Main Logo

Monday 13 January 2020

අර්ජුන පරාක්‍රම හා වෙනත් අය

 සිංහල ලිත් ඉලක්කම්


අර්ජුන පරාක්‍රම හා වෙනත් අය


අර්ජුන පරාක්‍රම කියන්නෙ මගේ මිත්‍රයෙක්. ඔහුට හීනමානයක් නැහැ. ඔහු මගේ අදහස්වලට විරුද්ධයි. එහෙත් ඔහු මට වෛර කරන්නේවත් මා ගැන ද්වේෂයෙන් කතා කරන්නේවත් නැති බව මට විශ්වාසයි. මා ඔහු හඳුනාගත්තේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිටි සමයේ. මා හිතන්නේ ඔහු ආචාර්ය උපාධියක් ලැබ කොළඹ ඉංගිරිසි අධ්‍යනංශයට පැමිණීමෙන් පසු. මා දිනක් කලාගාරයේ රැස්විමක කතා කරමින් සිටින විට ඔහු එහි පැමිණියා. මට මතක හැටියට ඔහු ප්‍රශ්නයක් හරි දෙකක් හරි ඇහුවා. එහෙත් ඒ පොරක් වීමට නොව තම මතයේ සිට මා ප්‍රශ්න කරන්න බවයි මට වැටහුණේ. එදා සිට අද දක්වා ඔහු මගේ මිතුරෙක්.


මා කොළඹ විශ්වවිද්‍යාලයෙන් අස් කෙරුණු විට ඔහු මා වෙනුවෙන් විශාල අරගලයක් කර ඇති බව මා දැන ගත්තේ ඊයේ. ඔහු කිසි විටෙකත් මා සමග කියා නැහැ ඔහු එවැනි අරගලයක් කළ බවක්. වෙනත් කිසිවකු ද ඒ ගැන කියා තිබුණේ නැහැ. පියසීලි විජේගුණසිංහ මට විරුද්ධ අයෙක්. ඇය ට්‍රොට්ස්කිවාදිනියක් ව හිටියා. ඇය මා සමග විවාද රාශියක පැටළුණා. ඇයත් මට ද්වේෂ කළාය කියා මා හිතන්නේ නැහැ. එහෙත් අප එකිනෙකා හඳුනාගත් නමුත් මිතුරන් වූයේ නැහැ. අර්ජුන නම් මගේ මිතුරෙක්. 

පියසීලි මා අස් කළ විට මා වෙනුවෙන් කතා කළ බව මා දැන ගත්තේ නිර්මාල්ගෙන්. ඔහු ලියූ දෙයින්. කී දෙයින්. එහෙත් අර්ජුන මා වෙනුවෙන් අරගලයක් කළ බව ඊයේ වන තුරු කිසිවකු මා සමග කියා තිබුණු බවක් මට මතක නැහැ. අර්ජුන කිසි දිනෙක එවැන්නක් මා සමග නොකියන බව මා දන්නවා. ඒ ඔහුගේ හැටි. කෙසේ වෙතත් අවුරුදු විසිපහකටත් පසුව මා ඔහුට පිං දෙනවා. ඔහු එවැන්නක් බලාපොරොත්තු නොවන බවත් මා දන්නවා. 

අර්ජුන තමාගේ දක්‍ෂ ම ශිෂ්‍යයා බව මාලින්ද සෙනෙවිරත්නගේ මෑණියන් කියා තිබෙනවා. එය එහෙම වෙන්න ඇති. ඔහු සැබවින් ම දක්‍ෂයකු වෙන්න ඕන. ඔහුට හීනමානයක් ඇති වෙන්න විධියක් නැහැ. ඔහු රාජ්‍ය නොවන සංවිධානවල ගැත්තකු නො වෙයි. එහෙත් ඔහු මගේ අදහස්වලට විරුද්ධයි. මට එය ප්‍රශ්නයක් නො වෙයි. ඔහුට මා සමග තරගයක් නැහැ. මගේ අදහස් සුනු විසුනු කිරීම ඔහුගේ ජීවන දෘෂ්ටිය වුණේ නැහැ. ඔහුට ඔහුගේ මතයක් තිබුණා. එහෙත් ඔහුට මිතුරකු ලෙස කටයුතු කරන්න හැකි වුණා. කැලණිය විශ්වවිද්‍යාලයේ ඉංගිරිසි අධ්‍යයනංශයේ සේවය කර අකාලයේ මිය ගිය මැණික් ගුණසේකර මහත්මිය ද  අදහස් අතින් විරුද්ධ වුව ද මිතුරියක වූවා. එවැනි මිතුරන් රාශියක් මට ඉන්නවා.

එහෙත් ජාතික මතවාදවලට විරුද්ධ අය පමණක් නොව ඇතැම් ජාතිකවාදීන් ද  මට වෛර කළා. වෛර කරනවා. වුන්ට මා සමග වූයේ තරගයක්. මා ජාතික ව්‍යාපාරයේ ඊනියා න්‍යායාචාර්යරයා නොවූව ද ඇතැමුන් මට එලෙස සලකා මට පහර දුන්නා. ජාතික ව්‍යාපාරයේ ඇතැමුනට අවශ්‍ය වූයේ එහි න්‍යායාචාර්ය වීමට. එයට මගෙන් කිසි බාධාවක් නැති වුවත් ඇතැමුන් සිතන්නේ තමන්ට ඒ තනතුර ලබා ගැනීමට ප්‍රධාන බාධාව මා කියා. 

ජාතික මතවාදවලට විරුද්ධ බොහෝ අයට ද මා සතුරෙක්. ඇතැමුන් හිතන්නේ මගේ අදහස්වලට පහර දීමෙන් ජාතිකත්වය නැති කළ හැකි ය කියා. මෙරට ජාතිකත්වය මගේ නිර්මාණයක් නො වෙයි. එය ඉතිහාසයේ නිර්මාණයක්. මෙරට ජාතිකත්වය සකස් කෙරීමේ දී මහාවංසයත් හවුල් වුණා. එය අයෝමය කාර්යයක්. මහාවංසයේ අඩුපාඩු තියෙනවා. ඒ ක්‍රමයෙන් හදා ගන්න ඕන. එයට ඉක්මන් වෙලත් බැහැ. මහාවංසයේ අඩුපාඩු හදා ගන්නා අතර අප අපේ විරුද්ධවාදීන්ගෙන් එය රැක ගන්නත් ඕන.

අර්ජුන 1992 කාලයේ විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ අරගලවලට සහාය දුන්නා. මා එකල සම්මේලනයේත් කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයකත් සභාපතිි. 1992 කාලයේ තමයි ආචාර්ය සමිති සම්මේලනය වැටුප් වර්ධනයක් සඳහා සටන් කෙළේ. ඔහු තමාට ම ආවේණික වූ ආකාරයකට ඒ සටනේ ක්‍රියා කාරිකයකු වුණා. පසුව ඔහු පේරාදෙණියට ගියා. 

ඒ සටනෙහි සිටිය දී මා විශ්වවිිද්‍යාලයේ සේවය අත්හිටුවා තිබූ කාලයේ ජී එල් පිරිස් මට විශ්වවිද්‍යාල භූමියට ඇතුල්වීම තහනම් කළා. ආචාර්ය සමිති සමමේලනයේ රැස්වීම් අපට කුමාරතුංග මුනිදාස මාවතේ මාර ගහක් යට පැවැත්වීමට සිදු වුණා. තවත් අර්ජුන කෙනකු, අර්ජුන අළුවිහාරේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපති ලෙස අපට කොමිසමේ මාණ්ඩලික ශාලාවේ රැස්වීම් පැවැත්වීමට අවසර දුන්නා. මට ඔහු කලෙකින් හමු වී නැහැ. ඔහුත් මගේ අදහස්වලට විරුද්ධයි. ඔහු දැන් අර සිකුරාදා සංසදයේ (Friday Forum) ඉන්නවා. ඒ සංසදයේ ඇතැමුන් මෙන් නොව අර්ජුන අළුවිහාරෙත් මිතුරෙක්. 

මට තවත් අර්ජුන කෙනකු මතක් වෙනවා. ඒ අර්ජුන සොයිසා. ඔහු ආචාර්ය සමිති සම්මේලනයේ උප සභාපති ව සිටියා. කොළඹ විශ්වවිද්‍යාලය මට විරුද්ධ ව ගෘහස්ථ පරීක්‍ෂණයක් කළ අවස්ථවේ ඔහු මා වෙනුවෙන් පෙනී සිටියා. ඔහු සේවය කෙළේ විවෘත විශ්වවිද්‍යාලයේ. අවාසනාවකට අද ඔහු ඔත්පළ වෙලා. ඊනියා ගෘහස්ථ පරික්‍ෂණය පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ. ජී එල් මට විශ්වවිද්‍යාල භූමිය තහනම් කර තිබූ බැවින් පරීක්‍ෂණය එසේ බාහිර තැනක පැවැත්වීමට සිදු වුණා. ඒ සඳහා කොපමණ මුදලක් ගියේ දැයි ජී එල් හරි මහා බැංකුවේ ලක්‍ෂමන් හරි කියනවා ද? ඈපාසිංහ නම් දන්නෙ නැතිව ඇති. කිත්සිරි සමරනායක දැන් මිය ගිහින්. ඔහු නම් ඒ කරුණ දැන සිටින්න ඇති. කිත්සිරි සමරනායක කොළඹ විශ්වවිද්‍යාලය වෙනුවෙන් මට විරුද්ධව සාක්‍ෂි මෙහෙයවූවා. ජී එල් මෙන් ම ඇපාසිංහ ද අද ඉන්නේ මහින්දගෙ කඳවුරේ.   
  
ඉහත සඳහන් අර්ජුනලාගෙන් අද විශ්වවිද්‍යාල සේවයේ ඉන්නේ අර්ජුන පරාක්‍රම පමණයි. ඒ අර්ජුනලා තිදෙනා ම කිනම් මත දැරුවත් අවංක පුද්ගලයන්. ඔවුන්ට පොරවල් වීමේ අවශ්‍යතාවක්වත් හීනමානයක්වත් නැහැ. 

ඇතැමුන්ට අනුව මා කිසිවක් අලුතෙන් කියා නැහැ. එහෙත් ඔවුන් මා ලියන කියන දේ ගැන බොහෝ සැලකිලිමත් වෙනවා. ඒ බව මට මගේ මිතුරන්ගෙන් ඇතැම් විට දැනගන්න ලැබෙනවා. ඔවුන්ගෙන් සමාජයට කිසිම බලපෑමක් නැහැ. සකර්බර්ග්ට පින් සිදුවන්න පවතින වඳ අනුකාරකයන් වූ ඔවුන් ගැන සැලකිලිමත් වීමේ අවශ්‍යතාවක් නැති බව පමණක් මා මගේ හිතවතුනට කියනවා.