සිංහල ලිත් ඉලක්කම්
දේශපාලනික ව පත්වීම් දීම හා නොදීම
රන්ජන් රාමනායක කියන්නේ මෙරට දේශපාලනයේ නීතියේ රාජ්‍ය සේවයේ පමණක් නොව ඊනියා ප්‍රභූ ගණිකාවන්ගේත් තත්වය කාටත් තේරෙන පරිදි රටට හෙළි කිරීමෙන් යම් සේවයක් කළ අයෙක්. එහෙත් ඔහුගේ හඬපට තව තවත් නිකුත් වීමත් සමග ඔහු සුපුරුදු පරිදි නිදහස් වේය කියා මට හිතෙනවා. ඔහුගේ හඬපට සමාජයේ බලතල දරණ පුද්ගලයන්ට ප්‍රශ්නයක් වන විට වෙනත් ජවනිකාවක් ඉදිරියට ඇවිත් රන්ජන්ගේ හඬපට නොඇසී යනු ඇති. කොහොමත් කිසිම චිත්‍රපටයක්, එහි රන්ජන් රාමනායක රඟපෑවත් වැඩි කලක් ප්‍රදර්ශනය කරන්න බැහැ.
රාජිතට තවමත් අසනීප වෙන්න ඇති. ඔහු රෝහලෙන් පිට වී ගිය බවට ආරංචියක් නැහැ. ඔහුගේ රෝගී තත්වය අනුව ඔහුට කොපමණ කලක් රෝහල් සුවය විඳින්නට වේ ද කියා දන්නේ ඔහුගේ වෛද්‍යවරුන් පමණයි. ඔහු ගැන කවුරුවත් හොයල බලන්නේ නැද්ද? ඒත් අර බැඳුම්කර වෝහාරික විගණනයට මොකද වෙලා තියෙන්නෙ. ඒ ගැන ආරංචියක් නැහැ. කොහොමටත් වෝහාරික විගණනය කියන්නෙ මොකක් ද කියල දන්න අය කී දෙනකු පඬියන් අතර ඉන්නවා ද? ෆොරන්සික් ඔඩිට් කියන එකට වෝහාරික කතාව හරියනවා ද? දන්න කවුරු හරි කියල දෙනවා ද?
වෝහාරික හරි මොකක් හරි ඒ වාර්තාව ඉක්මණින් නිකුත් කරනවා නම් හොඳයි. ඒ සඳහා කෝප් කමිටුවක් නැවත පත් කරන්න ඕන. එය ප්‍රමාද වන්නේ ඇයි? ඒ කවුරු හරි බේරන්න ද? රනිල් හැරෙන්න බේරන්න ඕන තවත් අය ඉන්නවා ද? කිසිම ආණ්ඩුවක් සර්වතෝභද්‍ර වන්නේ නැහැ. ඒත් හැකිතාක් නුසුදුසු දේශපාලන ඥාති සංග්‍රහ නවත්වන්න ඕන. ඥාති සංග්‍රහය නරක දෙයක් නො වෙයි. දේශපාලන ඥාති සංග්‍රහයත් නරක දෙයක් නො වෙයි. ප්‍රශ්නය වන්නේ නුසුදුස්සන්ට දේශපාලන ඥාති සංග්‍රහය කරනවා නම්. හැම උසස් ය කියන දේශපාලන පත්වීමක් සම්බන්ධයෙන් ම සුදුසකම් ප්‍රකාශ කරනවා නම් හොඳයි. තානාපති තනතුරුවලටත් ඒ අදාළයි.
දේශපාලන පත්වීම් දීම් මෙන් ම පත්වීම් නොදීම් හා දේශපාලන අස්කිරීම් ද තිබෙනවා. මට මේ හැම එකක් ගැන ම පෞද්ගලික අත්දැකීම් තියෙනවා. 1978 තරම් ඈත අතීතයේ දී මට පේරාදෙණියේ පත්වීමක් ලැබුණේ නැහැ. මා භාර්යාවත් එකල ළදරුවකු වූ අපේ ලොකු පුතාත් සමග ඕස්තේ්‍රලියාවේ සිට ආපසු පැමිණි අවස්ථාවේ දී මට පත්වීමක් නොදීමට පේරාදෙණි විශ්වවිද්‍යාලය තීරණය කෙළේ මා 1967 ඔක්තෝම්බරයේ සිට !975 අප්‍රේල් දක්වා එහි සහාකාර කථිකාචාර්යවරයකු/කථිකාචාර්යවරයකු ලෙස සේවය කර තිබිය දී. ඒ අවස්ථාවේ දී පේරාදෙණියේ ඊනියා සමාජවාදීන්වත් මා වෙනුවෙන් කතා කෙළේ නැහැ. ඒ මා ජාතිකවාදියකු වූ නිසා නො වෙයි. එකල මාත් ඊනියා සමාජවාදියෙක්.
එකල තිබුණේ තනි විශ්වවිද්‍යාලයක්. කොළඹ පේරාදෙණිය ආදිය හැඳින්වුණේ මණ්ඩප ලෙස. ඒ නිසා මට කොළඹ පත්වීමක් ලැබුණෙත් නැහැ. පසුව 1978 විශ්වවිද්‍යාල පනතෙන් නැවත ඊනියා ස්වාධීන විශ්වවිද්‍යාල ඇති කිරීමෙන් පසුව 1979 දී මට කොළඹ පත්වීමක් ලැබුණා. 1993 දී එහි සේවයෙන් අස්කෙරුණා. එකල නම් මා ජාතිකවාදියෙක්. විද්‍යා පීඨයේ ආචාර්යවරු කිහිප දෙනකු හා ශාස්ත්‍ර පීඨයේ පියසීලි විජේගුණවර්ධන පමණක් මා වෙනුවෙන් කතා කළා. කොළඹ විශ්වවිද්‍යාලයේ ආචාර්ය සමිති එකක්වත් විශ්වවිද්‍යාලයීය ආචාර්ය සමිති සම්මේලනයවත් මා වෙනුවෙන් හඬක් නැගුයේ නැහැ. ඒ මා එක් ආචාර්ය සමිතියක හා ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති ව සිට අස්කිරීමෙන් පසුවත්.එකල ප්‍රේමදාස ආණ්ඩුව යටතේ කොළඹ උපකුලපති ජී එල් පිරිස්. අද මහා බැංකු සභාපති ලක්‍ෂමන් තමයි වැඩ බලන උපකුලපති ලෙස මගේ අස්කිරීමේ ලිපියට අත්සන තැබුවේ.
ඉන්පසු විශ්වවිද්‍යාල කිහිපයක් ම මා බඳවා ගැනීම ප්‍රතික්‍ෂෙප කළා. 1994 චන්ද්‍රිකාගේ ආණ්ඩුවේ උසස් අධ්‍යාපන ඇමති ඉන්දික ගුණවර්ධන. මගේ පාසල් මිතුරෙක්. මා තනතුරක් බලාපොරොත්තු වූයේ නැහැ. මා විශ්වවිද්‍යාල අභියාචනා මණඩලය ඉදිරියේ නීතිඥයකු නැතිව නඩු කිවුවා. එහි ප්‍රතිඵලයක් ලෙස මා කැලණියටත් ජයවර්ධනපුරටත් බඳවා ගනු ලැබුවා. 2003 දී මා කැලණියට ගියා. ඒ අතර කොළඹ විශ්වවිද්‍යාලයට විරුද්ධව කම්කරු උසාවියේ මහාධිකරණයේ හා ශ්‍රෙෂ්ඨාධිකරණයේ නඩු කිවුවා. සරත් සිල්වා මට ලක්‍ෂ පහක මුදලක් ගෙවන ලෙස කොළඹ විශ්වවිද්‍යාලයට කිවුවා. මට ඒ නඩු කීමේ දී එස් එල් ගුණසේකර නොමිලයේ පෙනී සිටියා. පඬියන් මා වෙනුවෙන් කටක් හෙල්ලුවේ නැහැ.
එහෙත් කෘමිනාශක වකුගඩු රෝගය සම්බන්ධ පරීක්‍ෂණ හේතුකොටගෙන මහින්ද රාජපක්‍ෂ මගේ සේවාකාලය අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් 2010 අවසානයේ දී අවුරුදු තුනකට දීර්ඝ කළා. ඒ වෙලාවේ නම් ආචාර්යවරුන් එයට විරුද්ධ ව නැගී හිටියා. ඔවුන් එය දුටුවේ දේශපාලන පත්වීමක් ලෙස. එය දේශපාලනික පත්වීමක් තමයි. ඒත් ඒ අර වකුගඩු රෝග පරීක්‍ෂණ සඳහා. මා එවකට කැලණියේ විද්‍යා පීඨාධිපති. අවශ්‍ය පරීක්‍ෂණ නිමවීමෙන් පසු 2011 අවසන මා සේවයෙන් ඉවත් වුණා. අවශ්‍ය නම් මට තව අවුරුදු දෙකක් රැඳී ඉන්න තිබුණා. 2014 මැද මහින්ද මා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සාමාජිකයකු ලෙස පත් කළා. එයත් දේශපාලන පත් කිරීමක්. මා කොමිසමේ දේශීය වෛද්‍ය අධ්‍යයන කමිටුවේ සභාපති ලෙස ත්‍රිකුණාමලය හා යාපනය සිද්ධ වෛද්‍ය අංශ උසස් කිරීමට කටයුතු කළා. එහෙත් 2015 ජනවාරි 9 දා මා කොමිසමෙන් ඉල්ලා අස්වුණා මෛත්‍රිපාල යටතේ සේවය කිරීම නින්දාවක් බව දක්වමින්. සිද්ධ වෛද්‍ය විද්‍යාව වෙනුවෙන් කළ යුතු ව තිබූ වැඩ අවසන් කර ගැනීමට බැරි වුණා.
මා අරමුණක් ඇතිව වැඩ කරනවා. අරමුණක් ඇති ව දේශපාලනික පත්වීම් පිළිගන්නවා. හුදු දේශපාලනික පත්වීම් පිළිගන්නේ නැහැ. පඬියන්ගේ පඬි පෝතකයන්ගේ පඬි නැට්ටන්ගේ අදහස් උදහස් මා සත පහකට ගණන් ගන්නේ නැහැ. සිංහල ඡන්දවලින් පමණක් ජනාධිපතිවරයකු පත් කර ගන්න පුළුවන් බව දැන් හැමෝම දන්නවා. දෙමළ ජාතිවාදී හා මුස්ලිම් අන්තවාදී පක්‍ෂ රජුන් තනන්නන්ගේ තත්වයෙන් පහතට වට්ටා තිබෙනවා. එය පමණක් වුවත් අපේ ජයග්‍රහණයක්. සියල්ල අවසානයේ දී දේශපාලන බලයට යටත්. දර්ශනය ගණිතය භෞතික විද්‍යාව වැනි විෂයන් පමණක් නොව සංගීතය සාහිත්‍ය වැනි ක්‍ෂෙත්‍ර ද අවසානයේ දී දේශපාලනික ව විසඳෙන දේ. භාරතීය සංගිතයට සුනිල් සාන්ත විරුද්ධ වූයේත් දේශපාලනික ව. අද ඇතැම් පඬියන් ඔහු සිංහල සංගීතය බටහිර සංගීතයට යොමු කළ තැනැත්තා ලෙස හඳුන්වන්න වෑයම් කරන්නේත් දේශපාලනික ව. අපට පඬියන්ගේ ඒ වෑයම පිටුපස බටහිර සංස්කෘතික ආධිපත්‍යය දකින්න පුළුවන්.