සිංහල ලිත් ඉලක්කම්
ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම්
ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම් අතර ප්‍රශ්නය අද ඊයේ එකක් නොවෙයි. රාම රාවණ කතාව එහෙමත් නැත්නම් මූලික වශයෙන් රාමායණය විතරක් නොවෙයි ඔඩිසි ඉලියඩ් කෘතිවලිනුත් පෙන්නුම් කරන්නේ මේ ප්‍රශ්නයයි. පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් හිතන්නෙ ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම් අලුත් ප්‍රශ්නයක් කියලා. කසිකබල් මාක්ස්වාදී පඬියන්ට ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම් අතර ඊනියා අපෝහක සම්බන්ධය ගැන සති ගණන් කතා කරන්න පුළුවන්. එහෙත් අපෝහකය කියන්නෙ මොකක් ද කියල ඇහුවොත් කියන්න බැහැ. එංගල්ස්ගෙ ඩයලෙක්ටික්ස් ඔෆ් නේචර් කියවන්න කියල මාරුවෙයි. ඒ පොතේ ඇති අපෝහකයක් නැහැ. ඊනියා නීති තුනක් නම් තියෙනවා.
අපට ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන අමුතුවෙන් කියල දෙන්න දෙයක් නැහැ. අපේ රජවරු විශාල පිරිසකගෙ සම්භවය භාරතයෙ. ඒ දිනවල ඉන්දියාව කියල රටක් තිබුණෙ නැති වුණත් භාරතය එක රටක් වුණෙ නැති වුණත් ඒ ඒ රටවල් (ජාතීන් අතර නොවෙයි) අතර සම්බන්ධකම් තිබුණ. යම් සංස්කෘතික සමානකම් අසමානකම් තිබුණ. විජය ආවෙ භාරතයෙ නැගෙනහිරෙන් ද බටහිරෙන් ද කියන ප්‍රශ්නය තියෙනවා. මා නම් හිතන්නෙ බටහිරින් කියලා. සිංහල කියන තැනැත්තාත් ලංකාවට ඇවිල්ල තියෙන්නෙ භාරතයෙ බටහිරින්. ඔහුගෙ භාර්යාව ග්‍රීක නැත්නම් යවන. පණ්ඩුකාභය රජු අනුරාධපුරයෙ කොටසක් යවනයන්ට වෙන් කරල තිබුණ. පණ්ඩුකාභය රජුට ග්‍රීක නෑදෑයන් සිටි බව නම් කියන්න ඕන.
සිංහලගෙ සම්භවයෙත් සිංහ පියකු ගැන කියැවෙනවා. නැගෙනහිර භාරතයේත් ඒ කතාව තියෙනවා. බොහෝ විට බටහිරින් නැගෙනහිරට ගිය සිංහයන් ඒ කතාවත් අරගෙන යන්න ඇති. අපට නැගෙනහිරින් තමයි වැඩි පිරිසක් සංක්‍රමණය වී තියෙන්නෙ. ඒ පස්වැනි සියවසට පෙර එහෙත් පණ්ඩුකාභය රජුට පසුව. ඔවුනුත් ඒ සිංහ කතාව ගෙනැල්ල. භාරතයෙත් විවිධ අභ්‍යන්තර සංක්‍රමණ තිබිලා තියෙනවා. ඨකුර්ලා භාරතයෙ බටහිර. ඔවුන් නැගෙනහිරටත් සංක්‍රමණය වී තියෙනවා. රබින්ද්‍රනාත් තාගොර් (ඨකුර්) කියන්නෙත් එලෙස සංක්‍රමණය වුණු අයගෙන් පැවතෙන්නෙක්.
අපේ ධාතුසේන පරාක්‍රමබාහු ආදී රජවරුන්ටත් භාරතීය සම්භව තියෙනවා. කෝට්ටේ යුගයේත් නුවර යුගයේත් පමණක් නොව ඉංගිරිසින් යටතේත් එවැනි සම්භව ගැන කියන්න පුළුවන්. එහෙත් ඒ සෑම සංක්‍රමණියකු ම සිංහල වෙලා. පෘතුගීසීන් පැමිණීමට පෙර ඔවුන් සිංහල බෞද්ධ. ඒ සිංහලයන් ගැන. එහෙත් දෙමළ කතා කරන්නන්ගේ ප්‍රශ්නය එසේ නො වෙයි. ලන්දේසීන් ගෙනා වෙල්ලාලයන් සිංහල වුණේ නැහැ. ලන්දේසීන් ඔවුන්ට සිංහලයන් වීමට දුන්නේ නැහැ. මුවර් මුස්ලිම්වරුන් දහහතරවැනි සියවසේ කේරළය පැත්තෙන් පැමිණ තම සංස්කෘතික අනන්‍යතාව දිගට ම ගෙනිච්චා.
සිංහල රජවරුන් විවිධ භාරතීය රාජ වංශ සමග සම්බන්ධකම් පැවැත්වූවා. එපමණක් නොව විශේෂයෙන් එකොළොස්වැනි සියවසේ සිට පහළොස්වැනි සියවස දක්වා ථෙරවාද රටවල් සමග කිට්ටු සම්බන්ධකම් පැවැත්වූවා. කාම්බෝජයට ඒ නම දුන්නේත් ලංකාවෙන් ගිය කාම්බෝජයන් (කබොජ) බවට මතයක් තියෙනවා. එහෙත් දැනට අප තානාපති සම්බන්ධකම් පවත්වන්නේ මියන්මාරය හා තායිලන්තය සමග පමණයි. කාම්බෝජය හා ලාඕසය සමගත් තානාපති සම්බන්ධකම් ඇති කර ගන්න ඕන
අපේ රජවරුන්ට ජාතිකත්වය හා ජාත්‍යන්තර සම්බන්ධකම් ගැන මනා අවබෝධයක් තිබුණා. අප ස්වෛරි රාජ්‍යයක් ලෙස අවුරුදු දෙදහසකට වැඩි කාලයක් පැවතීම ම එයට සාක්‍ෂියක්. අප පිටරටින් යම් යම් දේ ලබා ගත්තා වගේ ම පිටරටට යම් යම් දේ ලබා දීත් තියෙනවා. සිංහල ථෙරවාද සංස්කෘතිය ඉන් ප්‍රධානයි. බුද්ධඝෝෂ හිමියන් නිසා එකී සංස්කෘතියෙහි ජාත්‍යන්තර භාෂාව සිංහල නොව පාළි වී තිබෙනවා.
මා කෙටියෙන් සඳහන් කෙළේ ජාතික අනන්‍යතාව රැක ගනිමින් ජාත්‍යන්තර සම්බන්ධකම් පැවැත් වූ අයුරු. අද අපට පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් අමුතුවෙන් ඒ සම්බන්ධකම් කියා දෙන්න අවශ්‍ය නැහැ. ඔවුන් කියා දෙන්නේත් බටහිරයන් උගන්වන ජාත්‍යන්තර සම්බන්ධකම් පමණයි. ඉන් කෙරෙන්නේ බටහිර ජාත්‍යන්තරවාදී සුපිරි සංස්ථාපනය රැක ගැනීම පමණයි. මාක්ස්වාදීනුත් බටහිරයන්. මාක්ස්වාදීනට කළ හැක්කේ කිසි දා වලංගු නොවූ මත කියව කියවා සිටීම පමණයි. සකර්බර්ග් නිසා ඔවුන්ට මුහුණු පොතේ නම් පැවැත්මක් තියෙනවා.
අද ජාත්‍යන්තර සම්බන්ධකම්වල වෙනසක් තියෙනවා. ඒ සුපිරි ජාත්‍යන්තරවාදී සංස්ථාපනයක් ඇති වීම නිසයි. ඒ ඒ රටවල් සමග සම්බන්ධකම් ඇති කර ගන්නා අතර සුපිරි ජාත්‍යන්තරවාදී සංස්ථාපනයත් සමගත් සම්බන්ධකම් ඇති කර ගැනීමට සිදු වී තිබෙනවා. ඒ සම්බන්ධකම් හුදු ද්විපාර්ෂික සම්බන්ධකම් නො වෙයි. අප වෙත ආධිපත්‍යය පැටවීම නිසා ඇතිවන සම්බන්ධකමක්. ජෙනීවා, ස්විට්සර්ලන්ත තානාපති නාඩගම ආදිය ඒ ආධිපත්‍යයෙහි අංග පමණයි.
මේ සුපිරි ජාත්‍යන්තරය ඊනියා නව යටත්විජිතවාදය ආදී වශයෙන් හඳුන්වන්නන් ලෙනින්ගේ අධිරාජ්‍යවාදය ගැන දන්නේ නැතිව ඇති. අධිරාජ්‍යවාදය යන්න නිරවුල් සංකල්පයක් නො වෙයි. අපට පඬියන්ගේ අනගි ඔවදන් නැති වුණාට ලෙනින්ගේ ඊනියා ප්‍රවාද නැති වුණාට බටහිර ජාත්‍යන්තරවාදී සුපිරිව්‍යුහය සමග ගණුදෙනු කරන්න පුළුවන් වෙනත් රටවල් සමග සම්බන්ධකම් ඇති කර ගනිමින්. කලාපීය බලවතුන් වන ඉන්දියාව හා චීනය සමගත් ගණු දෙනු කිරීමේ දී පරෙස්සම් වෙන්න ඕන. ථෙරවාදී රටවල් ආසියාන් රටවල් නැගෙනහිර යුරෝපීය රටවල් අප්‍රිකානු හා දකුණු අමෙරිකානු රටවල් ආදිය සමග ඒ එ ආකාරයට සම්බන්ධකම් පවත්වන්න ඕන.
අප ලෝකයෙන් ගන්නවා මෙන් ම අප ලෝකයට ද දිය යුතුයි. ඒ දැනුම හා තාක්‍ෂණය සම්බන්ධයෙන් පමණක් නො වෙයි. එහෙත් එහි දී පඬියන් පඬි පෝතකයන් හා පඬි නැට්ටන් අවශ්‍ය වන්නේ නැහැ. ඔවුන්ට කරන්න පුළුවන් එක ම දේ අනුකරණය හා පුනරුච්චාරණය පමණයි. ඔවුන්ට සම්ම ජාතියේ කිසිවක් නිර්මාණය කරන්න බැහැ. ජාත්‍යන්තර සම්බන්ධකම් පවත්වන අතර ජාතික අනන්‍යතාව හා ස්වෛරීභාවය රැක ගැනීම වැදගත් ම කරුණ විය යුතුයි. නොබැඳි රටවල් යන්න අද යල් පැන ගිය සංකල්පයක්.