Main Logo

Wednesday 22 January 2014

අහෝ නිවුටන් නොදිටි හිරු බුද


සම්මානිත මහාචාර්ය ඩී එස් සී උපාධිධාරී අශෝක අමරතුංග මහතාගේ ජනවාරි පළමුවැනිදා ලිපියට අපේ අවධානය තවමත් යොමුවෙයි. ඒ මහතාගේ ජනවාරි අටවැනිදා ලිපිය අපි පසුව සළකා බලමු. පළමුවැනිදා ලිපියෙහි ඒ මහතා අවිනිශ්චිතභාවය යන්න සඳහා යොදාගත් ඉංගිරිසි වචනය වූයේ ඉන්කන්සිස්ටන්සි (inconsistency)   යන්න ය. එය හුදු වැරදීමක් නොව ඒ මහතා ඒ වචනවල තේරුම නිසි ලෙස නොදැන යොදාගත්තකි. ඒ බව තහවුරු වන්නේ ඒ මහතා සිද්ධාන්ත යන්න ද යොදාගෙන ඇති ආකාරයෙනි. ඔහු ඒ සඳහා ඉංගිරිසියෙන් කියන්නේ ෆැක්ට්ස් (facts)  යන්න ය. එහෙත්  සිද්ධාන්තය යන්නට පාරිභාෂික ශබ්දමාලාවල යොදා ගන්නේ තියරි (theory) යන්න ය. මලලසේකර ශබ්ද කෝෂයෙහි ද තියරි යන්නට සිද්ධාන්තය, න්‍යාය, මතය, වාදය යන වචන දී ඇත.

ෆැක්ට් යන්නට මලලසේකර ශබ්ද කෝෂය දී ඇත්තේ කරුණ, තතුව, සිද්ධිය, තොරතුරු, දත්තය, යථාව, ඇත්ත යන්න ය. පාරිභාෂික ශබ්දමාලාවල ෆැක්ට් යන්නට පරිසිද්ධිය, සිද්ධිය, සතුට, කරුණ, ප්‍රමිතිය යන්න ය. එහෙත් මේ කිසිවක ෆැක්ට් යන්නට සිද්ධාන්තය යන්න යොදා නොගැනෙයි. අප ශබ්දකෝෂවල හෝ පාරිභාෂික ශබ්දමාලාවල වහළුන් විය යුතු යැයි මම නො කියමි. තියරී යන්න වෙනුවට මා යොදා ගන්නේ ප්‍රවාදය යන්න ය. එය වාදය යන්නට වඩා ප්‍රබල ය. අපේ ප්‍රවාද යන්න ද යොදා ගැනෙන්නේ ඒ අර්ථයෙනි. සියළු ප්‍රවාද අපේ නිර්මාණ වෙයි. ජනප්‍රවාද යනුවෙන් හැඳින්වෙන්න ජනතාව අතින් නිර්මාණය වෙයි. අද ව්‍යවහාරය අනුව විද්‍යාඥයන් ශාස්ත්‍රඥයන් ආදීන් විසින් ප්‍රවාද නිර්මාණය කෙරෙයි. 

ෆැක්ට් යන්නට සුදුසු එක් සිංහල වචනයක් නැත. එයට හේතුව සිංහලයන්ට ඊනියා ෆැක්ට්ස් නොතිබීම ය. ෆැක්ට් යනු  කිසිසේත් ම සිද්ධාන්තය නම් නො වේ. කාලෝ ෆොන්සේකා මහතා කියා ඇති පරිදි නම් මාර්ටින් වික්‍රමසිංහ මහතාට අනුව ෆැක්ට් යනු සිංහලෙන් ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ වෙයි. මෙහි ඉන්ද්‍රිය යනු පංචෙන්ද්‍රිය බව පැහැදිලි ය. එහෙත් මනස නොමැතිව හුදු පංචෙන්ද්‍රියයන්ගෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ ඇති නො වෙයි. අනෙක් අතට බටහිර සාමාන්‍ය ව්‍යවහාරයෙහි දී පංචෙන්ද්‍රිය නොමැතිව මනසෙන් පමණක් ප්‍රත්‍යක්‍ෂ ඇති නො වෙයි. අපි ප්‍රත්‍යක්‍ෂ ගැන පසුව තවදුරටත් සාකච්ඡා කරමු. 

එසේ වුවත් දැනට කිවයුතු යුතු දෙයක් වෙයි. ෆැක්ට් යනු තනි සිද්ධියකට හෝ සිද්ධි කිහිපයකට සීමාවෙයි. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර වෙයි. එහෙත් සිද්ධාන්තයක් එසේ නො වේ. එය සිද්ධි රාශියක් තේරුම් කරදීමට යොදා ගැනෙයි. තියරි යන්න සඳහා සිද්ධාන්තය යන්න යොදාගෙන ඇත්තේ එබැවිනි. නටුවෙන් ගිළුහුණු පොල් ගෙඩි පොළොවට වැටීම පංචෙන්ද්‍රියයන්ට ගෝචර ප්‍රත්‍යක්‍ෂ වෙයි. කිසිම ප්‍රත්‍යක්‍ෂයක් සංකල්පයකින් ස්වායත්ත නොවන බව සඳහන් කළ යුතු ය. ඉහත සඳහන් උදාහරණයෙහි පොල් ගෙඩිය, පොළොව, වැටීම ආදිය සංකල්ප වෙයි. මේ සංකල්ප ද බොරු ය. එහෙත් ඒ අඩුම තරමෙන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන බොරු වෙයි. සියළු සංකල්ප බොරු වෙයි.

පොළොවට එසේ පොල් වැටෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය නිසා යැයි නිවුටන් කතාවක් ගෙතුවේ ය. එය, එනම් ගුරුත්වාකර්ෂණ බලය, පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ. සම්මානිත (සේවාර්ජිත) මහාචාර්ය අමරතුංග මහතා ගුරුත්වාකර්ෂණ බලය  දැක ඇත් ද? ස්පර්ශ කර ඇත් ද? සිපගෙන ඇත් ද? එහි රසය දන්නේ ද? එහි ශබ්දයක් අසා ඇත් ද? එය නිවුටන්ගේ මනසෙහි ඇතිවුණු මනස්ගාතයක් පමණකි. ගුරුත්වාකර්ෂණ බලය යන්න වියුක්ත ප්‍රයවාදයකි. එය පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වෙයි.    

බටහිර විද්‍යාඥයන් නිර්මාණය කරන ප්‍රවාද පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන වියුක්ත කතන්දර ය. පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන සියළු ප්‍රත්‍යක්‍ෂ බොරු වන අතර පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන වියුක්ත ප්‍රවාද (කතන්දර) පට්ටපල් බොරු වෙයි. මේ පට්ටපල් බොරු නිර්මාණය වන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය. මෙරට ඊනියා විද්‍යාඥයන්ට ඇත්තේ වෙනත් චින්තන ය. එෙ වෙනත් චින්තන ඇති අයට ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි වියුක්ත කතන්දර හෙවත් බොරු නිර්මාණය කිරීමට නො හැකි ය. මෙරට විද්‍යාඥයන් යැයි කියාගන්නන් අතර හරිහමන් බටහිර විද්‍යාඥයකු නොමැත්තේ එබැවිනි.

අමරතුංග මහතා ඉහත සඳහන් සියල්ල අනන් මනන් යැයි කීමට ඉඩ ඇත. ඒ එකකින්වත් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් යැයි ඔප්පු නොවන බව කියනු ඇත. එහෙත් ඉන්ද්‍රිය ගෝචර නොවන වියුක්ත කතන්දර (ප්‍රවාද) පට්ටපල් බොරු නොවන්නේ නම් වෙන කුමක් දැයි අමරතුංග මහතා පවසන්නේ ද? ඒ කෙසේ වෙතත් මා ඉහත සඳහන් දේ සඳහන් කළේ අමරතුංග මහතා එතරම් පරෙස්සමකින් තමන් කියන ලියන දේ හදාරා නොමැති බව පෙන්වීමට ය. අප කලින් ද කියා ඇති පරිදි ඒ මහතා වෙනත් ඊනියා උගතුන් හා විද්‍යුත් මාධ්‍යයෙහි නිවේදක නිවේදිකාවන් මෙන් ම වචනවල තේරුමවත් නොදැන අනෙක් අයට වචනවලින් දමා ගසයි. බොහෝ දෙනා ද වචන ගැන එතරම් තැකීමක් නොකරන බැවින් අමරතුංග මහතා වැන්නන්ට ගැලවී යෑමේ අවස්ථාව උදාවෙයි. 

අමරතුංග මහතාට අනුව කාන්ට් කියන්නේ යම්කිසි විශ්වාසයක් ඔහු (අමරතුංග මහතා) සිද්ධාන්ත යනුවෙන් හඳුන්වන  ෆැක්ට්ස් සමග එකඟ වේ නම් එය දැනුම ලෙස පිළිගැනෙන බව ය. දැනුම යන්නට විවිධ අය විවිධ අර්ථකථන කර ඇත. කාල් පොපර නම් බටහිර විද්‍යාවේ දාර්ශනිකයාට අනුව අසත්‍යකරණයට ලක්කළ හැකි දේ බටහිර විද්‍යාවට අයත්වන අතර අනෙක් සියල්ල මිථ්‍යා ය. මේ සියළු අර්ථකථන අතර අප කාන්ට්ගේ අර්ථකථනය තෝරාගන්නේ ඇයි?  මා දන්නා බුදුදහමට අනුව සියළු දැනුම සංකල්පීය වෙයි. සංකල්පීය දැනුම ශූන්‍ය වෙයි. එනම් පංචෙන්ද්‍රියයන්ට ගෝචර ප්‍රත්‍යක්‍ෂ ද ඇතුළු සංකල්පීය දැනුම බොරු වෙයි. මා බුදුදහම අගය කරන්නේ දැනුම නැතිකිරීමට එයින් අනුබලයක් ද ලැබෙන බැවිනි. 

අපි අමරතුංග මහතාගෙන් ඉතා කෙටි සරල ප්‍රශ්නයක් අසමු. කාන්ට්ගේ අර්ථකථනය, අවශ්‍ය නම් කාන්ට්ගේ දැනුම පිළිබඳ නිර්වචනය දැනුමක් ද? ඒ දැනුමක් බව පෙන්වන්නේ කෙසේ ද? ඒ සඳහා අපට කාන්ට්ගේ අර්ථකථනය (නිර්වචනය), යොදාගත නො හැකි ය. එසේ යොදාගැනීම හොරාගෙ අම්මගෙන් පේන ඇහීමකටත් වඩා අන්තවනු ඇත. කාන්ට්ගේ අර්ථකථනය දැනුමක් බව නොපෙන්වා අප අනෙක් ඊනියා විශ්වාස දැනුම් බව පෙන්වීමට කාන්ට්ගේ අර්ථකථනය යොදාගන්නේ කෙසේ ද? කාන්ට්ගේ අර්ථකථනය දැනුමක් නො වේ නම් අප යමක් දැනුමක් බව පෙන්වීමට එය යොදාගන්නේ කෙසේ ද? 

මේ ප්‍රශ්න අපට දිගින් දිගට ම ඇසිය හැකිය. දැනුම යනු කුමක් දැයි නිර්චනය කිරීමට යම් නිර්ණායක ඉදිරිපත් කළ යුතු ය. ඒ නිර්ණායක දැනුමක් ද නැත් ද යන්න තීරණය කිරීමට අප කිනම් නිර්ණායක යොදාගන්නේ ද? අපට ඒ සඳහා කලින් නිර්ණායක ම යොදාගත නොහැක්කේ එවිට දැනුම යන්න කුමක් දැයි තීරණය කරන්නේ ඒ දැනුමෙන් ප්‍රකාශ කෙරෙන නිර්ණායක ම යොදාගෙන බැවිනි. අප වෙනත් නිර්ණායක යොදාගන්නේ නම් එවිට ඒ වෙනත්  නිර්ණායක දැනුම බව තීරණය කරන්නේ කෙසේ දැයි ප්‍රකාශ කළ යුතු වෙයි. දැන් පඹගාලක පැටලී ඇත්තේ කාන්ට් ද අමරතුංග මහතා ද නැත්නම් දෙදෙනාම ද? 

මෙය බටහිර දැනුමේ ඇති මූලික ප්‍රශ්නයකි. නිර්වචනවලින් ඇරඹෙන ඕනෑම දැනුම් පද්ධතියක මේ ගැටළුව ඇත. ඒ ගැටළුව අන් කිසිවක් නොව මුල් නිර්වචනයට නිරවචනයක් දෙන්නේ කෙසේ ද? මුල් නිර්වචනයේ නිර්වචනය කුමක් ද? බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ පටන්ගැන්මක් ඇත. එහෙත් ඒ පටන්ගැන්ම ප්‍රශ්න කරන විට ගැටළු ඇතිවෙයි. එහි දී බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ඉදිරිපත් කරන විසඳුම වනුයේ මුල් හේතුව හෝ මුල් නිර්වචනය හෝ නිර්වචනය නොකරන ලද්දක් සේ සැලකීම ය. බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනය ඇතුළු ඕනෑම රේඛීය චින්තනයක මේ දුර්වලකම දැකිය හැකි ය. ආබ්‍රහිමික ආගම්වල මැවුම්කරුවාණන් අර්ථ නොදැක්වෙන්නේ ද රේඛීය දැනුම් පද්ධතියක මූල හේතුව තේරුම් කිරීමට, අර්ථදැක්වීමට නොහැකි බැවිනි. එය විශ්වාසයකි.  

උදාහරණයක් ලෙස රේඛීය චින්තනයක් මත පදනම් වූ බටහිර යුක්ලීඩීය ජ්‍යාමිතියෙහි තලයක් සරල රේඛා ඇසුරෙන් හෝ ලක්‍ෂ්‍ය ඇසුරෙන් හෝ නිර්වචනය කළ හැකි ය. එමෙන් ම සරල රේඛාවක් ලක්‍ෂ්‍ය ඇසුරෙන් නිර්වචනය කළ හැකි ය. එහෙත් ලක්‍ෂ්‍යයක් නිර්වචනය කරන්නේ කෙසේ ද? එය සරල රේඛා, තල ආදිය ඇසුරෙන් නිර්වචනය කළ නොහැක්කේ සරල රේඛා හා තල නිර්වචනය කිරීමට ලක්‍ෂ්‍යය යන සංකල්පය යොදාගෙන ඇති බැවිනි. බටහිර  යුක්ලීඩීය ජ්‍යාමිතිය මෙහි දී කරන්නේ ලක්‍ෂ්‍යය යන්න අර්ථනොදක්වන ලද සංකල්පයක් ලෙස ඉදිරිපත් කිරීම ය! මා මේ පිළිබඳ ව අපේ ප්‍රවාද ලිපි පෙළ ආරම්භයේ දී ලියා ඇති නමුත් අමරතුංග මහතාට ඒ විෂය වී ඇති බවක් නො පෙනෙයි.     

ඒ කෙසේ වෙතත් අමරතුංග මහතා මගෙන් ඉල්ලන්නේ බටහිර විද්‍යාව පට්ටපල් බොරු බවට ඊනියා ෆැක්ට්ස් ඉදිරිපත් කරන ලෙස ය. අපි දැන් අමරතුංග මහතා කියන මගේ විශ්වාසය සලකමු. ඔහු කියන ආකාරයට ඒ විශ්වාසය අන් කිසිවක් නොව බටහිර විද්‍යාව පට්ටපල් බොරු බව ය. එනම් බටහිර විද්‍යාවේ වියුක්ත ප්‍රවාද (වියුක්ත කතන්දර) පට්ටපල් බොරු බව ය.  ඊනියා ෆැක්ට්ස් යනු පංචෙන්ද්‍රියයන්ට ගෝචර ප්‍රත්‍යක්‍ෂ ය. අමරතුංග මහතා ඉල්ලන්නේ බටහිර විද්‍යාවේ වියුක්ත ඉන්ද්‍රිය ගෝචර නොවන කතන්දර (අවශ්‍ය නම් ප්‍රවාද) බොරු බවට ඉන්ද්‍රිය ගෝචර ප්‍රත්‍යක්‍ෂ ඉදිරිපත් කරන ලෙස ය. මෙහි ඉන්ද්‍රිය ගෝචර යන්නෙන් පංචෙන්ද්‍රියයන්ට ගෝචර වීම යන්න අදහස් කෙරෙන බව අවධාරණය කළ යුතු ය. 

බටහිර විද්‍යාවේ ප්‍රවාද පංචෙන්ද්‍රියයන්ට ගෝචර නො වේ.  දැන් ප්‍රශ්නයක් වෙයි. බටහිර විද්‍යාවේ පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන ප්‍රවාද බොරු ය යන්න පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන ප්‍රත්‍යක්‍ෂ (ඊනියා ෆැක්ට්ස්) සමග එකඟවන බව පෙන්වන්නේ කෙසේ ද? අපට එක් පැත්තකින් ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය වැනි පංචෙන්ද්‍රියයන්ට ගෝචර නොවන කතන්දර වෙයි. අනෙක් පැත්තෙන් පොල් ගෙඩි වැටීම වැනි පංචෙන්ද්‍රියයන්ට ගෝචර ප්‍රත්‍යක්‍ෂ (ඊනියා ෆැක්ට්ස්) වෙයි. ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය බොරු ය යන්න පොල් ගෙඩි වැටීම වැනි පංචෙන්ද්‍රියයන්ට ගෝචර වන ප්‍රත්‍යක්‍ෂ සමග එකඟ වන බව පෙන්වන්න යැයි කාන්ට්ගේ නාමයෙන් අමරතුංග මහතා ඉල්ලා සිටියි. 

පොල් ගෙඩි වැටීම පමණක් නොව සූර්යයා වටා බුධ වැනි ග්‍රහ වස්තූන්ගේ චලිතය ද තේරුම් කෙරෙන්නේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය මගිනි. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදයට අනුව සියළු ග්‍රහ වස්තු සූර්යයා වටා අචල ඉලිප්සවල චලනය විය යුතු ය. එහෙත් බුධ ග්‍රහයා එලෙස අචල ඉලිප්සයක චලනය නොවන බව අමරතුංග මහතා දන්නේ දැයි නො දනිමි. කෙසේ වෙතත් බුධ ග්‍රහයා පමණක් නොව කිසිම ග්‍රහ වස්තුවක් සූර්යයා වටා අචල ඉලිප්සවල චලනය නො වෙයි. නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සත්‍ය නම් ග්‍රහ වස්තු සූර්යයා වටා අචල ඉලිප්සවල චලනය විය යුතු ය. එහෙත් ඒ එසේ නො වේ. බුධ ග්‍රහයා සම්බන්ධයෙන් බටහිර විද්‍යාඥයන් ඒ බව දන්නේ බොහෝ කලක සිට ය. ඉන් කියැවෙන්නේ නිවුටන්ගේ ගුරුත්වාකර්ෂණ ප්‍රවාදය සත්‍යයක් ය යන්න පචෙන්ද්‍රියයන්ට ගෝචර ප්‍රත්‍යෂ සමග එකඟ නොවන බව ය. අමරතුංග මහතා ඉන් ලබාගන්නා නිගමනය කුමක් දැයි දැනගනු කැමැත්තෙමි. 


නලින් ද සිල්වා

2014-01-22