Main Logo

Friday, 19 February 2016

ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග (2016 පෙබරවාරි 17 විදුසර ලිපිය)

ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග

ඩී එස් සී උපාධිධාරී සේවාර්ජිත (සම්මානීිත) මහාචාර්ය අශෝක අමරතුංග මහතා පසුගිය පෙබරවාරි 10 වැනි දා ලිපියෙන් ද තම මතය බටහිරෙන් හෝ නැගෙනහිරෙන් ගත් එකක් නොවන බව කීමට දැඩි උත්සාහයක් ගනියි. ඒ මහතා එහි මෙසේ කියයි. “ජීවිතයේ අරුත පිළිබඳ අප ගේ මතවාදය සමඟ එකඟ වන හෝ නො වන කරුණු විද්යානවේ හෝ දර්ශනයේ ඇත්නම් ඒවා සාකච්ඡා කිරීම අප ගේ අදහස වී ඇත. අප ගේ මතවාදය දීර්ඝ ලෙස පහදා දී ඇත. කෙටියෙන් කියනවා නම් ජීවිතයේ අරුත විශ්වයට සේවයක්‌ කිරීම ය. එම සේවය වනාහි DNA, RNA, ප්රො ටීන නිෂ්පාදනය කිරීම ය. ඒ සඳහා අප ගේ ජීවිතය නිර්මාණය වී ඇත. මේ මතවාදය මා ගේ අදහසක්‌ මිස බටහිරෙන් හෝ නැෙගනහිරෙන් හෝ කොපි කරගත් එකක්‌ නො වේ. එය බුදුදහමට පටහැනි නො වන්නේ ය. බටහිර මතවාද ඔවුන් ගේ දර්ශනය මත පදනම් වී ඇත. ඔවුන් ගේ දර්ශනය වන්නේ විශ්වය දෙවියන් විසින් මවනු ලැබ ඇත්තේ මිනිසා ගේ ප්ර්යෝජනය පිණිස ය යන්න ය. ලෝකය, ඉර, හඳ, සතා සිව්පාවා ගහ කොළ මවා ඇත්තේ මිනිසාට සේවය කිරීමට ය.


මා පවසා සිටින්නේ ඊට හාත්පසින් විරුද්ධ අදහසකි. මා පවසන්නේ මිනිසා සහ අනෙකුත් ජීවීන් විශ්වයට සේවයක්‌ කරන බව ය. මෙතැන විශ්වය දෙවියකුට සමාන කොට ජීවීන් දෙවියන්ට සේවය කරන බවක්‌ අදහස්‌ වන්නේ නැත. බටහිර දර්ශනයට අනුව මිනිසා සහ දෙවියන් අවසානයේ එකක්‌ බවට පත් වන්නේ ය. ප්රැමුඛත්වය දී ඇත්තේ මිනිසාට ය. මා ප්රමුඛත්වය දී ඇත්තේ විශ්වයට/ස්‌වභාවධර්මයට ය. ඊටත් එහා ගොස්‌ ප්රමුඛත්වය දිය හැක්‌කේ ශක්‌තියට ය. ශක්‌තිය දෙවියකු යෑයි උපකල්පනය කළ හැකි ද? එසේ කරන අය සිටිති. ශක්‌තිය වෙනුවට දෙවියන් යන වචනය භාවිත කිරීම ලාමක මෝඩකමකි. බටහිර දර්ශනයේ සහ අනෙකුත් දෙවියන් අදහන දර්ශනවල දෙවියන් පෞද්ගලික දෙවි කෙනෙකි. දෙවියන්ට පුද සත්කාර යාඥා කිරීමෙන් නොයෙකුත් ලාබ ප්ර යෝජන ලබාගත හැකි බව කියති. ශක්‌තියට යාඥා කිරීමෙන් කිසි ලාබ ප්රශයෝජනයක්‌ ලබාගත නොහැකි ය. දෙවියන් සැම දෙයක්‌ ම අප ගේ හැඟීම් ඇතුළුව පාලනය කරයි. ශක්‌තිය සැම ක්රි යාවලියකට ම අවශ්ය් වන්නේ ය. ශක්‌තිය ද්රහව්ය් ද වන්නේ ය. අප විරුද්ධ වන්නේ පෞද්ගලික දෙවියන් (personal god) යන සංකල්පයට ය. ශක්‌තිය දෙවියන් යෑයි යමකු සිතනවා නම් එය අණුවණකමකි.”

අප මෙය දිර්ඝ වශයෙන් උපුටා දක්වන්නේ කරුණු කිහිපයක් නිසා ය. තමා විරුද්ධ වන්නේ පෞද්ගලික දෙවියන් යන සංකල්පයට යැයි අමරතුංග මහතා කියයි. එයින් ඒ මහතා අදහස් කරන්නේ කුමක් ද යන්න පැහැදිලි නැත. අමරතුංග මහතා පෞද්ගලික නොවන පොදු දෙවි කෙනකු ගැන විශ්වාසය තබන්නේ ද? බටහිර යුදෙවු ක්‍රිස්තියානි සංස්කෘතීන්හි ඇත්තේ සියල්ලන්ට ම පොදු වූ දෙවි කෙනෙකි. ඒ දෙවි මැවුම්කරු දෙවි කෙනෙක් විය. අයින්ස්ටයින් එවැනි දෙවි කෙනකුට විරුද්ධ විය. ඔහු ප්‍රකාශ කර සිටියේ තම දෙවියන් පෞද්ගලික දෙවි කෙනකු බව ය. කතෝලික චින්තනයෙහි දෙවියෝ සියල්ලන්ට ම පොදු වූහ. කතෝලිකයෝ පල්ලියෙහි දී දෙවියන්ට සමූහ යාඥා පැවැත්වූහ. මාටින් ලූතර් ඒ වෙනස් කෙළේ ය. ඔහුට අනුව පොදු දෙවියන්ට පෞද්ගලික ව යාඥා කළ හැකි විය. අමරතුංග මහතා විරුද්ධවන්නේ අයින්ස්ටයින් සඳහන් කර ඇති දෙවියන්ට ද? සාමූහික කතෝලික චින්තනයෙන් මාටින් ලූතර් පෞද්ගලිකත්වය ඉස්මතු කළ යුදෙවූ ක්‍රිස්තියානි චින්තනයට මාරු විය. බටහිර විද්‍යාව සංස්කරණය වූයේ කතෝලික චින්තනයෙහි නොව යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි ය. එම චින්තනයෙන් බිහි කළ විශිෂ්ටත ම පුද්ගලයා වූ අයින්ස්ටයින් මාටින් ලූතර්ට ද එහා ගියේ ය. ඔහු පෞද්ගලික දෙවියන් ගැන විශ්වාසයක් තැබී ය.  

ශක්තිය දෙවි කෙනකු නොවේ යැයි කී විට අපි අමරතුංග මහතා සමග එකඟ වෙමු. එහෙත් බටහිර චින්තනයේ ශක්ති සංස්ථිති නියමය ලැබෙන්නේ දෙවියන්ගෙනි. එයින් කියැවෙන්නේ ඒ නියමය දෙවියන් ලබා දුන් එකක් බව නො වේ. දෙවියන් මැවූ ශක්තිය විනාශ කිරීමට හෝ එයට අලුතෙන් ශක්තියක් එකතු කිරීමට හෝ නො හැකි ය. දෙවියන් මැවූ ශක්තිය එසේ ම පවතියි. ඒ ඒ සංකල්ප නිර්මාණය වන්නේ ඒ ඒ චින්තනයෙහි ය. ශක්ති සංස්ථිති නියමයෙහි ආත්මවාදයක් හා නිත්‍යභාවයක් ගැබ් වී ඇත. බටහිර විද්‍යාවේ ශක්තිය නියත ය. එය සෑම විට ම නිත්‍ය අගයක් ගනියි. ශක්තිය ඒ ඒ ප්‍රභේදවලට පරිවර්තනය වන නමුත් මුළු ශක්තිය නියත ය. ශක්ති සංස්ථිති නියමය අනිත්‍යයට විරුද්ධ ය. එය සිංහල බෞද්ධ චින්තනයක සංස්කරණය විය නො හැකි ය. එමෙන් ම ශක්තිය යන සංකල්පයෙහි ආත්මවාදයක් ඇත. ආත්මය පෞද්ගලිකාත්මයක් විය යුතු ම නො වේ. ධර්මාත්මවාදයක් ද වෙයි. බොහෝ දෙනා නොපිළිගත්ත ද ථෙරවාදයෙහි ධර්මාත්මවාදයක් වෙයි. ශක්තිය දුක්ඛ යන්නට ද විරුද්ධ ය. දුක්ඛ යනු ත්‍රිලක්‍ෂණයෙහි කියැවෙන ආකාරයට නම් අයහපත් හිස් වූ දෙයක් වෙයි. එහෙත් ශක්තිය එසේ හිස් දෙයක් ලෙස බටහිර විද්‍යාවෙහි දී නො සැලකෙයි. කෙටියෙන් කියන්නේ නම් ශක්තිය යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි සංස්කරණය වී ඇති අතර එය සිංහල බෞද්ධ චින්තනය සමග එකඟ නො වේ.  

බටහිර මතවාද ඔවුන්ගේ දර්ශනය මත පදනම් වේ යැයි කීමෙන් අමරතුංග මහතා දැනුමෙහි සාපේක්‍ෂතාව පිළිගනියි. ඒ මහතා කියන්නේ තම මතවාදය බුදුදහමට පටහැණි නොවන බව ය. පසුගිය සතියේ අප පැවසූ ආකාරයට ඒ පිළිබඳ ව අමරතුංග මහතාට අපේ කෘතඥතාව පිරිනැමෙයි. බටහිර මතවාද අනුව ලෝකය, ඉරහඳ මවා ඇත්තේ මිනිසාට සේවය කිරීමට ය. එහි දී ද අපි අමරතුංග මහතා සමග එකඟ වෙමු. එහෙත් අවාසනාවකට අපට ඉන් ඔබ්බට අමරතුංග මහතා සමග යා හැකි නො වේ. තම මතය බුදුදහමට පටහැණි නොවේය යනුවෙන් අමරතුංග මහතා කියන විට අපට ඒ සමග එකඟ විය හැකි නො වේ. 

අමරතුංග මහතා පෙබරවාරි 03 වැනි දා ලිපියෙන් මෙසේ කීවේ ය. “බුදුන් විශ්වයේ අරුත පහදා නුදුන් සේක. ඒ ගැන සිතනවාට වඩා ශරීරයට ඇතුළු වී ඇති වස පෙවූ ඊතලයක්‌ වන තෘෂ්ණාව උගුල්ලා ගන්නට ක්රිේයා කරන මෙන් උන්වහන්සේ අවවාද කළ සේක. අප ගේ මතවාදය බුදු දහමට කිසිසේත් පටහැනි නො වන්නේ ය.” අප පසුගිය සතියේ ද පෙන්වා දුන් ආකාරයට අමරතුංග මහතා බුදුන්වහන්සේගේ අවවාදයට පිටුපා ජීවිතයේ අරුත සොයයි. ඒ අතර තම මතවාදය බුදුදහමට කිසිසේත් පටහැණි නොවන බව ද පවසයි. 

අමරතුංග මහතාට අනුව මිනිසා හා අනෙක් ජීවින් විශ්වයට සේවය කරයි. එය බුදුදහම සමග එකඟ වන්නේ කෙසෙ ද? බුදුන් වහන්සේ එලෙස විශ්වයට සේවය කිරීමක් ගැන දේශනා කර ඇත්තේ කොහේ ද? බුදුන් වහන්සේට අවශ්‍ය වූයේ සත්ත්වයාට සසරෙන් එතෙර වීමට මග දේශනා කිරීමට මිස සත්ත්වයා විශ්වයට සේවය කිරීමක් ගැන දෙසීමට නො වේ. අමරතුංග මහතා නොදැනුවත් ම සිංහල බෞද්ධ චින්තනයට පිටුපා යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ සංකල්ප මත පදනම් වෙයි. ඊනියා සේවය කිරීම යන්න යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි පමණක් නොව කතෝලික චින්තනයෙහි ද සංකල්පයකි. එහි පූජකවරු සේවය සඳහා බැඳී සිටිති. ඔවුන් කරන්නේ සේවයකි. මේ සංකල්පය අනුව රජයේ සේවකයා යන්න ද සංස්කරණය වී ඇත. අද දේශපාලනඥයෝ ද තමන් මහජන සේවකයන් බව පුන පුනා කියති. එහෙත් රජයේ සේවකයන් හා දේශපාලනඥයන් නමට පමණක් සේවකයන් බව අපි දනිමු. එහෙත් වැදගත් වන්නේ සංකල්පය ය. 

මිහිඳු හිමියෝ අපට සේවය කිරීම සඳහා මෙරටට වැඩම නො කළහ. අශෝක රජුගේ වෙනත් අවශ්‍යතා තිබුණ ද උන්වහන්සේ වැඩිම වුවහොත් මෙරටට වැඩම කෙළේ අපේ හිත සුව පිණිස ය. මෙය අන්කිසිවක් නොව අපට නිවන් මග හෙළි පෙහෙළි කිරීම ය. එහෙත් යුරෝපීය පූජකවරුන් මෙරටට පැමිණියේ මෙහයකට ය. මිෂන් යන ඉංගිරිසි වචනයෙහි මෙහෙය දුත මෙහෙය ආදිය අඩංගු වෙයි. සේවය යන්න කතෝලික හා යුදෙවු ක්‍රිස්තියානි චින්තනවල ඇති සංකල්පයකි. අමරතුංග මහතා තමා ක්‍රිස්තියානි දර්ශනයට පටහැණි වන්නේ යැයි කියමින් එහි සංකල්ප යොදා ගනියි. අමරතුංග මහතා දැනුම ඒ ඒ ධර්මය මත පදනම් වන්නේ යැයි සඳහන් කිරීම ගැන අප සතුටු වන අතර අපට කීමට ඇත්තේ ඒ මහතා බටහිර දර්ශනය හා ධර්මය මත පදනම් වන බව ය. අපේ සංකල්ප යොදාගන්නේ නම් ඒ මහතා යුදෙවු ක්‍රිස්තියානි චින්තනය මත පදනම් වෙයි. 

අමරතුංග මහතා එකී චින්තනය මත පදනම් වෙමින් කුඩා වෙනසක් කරයි. ඒ මහතා විශ්වය මවා ඇත්තේ මිනිසාට සේවය කිරීම සඳහාය යන්න වෙනස් කර මිනිසා විශ්වයට සේවය කිරීම සඳහා නිර්මාණය වී ඇතැයි පවසයි. අමරතුංග මහතාට අනුව බටහිර මතවාදය වන්නේ ගහ කොළ ආදිය මවා ඇත්තේ මිනිසා වෙනුවෙනි. එනම් මිනිසාට සේවය කිරීමට ය. එහෙත් අමරතුංග මහතා කියන්නේ මිනිසා නිර්මාණය වී ඇත්තේ විශ්වයට සේවය කිරීමට ය. අමරතුංග මහතාගේ මිනිසා නිර්මාණය වී ඇත්තේ ඩාවින්ගේ පරිණාමවාදය, මහා පිපිරුම ආදිය ආශ්‍රිත ව ය. එහි දෙවියන් නමින් මැවුම්කරුවකු නැත. එහෙත් එහි පටන්ගැන්මක් හා නිර්මාණයක් වෙයි. බුදුන් වහන්සේ ලෝක විෂය අචින්ත යැයි දෙසූහ. මම බටහිර විද්‍යාව හා එහි චින්තනය පිළිගන්නා කාලයෙහි නම් බුදුන් වහන්සේට පිටුපා ලෝක නිර්මාණය දැන ගැනීමට විශ්වවේදය හැදෑරුවෙමි. අමරතුංග මහතාට අනෙක් සිංහල බෞද්ධයනට මෙන් ම බටහිර විද්‍යාවෙහි සංකල්ප හා ප්‍රවාද සංස්කරණය කිරීමට නොහැකි වුවත් ඒ මහතා එහි චින්තනයෙහි එල්ලී සිටියි. ඔහුට කෙතරම් ඒ විෂය නොවන්නේ ද කිවහොත් ඔහු සිතා සිටින්නේ තමා බටහිර දර්ශනයට පටහැණි යමක් කියන බව ය. ඔහු අලුතෙන් සංකල්පයක් ගොතා නැත. ඔහු කර ඇත්තේ විශ්වය මිනිසාට සේවය කරන්නේ ය යන්න වෙනුවට මිනිසා විශ්වයට සේවය කරන්නේ ය යන්න ආදේශ කිරීම පමණකි. අමරතුංග මහතාට බටහිර යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙන් ගැලවීමක් නැත. 

අපි මේ ලිපියෙහි ඉතිරි කොටසෙහි ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්‍ෂණය කර ඇති බවට බටහිර විද්‍යාඥයන් කණ්ඩායමක් කරන ප්‍රකාශය කෙටියෙන් සලකා බලමු. මෙය ගුරුත්වාකර්ෂණය පට්ටපල් බොටරුවකි යන්න යටතේ සාකච්ඡා කළ යුතු වුවත් ඒ සම්බන්ධයෙන් ඇති වී තිබෙන කාලීන උනන්දුවත් සමග අපි එය මෙසේ සාකච්ඡාවට ගනිමු. පළමුවෙන් ම කිවයුතු කරුණු දෙකක් වෙයි. එකක් මේ ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග ගැන තවමත් බටහිර විද්‍යාඥයන් අතර එකමතයක් නොමැති වීම ය. මේ නිරීක්‍ෂණය කර ඇත්තේ ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග ද යන්න පසුව තීරණය කෙරෙනු ඇත. කෙසේ වෙතත් ඒ ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග යැයි අපි තර්කය සඳහා උපකල්පනය කරමු.

දෙවනුව කිව යුත්තේ ගුරුත්වාකර්ෂණ තරංග යන්න වැරදි ව්‍යවහාරයක් බව ය. අවුරුදු සියයකට පමණ පෙර අයින්ස්ටයින් තම සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි සන්නිකර්ෂණ සමීකරණ යොදා ගනිමින් ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග ප්‍රචාරණය වන බව කීවේ ය. පසු කලෙක ජෝසප් වෙබර් මේ සංසිද්ධිය ගැන බොහෝ දේ එකතු කෙළේ ය. මෙහි දී කිව යුත්තේ ගුරුත්වාකර්ෂණ තරංග යනුවෙන් තරංග ප්‍රචාරණය (propagation) නොවන බව ය. අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතාවාදය අනුව ඊනියා ගුරුත්වාකර්ෂණයක් නැත. එසේ නැති විට ගුරුත්වාකර්ෂණ තරංග තිබිය නො හැකි ය. සාධාරණ සාපේක්‍ෂතාවාදයෙහි ඒකජ සමීකරණ (linear equations) අනුව මෙහි දී සිදුවන්නේ ප්‍රමිතික ආතානකය (metric tensor) ප්‍රචාරණය වීම ය. ප්‍රමිතික ආතානකය මගින් අවකාශ කාලයෙහි ජ්‍යාමිතිය කියැවෙයි. ප්‍රමිතික ආතානකය ද්‍රව්‍ය හා විකිරණ මගින් නිර්ණය වෙයි. මෙය නිව්ටෝනීය කතන්දරයෙන් වෙනස් ය. නිව්ටෝනීය භෞතිකයෙහි අවකාශය දී ඇත. එහි කාලය ගලා යයි. අවකාශයෙහි ද්‍රව්‍ය හා විකිරණ පවතියි. එහෙත් අයින්ස්ටයින්ගේ කතන්දරයෙහි අවකාශ –- කාලය කල්තබා දී නැත. ඒ නිර්ණය කෙරෙන්නේ ද්‍රව්‍ය හා විකිරණ මගිනි. 

මෙයින් කියැවෙන්නේ ද්‍රව්‍ය හා විකිරණවල වෙනස්කම් සිදුවන විට අවකාශ - කාලය ද වෙනස් වන බව ය. එනම් ප්‍රමිතික ආතානකය වෙනස් වෙයි. එසේ වෙනස් වූ ප්‍රමිතික ආතානකය අභිශුන්‍ය භූමිතක (නඋලල ගඑඔඩඑසඉචස) ඔස්සේ ප්‍රචාරණය වෙයි. සාමාන්‍ය අංශු භූමිතක ඔස්සේ චලනය වන බව අමතක නොකළ යුතු ය. ඒ අංශු එසේ චලනය වන්නේ බලයක් (ඊනියා ගුරුත්වාකර්ෂණ බලයක්) නොමැතිව ය. නිව්ටන්ගේ කතන්දරයෙහි ඊනියා ගුරුත්වාකර්ෂණ බල වෙයි. ද්‍රව්‍ය හා විකිරණ වෙනස් වූ විට අභිශුන්‍ය ප්‍රමිතික ඔස්සේ ප්‍රචාරණය වන්නේ ප්‍රමිතික ආතානකය පමණක් නො වේ. රීමාන් ආතානකය (Reimann Tensor) ද එසේ ම අභිශූන්‍ය ප්‍රමිතික ඔස්සේ ප්‍රචාරණය වෙයි. රීමාන් ආතානකයෙන් අවකාශ කාලයෙහි වක්‍රතාව ගැන කියැවෙයි. 

මේ ආතානක දෙකම තරංග සමීකරණය සපුරාලයි. එනම් ආතානක දෙක අභිශූන්‍ය භූමිතික ඔස්සේ ප්‍රචාරණය වන අතර තරංග සමීකරණය සපුරාලයි. ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග යන්න පටබැඳෙන්නේ මේ හේතුවෙනි. ආතානක වෙනස්වීම හේතුවෙන් අංශුවල චලිතයෙහි ද වෙනසක් වෙයි. විද්‍යාඥයන් මැන බලන්නේ මේ වෙනස ය. අද කතාකරන ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග ඉතා ඈත අතීතයහෙි දී කළු කුහර දෙකක් ගැටීමෙන් ප්‍රමිතික ආතානකයෙහි සහ රීමාන් ආතානකයෙහි සිදු වූ වෙනස්කම් මේ වන විට පෘථිවියට  ප්‍රචාරණය වීම නිරීක්‍ෂණයෙන් ලැබෙයි. ඒ තවදුරටත් නිරීක්‍ෂණය කෙරෙනු ඇත. 

මෙහි දී ඇතැමුන් කියන්නේ ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග නිරීක්‍ෂණය හේතුවෙන් අයින්ස්ටයින්ගේ සාධාරණ සාපේක්‍ෂතා ප්‍රවාදය සත්‍ය බව සාධනය කෙරෙන බව ය. අප කිහිප වතාවක් ම කියා ඇත්තේ කිසිම නිරීක්‍ෂණයකින් කිසිම ප්‍රවාදයක් සත්‍ය වන බව පෙන්නුම් නොකෙරෙන බව ය. පළමුවෙන් ම ප්‍රවාදයක් යනු වියුක්ත කතන්දරයකි.ඒ වියුක්ත කතන්දරයෙන් අපෝහනය (deduce) කළ හැක්කේ  වියුක්ත නිගමන මිස සංයුක්ත නිගමන නොවේ. එහෙත් නිරීක්‍ෂණයක් යනු සංයුක්ත වූවකි. සංයුක්ත නිරීක්‍ෂණයක් වියුක්ත අපෝහනයක් හා සංසන්දනය කළ හැකි නො වේ. දෙවනුව එසේ කළ හැකි වුවත් එයින් වියුක්ත ප්‍රවාදය සත්‍ය යැයි ගම්‍ය නො වේ. එයින් කියැවෙන්නේ ප්‍රවාදයෙන් වැඩගත හැකි බව පමණ ය. ප්‍රවාදවලින් සත්‍ය දැනගත හැකි යැයි කියන අය සත්‍යය යනු කුමක් දැයි තේරුම් කර දිය යුතු ය. සත්‍යය යනු කුමක් දැයි නොදැන සත්‍යය ගැන කීම වංචාවකි.

අප බොහෝ විට කියා ඇති පරිදි සිංහල බෞද්ධයනට “මම” යන්න බොරුවකි. එය ආත්මවාදී ය. මා යනුවෙන් කෙනකු නැති වුව ද ඒ සංකල්පයෙන් වැඩගත හැකි ය. මා, පුද්ගලයා ආදී සංකල්ප යොදාගෙන අසවලා අද රාත්‍රී ආහාරය ගන්නා බවත් එසේ නොවී නම් හෙට හෝ අනිද්දා හෝ එසේ කරන බවත් මට පුරෝකථනය කළ හැකි ය. ඒ පුරෝකථනය ඉටු වූ පමණින් මා යන සංකල්පය සත්‍යයක් යැයි කිව හැකි ද? සංකල්පයකින් වැඩ ගැනීමට හැකි වූ පමණින් ඒ සත්‍යයක් බවට පත් නො වේ. ඊනියා ගුරුත්වාකර්ෂණ තරංග මගින් අයින්ස්ටයින්ගේ ප්‍රවාදය සත්‍යය යැයි කිව නො හැකි ය.   

නලින් ද සිල්වා

2016 පෙබරවාරි 15