සිංහල ලිත් ඉලක්කම්
අභයගිරිය පූජනීය දාගැබක් මිස පුරාවස්තුවක් නො වෙයි
අභයගිරිය ප්‍රතිසංස්කරණය කළ යුත්තේ කාට අවශ්‍ය විධියට ද? අපට අවශ්‍ය විධියට ද? නැත්නම් බටහිරයන්ට අවශ්‍ය විධියට ද? අප අභයගිරිය ප්‍රතිසංස්කරණය කරනවා ද? සංරක්‍ෂණය කරනවා ද? ලංකාවේ පුරාවිද්‍යාඥයන් ඉන්නවා ද? එක් පඬියකුට අනුව ගැමුණු සිල්වාත් පුරාවිද්‍යාඥයෙක්. ගැමුණු මගේ මිත්‍රයෙක්. ඔහු දක්‍ෂ ශිල්පියෙක් (ඊනියා ඉංජිනේරුවෙක්). පඬියන්ගේ පරික්‍ෂණ නිරීක්‍ෂණ නිගමන ඊනියා විද්‍යාත්මක ක්‍රමයට අනුව ගැමුණු පුරාවිද්‍යාඥයෙක් වෙලා. ඔහු අර මාළිගාවිල බුදුපිළිමය සම්බන්ධයෙන් කළ වැඩ, දළදා මාළිගාවෙ රන් වියන සවි කිරීම, මැතක දි රුවන්වැලි සෑයෙ කටයුතුවලට සම්බන්ධවීම ආදිය නිරීක්‍ෂණය කරන පඬියන් විද්‍යාත්මක ව නිගමනය කරනවා ඔහු පුරාවිද්‍යාඥයකු කියා. ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයෙ විදුලි එළි සවිකෙළෙත් ඔහුගෙ අධික්‍ෂණයෙන්. ප්‍රේමදාස ක්‍රීඩාංගනය පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති ස්ථානයක් කියල නිගමනය කරනවා ද?
කොහොමත් ලංකාවෙ පුරාවිද්‍යාඥයන් තබා කිසිම විද්‍යාඥයකු නැහැ. මෙරට කිසිවකු අලුත් සංකල්පයක් ප්‍රවාදයක් හඳුන්වා දී නැහැ. ඔවුන් දන්නේ බටහිරයන්ගේ තාලයට බටහිරයන්ට අවශ්‍ය අන්දමට නැටීම පමණයි. අලුත් තාලයක් තබා පැරණි තාලයකට අලුත් නැටුමක්වත් හදාගන්න බැහැ. ඉංගිරිසින් හරහා එන දැනුමට මොකක් හරි සිංහල වචනයක් හදාගෙන ඒ දැනුම තමන්ට තේරෙන විධියට කියන එක හා භාවිතා කරන එක තමයි ඔවුන් කරන්නෙ. දාර්ශනිකයන් කියන අය ඔක්කොට ම හපන්.
මෙරට පුරාවිද්‍යාඥයන් යැයි කියන අය බටහිර දිහා බලාගෙන අභයගිරිය සංරක්‍ෂණය කරලා. අප කළ යුතුව තිබුණෙ එය ප්‍රතිසංස්කරණය කිරීමයි. නැත්නම් සංස්කරණය කියන එකට අපේ නිර්වචනයක් දීමයි. ඔවුන්ට එය කරන්න බැහැ. මෙරට ඊනියා විද්‍යාඥයන් කියන අය මෙහෙයවෙන්නෙ බටහිර දැනුමෙන්. මෙහි ඇත්තේ බටහිර දැනුම් ආධිපත්‍යයක්.
අභයගිරිය බටහිර ක්‍රමයට සංරක්‍ෂණය කිරීම යනු අපේ දේ අපට ඕන හැටියට කරගන්න බැහැ කියන එක. අභයගිරිය සංරක්‍ෂණය කළ යුත්තේ මට ඕන හැටියට නො වෙයි. අපට, සිංහල බෞද්ධයනට ඕන හැටියට. එහෙත් එය සංරක්‍ෂණය කරලා තියෙන්නෙ බටහිර ක්‍රිස්තියානි පුරාවිද්‍යාඥයන්ට අවශ්‍ය අන්දමට. මෙයින් කියන්නේ බටහිර පුරාවිද්‍යාඥයන් ආගමෙන් ක්‍රිස්තියානි කියන එක නොවෙයි. ඔවුන් සංස්කෘතියෙන් ක්‍රිස්තියානි. බටහිර විද්‍යා ග්‍රීක යුදෙව් ක්‍රිස්තියානි චින්තනයෙ නිර්මාණ.
බටහිර ක්‍රිස්තියානි පුරාවිද්‍යාඥයන් ලෝකෙට ම ඔවුන්ගෙ දැනුම දීල තියෙනවා. එය තනිකර ආධිපත්‍යයක්. අප ඔවුන්ගෙ විශ්වවිද්‍යාලවලට යනවා. ඔවුන්ගෙ පොතපත කියවනවා. එ දැනුම අපට තේරෙන විධියට ගන්නවා. අපට තේරෙන විධිය අනුව ඒ දැනුම යොදා ගන්නවා. ඒ ඊනියා දැනුම අපේය කියන (අපේ ම නොවන අපේ) විශ්වවිද්‍යාලවල හා පාසල්වල උගන්වනවා. බටහිරයන් මුළු ලෝකය ම ඔවුන්ගෙ සමාජය අනුව විකාශය වෙලා කියල අපට කියනවා. අප ඔවුන්ගෙ ආධිපත්‍යය පිළිගන්නවා. ලෝකයෙ හැම තැන ම ප්‍රාග් ශිලා යුගය, ශිලා යුගය ආදී වශයෙන් සමාජය විකාශය වෙලා තියෙනවා ද? මේ ඇතැම් යුග ඇතැම් සමාජවල පැන්නිලා නැද්ද? ලංකාවට ම වුවත් ඔය යුග එ අකාරයෙන් ම යොදා ගන්න පුළුවන් ද?
අපේ රටේ ඇත්තේ ජීවමාන ඉතිහාසයක්. එය කෞතුක ඉතිහාසයක් නො වෙයි. අපට අභයගිරිය කියන්නෙ ඊජිප්තුවට පිරමිඩයක් වැන්නක් නොවෙයි. ඊජිප්තුවේ පිරමිඩ ගොඩ නගපු සංස්කෘතිය අද ඒ රටේ නැහැ. එහෙත් අභයගිරිය ගොඩ නැගුවේ සිංහල බෞද්ධ සංස්කෘතියෙ. එය තවමත් තියෙනවාා. ඒකෙන් කියන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතිය වළගම්බා රජු දවස සිට වෙනස් නුණ කියන එක නො වෙයි. කෞතුක ඉතිහාසයක සංරක්‍ෂණය කරනවා කියන්නෙ එකක්. ජීවමාන ඉතිහාසයක ප්‍රතිසංස්කරණය කරනවා කියන්නෙ තවත් එකක්. කෞතුක ඉතිහාසයක සංකල්ප ජීවමාන ඉතිහාසයකට යොදන්න බැහැ.
අභයගිරිය සංරක්‍ෂණය විය යුත්තේ මෙරට ඊනියා පුරාවිද්‍යාඥයන්ට අවශ්‍ය අන්දමට කියන විට ම කියන්නේ අප අභයගිරිය බටහිර පුරාවිද්‍යාවට අනුව සංරක්‍ෂණය කළ යුතු ය කියන එක. අපේ දේ අපට වුවමනා විධියට නොව බටහිරයන්ට ඕන වීධියට කරන්න ඕන කියන එක. අභයගිරියට ඇති ඊනියා පුරාවිද්‍යාත්මක අගයක් නැහැ. එහි අගය ඇත්තේ ජීවමනා ඉතිහාසයක, අඛණ්ඩ ඉතිහාසයක පූජනීය වස්තුවක් ලෙස. ඊජිප්තුවේ පිරමිඩවලට අඛණ්ඩ ඉතිහාසයක්, සංතතික ඉතිහාසයක් නැහැ. එහි පිරමිඩ පුරාවස්තු. එංගලන්තයේ ස්ටොන්හෙන්ජ් ද පුරාවස්තු. අභයගිරියවත් රුවන්වැලි සෑයවත් මිරිසවැටියවත් ථූපාරාමයවත් පුරාවිද්‍යාත්මක වස්තු නො වෙයි. ඒ අප අවුරුදු දහස් ගණනක් තිස්සේ වැඳුම් පිදුම් කරන පූජනීය වස්තු. අභයගිරිය ප්‍රතිසංස්කරණය කළ යුත්තේ සිංහල බෞද්ධයනට අවශ්‍ය අන්දමට මිස බටහිර ක්‍රිස්තියානි පුරාවිද්‍යාඥයන් කිහිප දෙනකුගේ දැනුම් ආධිපත්‍යයට යට වු මෙරට ඊනියා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට අවශ්‍ය අන්දමට නො වෙයි.
කවුද අහල තිබුණ අභයගිරිය ඊනියා සංස්කරණය කළ යුත්තේ පුරාවිද්‍යාඥයන්ට අනුව ද එහෙම නැත්නම් ගණිතඥයකුට අවශ්‍ය අන්දමට ද කියා. මෙරට පුරා විද්‍යාඥයන් නැති බව නැවතත් අවධාරණය කරන්න ඕන. මෙරට ඇත්තේ බටහිර දැනුම් ආධිපත්‍යයට යට වූ ඊනියා පුරාවිද්‍යාඥයන් කිහිප දෙනකු පමණයි. එමෙන් ම මා ගණිතඥයකු නො වෙයි. මා බටහිර ගණිතයටවත් බටහිර භෞතික විද්‍යාවටවත් කර ඇති එකතුවක් නැහැ. අභයගිරිය ප්‍රතිසංස්කරණයේ දී සිංහල බෞද්ධයන් විශේෂයෙන් ම ඊනියා උගතුන් නොවන්නන් විමසිය යුතුව තිබුණා.
මේ එක් දැනුම් පද්ධතියක් (බටහිර ක්‍රිස්තියානි) තවත් දැනුම් පද්ධතියක් (සිංහල බෞද්ධ) අධිපතිවාදී ව යටකර ගැනීමක්. සිංහල බෞද්ධ සංස්කෘතියේ නිර්මාණය වුවක් බටහිර ක්‍රිස්තියානි අධිපතිවාදී දැනුම අනුව ඊනියා සංරක්‍ෂණය කිරීමක්. මෙය සංස්කෘතික ප්‍රශ්නයක්. එහෙත් එයින් කියන්නේ නැහැ මෙය සංස්කෘතික අමාත්‍යාංශයේ ඊනියා උගත් නිලධාරීන්ට අවශ්‍ය අන්දමට කළ යුතු දෙයක් කියා. අභයගිරිය ප්‍රතිසංස්කරණය කරලා හුණු ගාන්නෙ නැතිව ඉන්න එක බටහිර දැනුම් ආධිපත්‍යයට යටවීමක්. අභයගිරිය පුරාවස්තුවක් නො වෙයි.