ට සමාව දීමට තරම් දේව ගති තිබූ බවත් අපි දනිමු. අප ඒ බව දන්නේ සුද්දන් අපට එලෙස කියා දී ඇති බැවිනි. මේ අතර ඩෙස්මන්ඩ් ටුටූ නම් දේවගැතිවරයාගේ නායකත්වයෙන් ඊනියා සත්‍යය සොයා ගැනීමේ හා සංහිඳියාවේ කොමිසමක් ද පත්කෙරිණි. මෙහි දී අපට වැදගත්වන කරුණ වන්නේ ආගමික ව මැන්ඩෙලා හා ටුටූ ක්‍රිස්තියානි වූ බවත් සංස්කෘතික ව ද සුද්දන්ට සමීප වූ බවත් ය. සුද්දන් හා කළු නායකයන් අතර ප්‍රශ්නය ප්‍රධාන වශයෙන් ම තිබුණේ දේශපාලන හා ආර්ථීික ක්‍ෂෙත්‍රවල ය. සුද්දන් මැන්ඩෙලා හිරෙන් නිදහස් කළේ යම් ගිවිසුමකට අනුව බව පැහැදිලි ය. 

මැන්ඩෙලාට මෙතරම් දේවගති ලැබුණේ කෙසේ ද? දේවගැති ටුටූට ද වඩා මැන්ඩෙලාට දේවගති තිබුණු බව සුද්දෝ අපට කියා දෙති. අද මැන්ඩෙලා කැමරන්ගේ ද වීරයකු බවට පත් වී ඇත. එය හුදෙක් දේශපාලනයේ දී සදාකාලික මිතුරන් හෝ සතුරන් හෝ නැත යන පඬිවැකිය තහවුරු කරන්නක් ද?  ගාන්ධි ද අද සුද්දන්ගේ වීරයෙකි. එහෙත් ධර්මපාලතුමා  සුද්දන්ගේ සතුරෙකි. ගාන්ධි නොවන්නට සුද්දන්ට ඉන්දියාව මුළුමනින් ම අහිමි වීමට තිබිණි. ඇතැම් විට ඊනියා දෙවැනි ලෝක යුද්ධයේ දී ගාන්ධි සුභාෂ් චන්ද්‍රබෝෂ් මෙන් එංගලන්තයට විරුද්ධව ජපානයට සහාය දුන්නේ නම් ලෝක ඉතිහාසය වෙනස් වීමට පවා ඉඩ තිබිණි. ගාන්ධි යුද්ධයේ දී සුද්දන්ට පක්‍ෂපාති විය. සුද්දන් ගාන්ධිට ගරු කරන්නේ නිකම් නො වේ. සුද්දන් ගිය පසු කළු සුද්දන්ගෙන් පරෙස්සම් වීමට ඉල්ලා සිටි ධර්මපාලතුමාට සුද්දන් පමණක් නොව කළු සුද්දෝ ද වෛර කරති. අදත් පඬියන් පත්තරවල පිටු ගණන් ද බටහිර ගැති ඊනියා ශාස්ත්‍රඥයන් නිබන්ධන දුසිම් ගණනින් ද ධර්මපාලතුමාට එරෙහිව පළකරන්නේ සුද්දන්ට එතුමාගෙන් සේවයක් නොවූ බැවිනි. සුද්දන් හා නිවට පුහු පඬියන් යමකුට ගරු කරන්නේ ඔහු සුද්දන්ට සේවය කර ඇත්නම් ය. සුද්දන්ට මැන්ඩෙලා වීරයකු වන්නේ අවසානයේ දී ඔහු සුද්දන්ගේ ගැලවුම්කාරයා වූ බැවිනි. මා මෙසේ කීම ගැන මෙරට පඬියන්ට මා සමග අමුතුවෙන් උරණ වීමට අවශ්‍ය නොවනු ඇත. ඔවුහු අවුරුදු තිහකට ආසන්න කාලයක් මා සමග උරණ වෙති.  

මැන්ඩෙලා සාමාන්‍ය කළු ජාතිකයෙකි. ඔහුට විශාල දේපළක් උත්පත්තියෙන් හිමි වූයේ නැත. එහෙත් ඔහු මිය යන විට මුදලින් පමණක් රන්පවුම් මිලියන ගණනක හිමිකරුවා වී යැයි පළවිණි. අද ඔහුගේ දේපොළ බෙදාගැනීමට ඔහුගේ නෑයෝ දකුණු අප්‍රිකාවේ ක්‍රියාත්මක වන රෝම ලන්දේසි නීතියේ පිහිට පතති. එහෙත් බටහිර ජනමාධ්‍ය හසුරුවන්නෝ එයට එතරම් ප්‍රසිද්ධියක් නො දෙති. මේ ඉන්ද්‍රිය ගෝචර දත්ත මගින් අපට කිවහැකි කතන්දරය කුමක් ද? එය බටහිර විද්‍යාවේ මෙන් වියුක්ත කතන්දරයක් හෙවත් පට්ටපල් බොරුවක් විය යුතු නො වේ. දේශපාලනයේ දී මුදල් හුවමාරු වන්නේ අපේ රටේ පමණක් නො වේ. එය අපට පෙන්නා කරන ඔප්පු කළ හැකි හුවමාරුවක් නොවූවත් ඒ ඒ අයගේ බැංකු ගිණුම් හෝ වෙනත් ගිනුම් හෝ තරවන බව බොරුවක් නො වේ. දේශපාලනඥයන් පමණක් නොව පුහු නිවට උගත්තු ද සෑම රටක ම අළෙවි වෙති. මෙරට අද සුද්දන්ගේ ජනප්‍රිය උගතුන්ට සුද්දන්ගෙන් පවුම් ඩොලර් යුරෝ ලැබෙන බව රහසක් නො වේ. එසේ මුදල් ලබාදීම හා මුදල් ගැනීම කිසිසේත් ම වියුක්ත ගුරුත්වාකර්ෂණ බලය වැනි පට්ටපල් බොරුවක් නො වේ. මුදල් හා වෙනත් ලාභ ප්‍රයෝජන ඉන්ද්‍රිය ගෝචර වෙයි. මෙරට පුහු පඬියෝ සබ්බ සූත්‍රයෙන් කියැවෙන සියල්ල ඉන්ද්‍රිය (එනම් පංචෙන්ද්‍රිය) ගෝචර වන දේ පමණක් නොවන බව නො දනිති. බෞද්ධයන් යැයි කියාගන්නා මේ පඬියෝ ගුරුත්වාකර්ෂණය බොරු නම් ඒ උපයෝගී කරගෙන හඳට යන්නේ කෙසේ දැයි අසති. බුදුදහමට අනුව පුද්ගලයකු හෝ ආත්මයක් හෝ නොවූ නිවුටන්ට (බොරුවක් වූ නිවුටන්ට) ගුරුත්වාකර්ෂණ බොරුව නිර්මාණය කිරීමට හැකිනම් ගුරුත්වාකරෂණ බොරුව යොදාගෙන හඳට යෑම අරුමයක් විය හැක්කේ බටහිරට අනුව බුදුදදහම විවරණය කරන බොරු බෞද්ධයනට පමණකි.                     

ඒ කෙසේ වෙතත් මැන්ඩෙලාගේ මුදල් කතන්දර පසෙකින් තැබුවත් අපට පැහැදිලි කරුණ නම් දකුණු අප්‍රිකාවේ සුද්දන් තවමත් ආර්ථික බලය දරන බවත් සමාජයීය වශයෙන් ගත්කල සුළුතරයක් වුවත් ඔවුන් තවමත් කල්ලන්ට වඩා සමාජයේ වැදගත් බවත් ය. කල්ලන් කිහිප දෙනකුට නාමික දේශපාලන බලයක් ලබා දී ඇති නමුත් සුද්දෝ තවමත් දකුණු අප්‍රිකාව පාලනය කරති. රටේ ජනගහනයේ බහුතරය කල්ලන් වුවත් මැන්ඩෙලා ද බලයට පත් වී අවුරුදු විස්සකට වැඩි නමුත් දකුණු අප්‍රිකානු ක්‍රිකට් කණ්ඩායමේ බහුතරය තවමත් සුද්දන්ගෙන් සමන්විත වෙයි. කළු ක්‍රීඩකයන් කිහිප දෙනා ද සාමාන්‍ය කල්ලෝ නො වෙති. සාමාන්‍ය පවුල්වල ක්‍රීඩකයන් ක්‍රිකට් කණ්ඩායමේ ඇත්තේ ලංකාවේ හා බටහිර කොදෙවුවල විය හැකි ය. මැන්ඩෙලා සුද්දන්ට කර ඇත්තේ සුළුපටු සේවයක් නො වේ. සුළුතර සුද්දෝ කළු ජනයාගේ ලේ කඳුළුවලින් පිරීගිය නිදහස් සටනකින් පසුව ද තවමත් ඊනියා සංහිඳියාවක නාමයෙන් දකුණු අප්‍රිකාවේ ආධිපත්‍යය දරති. ලංකාවේ ද සුද්දන්ට අවශ්‍ය වූයේ ලෙයින් කඳුලෙන් පිරි නිදහස් සටනක් කළ බහුතර සිංහලයන් ආර්ථික, දේශපාලනික හා සංස්කෘතික ක්‍ෂෙත්‍රවල ඈතින් තබා යටත්විජිතවාදී ආධිපත්‍යයෙන් රැකවරණය ලැබූ ඉංගිරිසි උගත් දෙමළ සුළුතරයකට බලය හා නායකත්වය ලබාදීමට ය. (මතු සම්බන්ධයි)


නලින් ද සිල්වා

2014-01-05