Main Logo

Monday, 29 February 2016

ප්‍රවාද නැතිව බැටකන සිංහලයෝ (2016 පෙබරවාරි 28 රිවිර ලිපියේ සංස්කරණයකි)

ප්‍රවාද නැතිව බැටකන සිංහලයෝ 

ඊනියා නිජබිම් සංකල්පය ගැන අප සාකච්ඡා කෙළේ අවුරුදු විසිපහකට පමණ පෙර ය. දෙමළ ජනයාගේ ව්‍යාජ ඉතිහාසය, බුදුදහම පාවාදීම, ජාතික කොඩිය, ජාතික ගීය සහ තවත් නොයෙකුත් දේ අපේ සාකච්ඡාවට භාජනය විය. දෙමළ ජාතිවාදය පිළිබඳ අපේ ප්‍රවාදයක් විය. ඒ අනුව එහි ආරම්භය ලන්දේසි කාලය දක්වා දික් විය. 1650න් පසු දුම්කොළ වගාවට ලන්දේසීන් අද දකුණු ඉන්දියාවේ තමිල්නාඩුව නමින් හැඳින්වෙන වෙල්ලාලයන් ගෙන ඒම මෙහි ආරම්භය වෙයි. ලන්දේසිහු ඔවුන් දකුණු අප්‍රිකාවට ද ගෙන ගියහ. ලන්දේසීන්ගෙන් ලංකාවට හා දකුණු අප්‍රිකාවට වෙල්ලාලයන් ද රෝම ලන්දේසි නීතිය ද ලැබිණි. සිංහලයෝ ඒ දෙකෙන් ම පීඩාවට පත්වූහ, පත්වෙති. උගත්තු අපේ ප්‍රවාදය තුට්ටුවකටවත් මායිම් නො කළහ. අද නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසුව ද සිංහලයන්ට නැවතත් දෙමළ නිජබිම් ගැන කතාකිරීමට සිදු වී ඇත. එපමණක් නොව බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයේ ද ඉන්දිය හින්දු (වෛදික) චින්තනයේ ද ආධිපත්‍යයට අප යට වී ඇත. කොළඹින් නුවරට ගොස් දළදා මාළිගාව ඉදිරිපිට පාර විවෘත කරන ලෙස උද්ඝෝෂණය කරන්නේත්, කිෂානි ජයසිංහගේ ඔපෙරා ගායනය අප මත පටවන්නේත්, භික්‍ෂූන්වහන්සේට අඩත්තේට්ටම් කරන්නේත් මේ ආධිපත්‍යය හේතුකොටගෙන ය. වාසනාවකට සිංහල සංස්කෘතියේ මහා පොදු සාධකයෙන් ඒ සියල්ලට ප්‍රතිරෝධයක් එල්ල කෙරෙයි. එහෙත් ඒ ඒ අවස්ථාව අනුව ඕල්කට් බෞද්ධයෝ ඒවාට විරුද්ධ වෙති. ඕල්කට් බෞද්ධයන් නොවුණ ද ඇතැම්හු තම්බයියා බෞද්ධයෝ වෙති. ඔවුහු බැළලියකට ගැසීමට ගල්කැටයක් ගැනීමට ද විරුද්ධ වෙති. මොවුන් තම්බයියා අනුව ආයුධ අතට ගැනීම ගැන හමුදාවට ද විරුද්ධ වන්නට ඇත.
    

ඇතැම් පුවත්පතක කතුවරයකුට අනුව අප ලියන්නේ එදා වේල ලිපි ය. එයින් ඔහු අදහස් කරන්නේ අප මොකක් නමුත් ලිපියක් ලියා කීයක් හරි සොයාගැනීම ද එසේත් නැත්නම් අපේ ලිපිවල හරයක් නැති කම ද යන්න පැහැදිලි නැත. කෙසේ වෙතත් ඔහු පුවත්පත් කතුවරයෙකි,ජනමාධ්‍යවේදියෙකි. දේශපාලනඥයන්ගෙන් බලු බැනුම් අසා නිහඬ ව සිටින ජනමාධ්‍යවේදීන්ගෙන් කෙනෙකි. තම පුවත්පතේ සගයන් නම් කරද්දී නෑසු කන් සහිත ව දෛනික කටයුතුවල යෙදෙන්නෙකි. ඒ කුමක් වුවත් දශක ගණනාවකට ඉහත දී ද අප ප්‍රශ්නයේ ඉතිහාසයට යද්දී ඇතැම් ජනමාධ්‍යවේදියකු පැවසුවේ වර්තමානයේ ප්‍රශ්න ගැන කතාකළ යුතු බව ය. එහෙත් වර්තමානය යනු අතීතයේ ප්‍රතිඵලයක් බව බොහෝ සිංහලයන්ට අමතක වෙයි. මේ සියල්ල නැවතත්  මතක් කරගැනීමට සිදු වී ඇත. දැන්වත් සිංහලයන් එදිනෙදා සිද්ධිවලට පමණක් ප්‍රතිචාර නොදක්වා ප්‍රවාද අනුව සිතන්නට පුරුදු විය යුතු ය. අපි ප්‍රභාකරන් ඔහුගේ සීයලා බාප්පලා කෘතියෙන් දෙමළ ජාතිවාදය පිළිබඳ ප්‍රවාදයක් ඉදිරිපත් කෙළෙමු. සිංහලයෝ ඒ සාකච්ඡා නො කළහ. පොත් මිළ දී නො ගත් හ. එහි තුන්වැනි හා හතරවැනි මුද්‍රණවල පෙරවදන්වල මෙසේ ද සඳහන් විය.

2000 ජූනි මස තුන්වැනි මුද්‍රණයට ලියූ පෙරවදනෙන් උපුටා දක්වමු. එකල කොටි සංවිධානය පරාජය කර නො තබිණි. එහෙත් අපි මෙසේ කීවෙමු. “කොටි සංවිධානය බිහිවූයේ දෙමළ ජාතිවාදය නිසා ය. කොටි සංවිධානය හමුදා මෙහෙයුම්වලින් පරාජය කිරීමෙන් පමණක් සෑහීමකට පත්වුවහොත් දෙමළ ජාතිවාදය විසින් තවත් කොටි සංවිධානයක් බිහිකරනු ලැබීමට ඉඩ ඇත. එබැවින් දෙමළ ජාතිවාදය දේශපාලනිකව ද පරාජය කිරීමට අප ඉටාගත යුතු ය….. .. ..අපි අද ප්‍රශ්නය තේරුම් ගෙන සිටිමු. එබැවින් විසඳුම ද පැහැදිලි ය. ප්‍රශ්නය දෙමළ ජාතිවාදයයි. බටහිරින් පෝෂණය වන දෙමළ ජාතිවාදය සිංහලත්වයට හිමි තැන අහිමි කිරීමට වෑයම් කරයි.”  එහෙත් සිංහලයන් අදත් ප්‍රශ්නය තේරුම් ගත් බවක් පෙනෙන්නට නැත! අපට වැරදිණි.

2013 ජූලි පෙරවදනෙහි මෙසේ කීවෙමු.“මෙරට දෙමළ ජාතිවාදය ලන්දේසීන්ගේ හා ඉංගිරිසින්ගේ නිර්මාණයකි. ලන්දේසීහු දුම්කොළ වගාව සඳහා දෙමළ ජනයා වත්මන් ඉන්දියාවේ කෝරමණ්ඩල වෙරළෙන් ගෙන්වූහ. එසේ ගෙන්වන ලද්දවුනට ව්‍යාජ ඉතිහාසයක් ලිවීමට  ලන්දේසීහු අනුබල දුන්හ. සිංහල රජවරුන්ට නැගෙනහිර වෙරළේ අයිතිය අහිමි කිරීම ලන්දේසීන්ගේ අවශ්‍යතාව විය. මේ ව්‍යාජ ඉතිහාසය කවි පොතකට වඩා වැඩි යමක් නොවූ යාල්පානම් වෛපව මාලෙයි කෘතියෙන් ප්‍රථම වතාවට එළිදැක්විණි. ….. .. එසේ ගෙන්වනු ලැබූ දෙමළ ජනයා වෙල්ලාලයෝ වූහ. වෙල්ලාලයෝ කෘෂිකාර්මික කම්කරුවෝ වූහ. භාරතීය කුල ක්‍රමයට අනුව ඔවුහු ශුද්‍රයෝ වරහ. ලන්දේසීහු වෙල්ලායන් දකුණු අප්‍රිකාවේ නැටෝල් ප්‍රදේශයට ද ගෙන ගියහ. ඔවුන්ගෙන් පැවත එන්නෝ අද ද එහි ජීවත් වෙති. වෛදික කුල ක්‍රමයෙහි ශුද්‍රයන් වූ වෙල්ලාල හෙවත් කෘෂි කම්කරුවෝ ලංකාවේ දී දෙමළ සමාජයෙහි  ඉහළම කුලය වීමෙන් ම පෙන්නුම් කරන්නේ මෙරට භාරතීය ක්‍රමයේ දෙමළ සමාජයක් ලන්දේසීන්ට පෙර හෝ පසුව හෝ තිබී නොමැති බව ය. ලන්දේසීහු මෙරටට බ්‍රාහ්මණයන් රැගෙන නො ආවෝ ය. එබැවින් භාරතයේ (ඉන්දියාවේ) මෙන් නොව මෙරට දෙමළ සමාජයේ පූජකයෝ ද වෙල්ලාලයන්ගෙන් ම පිරිසක් වූහ. භාරතයෙහි ශුද්‍රයන් පූජකයන් නොවන බව අපි දනිමු….. ..යුද්ධය, දේශපාලනය, ආගම, රාජ්‍යය ආදිය එකිනෙකින් වෙන්විය යුතු යැයි කියන්නෝ බටහිර පඬියෝ ය. ඒ ඔවුන්ගේ ග්‍රීක යූදෙවු ක්‍රිස්තියානි චින්තනය අනුව ය. එහෙත් බටහිර කිසිම රටක ක්‍රියාත්මක ව එවැනි වෙන්වීමක් දැකිය නො හැකි ය. යුද්ධය යනු ද දේශපාලනය මිස අන්කිසිවක් නො වේ. අප අදහස් කරන අයුරින් නම් ආර්ථිකය, දේශපාලනය හා සංස්කෘතිය එකිනෙක සමග බැඳුණේ වෙයි. ඒ කරුණු තුන හේතුකොටගෙන ඉතිහාසයේ යුද්ධ ඇති වී තිබේ. යුද්ධය යනු අවශ්‍යයෙන් ම දේශපාලන බලය අවියෙන් යෙදීම ය. සංස්කෘතික ප්‍රශ්නවලදී ද ආර්ථික ප්‍රශ්නවලදී ද යුද්ධ ඇතිවිය හැකි ය. එහෙත් එකී අවස්ථාවලදී ද දේශපාලන සංරචකය ඉස්මතු වෙයි. එයට හේතුව යුද්ධ ශක්තිය දේශපාලන ශක්තිය සමග බැඳී තිබිම ය.       

එසේ වුවත් මෙහි දී අවධාරණය කළ යුතු කරුණක් වෙයි. ඒ කොටින් සමග යුද්ධයක් නොවූ බව ය. කොටි සංවිධානය රට දෙකඩ කිරීම සඳහා ආයුධ අතට ගත්තේ ය. එය රාජ්‍යාරක්‍ෂාවට තර්ජනයක් විය. අවශ්‍යයෙන් ම කළයුතු කාර්යය වූයේ හමුදා බලය යොදා කොටි වැනසීම ය. එය යුද්ධයක් නො වී ය. ඒ යුද්ධයක් නම් 1971 දී හා 1987 -– 90 කාලයේ දී ජ වි පෙරමුණට එරෙහිව කරන ලද හමුදා මෙහෙයුම් ද යුද්ධ විය යුතු ය. ඒ එකක්වත් රටවල් දෙකක් අතර යුද්ධවත් සිවිල් යුද්ධවත් නො වී ය.  කොටින්ට එරෙහිව සිදුකරන ලද හමුදා මෙහෙයුම් යුද්ධ ලෙස හැඳින්වීමටත් ජ වි පෙරමුණට එරෙහිව කරන ලද මෙහෙයුම් යුද්ධ ලෙස නොහැඳින්වීමටත් හේතුව කුමක් ද? 

එය බටහිරයන්ගේ අර්ථකථනයක් බව පැහැදිලි ය. එය ලංකාවේ ප්‍රචලිත කෙළේ කලක් ඩේලිනිවුස් පත්‍රයෙහි කතුවරයකු වූ ද සිංහල බෞද්ධ විරෝධී ලංකා ගාඩියන් සඟරාවෙහි සංස්කාරක වූ ද මර්වින් සිල්වා ය. මහින්ද රාජපක්‍ෂ ඔහුගේ පුතා වූ ෆෙඩරල්වාදී දයාන් ජයතිලක (වර්ධරාජා පෙරුමාල්ගේ ඇමති) වැන්නන් ලංකර ගෙන සිටීමෙන් සිංහලයන්ට වන යහපතක් නැත.  යම් සංවිධානයකට එරෙහිව හමුදා මෙහෙයුම් කෙරෙන්නේ අභ්‍යන්තර කාර්යයක් ලෙස ය. එහෙත් යුද්ධ එසේ නො වේ. සිවිල් යුද්ධයක් වේවා රටවල් දෙකක් අතර කෙරෙන යුද්ධයක් වේවා විදේශවලට ද යම් බලපෑම් කිරීමේ අවස්ථාවක් ලැබෙයි. අභ්‍යන්තර හමුදා මෙහෙයුමක දී විදේශ රටක් අදාළ රාජ්‍යයට සහාය ලෙස ඇතැම් ක්‍රියාවල නිරත වනු දැකිය හැකි ය. එවැනි අවස්ථාවක දී විදේශීය රාජ්‍යය අදාළ රාජ්‍යයට එරෙහිව කටයුතු නො කරයි. ….. .. එහෙත් යුද්ධයක දී විදේශීය රාජ්‍යයකට අදාළ රාජ්‍යයට එරෙහිව පවා මැදිහත් වීමේ අවස්ථාව ලැබෙයි. ජ වි පෙරමුණට එරෙහිව බටහිර රටවල් මෙන් ම ඉන්දියාව ද ලංකාවට විවිධ අංශවලින් ආධාර කළේ ය. එහි දී කිසිම විදේශීය රාජ්‍යයක් ජ වි පෙරමුණේ සාමාජිකයන්ගේ මානව අයිතිවාසිකම් ගැන කතාකළ බවක් අපි නො දනිමු. එහෙත් කොටින්ට විරුද්ධව කළ හමුදා මෙහෙයුම් යුද්ධ ලෙස හැඳින්වූ බටහිර රටවල් හා ඉන්දියාව කොටින්ගේ ඊනියා මානව අයිතිවාසිකම් පිළිබඳ ව මහා උද්ඝෝෂණයක් කළේ ය. ඔවුහු අදත් ඒ උද්ඝෝෂණය දිගට ම කරගෙන යති. ඔවුන්ට අවශ්‍ය කිසියම් ක්‍රමයකින් හමුදාව ලබාගත් ජයග්‍රහණය ආපසු හැරවීම ය. එයට හරස්වන්නේ බහුතර සිංහල ජනමතය ය….. ..

දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ බටහිර ප්‍රධාන කාර්යය වනුයේ අප හමුදා මෙහෙයුම්වලින් ලබාගත් ජයග්‍රහණය ආපසු හැරවීම හා මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව පෙරළීම ය. එහි දී ඔවුන් විවිධ ක්‍රියා මාර්ග අනුගමනය කරනු ඇත. මෙතෙක් ඔවුන් සංවිධානය කළ වසන්ත සියල්ල අසාර්ථකවීම හේතුවෙන් ඔවුන් දැන් සිංහල බෞද්ධයන් ම ආණ්ඩුවට විරුද්ධව යොදා ගැනීමේ ක්‍රියාමාර්ගවලට එළඹීමට ඉඩ ඇත. එහි දී බටහිර ඔත්තු සේවා හා රෝ සංවිධානය එකට ක්‍රියාකරනු ඇත. .. ..නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දෙමළ ජාතිවාදය දේශපාලනික ව පරාජය කිරීමට පියවර ගැනීමට නොහැකිවීම හේතුවෙන් දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගය පැන නැගී ඇත. මේ ඉතා තීරණාත්මක යුගයකි. අප එයට නිවැරදිව මුහුණ නොදුන්නහෙත් ලංකාව අවසානයේ දී සන්ධීය (සහසන්ධීය) රාජ්‍යයක්, ඊළමක් ඔස්සේ ඉන්දියාවේ ප්‍රාන්තයක් වී බුදුසසුන ද මෙරටින් තුරන් වී යෑමේ අනතුර ඇත….. .. .. දෙමළ ජාතිවාදයේ හතරවැනි යුගයේ දී බටහිරයන්ගේ අනුග්‍රහයෙන් ඉන්දියාව කටයුතු කරනු ඇත්තේ නන්දිකඩාල් ජයග්‍රහණය ආපසු හැරවීමට ය. නන්දිකඩාල් ජයග්‍රහණයෙන් පසු දහතුන්වැනි සංශෝධනය ද ඇතුළු සියළු දේශපාලන ගිවිසුම් අහෝසි විය. එහෙත් ඒ දේශපාලනික ජයග්‍රහණය නෛතිකව තහවුරු කරගැනීමට අපට නොහැකි විය.””

අපේ ප්‍රවාදය අනුව අප කළ පුරෝකථනවලින් කිහිපයක් පමණක් ඉහත සඳහන් වෙයි.  ඒ සිදු වී ඇත. කිහිප දෙනකු හැරෙන්නට දේශපාලනඥයෝ, උගත්තු හා ජනමාධ්‍යවේදීහු අප ප්‍රතික්‍ෂෙප කරති. එහෙත් අප කරන්නේ මෙරට සිංහල බෞද්ධ සංස්කෘතියේ මහා පොදු සාධකයේ (එහි ජාත්‍යන්තර බෞද්ධයන් වූ ඕල්කට් බෞද්ධයන් හෝ මද කිපී කෑගසන බැළලලියකට එළවීමට ගඩොල් බාගයක් අතට නොගන්නා අහිංසාවාදී තම්බයියා බෞද්ධයන් හෝ නැත) සිතුම් පැතුම් වචනවලට පෙරළා බටහිර ග්‍රීක යුදෙවු ක්‍රිස්තියානි චින්තනයෙහි නොව සිංහල බෞද්ධ චින්තනයෙහි ප්‍රවාද සංස්කරණය කිරීම ය. ඕල්කට් බෞද්ධයෝ ද තම්බයියා බෞද්ධයෝ ද (බුදුදහම පාවාදීම Buddhism Betrayed  පොත ලියූ බටහිර සමාජ විද්‍යාඥයකු වූ ස්ටැන්ලි තම්බයියා නමින් ඔවුහු තම්බයියා බෞද්ධයන් ලෙස හැඳින්වෙති.) සිංහල බෞද්ධයන් තම්බති. එදිනෙදා සිද්ධිවලට පමණක් ප්‍රතිචාර දැක්වීම ප්‍රමාණවත් නො වේ. එහෙත් දේශපාලඥයන්ද, උගතුන් ද ජනමාධ්‍යවේදීන් ද කරන්නේ එපමණ ය. අපට සමස්තය දැකිය හැකි විය යුතු ය. දළදා මාළිගාව ඉදිරිපිට පාර පමණක් නොව බොහෝ බෞද්ධ සිද්ධස්ථාන හා පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථාන ඉදිරිපිට ඇති පාර ද වැසිිය යුතු ය. ඒ ඉතිහාසය හා සංස්කෘතිය වාහන විෂ දුමෙන් ආරක්‍ෂා කිරීමට ය.  පාර විවෘත කිරීම, කිෂානිගේ ගායනය, භික්‍ෂූන් වහන්සේට අඩත්තේට්ටම් කිරීම, කතිකාවත් පණත, එක්ටා ගිවිසුම, රණවිරුවන්ට මානව හිමිකම් චෝදනා නැගීම, රාජපක්‍ෂ එළවීම ආදිය බටහිර- ඉන්දීය සංස්කෘතික, ආර්ථික හා දේශපාලන ආධිපත්‍යය යටතේ සිදුවෙයි. ඒ එකම සමස්තයකි! 

නලින් ද සිල්වා

2016 පෙබරවාරි 25