Main Logo

Thursday 25 February 2016

ප‍්‍රභාකරන් ඔහු ගේ සීයලා,බාප්පලා හා මස්සිනාලා (දෙවැනි මුද්‍රණයේ පෙරවදන)

ප‍්‍රභාකරන් ඔහු ගේ සීයලා,බාප්පලා හා මස්සිනාලා



දෙවන මුද්‍රණයේ පෙරවදන




ඉතා කොටි කාලයක් තුළ මෙම කෘතියෙහි දෙවන මුද්‍රණයක් නිකුත් කිරීමට සිදුවීමෙන් ම ජනතාවට ප‍්‍රභාකරන්, ඔහු ගේ සීයලා, බාප්පලා හා මස්සිනාලා ගැන දැන ගැනීමට ඇති අවශ්‍යතාව පැහැදිලි වෙයි. වර්තමානයෙහි ඇත්තේ ජනවාර්ගික ප‍්‍රශ්නයක් යැයි කියමින් විසඳුම් ඉදිරිපත් කිරීමට කැසකවන්නෝ හා ඔවුන් ගේ දේශීය හා විදේශීය පුරෝහිතයෝ ජනතාව මුළා කිරීමට උත්සාහ දරති. එම උත්සාහය රටේත් ජාතීයේත් නාමයෙන් පරාජය කළ යුතු ය.

අද සාකච්ඡුාවට බඳුන් වී ඇති යෝජිත ආන්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය දෙමළ ජාතිවාදයේ විකාශනය තුළ අපට දැකිය හැකි තීරණාත්මක සන්ධිස්ථානයක් වෙයි. එහි තීරණාත්මක බව ජනතාව විසින් අවබෝධ කරගනු ලැබ තිබීම හේතුවෙන් ජනතාව ඒ පිළිබඳ යම් අවදියකින් පසුවෙයි. එහෙත් අපට යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් සිදුවෙන හානිය පමණක් සාකච්ඡුා කිරීමෙන් සෑහීමකට පත් විය නොහැකි ය. යෝජිත රට බෙදන ව්‍යවස්ථා සංශෝධනය අප අවබෝධ කර ගත යුත්තේ එහි පුළුල් පසුබිම තුළ ය. එනම් දෙමළ ජාතිවාදයේ විකාශනය තුළ ය. එසේ නොමැති ව ව්‍යවස්ථා සංශෝධනයට ඉදිරිපත් කෙරෙන විරෝධතා පමණක් මගින් අවසානයේ දී ව්‍යවස්ථා සංශෝධකයන්ට අවශ්‍ය වූ ප‍්‍රතිඵල අත් කර දෙනු ඇත. දෙමළ ජාතිවාදයේ විකාශනය අවබෝධ කරගත් විට යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින් ම ප‍්‍රතික්ෂේප කළ යුතු බව පමණක් නොව දහතුන් වන ව්‍යවස්ථා සංශෝධනය හා පළාත් සභා ද අහෝසි කළ යුතු බව වැටහෙනු ඇත. 

ප‍්‍රධාන දේශපාලන පක්ෂ දෙක විසින් ම රවටනු ලැබ ඇති ජනතාවට පොදු ජන එක්සත් පෙරමුණේ කලාප සභා (පෙඩරල් ප‍්‍රාන්ත සභා* ප‍්‍රතික්ෂේප කර, එක්සත් ජාතික පක්ෂයේ පළාත් සභා අහෝසි කළ හැක්කේ ජාතික ව්‍යාපාරයක් තුළින් පමණකි. වර්තමානයෙහි ඇති වී තිබෙන පිබිදීම නිසි මගට යොමු කරවිය හැකි ජාතික ව්‍යාපාරයක කලල රූපයක් දැනටමත් දැකිය හැකි අතර එය පෝෂණය කර වර්ධනය කර ගැනීම ජාති හිතෛෂීන් ගේ වගකීම හා යුතුකම වෙයි. 

නලින් ද සිල්වා
2539 මැදින් / 1996 පෙබරවාරි 25 වන දින
මහරගම දී ය.