දකුණු අප්‍රිකාව හා ලංකාව අතර ඇත්තේ විශාල සමානත්වයකි. රෝම ලන්දේසි නීතිය නමින් වුව ක්‍රියාත්මක වන්නේ ලංකාවේ හා දකුණු අප්‍රිකාවේ ය. ලන්දේසින් වත්මන් දකුණු ඉන්දියාවෙන් වෛදික සම්ප්‍රදායට අනුව ශුද්‍රයන් ලෙස සැලකුනු වෙල්ලාල හෙවත් කෘෂිකාර්මික කම්කරුවන් ආනයනය කළේ ලංකාවට හා දකුණු අප්‍රිකාවට ය. සුළු ජන කණ්ඩායම් රටේ දේශපාලන ආර්ථික හා සංස්කෘතික නායකත්වයට පැමිණවීමට යටත්විජිතවාදීන් ඉතා දැඩිව ක්‍රියාත්මක වූ හා වන රටවල් වනුයේ ද දකුණු අප්‍රිකාව හා ලංකාව ය. එහෙත් එහි දී යොදාගනු ලැබෙන කණ්ඩායම් අතර නම් යම් වෙනස්කමක් දැකිය හැකිය. දකුණු අප්‍රිකාවේ අතිවිශාල බහුතරය කළු ජනතාව නමුත් ඔවුන් පාලනය කෙරුණේත් කෙරෙන්නේත් සුළු ජනකොටසක් වූ සුදු ජනයා විසිනි. ඒ සුදු ජනයාගෙන් බහුතරයක් ලන්දේසීන්ගෙන් පැවත එන්නෝ වෙති.
ලංකාවේ අතිවිශාල බහුතරය සිංහලයන් වන නමුත් සුදු යටත්විජ්තවාදීන්ට අවශ්‍ය වූයේත් අවශ්‍ය වන්නේත් හැකි නම් ඔවුන්ගේ සුරතලුන් වූ ඉංගිරිසි උගත් දෙමළ ජනයා රටේ පාලකයන් බවට පත්කිරීමට ය. මෙහි දී යටත්විජිතවාදීහු දකුණු අප්‍රිකාවේ දී මෙන් සෘජුව බහුතරය පාලනය නොකරන බව පෙනෙන නමුත් ඉංගිරිසි උගත් දෙමළ ජනයා ඔවුන්ගේ නියෝජිතයෝ බවට පත්වෙති. එමෙන් ම මුළු ලංකාවේ ම නායකත්වයට ඉංගිරිසි උගත් දෙමළ ජනයා පත්කිරීමට නොහැකි බව ඉංගිරිසුහු 1931 දී අපට සර්වජන ඡන්දය ලබාදීමෙන් පසුව අවබෝධ කරගත්හ. ඉංගිරිසින්ගේ පැත්තෙන් බැලූ කල ලංකාවට සර්වජන ඡන්දය ලබාදීම ඔවුන් කළ මුග්ධ ක්‍රියාවකි. තමන්ගේ මුග්ධ ක්‍රියාවේ ප්‍රතිඵල දැනගැනීමෙන් පසුව යටත්විජිතවාදීහු දෙමළ නායකයන් ලංකාවේ උතුරු හා නැගෙනහිර පළාත් වෙනම රටක් බවට පත්කර එහි පාලකයන් බවට පත්කිරීමටත් ඒ ඔස්සේ ලංකාව සදාතනික දේශසීමා අරගලයක පටලවා එමගින් ලංකාවට බලපෑම් දමමින් ලංකාව පාලනය කිරීමටත් උත්සාහ කරති. ඉංගිරිසින් ඒ සඳහා එදා ඉංගිරිසි උගත් දෙමළ වෙල්ලාලයන් යෙදා ගත්තේ නම් අද බටහිර රටවල වාසය කරන විසිරුණු දෙමළ ජනයා යොදා ගනිති. අද ඩේවිඩ් කැමරන් නම් ඉංගිරිසි අගමැතිවරයාත් මෙරට තානාපතිනියක් පමණක් වූ එහෙත් තමා මෙරට ආණ්ඩුකාරයා මෙන් සිතා කටයුතු කරන ඇමරිකන් තානාපතිනියත් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විවිධ නියෝජිතයනුත් ක්‍රියා කරන්නේත් ඒ අරමුණෙනි. එහෙත් ඒ සියළු අරමුණු පරාජය කිරීමට අපට හැකි බව කටමැත දොඩමින් ජනතාව භීතියට පත්කිරීමට උත්සාහ කරමින් බලයට පත්වීමට සැලසුම් කරන මාර්ග සිතියම් කරුවන්ගේ හා ඔවුන් පසුපස යන ජාති හිතෛශීන් ලෙස පෙනී සිටින කුහක ජඩමාධ්‍යවේදීන්ගේ මුග්ධ අනාවැකි අනුමත නොකරන අපි දනිමු. දෙමළ ජාතිවාදයේ විකාශය හදාරා නොමැති මොවුහු අපට විරුද්ධවීමේ චේතනාව පෙරදැරි කරගෙන ඊනියා මාර්ග සිතියම් ඉදිරිපත් කරති.
දකුණු අප්‍රිකාවේ මෙන් ම මෙරට ද යටත්විජිතවාදීන්ට අවශ්‍ය වූයේත් අවශ්‍ය වන්නේත් සිංහල බහුතරයට පාලන බලය අහිමි කිරීම ය. මේ ලිපි පෙළේ පළමු කොටසෙහි සඳහන් කළ පරිදි ඔවුන්ගේ පළමු කාර්යය වූයේ යාපන අර්ධද්වීපයෙහි සිංහල බහුතරය සුළුතරය බවට පත්කිරීම ය. පෘතුගීසීන් මෙරටට පැමිණෙන විටත් යාපනයේ බහුතරය වූයේ සිංහලයන් ය. ඒ බවට පෘතුගීසි ඉතිහාසඥයෝ සාක්‍ෂි දරති. යාපනයේ ස්වාධීන රාජ්‍යයක් නොතිබිණි. එක්සේස්ත් රාජ්‍යය යටතේ යාපනයේ ආර්යචක්‍රවර්තී නමින් වූ මුහුදු කොල්ලකරුවන් පිරිසක් වාංශික පාලනයක් ගම්පොළ හා කෝට්ටේ රජවරුන්ගේ අවසරය පරිදි පවත්වාගෙන ගියහ. ආර්ය චක්‍රවර්තීන්ගේ නම අනුව නම් ඔවුන් ආර්ය ගෝත්‍රයක් විය යුතු නමුත් හුදු තර්කය සඳහා ඔවුන් ද්‍රවිඩ යැයි කියමු. එහෙත් එපමණකින් යාපනයේ ද්‍රවිඩ රාජ්‍යයක් තිබූ බව නිගමනය කළ හැකි නො වේ.
රාජ්‍යයක් වර්ගීකරණයට ලක්වන්නේ රජුගේ වංශය අනුව නො වේ. කිසිම ආකාරයක වරදවා තේරුම් ගැනීමකට ඉඩ නොතබා අවධාරණය කළ යුත්තේ පෘතුගීසීන් පැමිණෙන විට යාපනයේ ස්වාධීන රාජ්‍යයක් නොතිබූ බව ය. එක්සේසත් රාජ්‍යය යනු කුමක් දැයි තේරුම් ගැනීමට නොහැකි වූ පෘතුගීසි ඉතිහාසඥයෝ ඊනියා රාජ්‍ය කිහිපයක් ලංකාවේ තිබූ බවටත් කෝට්ටේ අධිරාජයකු සිටි බවටත් සඳහන් කළහ. ඒ ඔවුන්ගේ දෘෂ්ටි කෝණයෙන් බැලීමෙනි. ඔවුන්ට යුරෝපයේ එක්සේසත් රාජ්‍ය නො තිබිණි. එබැවින් ඔවුහු තමන් දැනසිටි සංකල්ප යොදා ගනිමින් ලංකාවේ එක්සේසත් රාජ්‍යය රාජ්‍ය කිහිපයක් ලෙසත් රජු අධිරාජයා ලෙසත් දුටුවෝ ය. පසු කලෙක ලංකා විශ්වවිද්‍යාලය නම් ජෙනිංග්ස්ගේ ගුබ්බෑයමෙන් බිහිවූ මෙරට සිටින බටහිර ඉතිහාසඥයෝ ද ලංකාව පෘතුගීසීන් දුටු ආකාරයෙන් ම දුටුවෝ ය.
එංගලන්තයේ අදත් රජ කරන්නේ ජර්මන් සම්භවයක් සහිත ග්‍රීක නෑදෑැකම් ඇති රජ පෙළපතකි. එහෙත් ඔවුහු ඉංගිරිසි රජවරු මිස ජර්මන් රජවරු නො වෙති. කලක් එංගලන්තය් රජවරුන්ගේ භාෂාව වූයේ ප්‍රංශ භාෂාව ය. එහෙත් කිසිවෙක් එංගලන්තයේ භාෂාව ඉංගිරිසි නො වේ යැයි නො කීවෝ ය. අදත් එංගලන්තයේ ඇතැම් ලේඛනවල මේ ප්‍රංශ ලකුණ දැකගත හැකි ය. එකල එංගලන්තය් රදළයෝ ප්‍රංශ භාෂාව යොදා ගත්හ. එය එංගලන්ත ඉතිහාසඥයන්ට රට ප්‍රංශයන්ට අයත්ව තිබූ බව හෝ එංගලන්තයේ තිබුණේ ප්‍රංශ රාජ්‍යයක් බව හෝ කීමට සාධකයක් නො වීය. එහෙත් ලංකාව සම්බන්ධයෙන් ජෙනිංග්ස්ගේ හා ජී සී මෙන්දිස්ගේ කසිකබල් ඉතිහාසඅඥයන් අනුගමනය කරන ප්‍රතිපත්තියට අනුව යාපනයේ පමණක් නොව මහනුවර ද නායක්කාර රජවරුන්ගේ කාලයේ තිබී ඇත්තේ දෙමළ රාජ්‍ය ය. රාජ්‍යයක් නොවූ යාපනයත් රාජ්‍යයක් වූ මහනුවරත් දෙකම පාලකයන් කවුරුන් වුවත් සිංහල යැයි අපි ප්‍රකාශ කරමු. නුවර රාජ්‍යයේ, එනම් සිංහලයේ රාජ්‍යත්වය සිදුවූයේ සිංහල ක්‍රමයට ය. නායක්කාරවරුන්ගේ සම්භවය ආන්ද්‍ර, එනම් තෙළිඟු විය. එ දෙමළ නොව සිංහලයන්ට අනුව ආන්ද්‍ර (එනම් ආන්ද්‍ර ප්‍රදේශයේ) දෙමළ හෙවත් අන්ඩරදෙමළ විය. තෙළිඟු රජ පෙළපත රාජ්‍ය විචාළේ සිංහල ක්‍රමයට ය. ඒ රාජ්‍යය වර්ගීකරණය වන්නේ ඒ අනුව සිංහල රාජ්‍යයක් ලෙස ය. ඒ මිස ඇතැම් නිළමේවරුන් අත්සන් කළේ කිනම් භාෂාවකින් ද යන්න මත එය තීරණය නො වේ. අද ද ඇතැම් ඇමතිවරුන් ඉංගිරිසියෙන් අත්සන් කරනවා විය හැකි ය. එහෙත් එපමණකින් ලංකාවේ ඇත්තේ ඉංගිරිසි රාජ්‍යයක් යැයි කියන මුග්ධයකු වේ ද? සිංහල රාජ්‍යයේ විවිධ කාලවල ලම්බකර්ණ, මෞර්යය ආදී විවිධ වාංශික රජවරු සිටියහ. එහෙත් ඒ සිංහල රාජ්‍යය මිස ලම්බකර්ණ හෝ මෞර්ය රාජ්‍යයක් නො වී ය. එපරිදි ම මෙරට නායක්කාර් රාජ්‍යයක් නො වී ය. එපමණක් නොව එක්සේසත් රාජ්‍යයේ යාපනයේ ප්‍රදේශය සිංහල ප්‍රදේශයක් මිස ආර්ය චක්‍රවර්තී රාජ්‍යයක් නො වී ය. (මතු සම්බන්ධයි)
නලින් ද සිල්වා
2014-01-26
2014-01-26