පක්‍ෂය ගොඩගැනීම හා ජාතිය ගොඩනැගීම
අද ගොඩනැගීමක් හා ගොඩගැනීමක්් ගැන දේශපාලනයෙහි කතාවෙයි. එකක් ශ්‍රී ල නි පක්‍ෂය ගොඩගැනීම ය. අනෙක ඊනියා ශ්‍රී ලාංකික ජාතිය ගොඩනැගීම ය. ශ්‍රී ල නි පක්‍ෂය දෙකඩ වීමක් නිසා දුර්වල වන බව ශ්‍රී ල නි පක්‍ෂයෙහි සිට මෛත්‍රිපාල සිරිසේන සමග ගොස් ආණ්ඩුවේ ඇමතිකම් ලබාගත්තෝ කියති. ඔවුන්ට අනුව මහින්ද රාජපක්‍ෂට හිතවත් අය ශ්‍රී ල නි පක්‍ෂය කැඩීමට සැරසෙති. ඔවුන් පිටුපස වෙනත් දේශපාලන පක්‍ෂවල නායකයන් ඇති බව ද කියැවෙයි. ශී්‍ර ල නි පක්‍ෂයේ කැඩීමට දෙයක් ඉතිරි වී නැත. ඒ මරා දමනු ලැබ ඇත. පක්‍ෂය මරාදමනු ලැබුයේ මෛත්‍රිපාල සිරිසේන විසිනි. ඔහු පක්‍ෂය මරා දැම්මේ පක්‍ෂ නායකයාට එරෙහිව ජනාධිපතිවරණයට තරග කිරීමට නිල වශයෙන් ඉදිරිපත් වූ දිනයෙහි ය.
එහෙත් එයට පෙර ද ඒ සඳහා සාකච්ඡා තිබූ බව අමතක නොකළ යුතු ය. වෙනත් දේශපාලන පක්‍ෂවල අයට ශී්‍ර ල නි පක්‍ෂය නොමෑරී තිබුණි නම් කැඩිය හැකි යැයි මම නො සිතමි. මරා දමනු ලැබූ පක්‍ෂයක කැඩීමට දෙයක් ද නැත. කැඩිය හැක්කේ ජීවමාන පක්‍ෂයකි. ආණ්ඩුවේ සිටින ශ්‍රි ල නි පක්‍ෂයේ කියන ඇමතිවරු බොහෝ දෙනෙක් ජනතාව විසින් ප්‍රතික්‍ෂෙප කරනු ලැබුවෝ වෙති. අප්පච්චි මළා යැයි කියමින් ඔවුහු ශ්‍රී ල නි ප මරාදැමූහ. ශ්‍රි ල නි පක්‍ෂය මරාදැමුණු බව ද ඒ සමග සංධානය ද මියගිය බව තේරුම් ගත් අපි පසුගිය මැතිවරණ සමයේ දී වෙන ම පක්‍ෂයක් පිහිටුවිය යුතු යැයි යෝජනා කෙළෙමු. එහෙත් එයට ශ්‍රි ල නි පක්‍ෂයේ ජී එල් පිරිස් හා ඩලස් අලහප්පෙරුම මෙන් ම ජාතික නිදහස් පෙරමුණෙහි විමල් විරවංශ ද විරද්ධ වූහ. ඔවුන්ට අවශ්‍ය වූයේ එකල ළාවට තිබේ යැයි සිතූ මහින්ද මෛත්‍රිපාල එකතුව ශක්තිමත් කිරීම ය.
මෛත්‍රිපාල සිරිසේන හෝ වෙනත් යමකු හෝ හරහා ඉන්දියාව බලාපොරොත්තු වූයේ ශ්‍රී ල නි ප හා එ ජා ප එකතුකර දෙමළ ජාතිවාදය තමන්ට අවශ්‍ය ආකාරයට සිංහල බෞද්ධයනට එරෙහිව යොදා ගැනීම ය. මෛත්‍රිපාල සිරිසේන ආප්ප රාත්‍රියෙහි තම නික්ම යෑමෙන් ශ්‍රී ල නි පක්‍ෂය මරා දැම්මේ ය. අද ඊනියා ජාතික හෙවත් අවුල් ආණ්ඩුවේ හැල හැප්පීම් ඇත. එහෙත් මහින්ද රාජපක්‍ෂ මහතාගේ වචනවලින් නම් ගෙම්බන් ගැන විශ්වාසයක් තැබිය නො හැකි ය. එසේ් වුවත් අපි අවසාන අවස්ථාවක් ලෙස ඊනියා ශ්‍රී ල නි ප ඇමතිවරුන්ට තමන් තවමත් පැරණි ශ්‍රී ල නි පක්‍ෂයේ ප්‍රතිපත්ති අනුව සිංහල බෞද්ධ සංස්කෘතිය සුරැකීමට ඉදිරිපත්වන්නේ නම් මහින්ද අගමැති කිරීමට ජනාධිපතිට බලකරන ලෙස කියා සිටිමු. ව්‍යවස්ථාවට පටහැණිව දෙමළෙන් ජාතික ගීය ගැයීමෙන් පසුවවත් ඔවුන්ට තමන් ආණ්ඩුවක් ගෙන යන්නේ කවුරුන් වෙනුවෙන් ද යන්න පැහැදිලි විය යුතු ය. ව්‍යවස්ථාවේ දෙමළ පරිවර්තනයේ ජාතික ගීය දෙමළට පරිවර්තනය කළේ කවු ද යන ප්‍රශ්නය මෙහි දී පැන නගී. ව්‍යවස්ථාවේ ඉංගිරිසි පිටපතේ ඇත්තේ ඉංගිරිසි අකුරෙන් ලියන ලද ශ්‍රී ලංකා මාතා ගීතය මිස එහි ඉංගිරිසි පරිවර්තනයක් නො වේ. මෙතෙක් කල් මේ වරද, එනම් ජාතික ගීය දෙමළට පරීිවර්තනය කර ව්‍යවස්ථාවේ සඳහන් කිරීම, පිළිබඳ ව කිසිවක් නොකිරීම ගැන මම ජාතියෙන් සමාව අයදිමි. ජාතික ගීය ඒ ඒ භාෂාවලට පරිවර්තනය කළ හැකි නො වේ. මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ හා උසාවියේ ගත හැකි ක්‍රියා මාර්ග සොයා බැලිය යුතු ය. ඒ කුමක් වුවත් තමන් කැමති වුවත් නැතත්් මෛත්‍රිපාලට කළ හැක්කේ රනිල් කියන දේ ක්‍රියාත්මක කිරීම පමණ ය. දෙමළෙන් ජාතික ගීය ගැයීම ගැන සිංහල බෞද්ධයන් නොවන්නන්ගෙන් ඉතා වැඩි පිරිස ප්‍රීති ප්‍රමෝදයට පත් වී ඇත. ජනාධිපතිට අවශ්‍ය නම් මහින්ද අගමැති කිරීමෙන් තමන් කර ඇති වැරදි නිවැරදි කර ගත හැකි ය. ව්‍යවස්ථාවෙන් එයට අවහිරයක් නැත. ඒ බව හෙට (8) කොළඹ දී පැවැත්වෙන සම්මන්ත්‍රණයේ දී පැහැදිලි කරමු.
1951 දී ලිබරල් පක්‍ෂයක් ලෙස පිහිටුවනු ලැබූ ශ්‍රීු ල නි පක්‍ෂය 1952 න් පමණ පසු ජාතිකත්වයේ පක්‍ෂය බවට ක්‍රමයෙන් පත්විය. සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ කාලයෙහි දී ද ඉන්පසු මහින්ද රාජපක්‍ෂ මහතාගේ කාලයෙහි දී ද පක්‍ෂය ජාතිකත්ව ලක්‍ෂණ විදහා පෑවේ ය. ශ්‍රි ල නි පක්‍ෂය මරාදැමීමේ කාර්යයට සිංහල බෞද්ධ විරෝධීන් අතගැසුයේ අනූවේ දශකයේ මුල ය. මියන්මාරයට යැවූ අවුං සාං සුකී සිහිගන්වමින් චන්ද්‍රිකා කුමාරතුංග මෙරටට ආනයනය කරනු ලැබුයේ සිංහල බෞද්ධ විරෝධීන් විසිනි. එහෙත් චන්ද්‍රිකා අවුං සාං සුකී මෙන් ම ජාතික නායකයකුගේ දියණියක වුවත් අබෞද්ධයන් සමග විවාහ වී සිටියත් සුකී මෙන් සාර්ථක නො වී ය. ඇයට ශ්‍රී ල නි පක්‍ෂය හෝ සිංහල බෞද්ධකම හෝ මරාදැමීමට නොහැකි විය. එහෙත් ඇය තවමත් තම උත්සාහය අත්හැර දමා නැත.
ජාතිය ගොඩනැගීම යන්නට අපට මේ සමග අවතීර්ණ විය හැකි ය. චන්ද්‍රිකාට අනුව ජාතිය ගොඩනැගීම සඳහා මෙරට සංහිඳියාව ඇතිකිරීමට නොහැකි එක් කරුණක් නම් පාසල් ආගම් වශයෙන් බෙදී සිටීම ය. එහෙත් මෙයින් ද කියැවෙන්නේ ඇගේ නොදැනුවත්කම ය. පසුගිය උසස් පෙළ පරීක්‍ෂණයෙන්, මට මතක ඇති ආකාරයට, වාණිජ අංශයෙන් ලංකාවේ ප්‍රථම ස්ථානයට පැමිණියේ කුරුණෑගල මලියදේව විදුහලේ ඉගෙනුම ලැබූ මුස්ලිම් ශිෂ්‍යයෙකි. මලියදේච විදුහල හෝ බෞද්ධ පාසල් නමින් පෙනී සිටින පාසල් හෝ බෞද්ධ පාසල් යැයි මම නො කියමි. ඒ පාසල් ද අනාගමික යැයි කියන රාජකීය විදුහල මෙන් ම ක්‍රිස්තියානි සංස්කෘතියේ පාසල් ය. එහෙත් චන්ද්‍රිකා සිතන්නේ මෙරට බෞද්ධ පාසල් ඇති බවත් ඒවාට අන්‍යාගමික සිසුන් බඳවා නොගන්නා බවත් එය ඊනියා යුද්ධවලට මගපාදන බවත් ය.
දෙවනුව චන්ද්‍රිකා අමතක කරන කරුණක් වෙයි. කලකට පෙර රාජකීය, ශාන්ත තෝමස්, ත්‍රිත්ව ආදී පිරිමි පාසල්වල මෙන් ම කාන්තා, බිෂොප්, ශාන්ත බ්‍රිජට් වැනි බාලිකා පාසල්වල සියළු ජාතිවල. ආගම්වල සිසු සිසුවියන් එකට ඉගෙනගත් බව ඒ පාසල්වල ආදී ශිෂ්‍යයෝ ද ආදි ශිෂ්‍යාවෝ ද මහත් උජාරුවෙන් කියති. දැනුදු ඒ පාසල්වල මෙන් ම ආනන්ද ආදී පාසල්වල ද තත්ත්වය එසේ ම ය. එහෙත් යටකී පාසල්වල ඉගෙන ගත් අය සුද්දන් ආරම්භ කළ මෙරට ඊනියා දෙමළ ප්‍රශ්නයේ දේශීය වගඋත්තරකරුවෝ වෙති. අප අවුරුදු සියයකට එහා පැත්තට ගියහොත් පොන්නම්බලම් රාමනාදන්, පොන්නම්බලම් අරණාශලම් ආදීන් රාජකීය විදුහලේ ඊනියා දීප්තිමත් ආදි සිසුන් බව සිහියට නැගෙයි. ඉන්පසු කලෙක ජී ජී පොන්නම්බලම් ඒ පාසලෙහි ම ඉගෙන ගත්තේ ය. එයටත් පසු කලෙක නීලන් තිරුචෙල්වම් එකී පාසලෙහි ආදි ශිෂ්‍යයෙක් විය. මැත කාලයෙහි සුමන්තිරන් ද ඒ පාසලෙහි අධ්‍යාපනය ලැබී ය. අනෙක් පැත්තෙන් චෙල්වනායගම් ශාන්ත තෝමස් විදුහලෙහි අධාපනය ලැබී ය. මේ සියල්ලන් ගැන ප්‍රභාකරන්, ඔහුගේ සීයලා බාප්පලා හා මස්සිනාලා කෘතියෙහි විස්තර කෙරෙයි.
ඉලංකෙයි තමිල් අරසු කච්චි හෙවත් ලංකා දෙමළ රාජ්‍ය පක්‍ෂය හෙවත් ඊනියා ෆෙඩරල් පක්‍ෂය චෙල්වනායගම් විසින් පිහිටුවනු ලැබුයේ හතළිහේ දශකයේ දී ය. ඒ චන්ද්‍රිකා චෝදනා කරන තම පියා ඉදිරිපත් කළ රාජ්‍ය භාෂා පණතට කලින් ය. ඊළාම් අදහස එයටත් පැරණි ය. එය සුන්දරලිංගම්ගේ අදහසක් ලෙස ඉදිරිපත් විණි. එහෙත් මට කීමට අවශ්‍ය සෘජුව ම එය නො වේ. ඊනියා ෆෙඩරල් හෙවත් දෙමළ රාජ්‍ය පක්‍ෂයේ භාණ්ඩාගාරික වූ නාගනාදන්ගේ දියණිය ඉගෙන ගත්තේ ද චන්ද්‍රිකා ඉගෙන ගත් ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයෙහි ය. බොහෝ විට දෙදෙනා ම එකම පංතියේ ඉගෙන ගන්නට ඇත. නාගනාදන් දෙමළ සිසුන් සිංහල ඉගෙනීමට විරුද්ධ විය. එහෙත් තම දියණියට සිංහල ඉගැන්වී ය. ඇය පසුව තානාපති කාර්යාලයක නිලධාරිනියක් ලෙස ද “සේවය” කළා ය. චන්ද්‍රිකා තම යෙහෙළිය ගැන දන්නේ යැයි සිතමි.
චන්ද්‍රිකාට මේ මෑත ඉතිහාසය අමතක ය. පාසල්වල එකට ඉගෙන ගත් පමණින් දෙමළ නායක නායිකාවන්ගේ සිංහල බෞද්ධ විරෝධය නැති නො විණි. අවුරුදු එකසිය පනහක පමණ ඉතිහාසයෙන් අපට පෙනී යන්නේ එය ය. මෙරට ජාතිය ගොඩනැගීම යන්න ව්‍යාජ සංකල්පයකි. බටහිර ජාතීන් ගොඩනැගුණේ ධනපති විප්ලවයෙන් පසුව ය. ඒ නිසා ම බටහිර පඬියෝ ජාතියක් ඇති විය හැක්කේ ධනපති ක්‍රමය ඇතිවීමෙන් පසුව යන ප්‍රවාදය ඉදිරිපත් කරති. මෙය බටහිර පඬියන් ඉදිරිපත් කරන තවත් පට්ටපල් බොරුවක් පමණකි. මෙරට සිටින කසිකබල් උගත්තු තම ඊනියා දැනුම පිළිබඳ ඇතිකර ගත් මහත් ආඩමබරයෙන් ඒ බොරුව නිතර කියති. එහෙත් ඔවුන්ගේ ජාතිය පිළිබඳ නිර්වචනය කුමක් ද? ඔවුන්ට පැහැදිලි නිර්වචනයක් දිය නො හැකි ය. ජාතිය යනු කුමක් ද යන්න ගැන පැහැදිලි අදහසක් නොමැතිව මේ පඬියෝ බටහිර ආධිපත්‍යයට යටත් වී ඔවුන් මෙන් ම කිසිම වටිනාකමක් නොමැති දේශපාලනඥයන්ට ජාතිය ගොඩනැගීමට උපදෙස් දෙති. පඬියන්ට අනුව ලංකාවේ අපට යම්තම් දැන් ජාතිය ගොඩනැගීමට අවස්ථාව එළඹී ඇත. ඒ මෙරට දැන් ධනවාදය ඇති බැවිනි.
එහෙත් මේ පඬියන් නොදන්නා කරුණ නම් සිංහල ජාතිය අඩුම තරමෙන් ගැමුණු රජුගේ කාලයේ සිට පවතින බව ය. එතුමාට ජාතියේ පියා යන්න යෙදීමට මම අකමැත්තෙමි. මේ යුදෙවු ක්‍රිස්තියානි සංකල්පයකි. ගැමුණු රජු කළ කාර්යය පේළි දෙකකින් විස්තර කළ හැකි නො වේ. එතුමා යක්‍ෂ නාග දේව ගෝත්‍ර මෙන් ම විජයගේ සිංහ වංශය ද එකතු කෙළේ ය. යක්‍ෂ ගෝත්‍රිකයන්ගේ බුදු සසුන හා අශෝක අප වෙත එවූ අශෝක බුදු සසුන එකතු කෙළේ ය. රුවන්වැලි සෑය මේ එකතුව විදහා පාන සංකේතයක් ද වෙයි. සිංහල ජාතිය යන්න කා විසින් යොදන ලද නමක් වුව ද ජාතිය ඇති වූයේ ගෑමුණු රජුගෙන් පසුව ය.
ඉන්පසුව මෙරටට පැමිණි විවිධ ජනවර්ග යථාකාලයේ දී සිංහල ජාතියට අවශෝෂණය කරගනු ලැබූහ. ඒ ක්‍රියාවලිය නැති වූයේ මුස්ලිම්වරුන් අවුරුදු හත්සියයකට පමණ පෙර අද දකුණු ඉන්දියාව නමින් හැඳින්වෙන ප්‍රදේශයෙන් පැමිණීමෙන් පසුව ය. දෙමළ කතාකළ මේ පිරිස සිංහල ජාතියට ඇතුල්වීම ප්‍රතික්‍ෂෙප කළහ. ඔවුන් සිංහල මුස්ලිම් යනුවෙන් තම ආගමික අනන්‍යතාව රැකගනිමින් සිංහල ජාතියට එක් වී නම් අද වන විට රාජකීය විදුහලේ තවත් ආදී ශිෂ්‍යයකු වූ හකීම්ට තැනක් නැතිවීමට තිබිිණි. මෙරටට ලන්දේසීන් විසින් ගෙන්වනු ලැබූ වෙල්ලාලයන්ට ද සිංහල හින්දු යනුවෙන් ජාතියට ඇතුල්වීමට හැකියාව තිබිණි. එහෙත් ලන්දේසිහු හා ඉංගිරිසිහු ඒ එසේ නොවන බවට වග බලාහත්හ. ඊළාම් යන්න සිංහල යන්නෙන් බිඳෙයි. ජාතිය ගොඩනැගීමට දෙයක් නැත. ජාතිය ගොඩනැගි අවුරුදු දෙදහසකට වඩා ගත වී ඇත. කළ යුත්තේ මෙරට සංස්කෘතිය ගොඩනැගූ ඒ ජාතියට විවිධ ජනවර්ග තම අනන්‍යතාව රැකගනිමින් එකතු වීම ය. නව පක්‍ෂයට ඒ කාර්යය ද පැවරෙයි.
නලින් ද සිල්වා
2016 පෙබරවාරි 04